බන්දුල මහතාගේ භාෂා නිරුවත – සිරිසේන රාජපක්ෂ

ආචාර්ය බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමතිවරයා නඩුමගට බසින්නට සූදානම් වන පුවතක් 2019 මාර්තු 18 සදුදා ඉංග්‍රීසි පුවත්පත්ක පළවී තිබුණි. ආචාර්්යවරයා නඩු යන බව කියන්නේ ප්‍රාථමික පංතිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමට විරුද්ධව බවට පැවසේ ඔහුගේ තර්කය වන්නේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය මවුබසින් එනම් සිංහල බසින් හෝ දෙමළ බසින් හෝ පමණක් ලබාදිය යුතු බව ය. 5 ශ්‍රේණියෙන් පසු ව ඉංග්‍රීසි උගන්වන්නට පුළුවන. අවශ්‍ය නම් විෂයයන් කිහිපයක් වුව ඉන්පසුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකිය යන්න ආචාර්ය බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමතිවරයා ගේ අදහසයි .

පළමු ශ්‍රේණියේ පටන් ඉංග්‍රීසි ඉගැන්වීම් වලළක්වාලීම සඳහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම්ට තමා සූදානම් බවත්, ඒ පිළිබඳ නීතිඥයන් සමඟ සාකච්ඡා කළ බවත් හෙතෙම පවසා තිබේ.

බන්දුල ගුණවර්ධන මහතාගේ අදහස බැලූ බැල්මට පෙනෙන්නේ සිංහල හෝ දෙමළ හෝ භාෂා ප්‍රේමී ජාතික හිතෛෂී එකක් වශයෙනි. එහෙත් ඔහුගේ විරෝධය පසුපස සැබෑ ලෙසම ඇත්තේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතියට සහ අනාගතයට දැනුවත් ව අකුල් හෙලීමකි.

කලෙක ප්‍රකට ටියුෂන් ඇදුරෙකු ව සිටි බන්දුල ගුණවර්ධන මහතාගේ අදහස කුමක් වුව, අධ්‍යාපනඥයන්ගේ මතය වන්නේ හැකිතාක් කුඩා අවදියේ දී දරුවන් හැකිතාක් භාෂා අධ්‍යයනයට යොමු කළ යුතු බව නැතහොත් හැකි උපරිම භාෂා සංඛ්‍යාවකට දරුවන් නිරාවරණය කළ යුතු බවයි. වැඩෙන වයසේ දී දරුවන් ඉක්මනින් භාෂාවන් අල්ලා ගැනීමේ හැකියාවෙන් යුතු වන බැවිනි.

මෙරට දී වුව ද සිංහල දෙමළ ජන මිශ්‍රණයකින් යුතු ප්‍රදේශ්වල දිවි ගෙවන දරුවන් භාෂා දෙකම කතා කිරීමේ හැකියාව ලබා ගැනීම නිදසුන් වශයෙන් දක්වන්නට පුළුවන.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ ජයග්‍රහණයෙන් ඇරඹී 56 විප්ලවයෙන් දෙමළ ද පසෙකට දමා සිංහල බසට මුල් තැන දීමක් ගැන උජාරු ලීලාවෙන් කතා කළා වුවද, එතෙක් ඉංග්‍රීසි බසින් කරගෙන ආ අධ්‍යාපනයට සිංහල හඳුන්වා දීමෙන් සිදුවූ විනාශය මෙතෙක් කිසිවෙකුත් නිවැරදිව ගණන් බලා නැත.

එතෙක් ශ්‍රී ලංකාවේ පැවැති සැබෑ ගැටලුව වූයේ ඉංග්‍රීසි බසින් අද අධ්‍යාපනය ලබා දීම නොවේ. මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම්ට සිදුවීම හේතුවෙන් අධ්‍යාපන අයිතිය ධනය හිමි පැලැන්තියට පමණක් අයිතියක් වී තිබීමයි.

ආණ්ඩුව දුරදක්නා නුවණින් කටයුතු කළේ නම්, කළ යුතුව තිබුණේ අධ්‍යාපනය සිංහලෙන් හෝ දෙමළෙන් ලබාදීමට සලස්වා ඉංග්‍රීසිය ඉවතට දැමීම නොවේ.දුප්පත් දරුවනට ද ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සලසා දීමයි. එනම් නිදහස් අධ්‍යාපනය ඉංග්‍රීසි බසින් ලබාදීම්යි.

මව්බසින් අධ්‍යාපනය යන ජනප්‍රිය සටන් පාඨය කර තබා ගෙන යාමෙන් දැන් බිහි වී සිටින්නේ මව්බස හෝ ඉංග්‍රීසි බස් හෝ දෙකම හරි හැටි නොදන්නා පිරිසකි. 56 ට පෙර මෙරට බිහිවූ උගතුන් සමග මෑතකාලීන උගතුන් සම්බන්ධ කර සිතීමෙන් ඒ බව වටහා ගන්නට පුළුවන,

පසුගිය ශතවර්ෂයේ මෙ රට පහළ වූ අසමසම ප්‍රඥයා වශයෙන් හැඳින්වෙන කුමාරතුංග මුනිදාසයන් පවා සිංහල පමණක් උගතෙකු නොවේ. එතුමා සිංහල, පාලී ප්‍රාකෘත දෙමළ, ඉංග්‍රීසි ආදී භාෂා රැසක සමර්ථකම් පෑවෙකි.

එදිරිවීර සරච්චන්ද්‍ර, සුචරිත ගම්ලත් වැන්නන් ගත්කල “සිංහල පමණයි” සංකල්පය එකල තිබුණේ නම් ඔවුන් අතින් මෙරට සිංහල භාෂාවට සංස්කෘතියට කලාවට සිදු වූ මහඟු මෙහෙය ඉටු වෙනු ඇතැයි සිතීම දුෂ්කරය. කතාවට පවා ඇතැමුන් කියන්නේ පසුගිය දශක එක දෙක තුළ සිංහල බසට, නවකතාවට, කවියට, කෙටි කතාවට සිනමාවට නාට්‍ය කලාවට කැපී පෙනෙන මෙහෙයක් කළ සියල්ලන්ම පාහේ සිංහලත් ඉංග්‍රීසියෙන් උගත් අය කියා ය.

ආණ්ඩුවෙන් රැකියා ඉල්ලා පාරේ උද්ඝෝෂණ කරන රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිටුපස ඇති එක් කරුණක් වන්නේ ද ඔවුන්ගේ සිංහල පමණක් දැනුම පිළිබඳ ප්‍රශ්නයයි. පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉංග්‍රීසි බසින් උපාධි හදාරන සිසුන්ට අධ්‍යාපනය අවසන් කරන්නටත් පළමු ව රැකියා වෙළඳ පොළේ දොරටු විවරවේ. එම ආයතන වලට ම පැමිණ ව්‍යාපාරික ආයතන සහ සමාගම් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් රැකියාවලට තෝරාගනී. වර්තමානයේ ආණ්ඩුවේ සරසවි සිසුන් මුහුණ දී සිටින ලොකුම අභියෝගය පෞද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් පෞද්ගලික උපාධි ආයතන ආදියෙන් බිහිවන සිසුන් සමග තරග කිරීමට ඇති නොහැකියාවට හේතුව අන් කිසිවක් නොවේ. ඉංග්‍රීසි හෝ වෙනත් ජාත්‍යන්තර භාෂා දුප්පත්කමයි.

පසුගිය දිනෙක ශ්‍රී ලංකා පරිගණක සමාජය( computer society of sri lanka – CSSL )හි දෙසුමකට එක්වෙමින් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා කියා සිටියේ කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳවය.එම දෙසුමේදී ඒ මහතා කෘතිම බුද්ධිය නොමිලේ ලබාගත හැකි ආකාර පිළිබඳව ද හෙළිදරව් කරනු ලැබිණි

ඒවා වනාහී ඔන්ලයින් හෙවත් අන්තර් අන්තර්ජාල ඔස්සේ හැදෑරීිය හැකි පාඩම් මාලාවන් ය. නොමිලේ දුන්නා වුව ඒවා ලබාගන්නට නම් ජාත්‍යන්තර භාෂා දැනුම අවශ්‍ය කෙරේ. කෘතිම බුද්ධිය පමණක් නොවෙයි ඉංග්‍රීසි බස පමණක් දන්නේ නම් වෙනත් කවර හෝ සුදුසු කමකින් තොරව උපාධිය දක්වාම හැදෑරීමට හැකි රක්ෂණ ආදී ක්ෂේත්‍රවල පාඨමාලා ද තිබේ. ආචාර්ය බන්දුල ගුණවර්ධන උසාවි යාමට සැරසෙන්නේ ළමයින් එවැනි පාඨමාලා හෝ දැනුම ලබාගැනීමට හැකියාව ලබා ගැනීමට එරෙහිව ය.

ශ්‍රී ලංකාවේ පවතින සැබෑ ගැටලුව වන්නේ මවු බසින් අධ්‍යාපනය ලබා නො දීම නොවේ. පළමු වසරේ පටන් දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය පළමු සම්පත වන ගුරුවරුන් සිටී ද යන්නයි.

ඇත්ත තත්වය නම් ඉහළ පෙළේ පාසල් කිහිපයක හැරුණු විට ඉංග්‍රීසි බස ඉගැන්වීමට ගුරුවරුන් මෙරට පාසල් වල නොමැති බවයි, ග්‍රාමීය පාසල්වල දී මෙකී කරුණ වඩාත් බරපතළ වේ.

ඊළඟ කාරණය මෙරට පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීමට යොදා ගැනෙන ගැනෙනු ලබන ක්‍රමවේදයයි. කවර ආකාරයකින්වත් නූතන නොවන අපේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ දී තවමත් සිදු වන්නේ තිත්ත කසාය පොවන්නා සේ සිසුනට බලහත්කාරයෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගැන්වීමයි.

ඊළඟ කාරණය දැනට පාසල් වල සිටින ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ක්‍රම සහ ඔවුන්ගේ ඉගැන්වීම් දක්ෂතා දැනුම පිළිබඳ ප්‍රශ්නයයි. විශේෂයෙන්ම මෙරට දැනට සිටින්නේ සිංහලෙන් ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන් පිරිසකි. හේතුව මව්බස ට ඇති ලැදියාව නොවේ. ගුරුවරුන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ නොහැකියාවයි. එවැනි ගුරුවරුන් අතින් බිහි වන්නේ ඉංග්‍රීසි උගත් ගොළුවන් පිරිසකි. කියවීමට හැකියාව ඇතත් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඔවුනට නැත. කියවීමේ හැකියාව තිබුනද ඉංග්‍රීසි ලිවීමේ හැකියාව නැත. දරුවනට සැබවින් ම ආදරය කරන ගුරුවරයෙක් නම් බන්දුල ගුණවර්ධන මහතා මූලික අයිතිවාසිකම් ගොනු කළ යුත්තේ මෙකි තත්ත්වයට විරුද්ධව ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *