ජනාධිපතිවරණය ජයගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාටයි – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

දින 52 බලහත්කාර ආණ්ඩුවට ඉඩ නොදී, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිට යළි නීත්‍යානුකූල රජයක් පිහිටුවීම ගැන, එක්සත් ජාතික පක්ෂය කෙරෙහිත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහිත් රටේ ජනතාවගේ විශාල ගෞරවයක් ගොඩනැගී තිබුණා. එහෙත් ඉන් පසු මේ වන විට මාස තුනක් පමණ ගත වීමෙන් පසු ඒ ජනප්‍රසාදය ක්‍රමයෙන් තුනී වී යන බවක් පේනවා.

දින 52 කාලය තුළ එක්සත් ජාතික පක්ෂය ලබාගත් ශක්තිය හා බලය ජනතා විශ්වාසය අද පලුදුවෙලා තියෙන බව පිළිගන්න වෙනවා. එය එහෙම වෙලා තියෙන්නෙ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලකමක් නිසා නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඇතැම් ඇමතිවරු මන්ත්‍රිවරු සහ ඇතැම් නායකයින් ඒ අයගෙ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන්නට යෑම හා අනවශ්‍ය ගැටළු නිර්මාණය කරගැනීම තුළ.

දින පනස් දෙක තුළ කැපවෙලා වැඩ කරපු ජනතාවක් ඉන්නව. සංවිධාන රාශියක් තියනව. ඒ සංවිධාන කියන දෙයක්වත් අද ඒ අය කරන්න ලෑස්ති නෑ. අද ඒ ගොල්ල රනිල් වික්‍රමසිංහ මහත්තයව අත්පත් කරගෙන තියෙනව. ඒ අත්පත් කරගැනීමේ ප්‍රතිඵලයක් තමයි දැන් ඔය දවසින් දවස අද ඒ මැති ඇමතිවරුන්ගේ කතාවෙන් හා ක්‍රියාවෙන් පක්ෂයට ජනතාව අතර තිබුණ තැන දැන් නැතිවේගෙන යන්නෙ.

ඒගැන පැහැදිලි කිරීමක් කරනව නම්,

ඒ ගැන පැහැදිලි කිරීමක් කරනව නම්,  ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයයි, පාලිත තෙවරප්පෙරුමයි එළිපිට රංඩු වෙච්ච හැටි බලන්න. මේ දෙන්නා දෙන්නට දෙන්නා මඩ ගහගත්තා. එතකොට ඒ මඩ කාටද වැදුනෙ? එක්සත් ජාතික පෙරමුණු රජයට. ඒ දෙන්නා කලින් අමාත්‍යාංශයේ ඇමති හා නියෝජ්‍ය ඇමති විදිහට කටයුතු කරපු ආකාරය දෙන්නට දෙන්නා විවේචිනය කරගත්ත. චම්පක රනවක මහත්තයයි සජිත් ප්‍රේමදාස මහත්තයයි දෙන්නා නිවාස සම්බන්ධ පශ්නයක් පටලව ගෙන දැන් තවත් කතාවක් යනව. රවී කරුණානායක අමාත්‍ය තුමා නිතරම මුදල් ඇමති වරයාට දොස් නගනව. රන්ජන් රාමනායක ඇමතිතුමා ඇබිනට් එකේ කොකේන් බොන ඇමතිවරු ඉන්නවා කියල ප්‍රකාශයක් කළා. ඒක ආන්දෝලානාත්මක කතාවක් වුණා. මධූෂ් අත්අඩංගුවට පත්වීමේ ප්‍රවෘත්තිය පැත්තක තිබිය දී රන්ජන් ගෙනා කුඩු කතාව ජනගත වුණා. මුදල් ඇමති මංගල විසින් රේගු අධ්‍යක්ෂිකාව මාරු කිරීමට උත්සාහ තිරීම තවත් ඒකක්. මේ වගේ කරුණු කීපයක් නිසා එක්සත් ජාතික පක්ෂයත්, නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රජාතන්ත්‍රවාදය බේරාගැනීමට කළ සටන ජයග්‍රහණය කිරීමෙන් ලබාගත් ජනප්‍රසාදය පිරිහුණා.

මේ ඇති වී තිබෙන නව තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මැතිවරණයක දී ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ ජයග්‍රාහි මානසිකත්වය අව ප්‍රමාණය වෙලා තියෙනවද?

එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් වශයෙන් දුර්වල තත්ත්වයකට වැටෙමින් තිබුණත්, පක්ෂ නායකයා වශයෙනුත් රටේ සෑම ජන කොටසකගේම විශ්වාසය දිනාගත් නායකයා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා සිය ජනප්‍රියත්වයත් ජනතා විශ්වාසයත් ආරක්ෂා කරගෙන සිටින බව කිවයුතුයි. ජනතාව ඉදිරි මැතිවරණය ගැන තීරණයක් ගන්නෙ එතුමාගේ වැඩපිළිවෙල ගැන හිතල තමයි.

එතෙනදී අගමැතිතුමා රටේ ප්‍රශ්න ගැන හිතල, ජනතාව ගැන හිතල, රටේ අනාගතයගැන හිතල හොඳ වැඩපිළිවෙලක් දියත් කළොත් මම හිතනවා දැනට පස්සට ගිහිල්ලා ඉන්න ජනතාවත්, දිනා ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි දිනනවද නැද්ද කියල එක තීරණය වෙන්නෙ, ගරු රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනධිපති අපේක්ෂකයා වශයෙන් එන ආගමනයක් එක්ක.

හොඳයි, ඔබ ජයග්‍රාහී මානසිකත්වයකින් කතා කෙරුවා. ජයග්‍රහණයක් ලැබීමට හෝ නොලැබීමට කුමන මැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්වෙයි කියල ද ඔබ හිතන්නෙ?

මේ රටේ මැතිවරණයක් පැවැත්වීමට හැකි නීතිමය තත්ත්වයක් තියෙන්නෙ ජනාධිපතිවරණය පමණයි.

සීමා නීර්ණ කමිටු වාර්තා අනුව මැතිවරණය තියන්න කුඩා පක්ෂවල එකඟතාවයක් නැහැ.  ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ හැරුණු කොට අනිත් පක්ෂ හැම එකක්ම වාගේ පලාත් සභා මැතිවරණයට මුහුණ දීමට උදාසින ගතියක් තමයි පෙන්නුම් කරන්නෙ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන්නෙ පලාත් පාලන මැතිවරණය ඉස්සරවෙලා පවත්වන්න කියලයි.

ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල ජනප්‍රියනම්, එතුමාට ජයග්‍රහණය ගැන විශ්වාසයක් තියෙනව නම් එතුමාට අද වුණත් පුළුවන් ඉල්ලා අස්වෙලා මැතිවරණයකට යන්න. එහෙම නැතත් දෙසැම්බර් 6 වෙනකොට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම අනිවාර්යෙන්ම කරන්න වෙනව.

ඒ නිසා ඉස්සර වෙලාම පවත්වන්නෙ ජනාධිපතිවරණයක් කියල කියන්න පුලුවන්. එක්සත් ජාතික පෙරමුණ ඒකට සූදානම් වෙමිනුයි ඉන්නෙ. අපිට ජයග්‍රාහි ඉලක්කයක් තියෙනව.

එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකය මේ වන විට නම් කරල තියෙනවද?

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලම අපේක්ෂකයා සියලුම ජාතින් පිළිගන්න නායකයෙක්. සියලුම ජාතීන් පිළිගන්න අපිට එක නායකයි ඉන්නෙ. එතුමා ආවොත් උතුරු නැගෙනහිර ඡන්ද, කඳුකර ජනතාවගේ ඡන්ද, අනෙකුත් ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද මුස්ලිම් ජනතාවගේ ඡන්ද සහ ජාතිවාදී ආගම්වාදී නොවන සියලුම සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද ඒ නායකයට ලබාගන්න හැකියාව තියෙනව. ඒ නායකයා වෙනින් කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිතුමායි.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජනතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කරන බව ස්ථිරද?

එතුමාගේ ඉදිරිපත් වීම වලක්වන්න දැන් නොයෙකුත් නම් ඉදිරිපත් කරමින් සිටිනව. පිරිසක් කරු ජයසූරිය මහත්තයා අපේක්ෂකත්වයට ගෙන ඒමට උත්සාහ කරනව. එතුමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්, දින 52 අර්බුදය වෙලාවෙ නොසැලී තීරණ ගත්ත කෙනෙක් එතුමාගේ නමත් යෝජනාවෙලා තියෙනව. තවත් පිරිසක් සජිත් ප්‍රෙමදාස මහතාගේ නම යොජනා කරමින් සමාජ ජාල හරහා එතුමා ජාතික නායකත්වයකට සුදුසු බව පවසමින් එතුමාව ඉදිරියට ගේන්න බලනව. තවත් පිරිසක් චම්පික රණවක ගේන්න උත්සාහ කරමින් කටයුතු කරමින් ඉන්නව.

එක්සත් ජාතික පක්ෂ කියන්නෙ රටේ තියෙන ප්‍රධානතම පක්ෂ එයින් තමයි අපේක්ෂකයෙක් එන්න ඕනෙ. එක්සත් ජාතික පෙරමුණු රජයේ ඉන්න පක්ෂයක නායකයයෙක් වශයෙන් මගෙත් රටේ බහුතර ජනතාවකගේත් කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහතා බව මම කියන්න කැමතියි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *