මරණ දඩුවමේ රමණය – සී ජේ අමරතුංග

දැන් බොහෝ දෙනා කියන්නට පටන්ගෙන තිබෙන්නේ මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි . කොටදෙනියාවේ සේයා දැරිය ඝාතනය සමග දැඩි ලෙස කෝප වී සිටින ජනයාට දැන් අවශ්‍යව ඇත්තේ ඉක්මන් හා නොවරදින විසදුමකි . අපරාධ කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කළ විට සියල්ල විසදෙන බව බොහෝ දෙනා කල්පනා කරන බව පෙනෙන්නට තිබේ . එසේ නොවේ යැයි සිතන්නේ සුළු පිරිසකි . එම සුළු පිරිසට බහුතරය කියන්නේ නිකම් බණ කියන්නට එපා කියාය .

අපරාධ කරුවන්ගේ මානව හිමිකම් ගැන කතා කීරීම ද අපරාධයකි . සේයා දැරියගේ හා අපරාධවලට ගොදුරුවන අසරණයින්ගේ මානව හිමිකම් රැකෙන්නේ අපරාධකරුවන්ගේ ජීවිත අහිමි කිරීමෙනි . එවිට තවත් අය අපරාධවලට පෙළබීම නතර වනු ඇත .සාමාන්‍ය බහුතර ජනයා හිතන්නේ එහෙමය . ඒ කියන්නේ මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කළ යුතුය . එවිට සියල්ල හොදින් සිදුවේ යැයි මෙම ජනයා විස්වාශ කරති . එයට එරෙහිව තර්ක කරනවිට මල පනින්නේ ඒ නිසාය .

රන්ජන් රාමනායක ඇතුළු මන්ත්‍රීවරු ද මෙම කැරොල් කරත්තයේ ඉදිරියෙන්ම යති . ජනාධිපතිතුමාද කීවේ පාර්ලිමේන්තුව එකග නම් මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවයි . මහජන මතයේ බලපෑම එතරම්ම ඉහළය .එසේ වුවද මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමද පහසු නැත . බුද්ධිමතුන් හා මානවවාදී ප්‍රභූන් මරණ දඩුවමට විරුද්ධය .එය ලෝකයේ බලගතු ව්‍යාපාරයකි . එහි බලපෑම මත ලෝකයේ රටවල් 101ක් මරණ දඩුවම අහෝසි කොට ඇත .තවත් 56ක් මැත කාලයේ එය ක්‍රියාත්මක කොට නැත . ලංකාව වැටෙන්නේ එම දෙවැනි ගණයටය . මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ රටවල් තිස් ගණනකි . ලෝකයේ පවතින තත්ත්වය එයයි .

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සුදානම් බව කියා ඇමරිකාව බලා ගිය ජනාධිපතිවරයාට එහිදී දේශනයකට සවන්දීමට ලැබිණි . ඒ පාප් වහන්සේ ඇමෙරිකාවේ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන්ට කළ දේශනයයි .එහිදී පාප් වහන්සේ ප්‍රකාශ කළේ මරණ දඩුවම අහෝසි කලයුතු බවයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ මරණ දඩුවම ක්‍රියාත්මක එකම රට ඇමරිකාවයි . එහි ප්‍රාන්ත 32ක එය තවමත් ක්‍රියාත්මකය . පාප් වහන්සේ ඉල්ලා සිටියේ එයද නතර කරන ලෙසයි .

පාප් වහන්සේ මරණ දඩුවමට විරුද්ධ වන්නේ මානුෂීය හේතු නිසාය .ජීවිතයට ඇති අයිතිය අහෝසි නොකළ යුතු බවත් , හොදම විසදුම පුනරුත්ථාපනය බවත් උන් වහන්සේගේ අදහසයි .

මරණ දඩුවම වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ තර්කය වෙනස්ය . ඔවුන් කියන්නේ එක් අයකුගේ ජීවිත අයිතිය රැකගන්නට යාමෙන් තවත් පිරිසකගේ ජීවිත අහිමි විය හැකි බවයි . අපරාධකරුවකුගේ ජීවිතය අහිමිකිරීමෙන් සමාජයක ආරක්ෂාව සහතික වේය යන්න ඔවුන්ගේ අදහසයි . තර්කයක් වශයෙන් එය ප්‍රබලය .

මෙම විවාදය අද ඊයේ ආරම්භ වුවක් නොවේ .එය සියවස් ගණනාවක් තිස්සේ ඇදීගිය විවාදයකි .ලොව බොහෝ රටවල් මරණ දඩුවම අහෝසි කරන්නට පියවර ගත්තේ එම විවාදයේ ප්‍රතිපල වශයෙනි .එය හුදෙක් අනුකම්පාව මත හෝ අනුමාන මත ගත් තීරණ නොවේ . මරණ දඩුවමෙන් අපරාධ මැඩලිය නොහැකි බව දැන් අත්දැකීම් මගින් තහවුරු කොට ඇති සත්‍යයකි .ඇත්ත කතාන්දරය ඒකය.

මෙය ඇත්ත වශයෙන්ම හැගීම් හා බුද්ධිය අතර විවාදයකි . මහජනයාට තම කෝපය පිටකිරීමට අවශ්‍යය .මරණ දඩුවම එයට කදිම මාවතකි .මහජනයා පාරට බැස ඉල්ලන්නේ ඒකය. මෙම මහජන මතය පහසුවෙන් නොතකා හැරිය නොහැකිය . සමාජයේ දැඩි කෝපයට ලක්වන සිදුවීම් සදහා පමණක් මරණ දඩුවම ක්‍රියාත්මක කලයුතු බව බරක් ඔබාමා ජනාධිපතිතුමා කියන්නේ ඒ නිසාය .

මහජන මතය දැඩි ලෙස ප්‍රකාශවීමට අනෙක් හේතුව නම් ඔවුන්ගේ විශ්වාසයයි .මරණ දඩුවම ක්‍රියාත්මක කළ විට අපරාධ නවතින බව ඔවුහු විශ්වාස කරති .මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කරන්නයි මහජනයා ඉල්ලා සිටින්නේ එම විශ්වාසය නිසාය . එසේ වුවද ලෝකයේ අත්දැකීමත් අපරාධ විද්‍යාවේ සොයාගැනීම් මගිනුත් තහවුරු වී ඇත්තේ මෙම විශ්වාසය සම්පුර්ණ මුලාවක් බවයි .ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ එතනය .

මරණ දඩුවම පිළිබද විවාදය පැවති මුල් සමයේ ලෝකයේ බොහෝ රටවල් මරණ දඩුවම ක්‍රියාත්මක කළේය .එකල තර්කය වුයේ එය නැවැත් වුවහොත් අපරාධ වැඩිවනු ඇති බවයි .එසේ වුවද දැන් රටවල් 101ක් මරණ දඩුවම අහෝසි කර ඇත .අපරාධ වැඩිවීම වෙනුවට දකින්නට ඇත්තේ අඩුවීමකි .මෙම රටවල් බොහොමයක් ලෝකයේ අපරාධ අඩුම රටවල් බවට පත්ව ඇත . එසේ වීඇත්තේ මරණ දඩුවම ගැන විශ්වාසය නොතබා අපරාධ වැළක්වීමේ වඩා සාර්ථක වෙනත් ක්‍රම යොදාගැනීම මගින් ය .

ලෝකයේ වැඩිම පිරිසකට මරණ දඩුවම දෙන රට චීනයයි .එහි වසරකට මරණ දඩුවමට ලක්වන සංඛ්‍යාව 3000ක් පමණ වෙයි .දෙවනියට සිටින ඉරානයේ එම සංඛ්‍යාව 400ක් පමණ වෙයි . මෙම රටවල අපරාධ අඩු වුයේ නම් මරණ දඩුවම දීමද වසරින් වසර අඩුවිය යුතුව තිබිණි . එසේ වුවද එවැන්නක් දක්නට නැත .අපරාධ සිදුවීමත් මරණ දඩුවම දීමත් හැමදාමත් පවතින්නේ ඉහළ මට්ටමකය . මරණ දඩුවම ක්‍රියාත්මක කරන අනෙක් රටවලද තත්ත්වය ඊට සමානය .මරණ දඩුවමේ කෙරුවාව එහෙමය .

අනෙක් අතට මරණ දඩුවම පිළිගැනීම රටකට හානිකර බවටද තර්කයක් ඇත . එයින් කියන්නේ සමාජයක් ලෙස ප්‍රචණ්ඩත්වය පිළිගැනීමෙන් එම සමාජය වඩ වඩාත් ප්‍රචණ්ඩ වන බවයි . මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටවල අත්දැකීමෙන් පෙනෙන්නේ මෙම තර්කයේද ඇත්තක් තිබිය හැකි බවයි .

ලොව පුර විද්වතුන් මරණ දඩුවමට විරුද්ධ වන්නේ එය සමාජයට හානිකර නිසා බව තේරුම් ගත යුතුව ඇත .අපරාධ කරුවන් බේරා ගැනීමට රුදාවක් ඒ කාටවත් තිබිය නොහැකිය . තිබිය හැක්කේ රට විපතකින් ගලවා ගැනීමේ වුවමනාවයි .

ප්‍රශ්නය ඇත්තේ බුධිමතුන් මේ කියනදේ සහ මහජනයාගේ විශ්වාසය අතර බරපතළ ප්‍රති විරෝධයක් පැවතීමයි .දේශ පාලන නායකත්වය අවශ්‍ය වන්නේ මෙබදු ප්‍රශ්න විසදන්නට ය .

ජනමතය කොතරම් ප්‍රබල වුවද රටට හානිකර නම් එවැන්නක් ක්‍රියාත්මක නොකළ යුතුය .එමෙන්ම ජනමතය අවුළුවන ප්‍රශ්නයට විසදුම් දිය යුතුය .ජනතාව දැන් හඩ නගන්නේ අපරාධ නවතා ගන්නටය .අපරාධ ඉක්මනින්ම මැඩලන්නට පියවර ගන්නේ නම් කාවවත් එල්ලන්නට ජනතාවට රුදාවක් එන්නේ නැත .

ජනතාව ඉල්ලන දේ දීම පහසුය . එමෙන්ම එයින් තාවකාලිකව ජනප්‍රිය විය හැකිය .ඇත්තටම ප්‍රශ්නය විසදීම වඩාත් අපහසුය .ඒ අමාරු දේ කළොත් එබදු දේශපාලඥයන් අනාගතයේදී මහජනයාගේ ගෞරවයට පාත්‍ර වනු ඇත .එය වඩා කල් පවතින ජනප්‍රිය තාවයකි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *