මහින්ද ජවිපෙ හමුවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසියට ප‍්‍රතිපත්තිමය එකඟතාවක්..

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව නැවතත් කතාබහක් මතුව තිබේ. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් වී ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජවිපෙ නායකයින් විශේෂ සාකච්ඡුාවක් පසුගිය හයවෙනිදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වූයේ මේ සම්බන්ධයෙනි. ජවිපෙ නායකයෝ යොදාගෙන තිබුණ වේලාවටම එනම් පස්වරු හතර වනවිට විපක්ෂ නායක කාර්යාලය වෙත ගියහ. අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති ඒ අතර විය. විනාඩි කිහිපයකට පසුව මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සාකච්ඡුාව සඳහා පැමිණ අසුන් ගත්හ. ”ආයුබෝවන්” මහින්ද රාජපක්ෂ විසින් ජවිපෙ නායකයින් පිළිගනිමින් අසුන් ගත්තේය. ”අද අයවැය පාර්ලිමේන්තුව කතාව කාගෙද?” මහින්ද විමසීය. ”මම කතා කළා. විනාඩි 20ක්” හඳුන්නෙත්ති පැවසීය. ”ඇයි, පැය භාගයක් ලැබුණේ නැද්ද?” මහින්ද විමසීය. ”විපක්ෂයට ලැබෙන්නේ විනාඩි 168යි” ඩලස් පැවසීය. ”විපක්ෂයට විනාඩි 255ක් ලැබෙන්න ඕනෑ” අනුර කීවේය. සිදුවී ඇත්තේ කුමක්දැයි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු ලේකම් කැඳවා විමසීය. ඔහු කියා සිටියේ විපක්ෂයට කාලය වෙන්වී ඇත්තේ 60:40 අනුපාතයට බවයි. ”50:50 ලැබෙන්න ඕනෑ මේ ගැන පක්ෂ නායක රැුස්වීමේදී කතා කරමු. මොකද දැන් විපක්ෂයේ මන්ත‍්‍රී ප‍්‍රමාණය වැඩියි. සාධාරණ කාලයක් ලැබෙන්න ඕනෑ” දිනේෂ් ගුණවර්ධන කීය.

සාකච්ඡුා සභාව ප‍්‍රධාන මාතෘකාවට හරවමින් අනුර කතාව ආරම්භ කළේය. ”විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න අපි පක්ෂයක් ලෙස විශාල කාලයක ඉඳන් අරගලයක ඉන්නවා. වරින් වර කිහිප දෙනෙක් මේක අහෝසි කරන්න එකඟ වුණත් ඒ කළේ නැහැ. ඒ නිසා තමයි අපි 20 ගෙනාවේ. 20ට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා අධිකරණය තීරණය කරලා තිබෙන නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලන්න ආවේ මේක පාර්ලිමේන්තුවේ හිර කරන්නේ නැතුව 2/3න් සම්මත කරලා ජනමත විචාරණයකට යමු කියන්න. ජනතාවට මේ සම්බන්ධයෙන් තීරණය ගන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා කියන්න.” අනුර පැහැදිලි කළේය. ”ඔව්, ජනමත විචාරණයක් අනිවාර්යයි. ජනමත විචාරණයකට කාලය ඇතිද?” මහින්ද විමසීය. ”කාලය නම් ප‍්‍රමාණවත් කියලා අපි හිතනවා. ඒ වගේම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න 20 නැතුව වෙන යෝජනාවක් ඔබතුමාලා ඉදිරිපත් කරනවානම් අපි ඒකටත් එකඟයි. මොකද විධායක ජනාධිපති ක‍්‍රමයේ විපාක මුළු රටම අත්විඳලා තියෙන්නේ.” අනුර කියා සිටියේය.
”20 ආපු වෙලාවේ අපි කතා වුණා මේකත් එක්ක මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුතුයි කියලා. ඒ වගේම 13 එක්කත් විධායක ජනාධිපති ක‍්‍රමය ගැටගැහිලා තියෙනවා. ඒ දෙක ගැනම හිතන්න වෙනවා.” ඩලස් කියා සිටියේය. ”ඒ ගැන සාකච්ඡුාවකට අපි එකඟයි. නමුත් අලූත් මැතිවරණ ක‍්‍රමයකට මේ වෙලාවේ ගියොත් සීමා නීර්ණ ප‍්‍රශ්න නිසා මහ මැතිවරණය කල් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ පවතින ක‍්‍රමයට මහ මැතිවරණයට යමු. දිනන පක්ෂයට බෝනස් මන්ත‍්‍රී ප‍්‍රමාණයක් ලැබෙන විදියේ සංශෝධනයක් කළොත් දැනට ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න පුළුවන්.” අනුර යෝජනා කළේය. ”අපි 20න් 13ට අත තියලා නැහැ. ඒ නිසා 20න් පස්සේ එන විධායක නොවන ජනාධිපතිටත් 13 අනුව පළාත් සභා බලතල තිබෙනවා. ඒ ගැන අවුලක් වෙන්නේ නැහැ.” විජිත කියා සිටියේය. ”විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළොත් පළාත් සභාවලට ප‍්‍රශ්නයක් කියලා තමයි අනෙක් අය කියන්නේ. කොහොම වුණත් අපි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ප‍්‍රතිපත්තිමය ලෙස එකඟයි. ඒ වගේම මැතිවරණ ක‍්‍රමය සහ 13 ගැනත් කතා කරන්න ඕනෑ, ඒ වගේම අපිත් එක්ක ඉන්න අනෙක් පක්ෂ සමඟ මේ ගැන සාකච්ඡුා කරලා අවසන් තීරණයක් ගන්න ඕනෑ.” මහින්ද රාජපක්ෂ කියා සිටියේය.
සාකච්ඡුාව අවසන් වී අසුන්වලින් නැගිටින අතරේ දිනේෂ් ගුණවර්ධන විජිතගෙන් ප‍්‍රති ත‍්‍රස්ත පනත ගැන ජවිපෙ අදහස කුමක්දැයි විමසීය. ”අපි දැනටමත් ප‍්‍රති ත‍්‍රස්ත පනත ගැන විරෝධය පළකරලා තියෙන්නේ. මේකට එරෙහිව ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ ක‍්‍රියාමාර්ගත් අපි ඉදිරි දිනවල ගන්නවා. අපිට පාර්ලිමේන්තුවේදී මේකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්.” විජිත කියා සිටියේය. ”ඔව්, තියෙන එක අහෝසි කරලා බරපතළ එකක් ගේන්න යන්නේ. මේක ගෙනාවොත් වෘත්තීය සමිතිවලටත් මොකවත් කරන්න බැරි වෙනවා. ඒ නිසා මේකට විරුද්ධව අපි ක‍්‍රියාමාර්ග ගමු.” දිනේෂ් යෝජනා කළේය.

සැබෑ නොවන සිහින මාලිගා අයවැයක්

අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය තිබූ පස්වැනිදා අයවැය කතාවට පෙර පාර්ලිමේන්තු පුස්තකාලයේ මන්ත‍්‍රීවරු පිරිසක් පුවත්පත් බලමින් සුහද කතාබහක නිරත වී සිටියහ. ඒ අතර වෙල්ගම, විජිත හේරත් ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් වූහ. මීට පෙර දිනක වෙල්ගම මන්ත‍්‍රීවරයා මාධ්‍යයට ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගැන ඉඟියක් පළකර තිබිණි. ඒ සම්බන්ධයෙන් ඇතැම් මන්ත‍්‍රීවරු ඔහුගෙන් ප‍්‍රශ්න කරමින් සිටියෝය. ”මම කිවුවා ජාතික ඇඳුම ඇඳගත්ත කෙනෙක් තමයි ජනාධිපතිවරණයට එන්නේ කියලා. දැන් මට බේරුමක් නෑ කවුද කවුද ඒ කියලා අහනවා” වෙල්ගම මන්ත‍්‍රීවරයා විජිත හේරත් අසලට විත් රහසින් පැවසීය.
ඉන්පසුව සියලූ දෙනා අයවැය කතාව සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට ගියහ. මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව අනෙක් මන්ත‍්‍රීවරු තේ පැන් සංග‍්‍රහයට ගිය අතර ජවිපෙ මන්ත‍්‍රීවරු ඒ සඳහා සහභාගි නොවූහ. ඒ අතර ජවිපෙ මන්ත‍්‍රීවරු අයවැය පිළිබඳව කෙටි සමාලෝචනයක නිරත වූහ. ”මේ අයවැයෙත් අලූත් දෙයක් නැහැ. ණය ගෙවන්න රාජ්‍ය වියදමෙන් භාගයයි. හිඟය පියවන්න ණය ගැනීමයි. ජනතාවට බදු ගැසීමයි. මේක තමයි මේ ආණ්ඩුවල අයවැය චක‍්‍රය.” සුනිල් හඳුන්නෙත්ති කීය. ”මේ ආණ්ඩුව හරියට ක්ෂුුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනයක් වගේ. මුළු අයවැයේම තියෙන්නේ හැම කෙනාටම ණය යෝජනා ක‍්‍රම. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය අරගෙන ඒවා ගෙවාගන්න බැරුව ජනතාව සියදිවි නසාගන්නවා. එහෙව් රටේ මුදල් ඇමති තවත් ණය යෝජනා ක‍්‍රම ඉදිරිපත් කරනවා.” අනුර දිසානායක කීවේය. ”ජනතාවට ඉතිරි වුණේ සැබෑ නොවන සිහින මාලිගා අයවැයක් විතරයි. අයවැයේ තේමාව තියෙන්නේ නම් ‘ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැුකවරණය, එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’ කියලා. නමුත් ඇත්ත තේමාව ‘ජනතාවට බොරුව, දුප්පතුන්ට අහේනිය, විකුණමු ශ‍්‍රී ලංකා’ කියන එකයි.” විජිත හේරත් කියා සිටියේය. මෙම කතාබහෙන් අනතුරුව ජවිපෙ මන්ත‍්‍රීවරු අයවැය කතා සඳහා වෙලාව සහ විෂයන් වෙන් කරගත්හ.

ගොවීහු පාරට…

මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අයවැයට විරෝධය පළකරමින් දිස්ත‍්‍රික්ක පුරා විරෝධතා ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළේය. ඒ, අයවැයෙන් කිසිදු සහනයක් ගොවීන් ලබානොදීමට ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහාය. මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා නාමල් කරුණාරත්න අයවැය දින රාත‍්‍රීයේදීම විජිත හේරත්ට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය. ”අයවැය දාපු දවසට පහුවදාම පාරට බහින්න ගොවියෝ සූදානම්ද?” විජිත හේරත් විමසීය. ”ඔව්, ඔව්, පක්ෂ පාට බේදයක් නැහැ. හැම ගොවි සමිතියක්ම කතා කරනවා. එකතුවෙලා වැඩක් කරමු කියලා. පොහොර සහනාධාරය ගැන කතාවක් නැහැ. වීවලට සහතික මිලක් දුන්නේ නැහැ. නියඟයෙන්, සේනා දළඹුවාගෙන් බැට කාලා ඉන්න ගොවියට කිසිම සහනයක් නැහැ. ඉතිං ගොවි ජනතාව ඉවසගෙන ඉඳීද? අපි හෙට ඉඳලා රට පුරාම ගොවි උද්ඝෝෂණ ආරම්භ කරනවා.” නාමල් කරුණාරත්න කියා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *