පුරෝගාමී මන්ත්‍රීතුමන්ලා – සම්පත් අමරසිංහ

පසුගිය සතියේ ප්‍රමුඛතාව ගත් පුවත් අතරින් වැදගත් එකක් වූයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ බවයි. බයිසිකලයෙන් දේශපාලනයට පැමිණ ප්‍රාඩෝ ඉන්ටර්කුලර් වලින් යන මහජන නියෝජිතයන් ඇති රටක මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගේ තම වත්කම් බැරකම් මහජනයා හමුවේ තබන්නට ඉදිරිපත් වීම අතිශය වැදගත්ය.එය අගය කලයුතුය . පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 කි . ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් දෙසීයක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නැත . පලාත් සභා පළාත් පාලන ආයතන වලද මන්ත්‍රීවරු කොච්චරක් දෝ සිටිති . ඉහත මන්ත්‍රීවරුන් අනුව යමින් පාර්ලිමේන්තු පළාත් සභා පලාත් පාලන මන්ත්‍රීවරුන් ද තම තමන්ගේ වත්කම් බැරකම් ජනතාව හමුවේ තබන්නට ඉදිරිපත් වෙන්නේ නම් නන්දා මාලනිය ගයන්නා සේ ”මා වෙසෙන මේ සිංහල දීපය කේතුමතී නම් රාජධානියයි ” කියා කියන්නට ජනතාවට හැකිවනු ඇත.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කල මන්ත්‍රීවරුන් වන්නේ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි තාරක බාලසූරිය, රත්නපුර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, යාපනය දිස්ත්‍රික් දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්, කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක, කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අයයි.

ඉහත ලේඛනය අනුව පෙනීයන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්නට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන් අතරින් වැඩි පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බවයි.

එපමනක් නොව තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර ,විදුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන් තිදෙනාම සහයෝගය දෙනු ලබන්නේ 2015 ජනවාරි වෙනසට මුල් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම වන මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන කණ්ඩායම නොවේ. එනම් ඒ තිදෙනා නියෝජනය කරන්නේ යහපාලන වෙනසට විරුද්ධව 2015 ජනවාරියේ පෙනී සිටි කණ්ඩායම වන මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයයි . නාස්තිය , දූෂණය පිළිබඳව කතාකර බලයට පත්වූ පක්ෂයක් ආණ්ඩු බලය හොබවන මොහොතක නාස්තිය දූෂණය පිළිබඳ චෝදනාවට ලක්ව බලයෙන් පහ වූ කණ්ඩායමක පිරිසක වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කරන්නට ඉදිරිපත් වීම එක් අතකින් යහපාලනය දූෂණ විරෝධය පෙරටුකරගෙන බලයට පැමිණි පිරිසට එල්ල කළ අතුල් පහරකි.

වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නට යෙදුණු මන්ත්‍රීවරුන් තමන්ව සතු මාසික දීමනා මාසික ආදායම් මෙන් ම බැංකු ගිණුම් ශේෂ තමන් සතු සමාගම්වල කොටස් හිමිකම් බැංකු සේප්පු රත්රන් මැණික් ආභරණ ආදිය වතුපිටි නිවාස ආදිය පදනම් කරගනිමින් එම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව පැවැසේ. ඉහත වත්කම් බැරකම් ප්‍රකාශ අනුව ඉහත මන්ත්‍රී පස්දෙනා අතරින් අඩුම බැංකු ගිණුම සංඛ්‍යාවක් සහ අඩුම තැන්පත් මුදල් ඇත්තේ විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයාට බව පැවසේ. කෙසේ වෙතත් ඔහු සතුව ඉඩම් රැසක් පවතී. ඒවා සිය පියාගෙන් තෑගි වශයෙන් ලැබුණු බව සඳහන් වී තිබේ. විදුර මන්ත්‍රීවරයාට බැංකු සේප්පු ඇත්තේද නැත. වත්කම් ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් අතරින් වැඩිම මුදල් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ එම් . ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බව කියැවේ.

ඔහු බිරිඳ සහ දරුවන් සතු බැංකු ගිණුම් රැසක් ඇති බව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයෙන් හෙළි කොට තිබේ. නිවාස සහ දේපළද සුමන්තිරන් මහතා සතුය .සියලු විස්තර තම වත්කම් ප්‍රකාශයේ ඇමුණුමක් වශයෙන් ප්‍රකාශයට පත්කරන්නට සුමන්තිරන් මහතා පියවර ගෙන ඇත. වාසුදේව නානායක්කාර මහතා ද තමන් සතු බැංකු ගිණුම් , මාසික වැටුප් ආදිය හෙළිකොට ඇත. එරං වික්‍රමරත්න මහතා තම වැටුප් ආදිය හෙළිකර තිබේ.

මෙරට දේශපාලනය යනු ජනතාව අතර පවතින මතය අනුව මේ වන විට සමාජ සේවය ඉක්මවා ගියේ බලය සහ ධනය තහවුරු කරගන්නා මාධ්‍යයක් බවට පත්ව තිබේ. අතීතයේ සිය ඉඩකඩම් පොදුජන සේවය සඳහා රෝහල් පාසල් සඳහා පරිත්‍යාග කල දේශපාලනඥයින් ගැන කියවෙනු නමුදු අද අසන්නට ලැබෙන්නේ රජය සතු දේපල බලහත්කාරව වංචා සහගතව අත්පත්කරගන්නා මන්ත්‍රීවරුන් පිළිබඳවය . ප්‍රාදේශිය සභා නගර සභා මන්ත්‍රීවරුන් පවා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ආදිය ලබා ගැනීම මගින් යහමින් මුදල් දේපළ හරිහම්බ කර ගනිති. ආණ්ඩුවේ කොන්ත්‍රාත් මගින් කොමිස් මුදල් ලබාගන්නා මැති ඇමති වරුන් අද ප්‍රසිද්ධ රහසකි . පළාත් පාලන මන්ත්‍රීවරුන් පවා වැලි ව්‍යාපාර, ගස් කැපීම් ආදියෙහි නියැලෙති. මැති ඇමතිවරුනට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීමට ඇති අවස්ථාව අසුරා දැමිය යුතු බව වික්ටර් අයිවන් මහතා වැනි අය නිතර පවසන කරුණකි.

සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කළ මන්ත්‍රීවරුන් පස්දෙනා ගත් පුරෝගාමී පියවර අර්ථවත් වනු ඇත්තේ ඔවුන් අනුව යමින් හෝ එසේත් නැතිනම් සිය දේශපාලනයේ සුජාත භාවය තහවුරු කිරීම වගකීම්ක් ලෙස සලකා හෝ අනෙකුත් දේශපාලනඥයන් ද තම වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කරන්කරන්නට පියවර ගන්නේ නම් පමණි. දේශපාලනඥයන්ගේ පමණක් නොව රජයේ ඉහළ සහ පහළ නිලධාරීන් ගේ වත්කම් බැරකම් කාලයෙන් කාලයට මහ ජනතාවට දැන ගත හැකිවන ආකාරයේ වැඩපිළිවෙළක් රටට තිබීම අත්‍යවශ්‍යය.

මැතිවතිවරණයට ඉදිරිපත් වීමේදී නාමයෝජනා සමග වත්කම ප්‍රකාශයක් ලබාගැනීම අනිවාර්ය කටයුත්තක් බවට පත් කෙරෙන නීති දැඩිව ක්‍රියාත්මක කිරීම මේ කටයුත්තේදී වැදගත් වෙනු ඇත. එපමණක් නොව ඉන් පසුවත් වාර්ෂිකව තම වත්කම් බැරකම් යාවත්කාලීන කර වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙන නීති සම්පාදනය කර දැඩිව ක්‍රියාත්මක කරන තැනකට යා යුතුය. එකි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් ගොඩ නැගීය යුතුය .

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම දේශපාලනය සඳහා ප්‍රචාරාත්මක කටයුත්තක් පමණක් වන්නේ නම් ඉන් රටට හෝ ජනතාවට ය යහපතක්ක් වෙතැයි සිතන්නට හැකියාවක් නැත.තොරතුරු පනත අනුව හෝ සියලු දේශපාලනඥයන්ගේ සහ උසස් රාජ්‍ය නිලධාරීන් ගේත් , රාජ්‍ය අවශේෂ නිලධාරීන් ගේ වත්කම ජනතාවට අවශ්‍ය විට දැනගත හැකි වටපිටාවක් සකස් විය යුතුය.

රාජ්‍ය නිලධාරීන් ද මෙකී වැඩ පිළිවෙළට ගොනු කළ යුත්තේ ඔවුන් අතරින් සමහරුද අයථා ගනුදෙනු ඔස්සේ මුදල් ඉපයීම යෙදෙන බැවිනි . පසුගියදා විදේශ ආයෝජකකුගෙන් අල්ලස් ලබාගැනීමේ දී අල්ලස් දැලට කොටු වූයේ රජයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකි . රජයේ පහළම නිලධාරියා වන ග්‍රාම සේවා නිලධාරියා සමෘද්ධි සංවර්ධන නිලධාරියා පවා තම ශක්ති ප්‍රමාන අනුව විවිධාකාර අයතා ගනුදෙනු වලින් මුදල් ඉපයීමේ යෙදෙති . එහෙත් අල්ලස් පැමිණිල්ලකදී හැර එවන් ගනුදෙනු පිළිබඳ අවධානය යොමු වීමක් සිදු වන්නේ නැත.

රේගු ආදී තැන්වල තත්ත්වය එයමය . දේශීය ආදායම් වැනි දෙපාර්තමේන්තු අල්ලස දූෂණය හරහා රටේ ජාතික ආදායම අහිමි කරන මුදල් ප්‍රමාණය සුළුපටු නැත. මැතිවරණ වියදම් පිළිබඳ පාලනයක අවශ්‍යතාවය කලෙක පටන් විවිධ පාර්ශව විසින් පෙන්වා දෙමින් තිබුණද තවමත් එවැන්නක් ක්‍රියාත්මක මට්ටමට පත්කරගැනීමට හැකිවී නැත . වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම කළ මන්ත්‍රීවරුන්ගේ අවංකභාවය රටේ යහපතට යොදා ගත හැකි වනු ඇත්තේ මේ සියල්ල ඉටු වන යාන්ත්‍රණයක් ගොඩ නැගීම මගින් පමණි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *