මහෙන්ද්‍රන් අල්ලන්න ශ්‍රී ලංකාව සහාය දෙන්නේ නැහැ… ජනපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව කියයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන වගඋත්තරකරු වන හිටපු අධිපති අර්ජුන් මහනේද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරුව මේ දක්වා කටයුතු කර නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අත්‍යවශ්‍යව තිබෙන ලියකියවිලි සිංගප්පූරු රජයට ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා රජය මෙතෙක් කටයුතු කර නැතැයිද සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කරයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන වගඋත්තරකරු ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙසට සිංගප්පූරු අගමැතිවරයාගෙන් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කළ බවත් මේ දක්වා ඔවුන් ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවති උත්සවයකදි සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳ පසුගිය ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සිංගප්පූරු බලධාරීන් සහයෝගයෙන් කටයුතු කර ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් උදර්පණ නීතිය යටතේ සිංගප්පූරුවට තොරතුරු රැසක් අවශ්‍යවන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීම් සිදුකර ඇති නමුත් අද (20) වන තුරු ඊට අදාළ ලියකියවිලි සහ තොරතුරු සිංගප්පූරු බලධාරීන් වෙත ලැබී නොමැති බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

එම තොරතුරු ලබාදුන් පසු සිය රටේ නීතියට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවද සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *