නඩු අවනඩු – සම්පත් අමරසිංහ

“ඇත්තටම මම ඉතාමත් ගෞරව කරනවා මහාධිකරණය මෙම නඩුව විභාග කරගෙන යනකොට මේ නඩුව සඳහා සාක්ෂි එකක් වත් අපි ඉදිරිපත් කළේ නැහැ. ඇයි අපි ඉදිරිපත් කලේ නැත්තේ. අපි දැනගත්තා මේ රජය විසින් එසේ නැතිනම් නීතිපතිවරයා විසින්  ඉදිරිපත් කරන සාක්ෂි වෙනුවෙන් ඉදිරිපත් කරන ඒවා කියලා. මම දන්නේ නැහැ ඒක හාස්කමක් ද කියලා. මොකක් හරි සුවිශේෂී බලයක් නිසාද නැතිනම් ඔවුන්ගේ අඩුපාඩුවක් නිසා ද නැතිනම් ඔවුන්ගේ මන්ද බුද්ධිකකම නිසාද ද්වේශය  මුල් කරගෙන කටයුතු කළ නිසාද දන්නේ නැහැ. කොහොම හරි ඒ සියලු සාක්ෂි ඉතාම පැහැදිලි වුණා. ඉතාම පැහැදිලිව පෙන්නුම් කළා මේ කාරණාවට මට චෝදනා කරන්න කිසිවක් නැහැයි කියන එක”.

ඉහත උපුටා දැක්වුවේ නීති විරෝධී අලි  පැටියෙකු ළඟ තබා ගැනීමේ චෝදනාවෙන් අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබීමෙන් පසුව උඩුවේ ධම්මාලෝක හිමි 2019 3.10 වන ඉරිදා ලංකාදීප පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවෙන් කොටසකි.

ධම්මාලෝක හිමි කියන ආකාරයට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ල වෙනුවෙන් නොව විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ඒවාය. උඩුවේ හිමියන්ට අලි නඩුවේ දී නිදහස ලැබුනේ  රාජ්‍ය  දේපළ සන්තකයේ තබාගැනීම යන  චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීම්ට පැමිණිල්ලල්ල පාර්ශ්වයට නොහැකි වීම හේතුවෙනි.

අදාල නාරාහේන්පිට විහාරස්ථානයේ අලි පැටවා අත්අඩංගුවට ගන්නාවිට ධම්මාලෝක හිමි විහාරස්ථානයේ හිද එසේඳ නැත. එසේ වුව පන්සල ධම්මාලෝක හිමිට සම්බන්ධ නම් අලි පැටියා සිටියේ පන්සලේ නම් අලි පැටියා  ධම්මාලෝක හිමිගේ භාරකාරත්වය යටතේ, පාලනය යටතේ සිටි බව  අමුතුවෙන් කිවයුතු නැත. එසේ වුව හෙළිදරව් වන කරුණු අනුව නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කිරීමේදී පාලනය සහ භාරකාරීත්වය හිතාමතා හෝ නොසැලකිල්ල නිසා හෝ මගහැර ඇති බව පෙනේ. ධම්මාලෝක හිමිගේ ඉහත ප්‍රකාශයෙන් ද කියැවෙන්නේ එයයි. හාස්කමක් ද සුවිශේෂී බලයක් ද මන්දබුද්ධික කමද නොවැටහෙන බව ධම්මාලෝක හිමි කියයි.

කුමක් වුව එතන වරදක් ඇති බව බැලූ බැල්මට පෙනේ. නඩුවක් ඔප්පු කිරීමට කරුණු කාරණා සාක්ෂි නැත්නම් නඩුවක් ගොනු කළේ කුමට ද? යන්න මූලික ප්‍රශ්නයයි. “නඩු යන්නෝ  වැනසෙන්නෝ” යැයි පැරණි කියමනක් තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් නඩු ගිය විට වැනසෙන්නේ ඔවුන්ගේ මුදල් නොවේ. ජනතාවගේ මුදල් ය. උසාවි නඩත්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ පඩිනඩි වලට වැය කරන්නේ ජනතාවගේ සිනි කිලෝවට, හාල් කිලෝවට පෙට්රල් ලීටරයට  බදු පනවා අයකර ගන්නා මුදල් වන බැවිනි.

උඩුවේ හිමි සිර ගත කිරීමට හෝ වෙනත් දඬුවමක් ඒ මහතාට පැනවීම්ට හෝ අපට හදිසියක් නැත. එහෙත් කවරෙක් වුව වරදක් කර ඇත්නම් ඊට නිසි දඬුවම් පැමිණවිය යුතුය. දඩුවම් පැමිණවිය හැකි වන්නේ  පිළිවෙළට නඩු ගොනු කිරීමෙනි. නිසි පරිදි සාක්ෂි ඉදිරිපත් කිරීමේනි. උඩුවේ  හිමිට කියන ආකාරයට නීති පාර්ශවයෙන් මුල පටන් මටන්ම කටයුතු කර ඇත්තේ උඩුවේ හිමිට වාසිසහගත ආකාරයටය. ඒ  ප්‍රකාශය ඇත්තක් නම් එසේ වූයේ කවර හාස්කමක් ද යන්න විමසා බැලිය යුතුය.

අලි නඩුවලින් මෑතදී නිදහස් ලැබුවේ උඩුවේ හිමි පමණක් නොවේ.අලි රොෂාන් ද  නිදහස ලැබීය. අලි රෝෂාන්ගේ නඩුවේදී නීතිපති වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පිරිස්  අධිකරණයට පවසා තිබුණේ අලි රොෂාන් අවුරුදු පහළොවක් අලි පැටව් අල්ලා ඇති බවයි.

හීලෑ අලින් 359 ලියාපදිංචි කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොතේ  සඳහන් බවත්, අලින් 17ක ගේ  සටහන් ටිපෙක්ස් කර ඇති බවත්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වැඩිදුරටත් කියා තිබේ.

පොලිසිය කියා තිබුණේ, රොෂාන් අලි පැටවුන් 39ක් විකිනීමට  සෘජුව සම්බන්ධ බවට රහස් පොලිසිය සතුව තොරතුරු ඇති බවයි.

කව්රු  කුමක් කෙසේ කීවද, අලි රොෂාන්ගේ නඩුවද ද කෙළවර වී ඇත්තේ ඔහු චෝදනා වලින් නිදහස් වීමෙනි.  ඔහු එම වැරදි නොකළ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වූ  නිසා නම් ගැටළුවක් නැත. ගැටලුව වන්නේ අලි රොෂාන් නිදහස් වන්නේ නඩුව පැවරූ ආකාරයේ වරදක් නිසා වන බැවිනි.

විත්තිය වෙනුවෙන්  පෙනී සිටි නීතිඥයන් කිවේ, අලි රොෂාන් ඇතුළු හත් දෙනාට විරුද්ධව නඩුව ගොනුකර ඇත්තේ පොදු  දේපළ පනතේ 5(3) උප වගන්තිය යටතේ ගැනෙන සොර බඩු ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ බවයි. එම චෝදනාව විභාග කිරීමට අධිකරණ සංවිධාන සංශෝධන පනතේ 6 වන උපලේඛනය යටතේ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණයට බලයක් නොමැති බවයි. නීතිඥයන් දැක්වූ  අදහස අනුව සම්පත් අබේකෝන් විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය විත්තිකරුවන් නිදහස් කරන්නට යෙදුණි.

කොළඹ  විශේෂ මහාධිකරණය පිහිටුවා ඇත්තේ බරපතළ මූල්‍ය වංචා ඇතුළු නිශ්චිත කරුණු ප්‍රමාණයකට බව පැවසේ.  ඒසේම වන සම්පත් ආඥා පනතට ගෙන වැරදි විභාග කරන්නට එම අධිකරණයට බලයක් නොමැති බවද කියැවේ. නීතිපති විසින් පෙන්වා දුන්න ද එවක වන ජීවී අමාත්‍යවරයා වූ ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා එකී කරුණු  දැක්වීම නො පිළිගැනීම හේතුවෙන් අලි රොෂාන් ඇතුළු පිරිසට  පැවරූ නඩුව මේ ආකාරයෙන් කෙළවර වූ බවද පැවසේ. කෙසේ වෙතත් ඇමතිවරයා වැරදි නම් ඔහු ඉක්මවා කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාව ඇතැයි සිතීම අසීරුය.

උඩුවේ හිමි  සම්බන්ධ නඩුවේ දී එම හිමි භාරයේ අලියා සිටියේ ය යන කරුණ නඩුව ගොනු කිරීමේදී මගහැරී ඇති බවත්, අලි රොෂාන්ට එරෙහි නඩුවේ දී වනයෙන් සොරකම් කරන ලද යන කොටස මගහැරී ඇතිබවත් කියති.  අලි රෝෂාන්ගේ නඩුවේදී රාජ්‍ය  දේපළ සොරකම් කිරීම් යන කරුණු ද ගොනු කර නැති බව කියන අතර, එකී අඩුපාඩු සහිතව දුර්වලතා දුර්වල චෝදනා ගොනු කිරීම මුදාහැරීමේ අරමුණ ඇතිව කළේද යන්න ඇතැමුන් සැක පහළ කරති.

මෑත කාලයේ රජයේ මුදල් උසාවියේ වටිනා කාලය නිරපරාදේ වැය කරමින් කෙළවර වූ එකම නඩු ධම්මාලෝක හිමිගේ හෝ අලි රොෂාන්ගෙ නඩු නොවේ. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් 2010 –  2015 කාලය තුලදී වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදීම සම්බන්ධව නඩු පහක් 5ක් ගොනු කරන්නට යෙදුණි. එහි පළමු නඩුව එනම් 2010 වසරේ වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරීමට අදාළ චෝදනාවෙන් ජොන්ස්ටන් මහතා නිදහස් කරනු ලැබුණේ, චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්වීම හේතුවෙනි.

එපමණක් නොවෙයි, වයඹ  පළාත් සභා මැතිවරණයට සතොස භාණ්ඩ අපහරණය කළේ යන චෝදනාව මත ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා තිබුණ නඩුවකින් ඔවුන් සියළුදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල  මහාධිකරණය තීන්දු කළේ නඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් නඩුකරයක් සහ සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව පෙන්වා දෙමිනි.

ඉහත කාරණා සියල්ල සලකා බලන කල මෑතකාලීනව අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ නඩු සම්බන්ධව කුමක් හෝ වරදක් පවතින බව බැලූ බැල්මටම පෙනේ .විශේෂයෙන් ම ඉහත කරුණුවල දී චෝදනා එල්ලවූ  මහින්ද රාජපක්ෂ පාලනය සමග සමීප සබඳතා පැවැත්වූ බව ද රහසක් නොවේ

මහින්ද පාර්ශවයෙන් නිරන්තරව නැගෙන චෝදනාවක් වන්නේ විශේෂ අධිකරණ මූල්‍ය  අපරාධ කොට්ඨාසය  වැනි ආයතන යනු ඔවුන්ගේ දේශපාලන පළිගැනීම් සඳහා ගොඩනැඟූ ආයතන බවයි. මේ ආකාරයෙන් ඔප්පු කළ නොහැකි නඩු හෝ සුදුසු නොවන තැන් වලට යොමු කරන නඩු හෝ සුදුසු නොවන තැන් වලට යොමු කරන නඩු හෝ හේතුවෙන්  නොකළ වරදකට තමන් පටලවන්නට ආණ්ඩුව  උත්සාහ කරන්නේ යන තර්කය තහවුරු වීමයි.

එයද  ගැටලුවක් නැත. එය ආණ්ඩුවත්  මහින්ද පාර්ශවයත්  විසඳාගත යුතු කරුණක් බැවිනි. නමුත් මෙවැනි පලකට නැති නඩු වෙනුවෙන් වැය කෙරෙන රජයේ මුදල් සහ උසාවි වල කාලය සහ පිරිවැය වෙනුවෙන් කවරහු ද ගැටලුව වන්නේ එයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *