මේක ජනපතිගේ නොව අගමැතිගේ ආණ්ඩුවක් බව පෙන්විය යුතුය – මහාචාර්ය නවරත්න බණ්ඩාර

ජනාධිපති ක‍්‍රමය ඉවත්කරන බවට පොරොන්දු වී බලයට පත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් කථා කරන්නේ ජනාධිපතිගේ ආණ්ඩුව ලෙස ය. අගමැති කියන්නේ මේක අගමැතිගේ ආණ්ඩුවක් බව ය. ජනවාරි 8වෙනිදා  ප‍්‍රධාන වශයෙන් ගතහොත් ජනවරම ලැබෙන්නේ ජනාධිපතිට ය.  එවිට රාජ්‍ය නායකයා, විධායකයේ නායකයා සහ ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපති ය. ඒ අනුව දැන් තිබෙන්නේ එයාගේ ආණ්ඩුව  බව සත්‍යයකි.

මේ ආණ්ඩුව පත්වෙනකොට මැතිවරණ ප‍්‍රකාශනයක් ඉදිරිපත් විය. එයට ද ජනවරමක් ලැබී ඇත. ව්‍යවස්ථාවේ අර්ථ නිරූපනය කෙසේ වෙතත් අරමුණු වශයෙන් ගත්කළ ඒ දෙකේම  පරස්පරයක් නැති නමුත් ඒ දෙක එකතු කළයුතුව ඇත. ඊ ළගට මේ පක්ෂ දෙක එකතු වී වැඩ සටහනක් ද සකස්කරගෙන තිබේ.  මේ සියල්ලම දැන් එකතු කළ යුතුව ඇත.  එකතු කර වසර දෙකකදී ඔය කියන ඒවා  කරන්න යන බව පෙන්වන්නට අවශ්‍යය. වසර දෙක සඳහා දැන් ජනපති-අගමැති සහජීවන ආණ්ඩුවක් ඇතිකර තිබේ.  ජනාධිපතිවරයෙක් නැතිව මෙය ඉදිරියට  ගෙනියන්නට හැකි බව මේ කාලය අතරතුර  පෙන්විය යුතු ය.

වෙනත් ආකාරයට පවසන්නේ නම් දැන් මේක අගමැතිගේ ආණ්ඩුවක් කියලා පෙන්වන්නට අවශ්‍ය ය. ඒ අනුව ප‍්‍රායෝගික ලෙස මේක දැන් ජනාධිපතිගේ ආණ්ඩුවක් වෙන්නට පුළුවන්කමක් නැත.

ජනවාරි 8ට පෙර ප‍්‍රධාන  වශයෙන්  ඉල්ලා සිටියේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ය.  උතුර, දකුණ සහ නැගෙනහිර සියළු දෙනා ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමටය.  සියලූ දෙනාම ඉල්ලූවේ ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමටය.  වෙනත් ආකාරයට පවසන්නේ නම් මූලික වශයෙන් ඉල්ලා සිටියේ ලිබරල් ව්‍යවස්ථාවකි. බරපතල ව්‍යවස්ථා වෙනසක් කරන්නට යන්නේ නම්  දැන් සිටම මහජන සංවාදයක් ගොඩනැගිය යුතු ය.

මහජනයාට අලූතන් හිතන්නට දෙන්නට පුළුවන. සමහර විට බරපතල ව්‍යවස්ථා වෙනසක් කිරීමේ දී දී මතභේද  හට ගන්නට පුළුවන. එසේ වන්නේ නම් මට පෙනෙන හැටියට  කොටස් ක‍්‍රමයට වෙනස් කිරීම ආරම්භ කිරීමට  බැරිකමක් නැත.   බලතල බෙදීම ගැන කථා කරනවිට මිනිසුන් හිතන්නේ පලාත් සභා ගැන මොනවාද කෙරිලා තිබෙන්නේ යනාදි වශයෙනි.  පලාත් සභා ශක්තිමත් කිරීමට නම් පලාත්  සභා තම බලතල පාවිච්චි කළ යුතු ය. අනික් අතට  බලතල දෙන්නට සූදානම් බව ආණ්ඩුව පෙන්වන්නට ද අවශ්‍ය ය.  ලබාදී තිබෙන බලතලවත් ක‍්‍රියාත්මක නොකරන්නේ නම්  තව බලතල දෙන්නේ කුමට ද යන ප‍්‍රශ්නය ද මතු වේ.

ප‍්‍රාදේශිය සභා ඡුන්දය ගැන සාකච්ඡුාවක් තිබේ. දැන් කියනවා ඒකත් පරණ ක‍්‍රමයටම එනම් සමානුපාතික ක‍්‍රමයට තියන්න  ඕනේ බව.  ආසන නිර්ණය කර තිබෙන්නේ එක් පක්ෂයකට වාසිවන ආකාරයට යැයි එක් පක්ෂයක අය කියති  එහෙම නම් කොට්ඨාශ ක‍්‍රමයට ඡුන්දය පවත්වන්නට තවත් වසර 5ක් සිටින්නට සිදුවේ.  දැන් සම්මත කළ පලාත් පාලන පනතක් තිබේ.  සීමා නිර්ණය කොමිසම පත්කර වැරැුද්ද  හදන්නට  එතරම් අපහසු නැත. ඒකට කල් මදිනම්  සීමා නිර්ණය කරන තුරු පලාත් පාලන මැතිවරණය කල් දැමිය හැක  එතන දී ඔවුන්  බලන්නේ තම තමන්ගේ පක්ෂ වලට වැඩි  ආසන ලබා ගන්නට ය.  ඒ අයගෙන් මේ වෙනස කෙරෙයි කියලා හින්න පුළුවන් ද සැකය මේ තුළින් මතුවේ ඒක තමයි අභාග්‍ය. අපි ගුණාත්මක වෙනසක් ඉල්ලන්නේ  ගුණත්මක වෙනසක් නැති අයගෙනි.

කෙසේ නමුත් මෙය අපේක්ෂාභංග කරගන්නට තරම් දෙයක් නොවේ.  ප‍්‍රශ්නය තිබෙන්නේ  සිදුවෙමින් පවතින දේ හඳුනාගැනීමට නොහැකි වීම ය. සමහර අය කියන්නේ එලවා දැමූ අය  නැවත ආණ්ඩුවට සම්බන්ධකරගත් බව ය. නමුත් මේක නොවැලැක්විය හැකි තත්ත්වයකි.  මහින්ද සහ ගෝඨාභය යන දෙබෑයන්  ඇතිකර තිබුණු  රෙජිමය සහ සංස්කෘතිය ඉවත් කිරීමට මෙවැනි දේ කරන්නට සිදුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලාභයට ගත නොහැක. ඉච්ඡුාභංග වෙන්නට ඉඩනොදි  මේ සිද්ධිදාමය  මහජනයාට තේරුම් කර දියයුතු ය.

සම්පූර්ණ ව්‍යවස්ථාවක් ගෙනෙන්නට හැකි නම් වඩාත් හොඳය.  මේ සමගිය තුළ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගතහැක.  එහෙනම් ඉක්මන් විය යුතු ය.  නැත්නම් කල්යන විට ආර්ථික, සාමාජිය  දේවලූත් මිනිසුන් බලාපොරොත්තු  වන බව නායකයින් තේරුම්ගත යුතු ය. මේ ක‍්‍රියාදාමය  දුර්වලකර බිඳ දමන්නට බලා ඉන්න  පිරිසක් ද සිටිති. එම නිසා කරන්නට යනදේ පිළිබඳව ආණ්ඩුව පැහැදිළිව පැවසිය යුතුය.  මේ ගැන සංවාදයක් ආණ්ඩුව හරියට පටන්ගෙන නැත.  නායකත්වයෙන් හරියට ප‍්‍රකාශයක් ද එන්නේ නැත.  ආණ්ඩුව යමක් කරන්නට සුදානම් බවක් ද පෙනෙන්නට නැත.  ව්‍යවස්ථා වෙනස කථා කරණ නමුත් ඒ සඳහා ඇමතිවරයෙකුවත් නැත. ඒ නිසා එය සැගවුනු න්‍යාය පත‍්‍රයක් බවට ද අවසානයේ දී පත්විය හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *