අවවාදය හා ආදර්ශය – නිශාන්ත කමලදාස

මේ දිනවල රිය අනතුරු බහුල ය. වැඩිමනත් ඒවා දේශපාලනඥයින් හා සම්බන්ධ ය. ජනතා මතය වී ඇත්තේ වගකිවයුතු ලොකු දේශපාලනඥයන් මේ චෝදනාවලින් නිදහස් වන බව ය. කුමන හෝ හේතුවක් නිසා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන බව ය. ලාල් කාන්ත එවන් ලොකු කෙනකු නොවුන නිසා ඔහුට පමණක් නීතිය ක්‍රියාත්මක වූ බව ය. බොහෝ අවස්ථාවල වින්දිතයන් හව්හරණක් නැතිව අසරණ වන බව ය. යුක්තිය පසිඳලීම සිදු නොවන බව ය. ඒ නිසා ම දිගින් දිගට ම මෙවැනි අනතුරු සිදු වන බව ය.

මේ කතාව රිය අනතුරුවලින් ඔබ්බට ද විහිද තිබේ. දේශපාලනඥයන් අසුවන අනෙත් කාරණය වී ඇත්තේ ස්ත්‍රි දූෂණ හා ළමා අපචාරය ය. ඒවායේ දී ද වින්දිතයන්ට මුදල් දී ෂේප් කර ගන්නටත්, තර්ජනය කර නිශ්ශබ්ද කර ගන්නටත්, නීතිය නමන්නටත් ඔවුන් සමත්ව ඇතැයි කියනු ලැබේ.

දේශපාලනඥයන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අනෙත් කාරණය ඔවුන් මැරකමේ ද මංකොල්ලකෑමේ ද යෙදෙන බව ය. උන් චණ්ඩින් වී ඇති බව ය. මිනිසුන්ගෙන් කප්පම් ගන්නා බව ය. එවැනි වාර්තා සෑම සතියකම පාහේ කොහේ හෝ තැනකින් වාර්තා වෙයි.

මේ සියල්ලට අමතරව තිබෙන සෙසු චෝදනාව වන්නේ වැඩි මනත් මත්ද්‍රව්‍ය ජවාරම් පිටුපස ඉන්නේ ඔවුන් බව ය. කොතරම් දැඟලුවත් මතට තිත තියන්නට නොහැක්කේ ඒ නිසා බව ය. මරණ දඬුවම ගේන බව කීවත් අතෝරක් නැතිව මත් කුඩු අසුවන්නේ ඒ නිසා බව ය. පොඩි මිනිහෙක් ඇතුළට ගියේ වුව ද මේවා පිටුපස ඉන්නා මහමොළකරුවන් දේශපාලන රැකවරණය ද ලැබ නිදහසේ සැරිසරන බව ය.

පුදුමයකට මෙන් මේ දේශපාලනඥයන් සඳහා රැකවරණය ලැබීමට ඔවුන් ආණ්ඩු පක්ෂයේ වීම ද අවශ්‍ය නැති බවක් ද බොහෝ සිද්ධි විමසන විට පෙනෙන්නට තිබේ. හෙට ලැබීමට ඉඩ ඇති බලයක් ද කල් ඇතුව භාවිතා කිරීමට තරම් ඇතැමුන් දක්ෂ නිසා ය.

මේ සිද්ධි දාමයට අමතරව මහ දවල් කැමරා ඉස්සරහ තියාගෙන රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ නැටූ නෙයියාඩගමක පරීක්ෂණ වාර්තාව ද එළි දැක තිබේ. ඒ වාර්තා නැතත් සිදු වූයේ කුමක් දැයි මුළු රටම කැමරා ඇස හරහා දැක ගන තිබුණේ ය. එතැන තිබුණේ මුග්ධ බලය භාවිතා කිරීමකි. ශාරිරික ප්‍රචණ්ඩත්වය මුදා හැරීමකි. රටේ උත්තරීතර ආයතනය මැර බලය යොදා කඩාකප්පල් කිරීමකි.

මේ වාර්තාව මත ක්‍රියාත්මක වෙතැයි ආණ්ඩුව පැත්තෙන් ලොකු කතා කියවුනත් එය ක්‍රියාත්මක කරන තෙක් ජනතාව එය විශ්වාස කරන එකක් නැත. එයට එක් හේතුවක් වී ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී බේරීමේ, බේරා ගැනීමේ, කතාවක් ද මේ සමග සංසරණය වන නිසා ය.

නිදහසට කියන කරුණු

මේ අය වැරදි කරනවා පමණක් නොවේ. ඒ සම්බන්ධයෙන් ලජ්ජා නොවනවා පමණක් නොවේ. ඒවාට ලැබෙන දඬුවම්වලින් වැළකීමට ද ලජ්ජා නැතිව ඉදිරිපත් වන බව ය. නිදහසට ද කියන්නට උන්ට කරුණු තිබෙන බව ය. ඒවා පිටුපස ඇති තර්ක ද බොහෝ විට ගහට නැග්ගේ තණකොළ කපනන්ට යැයි කියන හේතු පැහැදිලි කිරීමකට එහා යන්නේ ද නැති බව ය. වැරදි වැඩය කර ඇත්තේ තමන්ගේ පිළේ එකෙකු නම්, තම පවුලේ කෙනකු නම්, තම දරුනකු නම්, ඒ හොරුන් හා තක්කඩියන් රැකීමට ද ඒ බොහෝ දෙනකු පසු බාන්නේ නැතිව ඉදිරිපත් වන බව ය. පවුලේ නාමයෙන්, තමකමේ නාමයෙන්, පිළේ නාමයෙන්, ඉදිරිපත් වන බව ය. ඒ සඳහා දහසකුත් එකක් බොරු කියන බව ය. ඩීල් ගහන බව ය. නීතිය නමන බව ය.

මෙතැන කතා කළ යුතු කාරණා කිපයක් තිබේ. එකක් මේ දෙන ආදර්ශය පිළිබඳව ය. පළමුව, මේ අය රටේ නායකයෝ ය. නායකයන් හිටගෙන කරන දෙය අනුගාමිකයෝ දුව දුව කරන බව මිනිසුන් කියන්නේ නිකම් නොවේ.

එක් පැත්තකින් ඔවුහු වැරදි වැඩ කරමින් නරක ආදර්ශයක් දෙන අතර සිය බලය භාවිතා කරමින් ඒවාට ලැබිය යුතු දඬුවම්වලින් ද නිදහස ලබති. නීතිය තමන්ට අදාළ නොවන එකක් සේ හැසිරෙති. මේ තත්වය රටක විනයක් ඇති කිරීමට පිටිවහලක් ලබා දෙන්නේ නැත.

අද වැඩියත්ම මිනිසුන්ගේ ඉල්ලීම වී ඇත්තේ විනය යැයි ඇතැම් පාර්ශවවලින් කියනු අපට ඇසේ. ඒ විනය, මෙවැනි කටයුතු සිය නිශ්ශබ්දතාවයෙන් අනුමත කරමින් හදන්නට පුළුවන් අට මගලයක් නම් නොවේ. දෙනවා යැයි කියන ඒ විනයත් අවසානයේ ජනතාවට මිසක පාලකයන්ට නොවන්නේ ය. අප දන්නා පමණින් විනය හදන්නට අවශ්‍ය නම් පළමුව ආරම්භ කළ යුත්තේ ඉහළිනි. තමන් ළඟිනි. නායකයන් ඇදයට යන ගමන් කෙළින් යන්නට කියන තැනක විනය පිහිටුවීම පහසු කටයුත්තක් වෙන එකක් නැත.

පසුගිය දා මුහුණු පොතේ ලස්සන සටහනක් විය. “රිය අනතුරක් කරලා ලංකාවේ දඬුවම් විඳපු එකම සුපිරි පුතා එළාරගේ පුතා විතරයිද කොහේද බං“ යනුවෙන් එහි දැක්වුණේ ය. එළාර රජු විනය හැදුවේ නීතිය තම පුතාට ද එකසේ ක්‍රියාත්මක කරමින් ය. තමන් විසින් පරාජය කරනු ලැබුවේ වුවද ඔහු වෙනුවෙන් සොහොනක් ඉදි කොට ජනතාවට ගෞරව කරන ලෙස දුටුගැමුණු රජතුමන් විසින් නීති පනවන්නට ඇත්තේ ඇතැම් විට ඒ නිසා විය යුතු ය. විනය හදන්නට යන්නේ පවුලේ අය බේරා සෙසු අයට එම විනය ලබා දීමෙන් නම් රටට අබ සරණ ය. එහෙම විනය ඇති කළ හැක්කේ දරුණු මර්දනයකට ජනතාව යටත් කිරීමෙන් පමණක් නිසා ය.

ජනතා නියෝජනය

දෙවනුව, කිව යුත්තේ මේ විනය කඩන අය ජනතාවගේ නියෝජිතයන් බව ය. එයින් කියන කතාව ද වහකදුරු මෙන් තිත්ත ය. ජනතා නියෝජිතයන් යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් ජනතාව විසින් අනුමත කරන බව ය. ඒ උන්ගේ සියළු නොපනත්කම් එක්ක ය. මේ රටේ ඉන්නා බහුතරය එක්කෝ හය හතර නොතේරෙන ළදරුවන් ය. නැතිනම් ඇස් කන් නැති මිනිසුන් ය. නැතිනම් මොළය කළඳක් නැති සත්ත්ව කොට්ඨාසයක් ය. එසේ නොවන ජනතාවක් මෙවැනි මිනිසුන් තම නියෝජිතයන් ලෙස පත් කර ගනී ද?

වඩාත් ශෝචනීය කරුණ වන්නේ නායකයන් හොරුන් තක්කඩියන් හා මැරයන් වීම ම නොවේ. ඒ පිළිබඳව වගේ වගක් නැතිව, කෙළ පොදක් හෙලන්නේ නැතිව, උන්ට කඩේ යන මිනිසුන් සිටීම ය. උන් රැකීමට, බොරු කිමට, ඇත්ත වසන් කිරීමට, දහසක් කාරණා ඉදිරිපත් කරන උන් සිටීම ය.

එයට හේතුවක් විය හැක්කේ රටේ බහුතරයක් ද හොරකමින් වංචාවෙන් දිවි ගෙවිමට පුරුදු වී තිබිම විය හැකි ය. එහෙම අයට නායකයන්ගේ වැරදි, වැරදි ලෙස දැකීමට නොහැකි ය. තමන්ගේ පෞද්ගලික වාසියට, තම කණ්ඩායමේ පෞද්ගලික වාසියට, නායකයන් කටයුතු කරනවා නම් නායකයන්ගේ හොරකමේ, මැරකමේ, දිග පළල හොයන්නට එහෙම ජනතාවක් ඉදිරිපත් වන එකක් නැත.

තෙවනුව, මේ විනය කඩන අය රටේ ජනතාවගේ අයිතිවාසිකම් රැකීමට ඉන්නා අය ය. ජනතා අයිතිවාසිකම් රැකීමට ඉන්නා අය ම ජනතා අයිතිවාසිකම් සාහසික ලෙස අමු අමුවේ උල්ලංඝනය කරයි නම් ඒ ගැන කළ හැක්කේ කුමක් ද? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව යැයි අපේ මුතුන් මිත්තන් කීවේ මෙහෙම වෙලාවට ය.

මෙයින් කියවෙන ශෝචනීය කතාව නම්, එහෙමට පිලක් නැති, කඳවුරක් නැති, පොදුවේ රටට යහපතක් අපේක්ෂා කරන අවංක සුළුතරයක් මිනිසුන් මේ තුළ අසරණ වන බව ය.

නායකයෝ වැරදි වැඩ කිරීමෙන් නරක ආදර්ශයක් දෙනවාට අමතරව වැරදි කරන්නන් ආරක්ෂා කරමින් වැරදි ආදර්ශයක් දෙනවාට අමතරව තමන්ගේ සියළු පව් කෝවිලක පන්සලක පූජාවකින් සමා කර ගත හැකි යයි අනියමින් පෙන්වමින් ද සිටිති. ඒ, මේ රටේ දේවාල පල්ලි කෝවිල් පමණක් නොව ඉන්දියාවේ තිරුපති කෝවිල ද වැනි තව බොහෝ තැන් ද වන්දනා කරමිනි. ඒවාට පඩුරු පාක්කුඩම් පිරි නමමිනි. මේ තුළ ඔවුන් දෙන්නේ ද තවත් වැරදි ආදර්ශයකි.

පව් සමාකරන පුද පූජා

පළමුව, පුද පූජා වැනි සෝබන කටයුතුවලින් ප්‍රතිඵල ලබාගත හැකිය යන පණිවුඩය සමාජ ගත කිරීමෙනි. දෙවැනි ව, කොතරම් වැරදි වැඩ කළේ වුව ද මෙවැනි තැනක පිහිට ලබා, හාස්කමකින්, එවැනි වැරදිවලින් දඬුවම් නොලබා බේරිය හැකිය යන පණිවුඩය සමාජගත කිරීමෙනි. තෙවනුව, යහපතක් නොකළේ වුව ද, වෙහෙසක් නොදැරුවේ වුව ද, පඩුරු පාක්කුඩම් දෙවියන්ට පිරිනැමිමෙන් ජිවිතය ජය ගත හැකි යයි පෙන්වමින් මිනිසුන් තුළ මිථ්‍යාව සමාජගත කිරීමෙනි.

තෙවැනි පණිවුඩය ලද මිනිස්සු එහෙමකට යමක් මහන්සි වි කරන්නේ නැතිව ජිවිතය ජය ගත හැකි යැයි සිතා අමාරුවේ වැටෙති.

ඒ සියල්ල මැද්දේ ජනතාවට සිදු ව ඇත්තේ මේ නායකකාරකාදීන්ගේ අවවාද අනුශාසවලට ද සවන් දෙන්නට ය. ඔවුන්ගෙන් බණ අසන්නට ය. ඒ ඇතැම් විට ලබා දෙන නරක ආදර්ශවලට හිලව්වට විය හැකි ය. එහෙත් වැඩ නැති වචනවලට ඇති වටිනාකමක් නැත. අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි අපේ පැරැන්නන් කිවේ ඒ නිසා ය. එසේ වුව ද ආදර්ශයන් නැති නිසා දැන් සිදු ව ඇත්තේ අවවාදවලින් සැනසිමට ය. බොක්කේ දඩමස් ද හක්කේ බුදුරැස් ද ඇති මිනිසුන් ඉවසීමට ය.

දේශපාලනඥයන් දෙන අවවාද ප්‍රමාණවත් නැති නිසාදෝ දැන් දැන් අසන්නට ලැබෙන්නේ දරුවන් හදා ගැනීම සඳහා දහම් පාසල් අනිවාර්යය කිරීමේ කතාව ය. ඒ අමතරව අවවාද ටිකක් තව දීමට ය.

ඒ ඇතැම් විට දේශපාලනඥයින්ගෙන් පමණක් නොව බොහෝ යතිවරයන්ගෙන් ද ගත යුතු ආදර්ශයක් නැති නිසා විය හැකි ය. රටේ සිදුවන සැබෑ අකටයුතුකම් කෙරෙහි නොඇසූ කන් ඇතිව, නොදුටු ඇස් ඇතිව, ඉන්නා බොහෝ යතිවරුන් කට අරින්නේ තමන්ට අදාළ නැති සිංහල බෞද්ධ නොවන බලවේගයන්ට එරෙහිව ය. ඇතුළතින් කුණු වෙමින් ඉන්නා සිංහල බෞද්ධයින් ගැන යමක් නොකර මවා ගත් බාහිර අනතුරු ගැන පමණක් කතා කිරීමෙන් ඔවුන් දක්වන අවස්ථාවාදය සපයන්නේ ද නරක ආදර්ශයකි.

ඇතැම් ගුරුවරුන් ද ඊට නොදෙවෙනි ය. ඔවුන් විනය ඇති කරන්නට හදන්නේ දේශපාලනඥයන් අනුගමනය කරමිනි. ඒ තමන්ගේ විනය පරදුවට තබා ය. ඔවුන් දන්නේ ද කන තුවාල කර, බෙල්ල මිරිකා, පිහියක් පොල්ලක් පෙන්නා, තර්ජනය කරමින් ඇති කරන විනයක් ගැන ය. විනය සම්බන්ධයෙන් ඔවුන් දෙන ආදර්ශය ද අතිශයින් විනාශකාරී ය.

නායකත්වය යැයි ජනතාවට බැලිය හැක්කේ දේශපාලනඥයන්, යතිවරුන් හා ගුරුවරුන් දෙස ය. ඒ සියල්ලන්ම දෙන ආදර්ශය නිශේධනීය වන විට දරුවන් හා ජනතාව යහපත් වේ යැයි අප අපේක්ෂා කරන්නේ කෙසේ ද?

රටට සිදු ව ඇති අභාග්‍යය ගැන බණින්නේ නම් බටහිරට ය. විජාතික බලවේගවලට ය. සිංහල නොවන බෞද්ධ නොවන බලවේගවලට ය. ඒ වුනත් ප්‍රශ්නය තියෙන්නේ ඇතුළේ ය.

පික් පොකට්කාරයින් ඔන්න හොරෙක් කියමින් දුවන්නේ තමන්ගේ ගැලවිල්ලට ය. බටහිරට විජාතික බලවේගයන්ට බැට දෙන බොහෝ පික්පොකට් කාරයින් ද කරන්නේ තමන්ගේ ගැලවීමට පහසු මගක් පාදා ගැනීම ය. එහෙත් හැමදාමත් වුනාක් මෙන් මෙතැන දී ද සිදු ව ඇත්තේ ජනතාව රැවටීම ය. හොරා පැත්තක සිටිය දී අප හඹා ගොස් ඇත්තේ මවා ගත් බිල්ලෙක්ව ය.

ප්‍රශ්නය ඇත්තේ ඇතුළේ ය

ප්‍රශ්නය ඇත්තේ එළියේ නොව අප තුළ බව පිළි නොගන්නාතාක් අපට ගැලවීමක් නැත. ගැලවිජ්ජාකාරයන් ඉන් ගැලවෙතත් ජනතාවට ඉන් ගැලවීමක් නැත.

බණ කීම නවතා ක්‍රියාවෙන් ආදර්ශයක් දෙන ලෙස නායකයන්ට, ගුරුවර ගුරුවරියන්ට හා යතිවරුන්ට අප කියා සිටිය යුතු ය.

රට තුළ විනය ඇති කිරීමට ප්‍රථමයෙන් තමන්ගේ දරුවන් තුළ, පවුල තුළ, තමන්ගේ පක්ෂ අභ්‍යන්තරයේ, තමන්ගේ පාක්ෂිකයන් තුළ විනය ඇති කළ යුතු බව අප කියා සිටිය යුතු ය. විනය කඩන්නන් තමන්ගේ හිතෛෂීන් නිසා ඔවුන් ආරක්ෂා කිරීම විනය කැඩිමකට සමාන බව අප උන්ට පෙන්වා දිය යුතු ය. ක්‍රියාවෙන් විනය ස්ථාපිත කිරීමට අපොහොසත් වන තාක් විනය ගැන කියන කතා හුදු වචන පමණක් බව අප පෙන්වා දිය යුතු ය. විනය මහපාරේ කුණු දැමීම හෝ කෙළ ගැසීමට එහා ගිය වඩා පළල් මාතෘකාවක් බව අප කිව යුතු ය. දැරියක දූෂණය කිරීම ද පාර්ලිමේන්තුවේ යකා නැටීම ද පාරේ කුණු දැමීමට එහා ගිය අපරාධයන් බව අප කියා සිටිය යුතු ය.

සිසු දරුවන්ගේ විනය ඇති කිරීමට පෙර තමන් තුළ ඒ විනය ඇති කර ගත යුතු බව අප ගුරුවර ගුරුවරියන්ට කියා සිටිය යුතු ය. දරුවන්ට පිහි පොලු පෙන්වා උන්ට තර්ජනය කිරීම විනය නොවන බව ගුරුවර ගුරුවරියන්ට අප කියා දිය යුතු ය. දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් හිස් චෙක්පත් ගුරුවරුන්ට කවරෙකුවත් ලියා දී නැති බව උන්ට පැහැදිලිව කිව යුතු ය. විනය කොණ්ඩයට ඇඳුමට සපත්තුවට සීමා නොවන දෙයක් බව අප ගුරුවර ගුරුවරියන්ට කියා සිටිය යුතු ය.

උපාසක උපාසිකාවන්ට පන්සිල් ගැන උගන්වන්නට කලින් තමන් පන්සිල්වත් රැකිය යුතු බව යතිවරුන්ට කියා සිටිය යුතු ය. නීතියේ රැහැනින් ගැලවෙන්නට බොරු කියා පන්සිල් ගැන බණ ටෝක් දීම වැඩක් නැති බව අප කියා සිටිය යුතු ය. පන්සල් වත්තේ අලි පැටව් දමා යන වගේ සුරංගනා කතන්දර අපට නොදිරවන මුසාවාදා ම බව අප යතිවරුන්ට කිව යුතු ය. තක්කඩියන්ට කඩේ යන ගමන් අපට බණ කීමෙන් පලක් නොවන බව ද අප මේ යතිවරුන්ට කියා සිටිය යුතු ය. මෛත්‍රිය කියන්නේ ජීවන දර්ශනයක් මිස භාවනා කරන කාලයේ දී කටපාඩමෙන් කියන දෙයක් නොවන බව අප යතිවරුන්ට පසක් කර දිය යුතු ය.

එසේ නොකොට මේ සියල්ල අපට අයත් නැතැයි සිතමින් තමන්ගේ වැඩක් බලාගෙන ජිවත් වීමට සිතන මිනිසුන්ට තව බොහෝ දේ අහිමිවීමට නියමිත ය. එහෙම අහිමි වූ දාක ඔවුන්ට ද සිදුවන්නේ තමන්ගේ ම සගයින් ටික දෙනකු එකතු කරගෙන මහපාරේ ඊයේ දවසක ගුරුවරුන් කළාක් මෙන් කෑගසන්නට ය. සුළගට පමණක් මුසුවීමට නියමිත ඒ සද්දයට ජනතාව වෙනස් වන තෙක් පියාපත් නම් ලැබෙන එකක් නැත.අඩු වශයෙන් අහන්නට හරි හමන් කනක්වත් නොලැබෙනු ඇත.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *