රාජ්‍ය මාධ්‍ය මහජන සේවයට – නාලක ගුණවර්ධන

රාජ්‍ය මාධ්‍ය රජයේ අවශ්‍යතා ඉටු කිරීම සඳහාම පවතින්නක් බව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ මතය වන්නේය. එම ආකල්පය නිවැරැදි කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන මහජන සේවා ආයතන බවට පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගත්තේය. ඒ රාජ්‍ය මාධ්‍ය මහජන සේවා වෙනුවෙන් පත්කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ කටයුතු කිරීමට සත්පුද්ගල කමිටුවක් පත් කිරීමෙනි.

රාජ්‍ය මාධ්‍ය ආයතන මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත්කළ හැක්කේ කෙසේද යන්නත්, ඒ සඳහා ගතයුතු ක්‍රමවේද කවරේද යන්නත් ගැන විධිමත් අධ්‍යයනයක් කර විද්වත් වාර්තාවක් ඇමැතිවරයාට ලබාදීම මෙම කමිටුවේ කාර්යභාරය වේ. මෙය කිසිසේත් විමර්ශන කරන හෝ විභාගකරන කමිටුවක් නොව විද්වත් කමිටුවකි. විද්වත් කමිටුවක් යනු යමක් විවිධ මානයන්ගෙන් හා පැතිකඩින් විග්‍රහ කර තේරුම්ගෙන ඒ සඳහා වඩාත්ම සුදුසු ප්‍රතිචාර සාකච්ඡා කර යම් ‍නිර්දේශයකට එළ­ැඹෙන කණ්ඩායමකි.

“මාධ්‍ය භාවිතය හා එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් මේ දිනවල පුළුල් කතිකාවක් ආරම්භවී ඇති බව නිරීක්ෂණය කරන අතර මෙහිදී මාධ්‍ය ක‍්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස වී ඇත්තේ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ආයතන සැබෑ මහජන මාධ්‍ය සේවා බවට පත් කිරීමට ක්‍රියා කළ යුතු බවයි. රාජ්‍ය මාධ්‍ය ආයතන තව දුරටත් ස්වාධීනව කටයුතු කළ යුතුය යන බලපෑමට සුබවාදී ලෙස ප්‍රතිචාර දැක්වීමට රජය තීරණය කර ඇත” යනුවෙන් මෙම විද්වත් කමිටුව පත් කිරීමේ ලිඛිත සටහනේ සඳහන් ය.

රාජ්‍ය මාධ්‍ය

මෙම කමිටුව ක්‍රියාත්මක විය යුතු රාමුවක් ද ඇත. එහිදී රාජ්‍ය මාධ්‍ය ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය විද්‍යුත් මාධ්‍ය වශයෙන් ද, ලේක්හවුස් ආයතනය ප්‍රකාශන මාධ්‍ය ලෙස ද පළමුව අධීක්ෂණයට භාජනය වේ. පසුගිය දශකයක කාලය තුළ නව මාධ්‍ය (New Media) ප්‍රචලිත වීමත් සමඟ විද්‍යුත් මාධ්‍ය ආයතන ගුවන් තරංග හරහා තමන්ගේ අන්තර්ගතය බෙදාහරියි. ඊට අමතරව වෙබ් මාධ්‍ය හරහා බොහෝ පුවත් බෙදාහැරීම සිදු කරන නිසා, ඒවා තවදුරටත් විකාශ මාධ්‍ය වශයෙන් හඳුන්වා දීමට නුපුළුවන. මේ කුමන මාධ්‍ය හරහා තමන්ගේ අන්තර්ගතය බෙදාහැරිය ද මහජන සේවා වෙනුවෙන් කළයුතු කාර්යභාරය විශේෂ අවධානයට ලක්කළ යුතුය.

අප රටේ මෙන්ම ලොව බොහෝ රටවල රාජ්‍ය මාධ්‍ය ක්‍රියාත්මක වන අතර ඒවා කුමන අරමුණින් ස්ථාපිත කර තිබුණ ද සිදුවන්නේ බලයේ සිටින පක්ෂයේ දේශපාලන අවශ්‍යතා ඉටු කිරීමයි. විවිධ රජයන් පවතින සමයන්හි එම තත්ත්වය අඩු වැඩි වශයෙන් සිදුවේ. රාජ්‍ය මාධ්‍යයන්හි සේවය කරන මාධ්‍යවේදීන් සඳහා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වයක් නීතියෙන් තහවුරුකර නොමැත. උදාහරණයක් වශයෙන් ගත්කල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ තිබෙන ආකාරයට පවතින රජය ලබාදෙන පණිවුඩ විකාශය කිරීමට බැඳී සිටිනු ඇත. ඒ අනුව බලනවිට රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු මාධ්‍යවේදීනට අපක්ෂපාතීව මහජනතාවගේ තොරතුරු දැනගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීමට නොහැකි තත්ත්වයක් තිබේ. ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා යම් යම් නීති පනවා ත‍ිබෙන බව පෙනීයන කරුණකි. මෙවැනි බලපෑම්වලින් තොරව ක්‍රියාත්මකවන සේවා මහජන සේවා ලෙස ලොව පිළිගනු ලැබේ. මහජන සේවා මාධ්‍ය හුදෙක් අධ්‍යාපනය සඳහා ම පවත්වාගෙන යා යුතු මාධ්‍යයක් ලෙස ඇතැම් අය වරදවා තේරුම්ගෙන තිබෙන අතර දැනුම, විනෝදය, ප්‍රවෘත්ති සියල්ල ඉතා ප්‍රශස්ථ මට්ටමින් ලබාදීම මහජන සේවා මාධ්‍යයක වගකීම වේ. මහජන සේවා මාධ්‍ය පිළිබඳ ලොව පිළිගත් නිර්වචනය වනුයේ ‘මහජනයා විසින් මුදල් වැයකර මහජනයා වෙනුවෙන් විකාශය හෝ ප්‍රකාශනය කරනු ලබන මාධ්‍ය ලෙස” ය. එවැනි මාධ්‍ය රජයට හෝ වාණිජ හා පුද්ගලික හිමිකරුවකුට අයිති නොවන දෙයකි. ඒ වෙනුවට ස්වාධීන ආයතනික ව්‍යූහයක් හරහා ක්‍රියාත්මක වන්නකි. ලොව පිළිගත් හා ක්‍රියාත්මක වන බොහෝ මාධ්‍ය, ඒවාහි අන්තර්ගතය වෙනුවෙන් දේශපාලන මැදිහත්වීම්වලින් නිදහස් වී ඇත. එවැනි රටවල නීතියෙන්ම එහි ස්වාධීනත්වය තහවුරු කර තිබෙන අතර වෙළෙඳ පොළ ව්‍යූහයෙන් ද යම්තාක් දුරට නිදහස් ය. එයට හේතුවී ඇත්තේ වෙළෙඳ දැන්වීම්වලින් එම මාධ්‍ය ආයතන යැපීම සිදු නොවන නිසාය.

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයට වඩා මාධ්‍ය නිදහස ‍බොහෝ දුරට තිබෙන බව පෙනීයන අතර එම නිදහස අයුතු ලෙස පරිහරණය කරමින් ඇතැම් මාධ්‍ය හිතුවක්කාර ලෙස තමන්ගේ සේවා සපයයි. සත්‍ය විකෘති කිරීම් හා පක්ෂග්‍රාහී වීම් වැනි මාධ්‍ය ආචාරධර්ම කඩකිරීම් රජයේ හා පුද්ගලික මාධ්‍ය මඟින් සිදුවීම නිසා මහජනතාව දැඩි අපහසුතාවයකට හා අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. මෙම නව කමිටුව පත්කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ පුද්ගලික මාධ්‍ය ආයතන ගැන කතා කිරීමට පෙර රාජ්‍ය මාධ්‍යයන්හි මාධ්‍ය සදාචාරය දියුණු කර ගුණාත්මක මහජන සේවාවක් ලබා දීමට කටයුතු සම්පාදනය කිරීමටය.

විවිධ සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන හා විද්වත් සංවිධාන මීට පෙර පැවැති සියලු රජයන්ගෙන් “රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතී මාධ්‍ය බවට පත් කරන ලෙස” කළ ඉල්ලීම වත්මන් රජය ක්‍රියාවට නැංවිමට කටයුතු කිරීම පොදු ජනතාවගේ ජයග්‍රහණයකි. “ඔවා දෙනු පරහට – තමා සම්මතෙහි පිහිටා සිට” යන ආදර්ශ පාඨයට අනුගත වෙමින් වෙනත් පාර්ශ්වයන් නිවැරදි කිරීමට පෙර රජයේ පාර්ශ්වයන් නිවැරදි කිරීම යහපත් ප්‍රතිපත්තියකි. අයාලේ යන ජනමාධ්‍ය නිසි මඟට ගැනීමේ පළමු පියවර මෙය වනු ඇත.

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා අසීමිත සේවක සංඛ්‍යාවක් සිටීම හේතුවෙන් එම ආයතනවල වැය ශීර්ෂය ඉතා අධික ය. ඒවාට අවශ්‍ය විනිමය එම ආයතන මඟින්ම සපයා ගතයුතු වන අතර ඒ සඳහා පවතින වෙළෙඳ පොළ සමඟ අනුගත වීමට සිදුව තිබේ. නැතහොත් රාජ්‍ය ආයතනයන්හි දැන්වීම් ලබා ගැනීමට සිදුවේ.

මේ සඳහා ලෝකයේ විවිධ රටවල නොයෙක් උපක්‍රම යොදන අතර බ්‍රිතාන්‍යයේ B.B.C. ආයතනය හා ජපානයේ N.H.K. ආයතනය වැනි ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය ආයතනවල නඩත්තුව සඳහා එරට මාධ්‍ය නාලිකා භාවිත කරන ගෘහස්ථ හා රථවාහන වෙනුවෙන් වාර්ෂිකව යම් මුදලක් අය කරයි. එසේ එකතුවන මුදල් අදාළ නාලිකා සතු ආයතනවලට ලබා දීමට එහි රජයන් කටයුතු කරයි. අප රටේ ද මීට දශක දෙකකට පෙර ගුවන්විදුලි හා රූපවාහිනී බලපත්‍ර ලබාගත යුතුව තිබූ අතර ඒ සඳහා වාර්ෂිකව සුළු මුදලක් අයකර ගැනිණි. ගුවන්විදුලි යන්ත්‍ර වෙනුවෙන් ලැබුණු මුදල් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත්, රූපවාහිනී යන්ත්‍ර සඳහා ලැබුණු මුදල් බහුතරය ජාතික රූපවාහිනියටත් අනික් මුදල් ස්වාධීන රූපවාහිනියටත් ලබාදෙන ලදී. එයින් එම ආයතනවල සම්පූර්ණ නඩත්තුව සිදුකර ගැනීමට නොහැකි වුවද යම් ආකාරයකට වියදම් පියවා ගැනීමට හැකිවුණි.

ලොව වෙනත් රටවල රජය මගින් ලොතරැයි මුද්‍රණය කර එයින් ලැබෙන අධික ලාභයෙන් කොටසක් රාජ්‍ය මාධ්‍ය නඩත්තුව සඳහා ලබාදීමට නීති ප්‍රකාරව කටයුතු කර තිබේ. තායිලන්තය එම නීතියට අමතරව එරටේ මත්පැන් හා දුම්කොළ අළෙවියෙන් රජයට ලැබෙන ලාභයෙන් 5%ක් තායි රාජ්‍ය මාධ්‍ය (මහජනසේවා මාධ්‍ය) නඩත්තුවට ලබාදෙයි. ඒ වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 80ක් පමණ මුදල් ප්‍රමාණයක් එම මාධ්‍ය ආයතන සඳහා ලැබෙනු ඇත. එවැනි උපක්‍රම හරහා තම රාජ්‍ය මාධ්‍ය නඩත්තුකර ඒවා ස්වාධීන ආයතන බවට පත් කිරීමට බොහෝ රටවල් කටයුතු කර තිබේ.

අපේ රටේ රාජ්‍ය මාධ්‍ය නඩත්තුව වෙනුවෙන් ද, ස්වාධීන බව ආරක්ෂා වන ආකාරයෙන් දීර්ඝකාලීන ආදායම් ලැබෙන පරිදි නිර්මාණශීලීව ආදායම් උපයා ගැනීමට අවශ්‍ය ක්‍රම හඳුනාගැනීම අවශ්‍ය ය.

ජනමාධ්‍ය ජනතාවගේ මාධ්‍යයක් බවට පත් කිරීමට ඇප කැපවී සිටින මාධ්‍යවේදීහු බොහෝ සිටිති. එහෙත් ඔවුන්ගෙන් අවැසි කටයුත්ත නිසි පරිදි ඉටුවේදැයි ගැටලු සහගතය.

මාධ්‍ය කලාව සරසවියකින් හෝ වෙනත් ආයතනයකින් න්‍යායාත්මක පදනම පමණක් පුහුණු කළත්, මාධ්‍යකරණය ප්‍රායෝගික භාවිතය තුළින් උගතයුතු ශිල්පයකි. එහි ශිල්පීය ක්‍රමවේද, ආචාරධර්ම ආදිය උගතයුතු වන්නේ ක්ෂේත්‍රයේම ප්‍රවීණයන්ගෙන් හා අත්දැකීම් බහුල නිර්මාණකරුවන් සමඟ වැඩ කිරීමෙනි. එහෙත් පසුගිය වසර 20 – 25ක කාලය තුළ ප්‍රවීණයන් හා ජ්‍යෙෂ්ඨත්වයක් ඇති මාධ්‍යවේදීන් ලංකාවේ බිහි වූයේ අවම ප්‍රමාණයකි. එනිසා අලුත් පරපුරකට වෘත්තීය මට්ටමින් මඟපෙන්වීමට හැකියාව තිබෙන පිරිසේ හිඟයක් පවතී. වැඩ කරන අතරතුර ආදර්ශවත් මාධ්‍ය කලාව පෙන්වාදීමට ජ්‍යෙෂ්ඨයන් සිටින්නේ අතළොස්සකි. එනිසා න්‍යායාත්මක දැනුම පමණක් තිබෙන නවකයන්ට සිදුව ඇත්තේ ජ්‍යෙෂ්ඨයන්ගේ මඟපෙන්වීමකින් තොරව තමන් දන්නා තරමින් කටයුතු කිරීමටය. එවිට ඔවුන්ගෙන් මාධ්‍ය සදාචාරය හා ආචාරධර්ම බිඳ වැටී ගුණාත්මක හා විශිෂ්ට මාධ්‍ය කලාවක නියැළීමේ අවස්ථාව ගිලිහී යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස කටට එන දේ මුදා හැරීමටත්, සිතට එන දේ සටහන් කිරීමත් මත නිවැරැදි දේට වඩා වැරැදි දේ සිදුවනු ඇත.

ආදර්ශවත් මාධ්‍ය කලාව

ප්‍රවෘත්තියක්, වාර්තාවක්, විශේෂාංගයක් වෙන් වෙන්ව හඳුනාගෙන එය පෝෂණය කර ප්‍රේක්ෂකයාට හෝ පාඨකයාට සෑහීමකට පත්වන ආකාරයට හෝ ඔවුන්ගේ රුචිකත්වය වඩවන ආකාරයට නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමේ හැකියාව නොමැතිකමින්, අද මාධ්‍ය ක්ෂේත්‍රය එකතැන පවතින ස්වභාවයක් පවතී.

මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ මංකොල්ල කෑම්, රිය අනතුරු, නීතිවිරෝධී ක්‍රියා හා ඒවාහි නිරතවූ පුද්ගලයන්, දේශපාලනඥයන්ගේ ‍අවකැපෙන කතා, මඩගැසීම් ආදී නොයෙක් දේ තලු මරමින්, ඒවාට ජීවය දෙමින් අතිශයෝක්තියෙන් යුතුව දිගින් දිගට ලබා දෙන ප්‍රචාර නිසා ජනතාවගේ මානසිකත්වය එක් තැනකට කොටුවේ. ඇතැම් මාධ්‍ය අපරාධකරුවන් වීරයන් බවට පත්වන අන්දමේ පුවත් සපයයි. ඒවායින් සමාජයට ලබාදෙන්නේ වැරදි ආදර්ශයකි. මේ ආකාරයට ප්‍රචාරය ‍නොදියයුතු දෙයට වැඩි ප්‍රචාර ලබාදීමටත්, ප්‍රචාර දිය යුතු දේට අවම ප්‍රචාර ලබාදීමටත් ඇතැම් මාධ්‍ය කටයුතු කරති.

තමන් සතු මාධ්‍ය අංක එක යනුවෙන් ප්‍රකාශ කරගන්නා ඇතැම් විද්‍යුත් මාධ්‍ය, ජනතාව ‍බොහෝ වේලා නරඹන්නේ තමන්ගේ මාධ්‍ය යනුවෙන් කියාගන්නා මාධ්‍ය නිවසේ ආලින්දයට නොමිලේ ලැබෙන දේ ‍ජනතාව බලා හිඳින බව තේරුම් නොගන්නා බවත් පැහැදිලිය. ජනමාධ්‍ය සැබෑ ලෙසම මහජනතාව වෙනුවෙන් ද යන්න පැහැදිලිව නිගමනය කළ හැක්කේ විද්‍යුත් මාධ්‍ය මඟින් නොව ප්‍රකාශන මාධ්‍ය මඟිනි. විද්‍යුත් මාධ්‍ය වටා සෑම මට්ටමකම ජනතාව එක් රොක් වෙති. එහෙත් ප්‍රකාශන මාධ්‍ය භාවිතා කරනුයේ බුද්ධිමත් ජනතාවකි. එබැවින් මාධ්‍ය පැවැත්ම සඳහා ජනතා ප්‍රතිචාරයේ බලපෑම විද්‍යුත් මාධ්‍යයට වඩා ප්‍රකාශන මාධ්‍යයට බෙහෙවින් බලපානු ඇත.

විද්‍යුත් මාධ්‍ය වෙත ද ජනතාවගේ අප්‍රසාදය ඵල්ලවූ අවස්ථා ද තිබුණි. කාලයක් තිස්සේ මාධ්‍ය අයාලේ යන අයුරු බලා හිඳ ඒ ගැන කලකිරුණු ඇතැම් ජන කොටස් සමහර විද්‍යුත් මාධ්‍ය ආයතන ඉදිරිපිට රොක්වී තම භෞතික විරෝධය දැක්වූ අයුරු පසුගිය දිනක දැකගන්නට ලැබුණි. මේ ආකාරයට මාධ්‍ය ක්ෂේත්‍රය අත්තනෝමතිකව, හිතුවක්කාර අන්දමින් දිගින් දිගටම කටයුතු කළහොත් ජනතාව මාධ්‍ය කෙරෙහි තබා තිබෙන විශ්වාසය හා ගෞරවය පළුදු වී යන දිනය වැඩි ඈතක නැත. මාධ්‍ය සැබෑ ලෙස ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් මහජන සේවයෙහි නිරත වීම ර‍ටේ  සංවර්ධනයට මෙන්ම, මානව සංවර්ධනය උසස් තලයකට ගෙන ඒම සඳහා ප්‍රබල සාධකයක් වනු ඇත. ගුණාත්මක හා භාවාත්මක මාධ්‍ය මෙහෙවරක නිරතවී එය අප රටට වටිනා සම්පතක් කිරීම සෑම මාධ්‍යයකම වගකීම හා යුතුකම වන්නේය.

සටහන
නිශාන් මෙන්ඩිස්

දිනමිණ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *