|

කුමන්ත්‍රණයේ පසු විපරම – සී.ජේ. අමරතුංග

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අප්‍රසන්නම සිදුවීම යැයි කිවහොත් අති‍ශයෝක්තියක් නොවනු ඇත. 2015 ජනවාරි 8 ජනවරම සමග සිටි සියලුදෙනාට මෙය පෙනුනේ කැත පාවාදීමක් වශයෙනි. පැවැති එ.ජා.ප. ආණ්ඩුව කෙරෙහි යම් කලකිරීමකින් සිටිය ද මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු බලවේග හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැඩි කැපවීමෙන් පාරට බැස කුමන්ත්‍රණය පරාජය කළේ ඒ නිසා ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේ, යහපාලන රජය ඉදිරියට ගෙනයාමට තමන් කැප වී සිටිය ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය නිසා තමන්ට මෙම පියවර ගැනීමට සිදුවූබවයි. රනිල් ගේ ආණ්ඩුව රටට ආදරය නොකරන බව මෙන්ම දූෂිත බවද ඔහු කීවේය. ආණ්ඩුව තුළින් විකල්ප නායකයකු ඉදිරිපත් නොවන නිසා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදෙන්නට සිදු වූ බව ද පැවසුවේය. එම කාලයේ ජනාධිපතිවරයා කළ කී බොහෝ  දේ ගැන කතාකිරීම වෙනමම කළ යුත්තකි.

එම සිදුවීම් මාලාව රටේ දේශපාලනයට කළ බලපෑම අතිමහත්ය. කෙසේවෙතත් ඒ ගැන සාකච්ඡා කිරීමට පෙර කළ යුත්තක් ඇත. එනම් මෙම කුමන්ත්‍රණයේ ඇත්ත සුලමුල හා එය වර්ධනය වූ ආකාරය පිළිබඳව සොයා බැලීමයි. බොහෝවිට පෙනීයන්නේ ජනාධිපතිතුමා කී හා තවම කියන කතාවලට වඩා ඇත්ත කතාව වෙනස් බවයි.

මෛත්‍රී ආවේ කුමකට ද ?

පළමුවෙන්ම සැකය මතුවන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ සත්‍ය වශයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය ගැන  කලකිරීමෙන් ද නැතහොත් මහින්ද ගේ නියත පරාජය පිළිබඳ තේරුම් ගැනීම තුළ ජනාධිපතිවීමේ අවස්ථාව ලබාගැනීමේ එකම අරමුණෙන්ද යන්නයි. එතුමා ම කීවේ, ‘ඡන්දය තියන්න එපා සර් පරදිනවා’ කියා තමා මහින්ද ජනාධිපතිවරයාට කී බවයි. මහින්ද ඡන්දය තිබ්බේ ඒ කතාව අහන්නේ නැතිවය. ඒ අතර පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට මෛත්‍රිට ඇරයම් ලැබෙයි. ඒ කියන්නේ ජනාධිපති වන්නට චාන්ස් එකකි. මෛත්‍රි කළේ එම අවස්ථාව බදා ගැනීම පමණක් බව දැන් පෙනී යන කතාන්දරයයි.

යහපාලනය ගැන මොන කතා කීව ද ඒ කිසිවක් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇ‍ඟේ තිබූ බවක් පසුගිය කාලයේ කියුම් කෙරුම් වලින් පෙනීගියේ නැත. බොහෝවිට පෙනීගියේ කටින් බතල කොළ හිටවන තත්ත්වයකි. යහපාලනය සඳහා දින සීයේ වැඩ පිළිවෙල හැදුවේ කවුදැයි තමා දන්නේ නැති බව ඔහු කීවේ එය හැදීමට මුල් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සමරු රැලියකදී ය. එබඳු කතා මෙන්ම පරස්පර ප්‍රකාශ ද මහජනයා මේ වන විට හොඳින් දනිති.

මාදුළුවාවේ සෝභිත හිමි කි දේ

බලයට පත්වූ දා සිට ම මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනත් ගේමක් පටන් ගත්තේය. ඔහුගේ පළමු කටයුත්ත වූයේ උග්‍ර රනිල් විරෝධියකු වන ශිරාල් ලක්තිලක තම ජේෂ්ඨ උපදේශක තනතුරට පත්කර ගැනීමය. ඉදිරියේ දී තමන්ට ගේම තියෙන්නේ රනිල් සමග බව ඒ වන විට ම ඔහු ගණන් බලා තිබුණා විය හැකිය. මහාචාර්ය සරත් විජේසූරිය මහතා පසුගිය දා හෙළිදරව් කළේ ශිරාල් පත්කර ගැනීම මහා ගුණමකු වැඩක් බව මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ අවස්ථාවේ දී ම ප්‍රකාශ කළ බවයි.

තම නිවසේ විදුලි එළිය නිවා දමා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති මෛත්‍රි සාකච්ඡා කළ හැටි ද දැන් ප්‍රසිද්ධ කතාවකි. එය හෙළිදරව් කළේ ජනාධිපතිගේම සගයකු වන මලිත්  ජයතිලක මහතාය. යහපාලනය සඳහා බලයට පත් වී ගෝඨාභය සමග කරන කුමන්ත්‍රණය කුමක්ද යන්න සිතා බැලිය යුතු ප්‍රශ්නයකි. මහින්ද යුගයේ දුෂණ සොයමින් දූෂණ විමර්ශන කොමිසමේ කටයුතු හොඳින් මෙහෙයවමින් සිටි දිල්රුක්ෂි මික්‍රමසිංහ මහත්මියට ඉල්ලා අස්වන්නට සිදුවන තැනට  ක්‍රියා කිරීම එයට සාක්ෂියකි.

එමෙන්ම බලයට පත්වන විට තමා ස්වාධීන ජනාධිපති ජනාධිපතිවරයකු වන බව  කී මෛත්‍රි පත් වී මාසයක් යන්නට පෙර මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී. ලං. නි. ප. නායකත්වය ලබාගන්නේ ඊළග දේශපාලන ගමනේ සැලැසුමක් ලෙස මිස වෙන කුමකට ද? මාදුළුවාවේ හිමි ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරී‍න්ගේ සැලසුම වූයේ පාර්ලිමෙන්තුවේ බහුතරය වන පක්ෂයට ජනාධිපති ධුරය අහිමිව තිබෙන තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනාධිපති ධුරය තමන් අතේ නැතිවිට එම පක්ෂය එය අහෝසි කිරීමට සහය දෙනු ඇත යන විශ්වාසය මත එම සැලසුම ගොඩ නගා තිබිණ. මෛත්‍රී කළේ එලෙස සිවිල් සමාජය හා එජාපය තමන්ට ලබා දුන් ජනාධිපති ධුරය ශ්‍රී ලං.නි.ප. යට ලබා දීමයි. එතැන් සිට එම කණ්ඩායම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මාරාන්තික විරෝධයක් දැක් වූ ආකාරය කාටත් මතක තිබෙන කාරණයකි. දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය සම්මත කරගන්නා ලද්දේ රටේ ජනමතයේ ප්‍රබලත්වය නිසා මිස පාර්ලිමේන්තු බහුතරය කැමැත්තෙන් එකඟ වූ නිසා නොවන බව පැහැදිලි කරුණකි.

‘මහින්ද සමග නැගිටිමු!’

2015 පෙබරවාරියේ මහින්දවාදීන් නුගේගොඩින් ඇරඹූ ‘මහින්ද සමග නැගිටිමු!’ ව්‍යාපාරයට සම්බන්ධ වූ ශ්‍රී  ලං. නි. ප. කණ්ඩායමට එරෙහිව මෛත්‍රී විනය පියවර ගත්තේ නැත. මහනුවර දී තව පිරිසක් ද පසුව තවත් පිරිස් ද එම ව්‍යාපාරයට එක් වූහ. මෛත්‍රී එයට ඉඩ දුන්නේ හා විනය පියවර නොගත්තේ දුර්වලතාවය නිසාද නැතහොත් තමන්ගේ අනාගත සැලැස්ම වූයේ ද ‘මහින්ද සමග නැගිටිමු!’ යන්න නිසාද යන්න දැන් කල්පනාවට ගත යුතු ප්‍රශ්නයකි.

අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෛත්‍රී ඊළඟ පිවර තැබුවේ මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණයට තරග කිරීමට ඉඩ සලසා දීමෙනි. ජනවාරි 8 සඳහා තමන් සමග එක් වූ සගයන්ගේ විරෝධය මෛත්‍රී තුට්ටුවකට ගණන් ගත්තේ නැත. රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අර්ජූන රණතුංග, පාඨලී චම්පික රණවක, ජයම්පති වික්‍රමරත්න ආදීන්ගේ විරෝධයට පයින් ගසා මෛත්‍රී, මහින්දට අපේක්ෂකත්වය ලබා දුන්නේය. ඉහත කී පිරිසට සිදු වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රැකවරණය ලබන්නටය. මෛත්‍රී තරමක් මට්ටුවුණේ මහින්දවාදීන් මැතිවරණයේ දී මෛත්‍රීගේ සගයන් ගෙදර යවන්නට ක්‍රියා කළ විටය. එස්. බී., ඩීලාන් ආදීන්ට පිං මන්ත්‍රීකම් හා පිං ඇමතිකම් ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

චන්ද්‍රිකාට කළ දේ

පොදු අපේක්ෂකත්වයට මෛත්‍රී රැගෙන ආ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට පහර දී පැත්තකට කිරීමට ද මෛත්‍රී පැකිලුනේ නැත. ඒ සඳහා ඔහු භාවිතා කළේ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක වැනි උදවියයි. එය කළ ආකාරය මහාචාර්ය සරත් විජේසූරිය මහතා පසුගිය දිනවල පැහැදිලි කළේය.

ජනාධිපති මෛත්‍රිගේ ඇත්ත සැලසුම ති‍බුණේ මහින්ද සමග නැගිටින්නට ය යන්න ඉහත සිදුවීම් පෙළ ගසන විට පෙනෙන කාරණයකි. එම ඇත්ත සැලසුමේ නියම ප්‍රකාශය කළේ ඩිලාන්ය. පාරවල් දෙකෙන් සිරිපාදේ වඳින්න ගිහින් නල්ලතනින්යේ දී හමුවෙන බව ඔහු මුල සිටම ප්‍රකාශ කළේය. දැන් මේ සිදුකොට තිබෙන්නේ එකය.

ඇතැම් කරුණු සලකා බැලීමේ දි පෙනී යන්නේ මහින්ද, මෛත්‍රී දෙපාර්ශවයම ඒකාබද්ධ සැලසුමකට අනුව ක්‍රියාත්මක වූ බවයි. මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එදත් අදත් මෙය හොඳින්ම දකින්නට ලැබේ. එය සිදු වූ මොහොතේ සිටම මෛත්‍රී ජනාධිපති උත්සාහ කළේ එය රනිල් කළ හොරකමක් බව කියන්නටය. ඒකාබද්ධ විපක්ෂයත් මහින්වාදීනුත් එම ප්‍රචාරය විශාල ලෙස ගෙන ගියේ බොරු කන්දක් කියමිනි. මහින්ද පිලේ හොරණෑ බවට පත්ව තිබූ ජනමාධ්‍ය එය තදින්ම ප්‍රචාරය කළේ රනිල් ගැන දන්න එ.ජා.ප. පක්ෂිකයන්ට පවා පවා සැක මතුවෙන ආකාරයෙනි. ප්‍රචාරයේ තරම අනුව ‘ඇත්තටම මම හොරකම් කළා ද?’ කියා රනිල් වික්‍රමසිංහ මහතා ට පවා සිතුණා විය හැකිය.

පට්ටපල් බොරු

දැන් ජනාධිපති  කොමිසම කියා ඇත්තේ රනිල් ගේ, මලික් ගේ හෝ එ.ජා.ප.යේ හෝ සම්බන්ධයක් මෙම සිදුවීමට නැති බවයි. එ.ජා.ප. ය හෝ රනිල් මුදල් ගෙන නැති බව ද කියා ඇත. කොමිසන් වාර්තාවේ 30 පර්ච්ඡේදය වෙන්කොට ඇත්තේ ඒ කතාව කියන්නටය. අනෙක් අතට කොමිසම කියා ඇත්තේ මෙම අයථා ගණුදෙනු 2007 තරම් ඈත කාලයේ සිට සිදුව තිබෙන බවයි. වැඩිම සොරකම් සිදුව ඇත්තේ ඒ කාලයේය යන්න කොමිසම කියා ඇත.

තවමත් ජනාධිපති මෛත්‍රී කියන්නේ කුමක් ද ‘බලයට ඇවිත් මාස දෙකෙන් මහ බැංකුව කැඩුවා’ කියා ය. ඒකාබද්ධය හා මහින්දවාදීන් කියන්නේ මෙය ලොකයේ ලොකුම හොරකම කියා ය. බිලියන දහයේ ගනුදෙනුවකින්  ට්‍රිලියන ගණන් හොරකම් කළ බවකි. මේ කතා කියනනේ මහින්ද රාජපක්ෂ කාලයේ දූෂණ වසා ගන්නට මිස අන් කිසිවක් නිසා නොවේ. මේ කරන්නේ සැබෑ හොරුන් රකින්න බොරු හොරුන් මවන එකය. එය කරන්නේ මෛත්‍රී පිලත් මහින්ද පිලත් කතාබහ කරගෙන නැතහොත් හොඳ අවබෝධයක් ඇතිවය. මෙහි දී ජනාධිපති මෛත්‍රී තමා පත්කළ කොමිසමේ නිගමනද විකෘති කොට බොරු කියන්නේ මහින්ද පිලේ දූෂිතයන් රකින්නය. එමගින් තමන්ට යළි බලයේ ඉන්න ඉඩක් හදාගන්නටය.

කලක සිට තිබූ එකඟත්වයක්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා දෙන්නේ ඔක්තෝබර් 26 දා ය. එසේ වුව ද ඒ සඳහා එකඟත්වයක් කලක සිට තිබූ බව ඇතැම් සිදුවීම් නිසා සැක කළ හැකිය. එනම් ආණ්ඩු විරෝධයක් ගොඩනගා සුදුසු අවස්ථාවක් සලසා දුනහොත් මහින්දට අගමැතිකම දීමට මෛත්‍රී සූදානම්ව සිටියා ද, එකඟවී සිටියා ද? යන්නයි.

2018 පෙරවාරි 10 පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කළේ ‘මහින්ද අගමැති කරවීමේ’ සටන් පාඨය යටතේය. ඔවුන් ජනතාවට කීවේ ඔබ ඡන්දය දෙන්න. මහින්ද අගමැති කරන හැටි අපි පෙන්වන්නම් කියාය. එම කතාව කීවේ ඉතාම විශ්වාසයකිනි. ඒ මොහොතේ පොහොට්ටුවට රැල්ලක් ඇතිවූයේ එහෙමය. කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ජන රැල්ලක් නොවීම නිසා එම වැඩේ අසාර්ථක වන්නට ඇත.

සැප්තැම්බරයේ දී පොහොට්ටුවෙන් තවත් රැල්ලක් හදන උත්සාහයක් ක්‍රියාත්මක විය. එදා කීවේ විශාල ජනතාවක් රැගෙනවිත් කොළඹ වටලා අග නගරය නිශ්ක්‍රිය කොට ආණ්ඩු බලය ලබා ගන්නා බවයි. එසේ කීවේ ඒ සඳහා ජනාධිපතිරයාගේ පැත්තෙන් ද යම් සහයක් තිබූ නිසාද යන්න ප්‍රශ්නයකි. පෙනෙන්නට තිබෙන්නේ එසේ වීමට ඉඩ කඩ තිබූ බවයි. එසේ වුවද කොළඹට දැනෙන්න සෙනගක් ගෙනෙන්නට පෙහොට්ටුව ට හැකිවූයේ නැත.

දේශපාලන නාඩගමේ අවසානය

ඊට මාස එකහාමාරකට පසුව ආණ්ඩු වෙනස සිදු වන්නේ වෙනත් ආකාරකයටය. ශී.ලං.නි.ප.ය ආණ්ඩුවෙන් ඉවත් වීමේ අවස්ථාව කරගෙනය. එහි ප්‍රතිවිපාක රටට ම දැනුණේය . එය මහින්ද සමග නැගිටින්නට මෛත්‍රී දරණ උත්සාහයේ තවත් අවස්ථාවකි.

දැන් තිබෙන‍්නේ මේ දේශපාලන නාඩගමේ අවසන් අවස්ථාව බව පෙනෙන්නට තිබේ. ජනාධිපති මෛත්‍රී තවමත් හදන්නේ මහින්ද සමග නැගිටින්නටය. එසේ වුව ද මහින්දට ප්‍රශ්නය වී ඇත්තේ මෛත්‍රී සමග එක්වුවහොත් තමන්ට ද නැගිටගන්නට බැරිවෙන එක විය හැකිය. කෙසේ හෝ බලය සඳහා කරන මෙම කුමන්ත්‍රණ වලින් රටට තවත් හානි සිදුවීමට ඉඩ නොතැබිය යුතුය.

සී.ජේ. අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *