ගෝරි දැමු එජාප පසුපෙළ අගමැති රනිල්ට අවනත වෙයි !

පසුගිය සති අන්තයේදී සිරිකොත ගමට ගෙනයාමේ සංකල්පය හාපුරා දියත් වූයේ කළුතර දිස්ත්‍රික්කය තුලය. අගමැතිවරයාගේ උපදෙස් මත එජාප මහ ලේකම් අකිල එය සංවිධානය කොට තිබිණ. එජාපෙ සියළු ඇමතිවරු පාර්ලිමේන්තු හා පලාත් සභා මෙන්ම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුද දිස්ත්‍රික්කය පුරා සාර්ථකව එය දියත් කළහ. අලුත් සාමාජිකයන් දස දහස් ගණනක් බඳවා ගැනීමද එහිදී සිදු කෙරින. වහලය නිරාවරණය කළ කොල පාට තට්ටු දෙකේ බස් රථයකින් අගමැතිවරයා දිස්ත්‍රික්කයේ එම බසයට යාහැකි බොහෝ ස්ථාන කරා ගියා පමණක් නොව ගෙන් ගෙට ගොස් සාමාජිකයන් බඳවා ගැනීමද සිදුකළේය. රාජිත, අජිත්, තෙවරප්පෙරුම හා විජයමාන්න ඇතුළු දිස්ත්‍රික් සංවිධානයද ඒ සඳහා දැඩි කැපවීමක් සිදුකොට තිබිණ.

“අපි ගෙවල් වලට ගියාම කොස්ස නැත්තන් දොර පොල්ල ගන්නකන් බලාහිටපු පොහොට්ටු හා ශ්‍රීලනිප අයට ජනතාව හොඳ උත්තරයක් දුන්නා.” දිනය අවසානයේදී අජිත් පී පෙරේරා කීවේ අගමැතිටය.

“අපි මුලින් අධික ණය බර හා ලෝකය තුල කොන් වූ රට බේරගන්නයි අවධානය යොමු කළේ. ජනතාව ගැන බලන්න වුණේ ඊට පස්සේ. ගමේ සංවර්ධනය, තරුණයන්ට රැකියා, ශිෂ්‍යයන්ට අධ්‍යාපනය හා ජනතාවට සහන දීම දැන් පටන් ගත්ත නිසා අපි ගම් වලට ගිහින් ජනතාවගෙ සෙසු ප්‍රශ්නත් හදුනා ගන්න හා ඒවාට විසඳුම් දෙන්නයි සිරිකොත ගමට සංකල්පය දියත් කළේ. මිනිස්සු අද පවතින නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගය කළා. තාම 2015 ට වඩා ජීවන බර අඩුයි කියලත් ඔවුන් පිළිගත්තා. විපක්ෂයේ බොරු මඩගැසීම් ඔවුන් ප්‍රතිකේෂ්ප කරන බවත් කිව්වා. ගිය හැමතැනම කෑමෙන් බීමෙන් සංග්‍රහ මිසක් වචනෙකින්වත් කවුරුවත් විරුද්ධ වුණේ නෑ.” අගමැතිවරයා කීවේය.

අනතුරුව අයවැය දෙවනවර කියවීමේ විවාදය හා ඊට අදාළ ඡන්ද විමසීම සාර්ථක කරගැනීමට අගමැතිවරයා සභානායක කිරිඇල්ල ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගයන්ත ඇතුළු සියළු දෙනා දැඩි අවධානයක් දැක්වූහ. ඒ අනුව මෙම අයවැය පරාජය කොට ආණ්ඩුව ගෙදර යැවීමේ පොහොට්ටු හා ශ්‍රීලනිප මෙන්ම ජවිපෙ සිහින අගහරුවාදා සවස බොඳවූයේ රාජපක්ෂවරු ඇතුළු සියළු දෙනා අන්ද මන්ද කරවිමිනි. අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබෙන විට විපක්ෂයට හිමිවූයේ 76ක් පමණි.

“මහින්ද රාජපක්ෂ මේ අයවැයට විරුද්ධව ඡන්දය දීපු එක ලෝක පුදුමයක්. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගෙ සහායත් ගන්න සියළු සැලසුම් දියත් කළත් අන්තිමේ ඔවුන් පොහොට්ටුවටයි එයාල එක්ක එකතු වෙච්ච ශ්‍රීලනිප 16 දෙනාටයි කොකා පෙන්නුවා. ඒ පිටුපස ජනපති මෛත්‍රීත් ඉන්න ඇති.” ලක්ෂ්මන් කිරිඇල්ල එම විග්‍රහය කළේ අයවැය ඡන්දය ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමත් සමග අගමැති ඇතුළු එජාප ප්‍රධානීන් හමුවේය.

එහෙත් ඊට පසුදා සම්මත වීමට තිබූ ජනපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් එජාප පසුපෙළ තුල තිබුණේ දැඩි විරෝධාකල්පයකි. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, ඉඳුනිල් අමරසේන,  බන්දුලාල් බණ්ඩාරගොඩ ප්‍රමුඛ එජාප පසුපෙළය.

“මේ ජනාධිපති අපි පත් කළාට මාස කීපෙකට පස්සෙ ඉදලා එයාව පරාද කරන්න දඟලපු ශ්‍රීලනිපයක් බදාගෙන ඉතා පහත් විදියට ආණ්ඩුවට ගැහුවා. ජනතාව වෙනුවෙන් කරපු සංවර්ධන කටයුතුවලදීත් සහන ලබාදීමේදීත් ඊට විරුද්ධ වුණා. උපාධිදාරීන් හා උ.පෙළ සමතුන්ට රැකියා 7500ක් දෙන කැබිනට් පත්‍රිකාවටත් අකුල් හෙලුවා. ආණ්ඩුව ඉතා අමාරුවෙනුයි මේ අවුරුදු හතරේ රටට වැඩකළේ. එජාප පසුපෙළ ස්ථාවරය වන්නේ එයය.

“අපේ ආණ්ඩුවට විරුද්ධව ශ්‍රීලනිපය බදාගත්ත ජනපති දැන් පොහොට්ටුවත් බදාගන්න දගලනවා. ජනාධිපතියි ශ්‍රීලනිප කට්ටියයි ආණ්ඩුව ඇතුලෙ ඉදන් ආණ්ඩුවට ගහපු නිසයි පලාත් පාලන අපි පැරදුනේ. පොහොට්ටුවට නැති දිනුමත් ලබාදෙන්න මෙයාලයි මූලික වුණේ. රාජපක්ෂලගෙ හොරකම් අල්ලන්න ආපු ජනාධිපති දැන් ඒ හොරුන්ගෙ කරට අත දාගෙන ඒ හොරකම් යට ගහමින් මේ ආණ්ඩුවේ කුණු හොයනවා. එහෙව් ජනාධිපතිට  දවසකට කෝටි 4 ක් වියදම් කරන්න අපි සහය දෙන්නෙ මොන බම්බුවකටද?” මුජිබර් රහුමාන් අදහස් පළකලේ දැඩි ස්ථාවරයක හිදිමිනි.

එජාප පසුපෙළ තුල ගිනියම්ව තිබූ ජනපති විරෝධය අගමැති ඇතුළු මැති ඇමතිවරුන්ටද විශාල ප්‍රශ්නයක් විය. එහෙයින් අගමැති සභානායක ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පසුපෙළ හමුවීමෙන් මෙන්ම දුරකථන හරහාද සාකච්ඡා වට කිහිපයක්ම සිදුකළේ තත්වය සමනය කරගැනීමටය. එහෙත් ජනපති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට  ඉදිරිපත් වූ විගස ඒ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව චමින්ද විජේසිරි ප්‍රකාශ කිරීමත් සමග තත්වය වඩා ව්‍යාකූල විය. එහිදී අගමැතිවරයා මෙන්ම සභානායක කිරිඇල්ල නැගිට මන්ත්‍රීවරුන් සන්සුන් කරමින් එවැනි බෙදීමක් අනවශ්‍ය බව ප්‍රකාශ කිරීම තුල මන්ත්‍රීවරු සිය නායකයන්ට හිස නමා රිවස් ගියහ.

“සිය විරෝධය සටහන් කර ගනිමින් ඡන්දයක් නොපවත්වන ස්ථාවරය කතානායකතුමා පිලිගන්න” එජාප පසුපෙලේ යෝජනාව ඒ අයුරින්ම ඉටුවූයේ එපරිද්දෙනි. අනතුරුව එජාප නායකයන්ට දොස් නැගීම පවා පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තැන තැන සිදුකළ බවද කියවේ.

“අපේ ඡන්දෙ අරන් අපිටම කෙලින්න සමහරුන්ට ලැජ්ජ නැති වුණාට අපට විනයක් තියනවා. අපේ නායකයන් කී දේ අන්තිමට අපි ඇහුවේ ඒකයි. ඒත් මේ සටන නිම නෑ. ඉදිරියටත් ජනාධිපති හෝ ඕනම කෙනෙක් ආණ්ඩුවේ කටයුතු වලට කකුල් මාට්ටු දාන්න ආවොත් අපි මීට වඩා දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ තනාපති කාර්යාල නිලධාරීන්ගේ විශේෂ හමුවකටය. ඊට පෙර පැමිණ සිටි මැති ඇමතිවරු සමගද ඔහු සුපුරුදු ලෙස කතාබහ කළේය.

“ජේවීපී නැතුව ඡන්ද 70යි පොහොට්ටුවට තියෙන්නෙ. එහෙම කට්ටිය ආණ්ඩුව ගෙදර යවන්නයි අපිට 113ක් නැහැයි කියලත් විකාර කියවනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“”ඉවසුවා ඇති” නුවර රැස්වීම අනාතයි නේද? 2500ක් වත් ඉදලා නෑ. ගෝඨා බැසිලුත් පොල්ල තියලා.” දයා ගමගේ කීවේය.

“පොහොට්ටු ශ්‍රීලනිප දීගය පුපුරල ඉවරයි. දැන් බැසිල් ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ගෝඨා ඒ අස්සෙ බොරුවට ප්‍රමෝට් කරනවා. අන්තිමට බැසිල්ගෙ ගම් මට්ටමේ නෙට්වර්ක් එක බස්සලා සියල්ල විනාශ කරාවි. පොහොට්ටු-ශ්‍රීලනිප සංධාන කතාවල අන්තිම ප්‍රතිඵලයත් ඒකම තමයි කියලයි හුඟ දෙනෙක් කියන්නෙ” නවීන් දිසානායක කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පලවිය.

“ජිනීවා සමුළුවට යවන්න ජනාධිපති විපක්ෂයේ තුන්දෙනෙක් නම් කළා. ඒ වගේ සමුළු වලට විපක්ෂයේ අය විතරක් යවන්න දැඟලීමම ජාත්‍යන්තර දේශපාලනය ගැන නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමක් කියලයි හුඟ දෙනෙක් කියන්නෙ” ගයන්ත කරුණාතිලක කීවේය.

“බ්‍රිතාන්‍යයේ ජිනීවා යෝජනාව අපිට ලොකු අවුලක් නෑ. මේකට පදනම දැම්මෙ මංගල විදේශ ඇමති කාලෙයි. අන්තිමට මංගලයි මාරපනයි ගිහින් ජනාධිපති හමුවුණා ඒ අගමැතිතුමාගෙ උපදෙස් මතයි. අන්තිමට ජනාධිපති තත්වය තේරුම් අරන්. අගමැතිගෙනුත් උපදෙස් ගන්න කියලා තියනවා.” නවීන් දිසානායක පැහැදිලි කළේය.

“නොයෙක් දේවල් කරන්න අපි ජිනීවා වලින් කල් ගත්තා. ඒත් සමහර දේවල් අතපසු වුණා. දින 52 කුමන්ත්‍රණය රටට තවත් අවුලක් ගෙනාවා ඒ නිසා මේ පාරත් ලෝකෙත් එක්ක හැප්පෙන්න නොගිහින් ඇත්ත කියලා තවත් කල් ගනිමු. එහෙම නැතුව අපි ජී.එස්.පී. හා මාළු තහනම වගේ සම්බාධක බලෙන් ගෙන්නගන්න නරකයි.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“අර ගුරුවරුන්ගෙ වර්ජනය එළියට එන්නට කලින් ෂේප් කරගන්න තිබුණා.” නවීන් දිසානායකගේ අදහස එය විය.

“වෘත්තීය සමිති එක්ක මීට වඩා කිට්ටුවෙන් වැඩ කරන්න ඕන. මම අධ්‍යාපන ඇමති කාලෙ එහෙම කරපු නිසා ප්‍රශ්න ආවෙ අඩුවෙන්. පාසැල් ගොඩනැගිලි හදනව වගේම ගුරු සේවය එක්කත් ඉතා සුහද වෙන්න ඕනෑ. අකිල ඒ වැඩේ දැන් කරගෙන යන නිසා අනාගතයේදී ප්‍රශ්න අඩුවේවි” අගමැතිවරයා කීවේ එවැන්නකි.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *