තල් පොල් කිතුල් සහ ණය බර – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

2019 03.17 ඉරිදා පුවත්පතක මුල් පිටුවේ පළ වූ පුවතකින් කියවුනේ පොල් ගස් 70000 රා වරම ඉල්ලා දේශපාලන පොරයක් තියෙනවා කියලයි. එම තරගයට වැදී සිටින්නේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් දහයක පමණ පිරිසක් බවත් එම පුවතේ ලියා තිබුණා. මෙයින් පොල් ගස් 38000 ඉල්ලා ඇත්තේ ප්‍රධාන දේශපාලනඥයෙකුට අයත් මත්පැන් සමාගමක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන බවත් එම පුවතේ සඳහන් වුණා.

මේ පුවත කියවූ සැණින් මට හැඟුණේ පුවතට කරුණු දෙකක් බලපා ඇති බවයි. පළමු කරුණ වන්නේ දේශපාලනය, දෙවැන්න සදාචාරාත්මක ආකල්පය. දේශපාලන කරුණු මුලින්ම ගනිමු. ශිර්ෂ පාඨයේ සඳහන් වන්නේ “පොල් ගස් හැත්ත දාහකට රා වරම ඉල්ලා දේශපාලන පොරයක් කියායි . සමහර විට මෙය දේශපාලන පොරයක් නොවුනානම් පත්තරේ පළ නොවන්නටත් ඉඩ තිබුණා වන්නට පුළුවන් . රා පොරයට වැටී සිටින්නේ ප්‍රධාන දේශපාලනයට සම්බන්ධ ගෝලබාලයන් 10 ක පමණ පිරිසක් බව කියැවෙනවා. ( සංඛ්‍යාව නිශ්චිත ලෙස නොදැක්වීම මා දන්නා තරමින් පුවත්පත් නීතියට අනුව වරදක් එය අමතක කරමු ) පොල් ගස් හත්තදාහක් අතරින් තිස් අටකට තිස් අටදාහකට ඉල්ලුම් කර ඇත්තේ ප්‍රධාන දේශපාලනඥයකුට සම්බන්ධ මත්පැන් නිෂ්පාදනය ආයතනයක් බවයිපුවතින් කියන්නේ.

මතු වන ගැටලුව වන්නේ දේශපාලනය සම්බන්ධ නොවුණා නම් මේ පොල් රා සිදුවීම් ප්‍රශ්නයක් නැද්ද යන්නයි. දේශපාලනඥයා හෝ දේශපාලනඥයින් කවුරු වුවත් ඔවුන් උත්සාහ ගන්නේ රා මැදීමේ කටයුත්ත වෙනුවෙන් පොල් ගස් 7000 සඳහා බලපත්‍ර ලබා ගන්නටයි. රා මැදීම සඳහා බලපත්‍ ලබාදීම ර දැනටමත් සිදුවන නිසා එම බලපත්‍ර ඉල්ලීම අමුතු අලුත් දෙයක් බව හිතන්නට බැහැ. අනෙක් අතින් ගත්කල ගැටලුවක් වන්නේ ඉහත සඳහන් දේශපාලනඥයන් තම දේශපාලන හයිය පෙන්වා බලපත්‍ර ලබා ගැනීමකින් තොරව රා මැදීම කලානම් බවයි මට හිතෙන්නේ.

පොල් ගස් තිස් අටදාහකට බලපත්‍ර ඉල්ලා ඇත්තේ ප්‍රධාන දේශපාලනඥයකුට සම්බන්ධ මත්පැන් නිෂ්පාදන ආයතනයක් බවත් කියැවෙනවා. ආණ්ඩුවේ කොන්ත්‍රාත් කිරීම වැනි කොන්ත්‍රාත් වලින් කොමිස් ගැසීම වැනි දේශපාලනඥයින් කරනවා නම් එය වරදක්. ඒ තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් මත්පැන් කර්මාන්තයේ නීත්‍යානුකූලව යෙදීම සම්බන්ධව දේශපාලනඥයෙකුට දොස් කීමට හෝ වැරදි කීමට කෙනකුට අයිතියක් ඇතැයි මා සිතන්නේ නැහැ. වරදක් වන්නේ ඔහු නීති විරෝධී මත්පැන් ජාවාරම් කරනවා නම් එසේත් නැතිනම් බලපත්‍ර ලබා නොගෙන මත්පැන් ව්‍යාපාරයේ යෙදෙනවා නම් නේද?

ඉල්ලුම් කර ඇතැයි කී කියන පොල් ගස් 70000ට බලපත් නොලැබුනත් බලපත් ලබා නොදුන්නත් ඔවුන් යෙදී ඉන්න මත්පැන් ව්‍යාපාරය නතර වෙයි කියා හිතන්නට අමාරුයි. ඒ වෙනුවට සිදු වනු ඇත්තේ දේශීය ව ලබාගත නොහැකි ස්ප්‍රීතු ආනයනය කරන්නට පෙළඹීමයි. අප ගෙවමින් සිටින්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතින වකවානුවක් . පසුගිය සතියේ මුදල් ඇමතිවරයා කියා තිබුණේ ණය නොගෙන ණය ගෙවන්නට හැකියාවක් නැති බවයි.

රුපියල බාල්දු වීම වළක්වා ගන්නටත්, ණය නොගෙන ණය ගෙවන්නටත්, ණය නොගෙන රට කරවන්නටත් හැකි වාතාවරණයක් ඇති කරගන්නට ඇති එකම මග දේශීය නිෂ්පාදන සහ දේශීය ආදායම ඉහළ නංවා ගැනීම. එවැනි තත්ත්වයක විදේශ මත්පැන් ස්ප්‍රිතු ආනයනය කරන්නට යෑම ආර්ථිකයට අහිතකරයි.දේශීය වශයෙන් අවශ්‍ය ස්ප්‍රීතු මෙරට තුළම නිෂ්පාදනය කරන්නට හැකිනම් එය ආර්ථිකයට ශක්තියක්. ඇත්ත වශයෙන්ම මාධ්‍ය කළ යුත්තේ එවැනි දේට ජනතාවත් ව්‍යාපාරිකයනුත් උනන්දු කරවීමයි.

වර්තමානයේ පවතින තත්වය වන්නේ මෙරට පොල් ඉඩම් වැඩි වේගයෙන් කැබලි වෙමින් පැවතීමයි. විශාල පොල් ඉඩම් පර්චස් දහයට විස්සට කැඩී විකිණෙන්නට හේතුව ඒකත් මෙරටට ගැළපෙන නිවාස ප්‍රතිපත්තියක් නැතිකමයි. අනෙක පොල් ඉඩම් තවදුරටත් ලාභදායී නොවීම.

පොල් ඉඩම් ලාභ දායී නොවීමට හේතුව පොල් ගෙඩි වශයෙන් විකිණීමෙන් සැලකිය යුතු ආදායමක් ලබාගන්නට නොහැකි වීම. පොල් ඉඩම් නඩත්තුවට විශාල වියදමක් දරන්නට සිදුවීම කම්කරුවනට ඔවුන් අපේක්ෂා කරන තරම් වැටුපක් ගෙවන්නට පොල් කර්මාන්තයට නොහැකි වීම ඒ නිසා ඇතිවන කම්කරු හිගය ආදියත් ඉහත කරුණු වලට බලපානවා.

ඒ ප්‍රශ්න වලට විසඳුම් වන්නේ පොල් කර්මාන්තය විවිධාංගීකරණය කිරීමයි. නමුත් අපේ පොල් කර්මාන්තය අවශ්‍ය තරමට විවිධාංගීකරණය හෝ නූතන වීමක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ.

කුරුම්බා අපනයනය කුරුම්බා වතුර බෝතල් කර හෝ ටින් කර හෝ කළ හැකියි. නමුත් එවැනි කර්මාන්තයක් ව්‍යාපාරික වශයෙන් මෙරට මෙතෙක් දියුණු වී නැහැ. අපේ රටේ තවමත් ඉන්නේ පාරේ කරත්තවල තැඹිලි විකුණන වෙළෙන්දන් විතරයි.

සංචාරක කර්මාන්තය ගැන කොතෙක් කතා කළත් සංචාරකයන් අතර දේශීය පානයක් වශයෙන් තැඹිලි හෝ කුරුම්බා ජනප්‍රිය කරවීමේ වැඩ පිළිවෙළක් වත් අපට තියෙනවද? විදේශිකයින් මෙරටට ඇවිත් පානය කරන්නේ කොකාකෝලා ස්ප්‍රයිට් ආදියයි.

මෙරටට පැමිණ vodka brandy විස්කි ආදී විදේශ මත්පැන් පානය කරන විදේශිකයන් පොල්, තල්, කිතුල්, ලපටි රා හෝ පැසුණු රා පානය කරන්නට පොළඹවා ගන්නට අපට බැරිද? අඩු තරමින් පිරිසිදු ශ්‍රී ලාංකීය පොල්, තල්, කිතුල් අරක්කු නිපදවා මෙරටට පැමිණිෙන විදේශිකයන්ට විකිණීමට හෝ අපනයනය කරන්නට හෝ අප උත්සාහ නොකරන්නේ ඇයි?

එයට හේතුව අපේ සදාචාරයයි. කෙටියෙන්ම කිව්වොත් අපේ බුදුන්ටත් වඩා හොඳ බෞද්ධයන් වීමට උත්සාහ කිරීමයි. මත්පැන් පානයේ ආදීනව බුදුන් බුදුන් පෙන්වා දුන් බව ඇත්තක් වුවත්, බුද්ධ කාලයේ වුවත් ඉන් පසුව වුවත් භාරතයේ මත්පැන් නොතිබුණා නොවේ. එකල භාරතයේ රා නොතිබුනානම් නාලාගිරි ඇතුට රා පොවන්නේ කොහොමද?

අටසිල් සිල් පන්සිල් කොහොම වුවත් පැරණි ලංකාවේ බෞද්ධ භික්ෂූන්, බෞද්ධයන් පවා සුරාව යන්න පිළිකුලෙන් බැහැර කළා යැයි හිතන්නට අමාරුයි. එහෙම වුනානම් අපේ මහා කාව්‍යවලට මධුපානෝත්සව එන්නේ නැති වෙයි. ගුත්තිල කාව්‍යයේ පවා නටත් අයෙක් සුරා මතින් කියලා කියා තියනවා නේද?

කණ පැලෙන තරමට බිම වරදක් වුවත් විවේකයට විනෝදයට තරම දැන මත් පැන් ටිකක් බීම නරකක් නොවේ. විශේෂයෙන්ම තල් පොල් කිතුල් රා කර්මාන්තය විදේශ විනිමය උපයන කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කරන්නට පුළුවන් නම් රටේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීමටත්, ග්‍රාමීය විරැකියාව අඩු කරන්නටත්, රටේ ගෙවුම් ශේෂ හිඟය අඩු කර ගන්නටත්, එය හොඳ පිටුවහලක් වේවි.

ඒ වුවත් අපි කරමින් ඉන්නේ රටේ පොල් ඉඩම් කට්ටි කරන අතර පිටරටින් මත් පැන් හා ස්ප්‍රිතු ගෙන්වීමත් රටේ ගංජා හේන් තොග පිටින් ගිනි තබමින් ඖෂධ සඳහා කන්සා පිටරටින් ගෙන්වීමත්, කොල්ලන්ට ඔතා පානය කරන්නට කේජි ඉන්දියාවෙන් හොර පාරෙන් ගෙන්වා ගැනීමත් නේද?

ලෙඩා මළත් බඩ සුද්දයි කීව වගේ ණයට අරන් ණය ගෙව්වත් පන් සිල් රැක්කොත් මදිද නේද?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *