ඇන්ටි අපිට අපි ඇන්ටිට

මධුෂ් යන්නේ කොයි පාරේ?
ගෝඨාභය යන පාරේ!

මධුෂ් යන්නේ මොන පාරේ?
කරන්නාගොඩ යන පාරේ!

ගෝඨාභයට පුලුවන්නම්
මාකඳුරේට බැරි වෙනවද?

කරන්නාගොඩට පුලුවන්නම්
මාකඳුරේට බැරි වෙනවද?

ගෝඨාභයට ඇති අයිතිය
මාකඳුරේ මධූෂ්ට දෙන්න

කරන්නාගොඩ ඇති අයිතිය
මාකඳුරේ මධුෂ්ට දෙමු.

කඩේ ළමයා තොරතෝංචියක් නැතිව කියන්නට පටන් ගත්තේ පෙළපාලියක හෝ විරෝධතාවයක නියැලෙන්න සේය.

ඒ දෙස බලා සිටි මුදලාලි මොකක්ද ළමයා මේ වතාවේ හැදුනු පිස්සුව කියා ඇසුවේය.

මම මේ පිකටින් එක්කට ලෑස්ති වෙනවා කියා එවිට කඩේ ළමයා කීවේය.

ඔය ළමයා පිකටින් නොකලා කියලා රටේ පිකටින් වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා පිස්සු වැඩ නතර කරලා, කඩේ වැඩ වල ටිකක් උදව් වෙන්න කියා මුදලාලි කීවේය.

එහෙම කතා කරන්න එපා මුදලාලි නීතිය ඉදිරියේ කවුරුත් සමාන වෙන්නේ ඕන. ගෝඨාභය, කරන්නාගොඩ මාකඳුරේ මධූෂ් කියලා වෙනසක් තියෙන්නෙ බැහැ. කවුරු කොහොම කීවත් මම මේ පිකටින් එක නවත්තන්නෙ නෑ. හිතුනොත් මාරාන්තික උපවාසයකුත් කරනවා කියා කඩේ ළමයා කීවේය.

මොකක්ද දැන් මේ ළමයට පිකටින් කරන්න මාරාන්තික උපවාස කරන්න තරමට වෙලා තියෙන ප්‍රශ්නය කියා මුදලාලි ඇසුවේය.

කිසිම ප්‍රශ්නයක් මට වෙලා නැහැ . ප්‍රශ්න වෙන්න මම අම්මා තාත්තා සිහිවෙන්න ස්මාරක හැදුවද? ළමයි අතුරුදහන් කලාද? මම අහිංසක විදිහට මුදලාලිට සපෝට් එකක් දීගෙන හිටියා විතරයි. ළමයා කීවේය.

එහෙමනම් මොනවටදඋපවාස කරන්නයි පිකටින් කරන්නයි උත්සහ කරන්නේ කියා මුදලාලි ඇසුවේය.

මාකඳුරේ මධූෂ් ඩුබායිවලදී අත්අඩංගුවට ගත්තා මුදලාලි දන්නවා නේද? ළමයා ඇසුවේය.

මම නොදන්නේ මොකද? මම විතරක් නෙමෙයි රටම දන්නවා. ළමයා හදන්නෙ මධුෂ් නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කරන්න ද? හැබැයි ඒ වැඩේට ලංකාවෙ ඉඳලා බැහැ ඩුබායි යන්නත් වෙයි මුදලාලි කිවේය .

මට ඩුබායි යන්න සිද්ධ වෙන්නේ නැහැ .මගේ පිකටින් එක කරන්නේ කොළඹ. ළමයා කීවේය .

මොනවටද දැන් ඔය පිකටින් කරන්නේ? මුදලාලි ඇසුවේය.

මාකඳුරේ මධුෂ්ගේ ඇන්ටිට සපෝට් එකට, ළමයා කීවේය.

ඇයි එයාගෙ ඇන්ටිට කරදරයක් කරලා ද? මුදලාලි ඇසුවේය.

අපොයි නැහැ. ගෝඨාභයට කරන්නාගොඩට ඇති අයිතිය මධුෂ්ටත් ඉල්ලලා මදූෂ්ගේ ඇන්ටි උසාවි ගිහින්කියා ළමයා කීවේය.

ළමයා කියන දේ මට තේරෙන්නේ නැහැ. මුදලාලි කීවේය. තේරෙන්නේ නැත්නම් ඔන්න අහගන්න. ළමයා කතාව පටන් ගත්තේය. මාකඳුරේ මධුෂ් ඩුබායි රටේ පාටි දම දමා ඉන්දැද්දි ඩුබායි පොලිසිය ඇවිත් අත්අඩංගුවට ගත්තා. දැන් අපේ පොලිසිය උත්සාහ කරන්නේ උදර්පණ නීතිය ද මොකක්ද යටතේ මධුෂ් ලංකාවට ගෙන්නලා , මේ රටේ නීතිය යටතේ නඩු පවරන්න. ලංකාවට ගෙනත් නඩු දානවට මධුෂ්ගේ ඇන්ටි කැමති නෑ. උදර්පණ නීතිය යටතේ මධුෂ් ලංකාවට ගෙනත් නඩු පැවරීම වලක්වන්න කියලා මදූෂ්ගේ ඇන්ටි උසාවියෙන් ඉල්ලීමක් කරනවා. මදූෂ්ගේ ඇන්ටිට මම සපෝට් ළමයා කීවේය.

සාධාරණ කතා කියන්න එපා ළමයා, මධූෂ් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. මිනී මැරුවා, මංකොල්ල කෑවා, කප්පන් ගත්තා, නීතිවිරෝධී කටයුතු කළ කෙනෙක්, මුදලාලි කීවේය.

හරි එහෙමනම් මුදලාලි කියන්නේ රතුපස්වලදී, කටුනායකදී වුනේ මිනීමැරුම් නොවේද? ලසන්ත ඝාතනය, තාජුඩීන් ඝාතනය පුණ්‍ය ක්‍රියාද? ළමයි 11ක් හංගගෙන හිටියේ කප්පන් ගන්න නේද? ඒ ළමයි එකොළොස්දෙනා අතුරුදහන් කළා නෙමෙයි මරලා මුහුදට දැම්මා කියලා කියනවා නේද? ආණ්ඩුවේ සල්ලි වලින් සොහොන් හැදිල්ල නීත්‍යානුකූලද? ළමයා මුදලාලිගෙන් ඇසුවේය.

අනේ මන්දා ළමයා මට ඔය ප්‍රශ්න වල්ට උත්තර දෙන්න අමාරුයි .මුදලාලි කීවේය.

මම කියන්නේ මෙච්චරයි ඒ වැඩ කරපු අය අත්අඩංගුවට ගැනීම් නතර කළා නම් මදූෂ්ගේ ඇන්ටිගේ ඉල්ලීමටත් අපි සපෝට් කරන්න ඕනේ. ළමයා කීවේය.

ඇන්ටි ඇන්ටි පෙරට එන්න

ඇන්ටි අපිට අපි ඇන්ටිට

කොල්ලා අලුතින් සටන් පාඨ කියන්නට පටන්ගත්තේය.

මුදලාලි කරකියාගත හැකි කිසිවක් නැතිව බලා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *