ලාල්කාන්ත – අනුර සූරියබණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී ලාල්කාන්ත මහතා ඇපමත නිදහස් කර ඇත . හේතුව ඔහු විසින් පදවනු ලැබූ ඩබල් කැබ් රථයකට මහමග ගමන් කරමින් සිටි කතුන් දෙදෙනෙකු සහිත යතුරුපැදියක් ගැටීමය. අනතුරු සිදුවන අවස්ථාවේ ලාල්කාන්ත මහතා මත්පැන් පානය කර සිටි බව තහවුරු වී තිබේ. බීමතින් රිය පැදවීම වරදකි. බීමතින් රිය පදවා මග යන්නවුන් අනතුරට පත් කිරීම බරපතල වරදකි. එසේම මඟ යන එන අනෙක් අයගේ ආරක්ෂා සහගතව ගමන් කිරීමේ අයිතිය ද එමගින් උල්ලංඝනය වේ. ඒ අනුව ලාල්කාන්ත මහතා ඒ වරදට දඬුවම් ලැබිය යුතුය.

ලාල්කාන්ත කාන්ත මහතා මූලික වූ රිය අනතුර ආසන්න දිනෙක කොළඹ නගරය ආසන්නයේදී ඩිපෙන්ඩර් රථයක් පොලිස් නිලධාරියෙකු යට කොට පලා ගොස් තිබුනි. එසේ යටකොට පලායාම සිදුකර තිබුණේ දේශපාලනඥයෙකුගේ සහ ඉහළ පොලිස් නිලධාරීයෙකුගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු තරුණයින් කණ්ඩායමක් විසින් බව කීයැවිණි .

දේශපාලන ප්‍රභූන් අතින්ද ප්‍රභූ ආරක්ෂකයින් අතින්ද රිය අනතුර සිදුවන අවස්ථා මෙරට හිඟ නැත. එවන් රිය අනතුර හේතුවෙන් ප්‍රභූන්ද ප්‍රභූ ආරක්ෂකයන් ද මියගිය අවස්ථාද තිබේ.

දේශපාලනඥයෙකු වේවා අන් අයෙකු වේවා බීමතින් රිය පදවා අනතුරට ලක්වූ විට උත්සාහ කරනුයේ වෙනත් රියදුරෙකු යොදවා අනතුර ඔහු අතින් අනතුර සිදු වූ බව අඟවා නියම වැරදිකරු නීතියෙන් ගැලවී යාමට ය. ලාල්කාන්ත මහතා සම්බන්ධ සිද්ධියේදී ඒ මහතා එවැන්නක් සඳහා උත්සාහ කළ බවක් දක්නට දැනගන්නට නැත. ඒ වෙනුවට ලාල්කාන්ත මහතා සිය වරද නිහතමානීව පිළිගෙන නීතියට ක්‍රියාත්මක වන්නට ඉඩහැර නිහඬ වී ඇති බව පෙනේ. එය අගය කළයුතුය.

බලය තනතුර කුමක් වුවද වරද වරද ලෙස පිළිගෙන නීතිය සමව ක්‍රියාත්මක වීමට ඉඩ තිබීම සහ ඉඩහැරීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. මෙයට වසර ගණනකට පෙර බ්‍රිතාන්‍ය ඇමතිවරයෙකුගේ වරදකට එරට රථවාහන පොලීසියේ දඩ නියම කළ බව ප්‍රවෘත්ති වාර්තා වල සඳහන් විය. අදාල පොලිස් නිලධාරියාට දඬුවම් මාරු හෝ දේශපාලන පලිගැනීම් වලට ලක් වන්නට සිදු වූයේ නැත.

මෙකි තත්වය සන්සන්දනය කළ යුත්තේ මෙරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන නීතිය දේශපාලනඥයෙකුට විරුද්ධව ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරියෙකු මුහුණ දුන් තත්ත්වය සමගය. එම සිද්ධියේදී අදාළ පොලිස් නිලධාරීයාට දඬුවම් ලබන්නට සිදු වූවා පමණක් නොවේ. නිලධාරියාට අයත් වාහනය පවා ගිනිබත් කරන්නට යෙදුණි.

ලාල් කාන්ත මහතාගේ නීතිඥයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අනතුරට පත්වූ පාර්ශ්වයට සුදුසු වන්දියක් ගෙවීමට තමාගේ පාර්ශවය සූදානම් බවයි .මේවනවිට ලාල්කාන්ත මහතා ගේ රිය අනතුර පිළිබඳ පුවත සමාජ මාධ්‍ය වල මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. එක්තරා රූපවාහිනි නාළිකාවකින් ලාල්කාන්ත මහතා ගේ රිය අනතුර වාර්තා වූ දිනයේ එකී අනතුර පිළිබඳ දේශපාලනයට සම්බන්ධ අයෙකු ගෙන් අදහස් විමසනු පෙනුණි. එම අදහස් වීිමසීමට හේතුව අනෙකක් නොව ලාල්කාන්ත මහතාගේ දේශපාලන ජීවිතයට සහ ඔහුගේ දේශපාලන භූමිකාවට මඩ ගැසීම බව දියුණු ප්‍රේක්ෂකයකුට නම් අවබෝධ වනු ඇත.

ඉහත දේශපාලනඥයා රූපවාහිනියට අදහස් දක්වමින් පැවසුවේ බීමතින් රිය පැදවූ බව ඔප්පු වුවහොත් ලාල්කාන්ත මහතා දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. එකී දේශපාලනඥයා පවසන ආකාරයට හේතුව මත්පැන් පානය නොකිරීමේ සිල්පදයක් වැනි දෙයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සහ සාමාජිකයින් සමාදන් වී සිටීමයි.

අන්තර්ජාලය හරහා කෙරෙන සංවාදයේ දී ද බොහෝ අය මතු කරන්නට උත්සාහ කරන්නේ ලාල්කාන්ත මහතා අතින් සිදු වූ රිය අනතුර නොව ඔහු බීමතින් සිටීම පිළිබඳවය . ඒ අනුව ලාල්කාන්ත මහතා බීමතින් නොසිටියේ නම් රිය අනතුර සිදු වූවාට ද ගැටලුවක් නැතුවා සේය . එසේත් නැතිනම් ලාල්කාන්ත මහතා බීමතින් නොසිටියේනම් රිය අනතුර එහි වගකීම ලාල්කාන්ත මහතාට නොව අනතුරට ලක් වූ කතුන් දෙදෙනාට පවරන්නට අදාළ පිරිස සූදානමින් සිටින සේ ය.

මෙයට පෙර වතාවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මත්පැන් බෝතල් දෙකක් අතැතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට මත්පැන් පානයට ඇති අයිතිය ප්‍රශ්න කර තිබුණු බව මෙහිදී මතකයට නැගේ . ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ටත් එහි පූර්ණ කාලීන් ක්‍රියාදරයන් ටත් මත්පැන් පානය, දුම්පානය වැනි දේ අකැප දෙයක් සේ සැලකූ කාලයක් පැවැතුණි. හේතුව එකල ජවිපෙ නායකයන් සහ පූර්ණ කාලීනයන් යැපුණේ පක්ෂයේ අවශේෂ සාමාජිකයන් ලබා දෙන ආධාර වලින් බැවිනි . පක්ෂයේ සාමාජිකයෙකු විසින් පක්ෂයේ වැඩකටයුතු එනම් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම සඳහා දෙන මුදලක් මත්පැන් දුම්වැටි සඳහා යෙදවීම සදාචාරාත්මක නොවන බව පිළිගැනීම ඊට හේතුවයි. තවත් ආකාරයකින් ගත් කල ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ සාමාජිකත්වය මත්පැන් දුම්වැටි ආදිය පිළිබඳ විද්‍යාත්මකව අවබෝධයකින් යුතුව කටයුතු කිරීමද එසේ මත්පැන් සහ දුම්වැටි වලින් දුරස් වීමට ද හේතු විය. එනම් මත්පැන් දුම්වැටි ශරීරයට අහිතකර බව ඔවුන් පිළිගැනීම කෙසේවෙතත් අද පවතින තත්ත්වය අනුව ජවිපෙ නායකයන්ට හෝ ජවිපෙ ක්‍රියාකාරීන්ට මත්පැන් දුම්වැටි සම්බන්ධයෙන් පැරණි බ්‍රහ්ම චරියාව යෙදීමේ අවශ්‍යතාවයක් ඇතැයි පිළිගත නොහැකිය.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ යනු රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක යුගයේ වැනි අතිශය දුෂ්කර දේශපාලන ජීවිතයක් ගෙවන දේශපාලන පක්ෂයක් නොවේ. පසුගියදා වාර්තා වුණු කරුණු සත්‍යය නම් මෙරට වැඩිම ධනවත් පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි . එනම් එම වත්කම් ඔවුන්ගේ ව්‍යාපාර කිරීමෙන් කොමිස් ගැසීමෙන් පගා ගැනීමෙන් උපයාගත්තා ද නොවේ. මන්ත්‍රී වැටුප විමධ්‍යගත අරමුදලට බැර කිරීම, විදෙස් හිතවතුන් ගෙන් ලැබෙන ආධාර ආදිය නිසි කළමනාකාරිත්වයකින් හැසිරවීම වැනි කරුණු ඔවුන්ගේ පක්ෂය ධනවත්කමට හේතුවයි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බොහෝ අයද මේ වනවිට රැකියාවන් ව්‍යාපාර ආදියෙන් යුතු තැනැත්තන්ය . එසේ හෙයින් ඔවුනට ද අනුන්ගේ අරමුදල්වලින් යැපෙන්නට අවශ්‍යතාවක් නැත. ජවිපෙ පූර්ණ කාලීනයන්ට වුවද යැපීම සඳහා පක්ෂ අමුදලින් යම් යම් දීමනාවක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා විය යුතුයි. ඒ අනුව ජනතාවගෙන් යැපෙන බැවින් මත්පැන් දුම්වැටි සඳහා වියදම් නොකිරීම යන කොන්දේසිය වත්මන් ජවිපෙට අදාළ නැත. ශරීර සෞඛ්‍යය ගැන සිතා මත්පැන් දුම්වැටි වලින් දුරස් වනවානම් එය වෙනම කරුණකි. සෞඛ්‍ය ගැන සිතා මත්පැන් දුම්වැටි වලින් වැළකිය යුත්තේ ජවිපෙ පමණක් නොවේ. එජාප – ශ්‍රිලනිප කාටත් එය පොදුය.

මත්පැන් දුම්වැටි සම්බන්ධව මෙරට පවතින්නේ සීමාව ඉක්මවා ගිය ශිෂ්ටත්වයක් සහ සදාචාරයකි . මත්පැන් බෝතලයකට ආණ්ඩුව රුපියල් දාහක් බදු පනවන විට ජනතාව සාදු කාර දෙන්නෙ ප්‍රීතිඝෝෂා කරන්නේත් ඒ නිසාය. රුපියල් අටසීයකට සමහර විට රුපියල් පන්සීයකට පවා විකිණිය හැකි මත්පැන් බෝතල්යක් රුපියල් එක් දහස් ගණන් වලට හෝ ඊටත් වැඩියෙන් විකුණමින් ආණ්ඩුව මත්පැන් නිසා මිනිසුන් දුප්පත් වන බව කියයි. ඇත්ත නම් මිනිසුන් දුප්පත් වන්නේ මත්පැන් නිසා නොව මත්පැන් වලට පනවා ඇති ආණ්ඩුවේ බදු නිසාය. දුම්වැටි සම්බන්ධව ද තත්ත්වය එසේ ම ය.

සමාජ ජීවිතයත් විනෝදාස්වාදයත් ඕනෑම මිනිසෙකුට අවශ්‍යය . මත්පැන් දුම්වැටි ආදිය ඒ සඳහා උපකාරීවන මාර්ගයකි. ගැටලුව ඇත්තේ ඒවා භාවිතයෙහි නොව ඒවාට ඇබ්බැහි වීමෙහිය නැවැත්විය යුත්තේ භාවිතය නොව ඇබ්බැහි යයි. හැබැයි නැවැත්වීමට අවශ්‍ය වන්නේ බදු නොව දැනුමයි. ආණ්ඩුව කරන්නේ දැනුවත් කිරීම වෙනුවට බදු පැනවීමයි . බදු පැනවීමෙන් ආදායම නගී. දැනුවත් කිරීම් වලට වියදම් කලයුතුය .

ලාල්කාන්ත මහතාගේ සිද්ධිය ගතහොත් වෙනත් දේශපාලනඥයන් මෙන් බොරු සුචරිතවාදී නොවී ඉඩක් ලැබුණ විට අඩියකුත් ගසා ජරාජීර්ණ නොවී දේශපාලනය කරගෙන හිඳීම ගැන කිසිවෙකුට වරදක් කිය නොහැකිය. ඊට වරදක් කියන්නේ නම් එයට අයිතිය ඇත්තේ ජවිපෙ සාමාජිකයන්ට ය. ගැටලුව වන්නේ ලාල්කාන්තගේ මත්පැන් පානය මේ වන විට ගැටලුවක් වී ඇත්තේ ජවිපෙට හෝ ජවිපෙ සාමාජිකයන්ට නොව ජවිපෙ විරෝධීන්ට වීමයි.

ප්‍රශ්න කළ යුත්තේ හෝ දොස් කිව යුත්තේ ලාල්කාන්ත මත්පැන් පානය කිරීම ගැන නොව ඔහු මත්පැන් පානය කර රිය පදවා අනතුරුක් සිදු කිරීම්ය. ලාල්කාන්ත මින් පසුව බොන තැන්කට නොබොන රියදුරෙකු කටුව යන්න . මා නම් පාටිවලට යන්නේ බිරිය කැටුවය. මාගේ බිරිය මත්පැන් පානය කරන්නේ නැත. ඇයට රිය පැදවීමට ද පුළුවන්.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *