බොරු, ගල් පැලෙන බොරු සහ සංඛ්‍යාලේඛන – නිශාන්ත කමලදාස

සංඛ්‍යාලේඛන මෝඩයින් අමාරුවේ දමන අතර කපටියන්ට ආයුධ සපයන්නේ ය.

ස්විස්ටර්ලන්තයේ රැකියා වියුක්තිය පසුගිය වසරේ 300% කින් ඉහළ ගිය බවට වාර්ථාවක් පළ විය. සංඛ්‍යාලේඛන තවදුරටත් පිරික්සීමේ දී පෙනී ගියේ ගිය වසරේ 98 ක් වූ රැකියා වියුක්තිකයින්ගේ ගණන මේ වසරේ 302 දක්වා වැඩි වී ඇති බව ය. ස්විස්ටර්ලන්තය ලොව අඩුම විරැකියාව ඇති රට බව ය.

පිළිකා වැළඳී ඇති රෝගීන්ගෙන් 98% ක්ම තේ පානය කරන අය බව සොයා ගෙන තිබේ. ඉහත ප්‍රකාශය බැලුවිට එකවර ඇති වන නිගමනය නම් තේ පිළිකා කාරකයක් බව ය. එහෙත් ඇත්ත එය නොවේ. රටේ මිනිසුන්ගෙන් ද 98% ක් තේ බොන බවත් තේ බොන නොබොන එක පිළිකා සමග ධන හෝ රින සම්බන්ධයක් නැති බව ය. ඒ නිසා පිළිකා රෝගීන්ගෙන් 98% ක් තේ පානය කරතැයි යන කීම කිසිදු වටිනාකමක් නැති කියමනක් බව ය.

සංඛ්‍යාලේඛන කයිරාටික පුද්ගලයින් විසින් සෙසු අය මුලා කිරීමට ද මෝඩ මිනිසුන් විසින් වැරදි නිගමනයන්ට එළඹීමට ද භාවිතා කිරීමේ ශාක්‍යතාවය සහිත බව පෙනේ. එයින් කියන්නේ සංඛ්‍යාලේඛන බැහැර කළ යුතු බව ද?

සත්තකින්ම නැත. එයින් කියන්නේ සංඛ්‍යාලේඛන පරිස්සමින් ඇසුරු කළ යුතු බව ය. එයින් නොමග නොයා යුතු බව ය.

කිසිදු සංඛ්‍යාත්මක පදනමක් නැතිවම ද සමහරු අදහස් පළ කරති.

ස්ත්‍රී දූෂණ හා අපරාධ නැති කරවීමට දහම් පාසල් සැමට අනිවාර්යය කළ යුතු යැයි මේ අප මෑතකදී ඇසූ කතාවකි. වසර පහ නොඉක්මවූ සේයා දැරිය දූෂණය කොට මරා දැමීමත් සමග එය කරලියට පැමිණියේ ය. එයින් අනියමින් කියන්නට අදහස් කරන්නේ මේ අපරාධවලට හේතුව මිනිසුන් ධර්මය නොදැනීම යන්න පමණක් නොවේ. ධර්මයට බලෙන් හෝ සවන් දීමට සැළැස්වුවහොත් අපරාධ දූරී භූතව යන බව ය. මේ කියන්නේ උදේ හවස බණ කියන රටක ය. ඒ එක ද සංඛ්‍යා ලේඛනයකවත් ආධාර පවා නැතිව ය.

මේ අපරාධකරුවන් ගැන යමෙක් පරීක්ෂණයක් කොට එයින් අපරාධකරුවන් කියක් දහම් පාසල් ගොස් ඇත් ද? ගොස් නැත් ද යයි සොයා තිබේ ද? ජනගහණයෙන් කවර ප්‍රතිශතයක් දහම් පාසල් යන්නේ ද? යන්න ද සොයා මේ දත්තයන් දෙක ගැන කවර නම් හෝ සන්සන්දනයක් කර ඇත් ද?

මේ පිළිබඳ විමසුමක යෙදෙන බොදු බල සේනාව කියා තිබුනේ දැරිය කොටට ඇඳුම් ඇඳීමට පුරුදුව සිටි බවත් එය අපරාධකාරයන් පොළඹවන්නට හේතුවන්නට ඇතැ බවත් ය. ලොව අතිශයින් කොටට අඳින රටවල එසේ නම් අපරාධකරුවන් වැහි වැහැලා සිටිය යුතු ය. මුස්ලිම් රටවල එවැනි අපරාධ අවම විය යුතු ය. එක ද සංඛ්‍යාලේඛනයක්වත් එවැනි සාක්කි සපයන්නේ නැත.

එසේ කිසිදු දත්තයකින් තොරව පළකරන අනුමානයන්ටත් විශාල පිළිගැනීමක් ඇති රටක සංඛ්‍යාලේඛන වලින්ම ඔප්පු කර පෙන්වන බොරුවක් විශ්වාස නොකරන්නේ කවු ද?
ගණිතය අසමත් වුනාට කමක් නැතැයි කියන අය මේවා සම්බන්ධයෙන් දෙන උත්තර මොනවා ද?

ගණිතය සමත් වූ අය පවා ගණිතමය දත්ත නැතිව අනුමානයන් සරණ යන රටක ගණිතය ඉගැන්වීම නිසි පරිදි සිදු වෙනවා ද යන්න ද ඒ සමග විමසිය යුතුව තිබේ.

කළමනාකරුවන් තම නිගමනවලට එළඹෙන්නේ දත්ත හා සංඛ්‍යා ලේඛන ඇසුරිනි. ඒ නිසාම සංඛ්‍යාලේඛන වලින් නොමග යා හැක්කේ කෙසේ දැයි ඔවුන් දත යුතු ය.

ඒ සංඛ්‍යාලේඛන නැතිව කරන අනුමානයන් බැහැර කරන අතරතුරේ ය. ඒවා වලින් ද නොමග යන මිනිසුන් සිටින බව සටහන් කරගන්නා අතරතුරේ ය. ඒ අතර ගණිතය සමත් අය ද සිටිය හැකි බව පසක් කරන අතරතුරේ ය.

(නිශාන්ත කමලදාසගේ “කළමනාකරණය සිංහලෙන්” වෙබ් අඩවියෙනි )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *