තුන්වෙනි බලවේගයක් හොයමින් ඉන්න විශාල පිරිසක් ඉන්නව -ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

පසුගිය සාකච්ඡාවකදි ඔබ පැවසුවා සමාජ ආර්ථික දේශපාලන ව්‍යාකුල  තත්ත්වයකට පත්වෙලා කියලා. දැන් තත්ත්වය සමනය වෙලාද?

පසුගිය දවස්වල ඇති වූ සමාජ ආර්ථික දේශපාලන ව්‍යාකූලත්වය තවදුරටත් ඉස්සරහට යාමක් තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. එය සමනය වීමක් තවමත් අපිට දකින්නට නැහැ. ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙලා තියෙනව. ණය ගෙවීමට තියනව. ණය බර වැඩිවෙලා තියෙනව. ආදායම පහල යනවා. සංචිත නැතිවේගෙන යනව. මේකට හේතුව හොයාගෙන මේක විසඳගන්න රනිල් වික්‍රමසිංහ යටතේ ජාතික ආණ්ඩුවටවත්, මෛත්‍රිපාල සිරිසේන ජනධිපතිවරයටවත්, මහින්ද රාජපක්ෂටවත් කරන්න බැරි තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තියෙනව කියල පේන්නේ.

මෙයට විසඳුමක් නැද්ද? දශක ගණනාවක් තිස්සෙ අපි ප්‍රශ්න පත්තරයක පැටලිලා ඉන්නව.

අපි එකඟ උනත් නැතත් මේ රටේ ඉන්න වාමාංශික හා ප්‍රජාතන්ත්‍රවාදි බලවේග එකතුව තුන්වෙනි බලවේගයක් ගොඩනගා ගැනීම ඇර වෙන අන් කිසි විසඳුමක් නැති බවයි පෙනෙන්න තියෙන්නෙ.

ලෝකයේ ආර්ථික මොඩල කීපයක් තියෙනව. ලිබරල්වාදි, නව ලිබරල්වාදි, සමාජවාදි, සමාජ වෙළඳපොල ආර්ථික වශයෙන් හා වනත් ක්‍රම. මේ ආණ්ඩුව සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමය තමයි අනුගමනය කරන්න හැදුවේ. නමුත් ඒක කරගන්න බැරුව ගියා ඒකට අවශ්‍ය මූලික සාධක මේ අය අනුගමනය කෙරුවෙ නෑ.

එක අතකින් වංචාව, තවත් පැත්තකින් නීතියේ පාලනයක් නැතිකම, අඩුම තරමින් ව්‍යවස්ථානුකූලවවත් කටයුතු කෙරුවෙ නැහැ. ජනාධිපතිවරයා විසින්ම ව්‍යවස්ථාවත් උල්ලංගනය කෙරුවා. මේ තත්ත්වය යටතේ හැම අංශයකින්ම ව්‍යාකූලත්වය වැඩිවෙලා රට ගොඩගත නොහැකි තරමට රට සමාජ ආර්ථික පරිහානි තත්ත්වයකට පත්වෙලා තියෙන බවයි දැන්නම් පෙනෙන්නෙ.

තත්ත්වය එසේ උවත් නිදහස ලැබූ දා සිට මේ රට පාලනය කරන ප්‍රධාන පිල්දෙක හැර වෙනත් බලවේගයක් ගොඩනැගෙන බවක් පෙන්න නැහැ නේද?

දැනට පේන්නෙ නැහැ. මගේ නිරීක්ෂණය තුන්වෙනි බලවේගයක් හොයමින් ඉන්න විශාල පිරිසක් ඉන්නව. ඉදිරි මැතිවරණයකට අලුතෙන් ඡන්ද දායකයින් ලක්ෂ දහඅටක් අපමණ ඡන්දදායකයින් එකතුවෙනව.

මැතිවරණ තුනක් එන්න නියමිතයි, පළාත්සභා මැතිවරණය, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වශයෙන්. ඒවට මේ අලුත් ඡන්දදායකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලැබෙනව. මේ ගොල්ලන්ව ආකර්ෂණය කරගන්න පුලුවන්කමක් නෑ මේ තියන එක පක්ෂකටවත්. ප්‍රධාන පක්ෂවලට කොහෙත්ම හැකියාවක් නැහැ. ඒ වගේම ඔවුන් හොයනව, අවංක  බුද්ධිමත් නීතයේ පාළනය ගරු කරන පාරදෘෂ්‍යතාව ගරුකරන ක්‍රමයක්. කොහෙන්හරි කවුරුහරි පිරිසක් විසින් එය පිහිටුවයි කියල බලාපොරොත්තුවක් තියනව. ඒක තමයි අපෙත් බලාපොරොත්තුව.

ඔය කියන හිඩැස පුරවන්න ජනතා විමුක්ති පෙරමුණ උත්සාහයක යෙදී සිටින බව පෙනෙනෙව. ඒ වුණත් ජවිපෙට තවම බැරිවෙලා තියෙනව නේද තුන්වෙනි බලවේගය ගොඩනගා ගන්න.

ජවිපෙට තවම අතීතයෙන් මිදෙන්න පුලුවන්කමක් ලැබිල නෑ. ඒක අතකින් ජවීපෙ අතීත සටන් ක්‍රියාමාර්ග නිසා තමයි දැනට තියෙන ජනප්‍රියතාවයවත් තියෙන්නෙ. අනිත් අතින් ඒ අතීත ක්‍රියාකාරකම් නිසාම තමයි මිනිස්සු බයත්. ඒ නිසා ඒ පිළිබඳව මොකක්ද ගන්න පියවර කියල ඒගොල්ලන්ටත් තවම හරි නිශ්චිත අදහසක් නෑ. දෙවෙනි කාරණාව, ඒ ගොල්ලන් සමග විද්වතුන් කලාකරුවන් එකතුවෙන නැඹුරුවක් තියනව. නමුත් ඒ ගොල්ල බලයට ආවොත් මොකක්ද කරන වැඩපිළිවෙල කියන එක එළිදැක්වීමට තවම ශක්තියක් තියනව වගේ පෙනෙන්න නෑ. වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලත් නෑ.

එතකොට ඔය පක්ෂ තුන හැරුනම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  හිටපු ජනාධිපතිතුමිය උත්සාහ කරනව නේද බණ්ඩාරනායක ප්‍රතිපත්තිමත අලුත් බලවේගයක් හදාගෙන ඉස්සරහට යන්න.

ඒක සාර්ථක කරගන්න හැකියාවක් නෑ. ජේ.ආර්. ජයවර්ධන නව ව්‍යවස්ථාවක් ගෙනත් ජනාධිපති ක්‍රමය ඇති කෙරුවට පස්සෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු හැමදෙනෙක්ම බලයට ආවේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනව කියල. ඒත් කවුරුත් ඒ පොරොන්දු ඉටු කෙරුවෙ නෑ. යළි බලයට ආවත් කරයි කියල විශ්වාසයකුත් නෑ. අලුත් බලවේගයක් හදනන විකල්ප වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි. එහෙම ඉදිරිපත් කරලත් නැහැ.

චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අතට ගන්න හදනව කියල කියනව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් චන්ද්‍රිකා මැතිණියගෙ මෙහෙය වීමෙන් එජාපයට යනව කියල කියනව. ඒත් ඒ එකක්වත් ක්‍රියාත්මක වෙන පාටක් නෑ. මගෙ නම් අදහස, වාමාංශික ඒ වාගේම ප්‍රජාතන්ත්‍රවාදි අදහස් තියෙන පුළුල් බලවේග ඒකරාශි කරල නව පක්ෂයක් පිහිටුවා ගැනීම තමයි කළයුතු වන්නේ.

එහිදී ජනතා විමුක්ති පෙරමුණට විශාල කාර්යබාරයක් කරන්න තියෙනව ඊට පෙර ජනතා විමුක්ති පෙරමුණ ස්වයං විවේචනයක් කිරීම අත්‍යාවශ්‍යයි. ඔවුන් කෙරුව දේවල් වලින් හරි මොනවද වැරදි මොනවද කියන එක ගැන ඔවුන්ට නිශ්චිත ප්‍රකාශයක් තියෙන්න ඕනැ. ඒක ප්‍රසිද්ධියෙම ප්‍රකාශ කරල ඒය පිළිගත යුතුයි. ඉන්පස්සෙ තමයි ඔවුන්ට විශ්වාසය තැබිය හැකි එකතුවක් ඇතිකරගන්න පුලුවන්.

මීට දෙවසරකට පමණ පෙර සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ දී පැවති ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවකදිත් අනුර කුමාර දිසානායක ස්වයං විවේචනයක් කෙරුව නේද?

ඔව්. ඒක පුර්ණ ස්වයං විවේචනයක් විදිහට මිනිස්සු පිළිගත්තෙ නෑ. ඒක කිරීමේ අපහසු කමකුත් ජනතා විමුක්ති පෙරමුණට තියෙනව. පැරණි ක්‍රියාකාරකම් වැරදියි කිව්වොත් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ හැරයන්න ඉඩ තියෙනව. ඒවා අනුමත කෙරුවොත් ඒකට එකතු වෙන්න ඉන්න පිරිසක් එකතු නොවී ඉන්නත් ඉඩ තියෙනව.

පරණ වම වමේ කාර්යබාරය ඉටු කරන්නෙ නෑ. ඒක තරමක් දුරට හෝ පසුගිය වකවානුවෙ ක‍රුවෙ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම සාර්ථකත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය රැකුණේ ඒ පිරිස දුන්න සටනෙ ප්‍රතිඵලයක් වශයෙන්. යළිත් වාම හා ප්‍රජාතන්ත්‍රවාදි කොටස් සියල්ල එකතුවීම හැර වෙනත් විකල්පයක් නැති බවයි  මම නැවතත් කියන්න කැමතියි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *