|

රංජන්ගෙ කොකේන් වාර්තාවෙ තරම අගමැති කියයි

පසුගිය ඉරිදා උදේ මල්වතු මහ නා හිමි බැහැදැක රටේ තත්වය පැහැදිලි කළ අගමැතිවරයා අනතුරුව බගවන්තලාවට ගියේ ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ නිවාස 150කට අධික සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණය විවෘත කිරීමටය. එදින රාත්‍රියේ මහනුවර නවාතැන් ගත් ඔහු පසුදා අරනායක පැමිණියේ පාසැල් 2 ක නව ගොඩනැගිලි විවෘත කිරීමටය. ඉන් එක් පාසලක උත්සවය නිමවා යලි වාහනයට නැගීමට අගමැතිවරයා පාගමනින් පැමිණෙමින් සිටියදී “හලෝ මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්, හව් ආ යූ?” යනුයෙන් කුඩා දැරියක් මහ හඩින් අමතනු ලැබුවාය. එය ඇසුණු අගමැතිවරයා මදක් නැවතී ඇය හා සිනාසුනා පමණක් නොව ඇය සිටි කුඩා කදු ගැටය අසලට ගොස් ඉංග්‍රීසි භාෂාවෙන්ම ඇයට සුභපැතීය.

සඳුදා බුලත්සිංහල බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කළ අගමැති රනිල් අනතුරුව සාමාන්‍ය බස්‍ රථයකින් ගොස් එහි ඉදිකළ නව සතිපොළද ජනතා අයිතියට පත්කළේය. බදාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජෝන් අමරතුංග හතලිස් වසරක උපහාර උළෙලටද එක් විය.

“ඇමති ජෝන් සෙසු දේශපාලඥයන්ට මහඟු ආදර්ශ ගෙනා තම පක්ෂය තුළ පර්වතයක් සේ නොසැලී සිටි අයෙක්. 78 ව්‍යවස්ථාවට වඩා ජෝන් බාල දින කිහිපයයි.” අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උත්සව රැසකට එක්වීමට යාමට පෙරය. එහෙත් ඊට පෙර දිනයේ අභාවප්‍රාප්ත වූ බණ්ඩාරගම එජාප හිටපු රාජ්‍ය ඇමති නීතිඥ රාජා සමරනායකගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දාම නිම කිරීමට තීන්දු කළ බවට ලැබුණු තොරතුර මත ඔහු වහාම බණ්ඩාරගම යාමට තීන්දු කළේය.

“77 රාජල අපි එකටයි පාර්ලිමේන්තු ආවෙ. එතුමා ජනතා මුදල් යටිමඩි ගැහීම වෙනුවට තම ධනය පවා ප්‍රදේශය හා එහි ජනතාව වෙනුවෙන් කැපකළ අවංක දේශපාලකයෙක්. බොහෝ නඩු පවා කතා කළේ නොමිලේයි” අගමැතිවරයා කීවේ තමා හමුවීමට පැමිණ සිටි මැති ඇමතිවරුන්ටය.

“දැන් මේ 20 වැනි සංශෝධනය ක්ෂනිකව ගෙනල්ලා අගමැති හා පාර්ලිමේන්තුව බලවත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බවට පළවෙන කතාව මොකක්ද? මේක අපි හරියට දන්නෙත් නෑ. මිනිස්සු ලේස්ති වෙන්නෙ ජනපතිවරණයකටයි.” ඇමති නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.

“20 වැනි සංශෝධනය දැම්මෙ අපි නෙවෙයි ජවිපෙයි. 2015 දී විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලතල දෙන්න අපි පොරොන්දු වුණා. ඒ නිසා 20ට අපි ප්‍රතිපත්තියක් ලෙස එකඟයි. ඒ සංවාදයයි මේ යන්නෙ” අගමැතිවරයා කීවේය.

“මේකට සුළු පක්ෂ පොඩ්ඩක් අදිනව වගෙයි නේද? ජනපති ධූරය අහෝසි කළොත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකිරීම අත්‍යවශ්‍ය වෙනවා.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද අගමැති දෙස බලාය.

“ඔව්. 20 සම්පූර්ණ එකක් නෙවෙයි. බොහෝ පක්ෂ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හා අලුත් ඡන්ද ක්‍රමයකුත් ඉල්ලනවා. ඒ වගේම දෙමළ සංධානය කියන්නෙ බලය බෙදීමකුත් එක්ක මේක එන්න ඕනෙය කියලයි. ඒ නිසා 20 ගැන අවසන් තීන්දුවක් නෑ. මේක ගැන පළල් සංවාදයක් කරලා කාටත් එකඟ වියහැකි තැනකට ආවොත් 20 බලාත්මක වේවි.” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

“මිනිස්සුන්ට  මේ කාබන් බද්ද ගැනත් කතාවක් යනවා. මේක ජනාධිපතිතුමාගෙ පරිසර අමාත්‍යාංශය දාපු එකක්. ඒත් මිනිස්සුන්ගෙන් දොස් අහන්නෙ ආණ්ඩුවයි.” චමින්ද විජේසිරි කතාව වෙනතකට යොමුකළේය.

“මේකෙ හරි නම පරිසර බද්දයි. ලෝකෙ හැම රටකම වගේ මේක තියනවා. ආදායම් ලැබීමට වඩා පරිසරයට් එකතුවෙන කාබන් මොනොක්සයිඩ් වායුව අවම කිරීම මේකෙ අරමුණ වෙන්න ඕනෑ. නමුත් මෙතන ආණ්ඩුව අපහසුතාවට ලක්වන යම් දේශපාලන ගේමකුත් තියනවාදැයි සමහරු සැක කරනවා.” දයා ගමගේගේ විග්‍රහය එය විය.

“දැන් දිගට හරහට කුඩුයි පාතාලයොයි අල්ලනවා. ඒක ඉතා හොඳ දෙයක්. ඒත් අල්ලන කුඩු වලට මොකද කරන්නෙ කියලා මිනිස්සු අපෙන් අහනවා. අල්ලපු කුඩු හංගල තියන් ඉඳල ආපහු එළියට දාල අල්ලල පෙන්නවදැයි මිනිස්සු ෆේස්බුක් එකේ අහල තියනවා මම දැක්ක” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“මේ කුඩුවලින් හා පාතාලයෙන් රට මුදාගන්න මාසෙන් දෙකෙන් බෑ. සිංගප්පූරුව වසර 10ක සැළසුම්ගත වැඩපිළිවෙලකිනුයි මේක කරල තියෙන්නෙ. 2010දී සාගල මේක පටන්ගත්තා. මද්දුමබණ්ඩාර ඉදිරියට ගෙනිච්චා. මීට අදාල ඒකක තුනක් එකතු කරලා ශක්තිමත් මධ්‍යගත කාර්‍යංශයක් අපි හැදුවා. ජනාධිපතිතුමා දැන් ඒකෙන් හොඳට වැඩ ගන්නවා. අපට ලකුණු ඕන නෑ. වැඩේ සිද්ධ වුණාම ඇති” අගමැතිවරයා කීය.

“අර රංජන්ගෙ කොකේන් වාර්තාවෙ මොනවද තියෙන්නෙ. මේක හරියට කළමනාකරණය කරගත්තෙ නැත්නම් පාර්ලිමේන්තුවම හෑල්ලු වේවි.” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“කමිටු වාර්තාව මට ලැබුණා. මම කෘත්‍යාධිකාරියේදි මේ ගැන කතා කළා. එජාප අයගෙ නම් තිබුණනම් පක්ෂයක් ලෙස පියවර ගන්නවා. කඳුකරයේ දෙමළ ඇමතිවරු දෙන්නෙකුගෙ මත්ද්‍රව්‍ය චෝදනා කතාව ඡන්ද කාලෙ වෙච්ච අපහාස නඩුවක්. අහවලා මත්ද්‍රව්‍ය ගන්නවා කියලා කවුරුහරි කිව්වට විතරක් හරියන්නෙ නෑ. රංජන් CID එකේ නම් දීල තියනවනම් රටේ නීතිය අනුව ඔවුන් ක්‍රියා කරාවි” අගමැතිවරයා පැහැදිලි කළේය.

“ලංකාවේ විනිවිදම ගනුදෙනුව මිග් ගනුදෙනුව බව ලඟදී ගෝඨාභය කියල තිබුණා. එච්චර විනිවිඳ නම් එයා දන්න තොරතුරු සාක්කි හැටියට එළි කරන්න ඕනෑ. ඒ වගේම ලෝකෙ කොහේවත් හොයාගන්න නැති මේ ගනුදෙනුවට අදාල කොම්පැනිය මොකක්ද කියලත් ඔහු එළි කරන්න ඕනෑ.” චමින්ද විජේසිරි ප්‍රහාරාත්මක මාතෘකාවක් ඉදිරියට ගෙන ආවේය.

“ගනුදෙනුව විනිවිද නම් ඒ ගැන ලියපු ලසන්ත වික්‍රමතුංග කෙටි කළකින්ම ඝාතනය වුණේ ඇයි කියලත් දැන් මිනිස්සු ප්‍රශ්න කරනවා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“බැදුම්කරය ගැන මහලොකු බණ දේශනා කරන ආචාර්‍ය බන්දුල තුමා ලක්ෂ 130ක උකස්කරයකට කොටුවෙලා තීන්දුවක් ලැබිලා. හොර ආණ්ඩු හදන්න දැඟලුවෙ මේව ශේප් කරගන්න බව දැන් පැහැදිලියි.” රංජිත් අලුවිහාරෙ කීවේ එවැන්නකි.

“බැදුම්කරය ගැන. දඩුවම් කරන්න බැරි. ඒක කරපු අය ආණ්ඩුවේ ඉන්න නිසා කියලා ජනාධිපතිතුමා සීමාවෙන් ටිකක් එහා ගිහින් අමුතු කතාවක් කියල තිබුණා” නවීන් දිසානායක කීවේ අගමැතිටය.

“ආණ්ඩුව ඇතුලෙ ඉන්න බැදුම්කර හොරු කවුද කියල එහෙනම් එතුමා අගවන්න ඕනෙ. දේශපාලන වාසි තකා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ප්‍රකාශ එහෙම නැත්නම් නොකර ඉන්න ඕනෑ.” එජාප නීති නිළධාරීයෙක් කී විට එහි සිටි සියලුදෙනාම ඊට එකඟත්වය පලකළේය.

“ක්‍රිකට් වල බලය යලිත් ක්‍රිකට් වට්ටපු අයටම ගිහිල්ලායි මිනිස්සු අපිට බනිනවා. එතනදී ආණ්ඩුවට් කරන්න දෙයක් නෑ. සල්ලි වරප්‍රසාද හා වෙනත් සාධක මත ඔවුන් හැමදාම දිනනවා. ක්‍රීඩා නීතිය නිසි පරිදි නිසි විදියට සංශෝධනය නොකලොත් ක්‍රිකට් වලට අනාගතයේදී තවත් අමාරු වේවි. මහේල ලඟ තියන මීට අදාල සැලැස්ම ක්‍රියාත්මක කරන්න මම ක්‍රීඩා ඇමති කාලෙ පසුබිම හැදුවා. හරීන් දැන් ඉතිරි ටික කරන්න ඕනෑ.” නවීන් දිසානායක කී දී අගමැති ඇතුළු කාගේත් ප්‍රශංසාවට ලක්විය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *