නිට්ටෑවෝ – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

”නිට්ටෑවන් කියන කුරු ම්නිසුන් සිටින බවට අනුරාධපුර, කුලියාපිටිය , අම්පාර පළාත් වලින් තොරතුරු ගලා එයි ”
ඉහත සදහන් කලේ 2019 පෙබරවාරි 25 සදුදා දිනපතා පුවත්පතක ශිර්ෂ පාඨයක් . එම පුවත්පතේ සදහන්වෙන ආකාරයට , මහවිලච්චිය ගල්කොරිය අංක 197 දරණ නිවසේ කතක් ඉදුල් වතුර ඉවතට දැමීමට ගියවිට නිට්ටෑවකු දැක ඇතිලු .ඒ සිද්ධිය සිදුව ඇත්තේ පෙබරවාරි 23 ඒ පුවත්පතේම සදහන් ආකාරයට 20 වනදා හවස හයයි තිහට පමණ මහවිලච්චිය අලිවන්ගුව අත්දත්කල්ල ප්‍රදේශයේ නිවසකටත් නිට්ටෑවන් දෙන්නෙකු ඇවිත් තියෙනවා . ඒ විතරක් නෙවෙයි ,නිට්ටෑවන් ගෙයි පිළිකන්නේ සිටි කාන්තාවකගේ අතකුත් සිරුවාලු.

ඔයාමඩුව හැලබවැව කැලෑබද කුබුරු සහ හේන් ප්‍රදේශයක හේන් කුබුරු හරහා කුරු මිනිසුන් ගමන්කරනු දුටු පිරිසක් එකවරම සිහිසුන් වුනාලු .
පෙබරවාරි 18 දා කුලියාපිටිය එලතලව ගමේදීත් 21 වනදා මූනමල්දෙනිය ප්‍රදේශයේදීත් අත්භූත කුරු මිනිසෙකු දුටු ජනතාව තැතිගැන්මට පත්වෙලාලු .
පහල එලතලව කුබුරු යායකින් පැමිණ අක්කර 8ක පමණ ලදු කාලයට මාරුවූ බව කියන තැනට ප්‍රවෘත්තිය රචනා කල අය යනවිටත් එම කුරු මිනිසාගේ යැයි සැලකෙන ආදී සලකුණු කිහිපයක් දැකගැනීමට අවස්ථාව සැලසුණු බවයි .පුවත ලියන්නන් ලියා ඇත්තේ .
ලංකාවේ නොව ලෝකයේත් ජනමාධ්‍ය හැසිරීම ගත්විට කලින් කලට එක් එක් ආකාරයේ පුවත් යැයි කිය නොහැකි කතන්දර වාර්තා වී ඇතිබව පෙනෙනවා .එවැනි එක්  දෙයක් වන්නේපිටසක්වල ජීවින් දුටු බව කියන මිනිසුන් . තවත් ආකාරයක් තමයි පිටසක්වල යානා දැකීම.

ලංකාවේ ගත්තත් නිකවැරටිය ප්‍රදේශයේ බෝධියක බුදු රුවක් මතුව ඇතැයි යන කතාවක් ඔස්සේ ජනතාව වැල නොකැඩී එය බලන්නට ගිය ආකාරය ඇතැමුන්ට තවමත් මතක ඇති . තවත් කාලයක් පිරිසක් හිස ගිනිගත්තවුන් මෙන් දොලුකන්දට ගියේ ලෙඩ සුවකරගන්නටයි . දොළුකන්දේ බලය කොපමණ දුරදිග ගියද කිවහොත් පිටපළාත් වලටත් දොළුකන්දේ වතුර ගෙනවිත් බෙදාහරින තත්වයකට පත්වුණා . දොළුකන්ද ” නැගලා යන ”කාලයේ දොලුකන්දට ගිය මා පෞද්ගලිකව දුටු දෙයක් නම් එහි වනාන්තරයේ ඇට්ටේරිය පැදුරු වල පවා පඩුරුගැටගසා තිබුණු ආකාරයයි .ඊට අමතරව ගසක් ගසක් පාසා කොඩි එල්ලා තිබුණා .අප කල කරුණු සොයා බැලීම් වලදී හෙළිවූ ආකාරයට ඒ දිනවල දොලුකන්දට දිනකට ලක්ෂ ගණනින් පඩුරු කාසි ලැබුණි .

තවත් කාලයක පොල්ගහවෙල පැත්තේ හාදයෙක්ට මත්පැන් පානය කිරීම නවත්වන බලයක් ලැබී ඇතිබව කියමින් මිනිස්සු පෙරහැර වගේ පිහිට පතා ගියා .

අලුත්ම කතාන්දරය නිට්ටෑවෝ .

නිට්ටෑවන් ගැන මුලින්ම ලිවේ ජාතිවාදය ආගම කරගත් එක්තරා පුවත්පතක්. ඒ වනවිට මේ රටේ කවුරුවත් නිට්ටෑවන් දුටු බවක් මෑතකදී කියා තිබුනේ නැහැ .

ඉහත පුවත්පත විදේශිකයන් කියුවායැයි කරුණු උපුටමින් පමණක් නොව චිත්‍ර සටහන්ද යොදමින් නිට්ටෑවන් සමාජ ගතකලා .
ඇතැම් විදේශිකයන් නිට්ටෑවන් ගැන ලියා ඇතිබවයි . ඒ පුවත්පත කිවේ ජාතික චින්තනයක් ගැන කියුවා වුවත් ඔවුන්ගේ මාධ්‍ය කලාවේ ළදරුකම ඒ කතාවලින් බුද්ධිමත් පාඨකයන්ටනම් හොදින් පැහැදිලි වූ පර්යේෂණ බව කියමින් එම පුවත්පත ඉදිරිපත් කර තිබුනේ යම් යම් අය ලියු වල්පල් කතා සහ චිත්‍ර මිස විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා වල කරුණු නොවෙයි .

මානව ශිෂ්ටාචාරයත් මානවයා පිලිබදත් පර්යේෂණ කොතෙක් නම් මානව ඉතිහාසය තුලදී කෙරී තියෙනවාද ?ඒ එකකින්වත් ඔය කියන නිට්ටෑ සංකල්පය ඔප්පු වෙලා තියෙනවද ?

රාජ් සෝමදේව මහාචාර්යවරයා වැනි අය මේවනවිට ලිඛිත ඉතිහාසයෙන් පවා ඔබ්බට ගිය පුරාවිද්‍යාත්මක සොයාගැනීම් රැසක් ඔවුන්ගේ කැනීම් ඔස්සේ සොයා පාදා ගනිමින් ඉන්නවා. ඒ කිසිම කැණීමකදී නුතන මානවයා ගැන මිසක් නිට්ටෑවන් ගැන සාක්ෂි පුළුටක්වත් ලැබුණු බවක් ඔවුන් කියා ඇතිබවක් අප දන්නේ නැහැ .
ජිව විද්‍යාත්මකව ගත්තත් තත්ත්වය එයමයි .
අනුරාධපුරය ,කුලියාපිටිය අම්පාර ප්‍රදේශවලදී නිට්ටෑවන් ගැන තොරතුරු ගලා එන බවට කියන පුවත් වාර්තාව ගත්තත් එය වාර්තාවක් නෙවෙයි .කියවන විට ලිවීමක් . කවුරු හෝ කියූ පමණින් පළකිරීම පුවත්පත් කලාවේ සාරධර්මවලට එකග නැහැ .
මෙවැනි අද්භූත කතාවක් කවුරුන්හෝ කී පමණින් වාර්තා කිරීමෙන් සිදුවන්නේ විද්‍යාත්මක චින්තනයකින් තොර පාඨකයා අන්දමන්ද වීමයි. ඇත්තටම කිවහොත් මිනිස්සු තැතිගෙන ඇත්තේ නිට්ටෑවන් නිසා නෙවෙයි . පච ප්‍රවෘත්ති නිසයි .
මහවිලච්චිය ප්‍රදේශයේ කුරු මිනිසුන් දුටුවාය කියන නිවෙස අසල ලොම් සහිත මලපහත් තිබුණාය කියයි කියන්නේ .ඒ මලපහ රස පරීක්ෂණයට යොමු කලාලු . නිට්ටෑවන් සොයන්නට පොලිස් නිල සුනඛයෙකුත් යෙදවූ බවයි කියන්නේ . අප දන්නා තරමට නම් පොලිස් නිල සුනඛයන් හෝඩුවාවක් පසුපස යන්නේ ඉවක් අනුවයි . නිට්ටෑවන් සොයන පොලිස් නිල සුනඛයාගේ ඉව කුමක්ද ?අර තිබුණාය කියන අසුචිද ?
පුවතේ සදහන් ආකාරයට නිට්ටෑවන් විසින් කතකගේ අතකුත් සූරා ඇතිබව කියවෙනවා . සාමාන්‍යයෙන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කලේ නම් කතගේ සීරිම සිදුව ඇත්තේ කොයි ආකාරයකටද කවර ආකාරයේ දෙයකින්ද යන්න පහසුවෙන් දැනගත හැකිය .
මෙවැනි අද්භූත යමක් වාර්තාකරණයේදී නියම ජනමාධ්‍යවේදීන් නම් කටයුතු කලයුතු වන්නේ ගවේශනාත්මක ජනමාධ්‍යවේදයේ මුලධර්ම අනුව යමිනුයි . එසේ නම් එම ජනමාධ්‍යවේදීන්ට අදාළ ප්‍රවෘත්තිය ගැන ගැබුරින් කරුණු සොයා බැලීමකට යොමුවීමට සිදුවෙනවා .
නමුත්, ඉහත නිට්ටෑ ප්‍රශ්නයේදී සිදුව ඇත්තේ කවුරු හෝ කියන්නක් කිසිදු සොයා බැලීමකින් විමර්ශනයකින් තොරව කියවනවිට ලියන්නාසේ ලියා එවීමයි .

එසේ එවනු ලබන පුවත් පලකිරීමේදී කතෘවරුන්ට හෝ ප්‍රවෘත්ති කර්තෘ වරුන්ටත් වගකීමක් තියෙනවා . ඒත් ඒ වගකීම අදාල ප්‍රවෘත්තියේදී අදාළ කර්තෘවරුන් ප්‍රවෘත්ති කර්තෘවරුන් ගෙන් ඉටුවී නැහැ .ඔවුන්ගේ මාධ්‍යකරණයේ තරමත් එයින්ම පැහැදිලියි .
ලියා ඇති කරුණු සත්‍ය නම් එහිදී සිද්ධවෙලා තිබෙන්නේ අදාළ කතුන් සහ මිනිසුන් යමක් දුටු පමණින් කලබලවී කෑකෝ ගැසීම හෝ බියවී කලාන්ත වීම . ඒ අනුව ඒ අය කල්තියාම නිට්ටෑවන් ගැන බියකින් පසුවී ඇතිබව පැහැදිලියි . නැතිනම් ආගන්තුක යමක් දුටුවිට ටිකක් කල්පනාවෙන් වැඩ කලයුතුයි නේද ? ඒ අනුව අදාළ පිරිස යම් මානසික ව්‍යාධියකින් පෙලෙන බව සැක කරන්නට පුළුවනි . පොලිසියත් යතාර්තවාදීව සහ විද්‍යාත්මක පදනමකින් වැඩකළ බවක් පෙනෙන්න නැහැ .
පොලිසිය යතාර්තවාදී වුවා නම් කවුරුන් හෝ කියූ පලියට එම කරුණු සත්‍ය බව පිළිඅරන් පොලිස් සුනඛයන් යොදවනවාට වඩා වගකීමකින් යුතුව කටයුතු කරන්නට තිබුණා .

මේ සියල්ල අනුව පෙනෙන්නේ අප ජිවත්වන සමාජය දාර්ශනික වශයෙන් කොයිතරම් දුරට පිරිහී තිබේද යන්නයි . ජනතාවට ඉදිරියෙන් යමින් ජනතාවට මගපෙන්වියයුතු ජනමාධ්‍ය කරන්නේ අන්ධ විශ්වාස වලින් ජනතාව වල්මත් කරමින් ඔවුන් අගාධයට ඇදදැමීම නම් මේ රටට අනාගතයක් තියෙයිද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *