විධායකයේ එපා වූවෝ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම් පිළිබඳ නැවත කර කරලියට පැමිණ තිබේ. ඒ එය අහෝසි කිරීමට මෛත්‍රී, මහින්ද, රනිල් තිදෙනාම එකඟ වී ඇති බවට ප්‍රවෘත්ති පළ වීමත් සමගය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සංකල්පය තරමට මෙරට දේශපාලනයේ හෙට්ටු කිරීමට ලක්වූ වෙනත් සටන් පාඨයක් තිබේද යන්න ගැටලුවකි . විධායක ජනාධිපතිධූරය මෙරටට හඳුන්වා දීම සිදු වූයේ ද බලවත් විරෝධතා මධ්‍යයේ බව දේශපාලනයේ අ යනු ආ යනු දන්නා අය පවා මැනවින් දනිති. ජේ. ආර් ජයවර්ධන මහතාගේ පටන් ආර් ප්‍රේමදාස, ඩී බී විජේතුංග හැර චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන තිදෙනාම ජනාධිපතිධූරයට පත් කරන්නට ජනතාව පෙළඹුණේ ඔවුන් ලවා විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගත හැකිවනු ඇතිය යන විශ්වාසය මතය. එහෙත් එම බලා බලාපොරොත්තුව ඉටු වූයේ නැත.

දැන් නැවතත් රටේ ජනාධිපතිවරයාටත්,විපක්ෂ නායකවරයාටත්, අගමැතිවරයාටත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අවශ්‍යතාවය ඇති වී ඇති බව කියැවේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම් යන සටන් පාඨය මෙතෙක් බලයට පත් වූ විධායක ජනාධිපතිවරු තිදෙනකුම එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන විසින් උපයෝගී කර ගැනුණේ විධායක ජනාධිපති ධූරය ලබාගැනීම සඳහා යොදාගත හැකි ඉනිමගක් වශයෙනි.
එනම් ඔවුන් ජනාධිපතිවරණ සටන ජය ගනු ලැබුවේ, ජනාධිපති ධූරයට එරෙහිව මතවාදී අරගලයක යෙදීම හරහා ය. එසේ බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග එක් වතාවක් නොව දෙවතාවක්ම විධායක ජනාධිපතිධුරයේ රස බැලුවා ය. ඇයගේ ධූර කාලයේ දී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇය යම් එකඟතාවකට පැමිණ සිටියාය. එසේ වුවද සිය ධුර කාල දෙක ම ගතවීමෙන් පසුව පමණක් විධායකය අහෝසි කරන්නට ඇය උත්සාහ කරන්නේ ය යන පදනම මත, එවක එක්සත් ජාතික පක්ෂය විසින් එම උත්සාහය ව්‍යාර්ථ කරනු ලැබිණ. දෛවයේ සරදමක් වන්නේ එසේ චන්ද්‍රිකා සමයේ ඇගේ ධූර කාලය අවසානයේ විධායකය අහෝසි කිරීමට එරෙහිව කටයුතු කළ, එනම් ඇගේ ධුර කාලය අවසන් වීමට පෙර ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනුය කි එක්සත් ජාතික පක්ෂයට, 2015 වනවිට එම කොන්දේසිය යටතේම ඊටත් වඩා අවාසි සහගත තත්ත්වයක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විධායක ජනාධිපති ධූරය පිළිගැනීමට සිදු වීමය.

මෙතෙක් මේ මෙරට දේශපාලනයේ දී විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම යන සටන් පාඨය දේශපාලනඥයන් විසින් යොදාගෙන ඇත්තේ තම සුබ සිද්ධිය සලසා ගැනීම සඳහා මිස පොදු ජන යහපත උදාකර දීමේ අරමුණින් නොවන බව අතිශයින් පැහැදිලිය. ඒ සඳහා වන ආසන්නතම නිදර්ශන දෙකකි. එනම් මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතාය. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට පොරොන්දු වී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ කලේ 18 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපතිධූරය යාවජීව කරගැනීමයි. එපමණක් නොවේ, මහින්ද රාජපක්ෂ මහතා එතෙක් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාවක් හරහා කෙරුණු ස්වාධීන කොමිෂන් සභා ප්‍රධානීන් පත් කිරීමේ බලය ද සියතට ගත්තේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ඔප්පු කරමින් සිටින්නේ ද ඔහු 2015 දී ජනතාවට දුන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පොරොන්දුවට පිටුපා කටයුතු කරමින් සිටින බවයි. ධූරකාලය කොතෙක්දැයි අධිකරණයෙන් විමසීම ඒ සඳහා එක් සාක්ෂියකි. ජනාධිපති නිල නිවසට පය තබන්නේ වත් නැතිව විධායකය අහෝසි කරනවා යැයි කී මෛත්‍රීපාල මහතාට දහනවවැනි සංශෝධනයෙන් ලබාදුන් ධූර කාලයේ දින මදිවිය. පසුගිය ඔක්තෝබරයේ ගත්
ව්‍යවස්ථා විරෝධී ක්‍රියා මාර්ගය හරහා මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්නුම් කළේ ද තමාට අහිමි බලයක් ක්‍රියාවේ යෙදවීමට පවා ඔහු පසුබට නොවන බව ය.

විධායක ජනාධිපති ධූරය ධුරය අහෝසි කිරීම සඳහා මෛත්‍රි මහින්ද රනිල් තිදෙනා කැමැත්ත පල කර ඇත යන පුවත මෙරට ජනතාව විග්‍රහ කරගත යුත්තේ එවැනි පසුබිමකය.

මහින්ද සාධකය

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට කිසිම ආකාරයකින් නැවත ජනාධිපති ධුරයට තරග වැදීමට හැකියාවක් නැත. එකී තත්ත්වය මත මේ වන විටත් මහින්ද රාජපක්ෂ මහතාගේ සැබෑ දේශ දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණ තුළ 2020 ජනාධිපතිවරණය සඳහා සීතල බල පොරයක් නිර්මාණය වී තිබේ. තවත් අතකින් ගත් කල පොදු ජන පෙරමුණ යනු දේශපාලන ව්‍යාපාරයක් නොව පුද්ගලයකු වටා ගොඩනැගුණු රැල්ලකි. එම පක්ෂයේ පැවැත්ම සංවර්ධනය හෝ විනාශය තීරණය කරන සාධකය වන්නේද මහින්ද රාජපක්ෂ මහතාය.

2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිම්බීමේ ව්‍යාපෘතියක් පොදුජන පෙරමුණේ පිරිසක් විසින් මේ වන විට දියත් කර තිබුණද කුමාර වෙල්ගම ආදීන්ගෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට මෙතෙක් ඔවුන්ට හැකිවී නැත. අනෙක් කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට දකුණේ සිංහල බෞද්ධ ඡන්ද යම් පමණකින් ලබාගත හැකි වුව ද සුළු ජන කොටස්වල ඡන්දය ලබා ගැනීමේ හැකියාව ඒ මහතාට නොතිබීමයි. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය ලබාගැනීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිවනු ඇතැයි අනුමාන කළ ද , 2020 දී ඒ මහතාට තරගය නිම කළ හැකි වන්නේ හොඳම පරාජිතයා වශයෙන් මිස ජයග්‍රහකයා ලෙස නොවේ.

ඇත්ත තත්ත්වය නම් පොදුජන පෙරමුණේ වෙල්ගම වැනි අයගේ විරෝධය මැද ගෝඨාභය මහතාට 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව වත් ලබා ගත නොහැකි බවයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට මේ මොහොතේ තැබිය හැකි පහසුම ඉලක්කය වන්නේ තමාටත් බැරි සහෝදරයාටත් බැරි ජනාධිපති ධූරය අහෝසි වන්නට ඉඩ දී අග්‍රාමාත්‍ය ධූරය සඳහා උත්සාහ කර බැලීම ය. ඒ අනුව මහින්ද මහතාගේ විධායක ජනාධිපතිධූරය එපාවීම ජනතාවාදී අදහසක් අනුව පැමිණෙන්නක් නොව තමාගේත් සිය පවුලේත් දේශපාලන පැවැත්ම වෙනුවෙන් ගන්නා ලද තීරණයක් වන බව පැහැදිලිය.

මෛත්‍රී සාධකය

මෛත්‍රීපාල සිරිසේන මහතා ද 2015 ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කළේ ඔහු පොදු අපේක්ෂකයා වූ බැවිනි. පොදු අපේක්ෂකයා වශයෙන් මොහු ජයග්‍රහණය කරවීම මගින් ජනතාව අපේක්ෂා කළ කිසිවක් නිසි පරිදි ඉටු කරන්නට මෛත්‍රී මහතාට මෙතෙක් හැකිවී නැත. එසේ හෙයින් 2020 ජනාධිපතිවරණයේදී මෛත්‍රී මහතාට 2015 දැක්වූ දස්කම් දක්වන්න පුළුවන් කමක් නැත. එසේම එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ සමඟ මේ මොහොතේ මෛත්‍රි මහතා කරමින් සිටින ගණුදෙනුවේ ස්වභාවය අනුව ඊළඟ මැතිවරණයකදී ඒ මහතාට එම පක්ෂවල සහය ලබා ගැනීමේ හැකියාවක් නැත. පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රි පිල අතර සන්ධානයකින් 2020 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මෛත්‍රී මහතා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග වැන්නන් මේ වනවිටත් එළිපිටම යුධ ප්‍රකාශ කර තිබේ. මේ සියලු කරුණු අනුව මෛත්‍රී මහතාට තැබිය හැකි පහසුම ඉලක්කය වන්නේ මහින්ද පාර්ශවය සමග යම් සහයෝගීතාවක් මගින් මහින්ද රාජපක්ෂ අගමැති වන ආණ්ඩුවක් යටතේ නාමමාත්‍ර ජනාධිපති වශයෙන් හෝ ඉතිරි ධුර කාලය ගෙවා දැමීමයි. ඒ අනුව මෛත්‍රි පාර්ශවයේ විධායක ජනාධිපතිධුරය එපා වීම ද රට ගැන නොව තමා ගැන සිතා ගත් තීරණයකි.

රනිල් සාධකය

රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධූරය සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත මුල පටන්ම ගැටලු සහගතය. චන්ද්‍රිකා සමයේ විධායක ජනාධිපතිධූරය ඇගේ ධූරකාලයෙන් අහෝසි වීමට තිබුණු අවස්ථාව මඟ හැරුණේ වික්‍රමසිංහ මහතාගේ එකී හැසිරීමේ ඵලයක් වශයෙනි.

2015 න් පසුවද ඒ මහතාගේ විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් එම හැසිරීමේ වෙනසක් සිදුව ඇති බව පෙනෙන්නට නැත. එහිදී ඒ මහතා අනුගමනය කරන්නේ විධායකයට උඩින් අකමැති යටින් කැමති වාසි පැත්තට හෝයියා කියන පිළිවෙතකි.

පසුගිය පළාත් පාලන මැතිවරණයට ආසන්න සමයේ රනිල් මහතාට විධායකය පිළිබඳ ගැටලුවක් තිබුණේ නැත. එහෙත් එම මැතිවරණ පරාජයෙන් පසුව ඔහු විධායකය අහෝසි ය අතට ගත්තේය. විශ්වාසභංගයට පෙර සහ පසුවත් ඔක්තෝම්බර් කුමන්ත්‍රණය අතරතුර සහ පසුවත් ඔහුගේ හැසිරීම සූක්ෂමව නි රීක්ෂණය කරන්නෙකුට ඒ පිළිබඳව පැහැදිලි කරගත හැකිවනු ඇත. ඒ අනුව රනිල් මහතාගේ විධායක විරෝධයද ඡන්ද ගුන්ඩුවකින් එපිටට යා වෙන්නක් නොවෙයි. මෙකි තත්ත්වය මත. පොදු ජනතාවගේත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කැපවී ක්‍රියා කරන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල වගකීම වන්නේ මෛත්‍රී, මහින්ද, රනිල් තිදෙනාගේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ගැටයට හසු නොවී කටයුතු කිරීමය. අනෙක් අතට විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැතිවරයෙකු බිහි වන්නේ නම් එය ද ඉඟුරු දී මිරිස් ගත්තා වැනි වනු ඇත. විධායක ජනාධිපති ධූරය අහෝසි විය යුතුය. ඒ පිළිබඳව තර්කයක් නැත. එහෙත් මේ වතාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යන සටන් පාඨය රජුන් තනන මන්ත්‍රයක් වීමට ඉඩ දිය යුතු නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *