ළමා අපචාර

හා හා කැතයි. හෝ හෝ කැතයි. ලැජ්ජා නැද්ද? හා හා කැතයි. චී චී කැතයි. ලැජ්ජා නැද්ද? කඩේ ළමයා 108 වාරයක් මන්තරයක් ජප කරන්නා සේ කියන්නට ගත්තේය.

මොකක්ද ළමයා ඔය අඬෝවැඩියාව කියන තරමක් කියලා ඉක්මනට නතර කළා නම් කනක් ඇහිලා මටත් වැඩක් කරගන්න තිබ්බා කියා මුදලාලි කීවේ කොලුවාගේ  ගායනය නතර වන බවක් නොපෙනුනු නිසාය. මේක දැන්ම නතර කරන්න පුළුවන් ගායනයක් නෙමෙයි. එක්කෝ නඩු දාන්න වෙනවා. නැත්නම් ඒත් නඩු දාන්න වෙනවා. කොලුවා කීවේය

අහවල් දේටද නඩු දාන්න වෙන්නේ මුදලාලි ඇසුවේය.

බාල අපචාරයට කොල්ලා කීවේය.

බාල අපචාර කීවා?  කොහෙ තියෙන බාල  අපචාරයක් ද?  කවුරු කරපු එකක්ද ? මුදලාලි ඇසුවේය. වෙන කොහෙවත් නෙවෙයි නීති හදන තැනම බාල අපචාර පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ  කොල්ලා කීවේය.

මොනව කීවත් පාර්ලිමේන්තුවේ සෙන්කෝලෙ උස්සන් දුවනවා . කුණුහරප කියනවා. මයික්  කඩනවා. බයිබල්  ප්‍රහාර එල්ලකරනවා . මිරිස් කුඩු ගහනවා. වන්ෂොට් ඇමතිතුමා කියන විදියටනම් කුඩුත්  ගහනවා. ඒත්  කොහෙන්ද  බාල අපචාර ? මොන්ටිසෝරියේ වගේ  මන්ත්‍රිලා හැසිරුණාට පාර්ලිමේන්තුවේ පොඩි ලමයි ඉන්නවද මුදලාලි  ඇසුවේය.

ඒක මුදලාලි මහත්තයෝ මම කියන කතාවක් නෙමේ. අපේ විධායක මහත්තයා පාර්ලිමේන්තුවේ දී ම කිව කතාවක් කොලුවා කීවේය.

විධායක මහත්තයා නං කියන්නෙ මොනවද එයා සමහර වෙලාවට එයාටමත්  බැනන්නවා. දැන් මොකක්ද එයා කියලා තියෙන්නේ? කියා මුදලාලි ඇසුවේය .

කියලා තියෙන්නේ ඉතාම දරුණු කතාවක් කතාව ඇත්තනම් දහදෙනෙකුට විරුද්ධව ඇක්ෂන්ගන්න වෙනවා. පාර්ලිමේන්තුවෙන් හතයි. එළියෙන් තුනයි. කොල්ලා කීවේය.

වැල්වටාරම්   නැතුව කියන දෙයක් කියනවා ළමයා. කාට  විරුද්ධවද දැන් ඇක්ෂන්ගන්න වෙන්නේ?  මුදලාලි ඇසුවේය.

වෙන කාටවත් නෙමෙයි ව්‍යවස්ථා සභාවට එළියෙන් තුනයි ඇතුලෙන් හතයි දහ දෙනාටම වගකියන්න වෙනවා කොල්ල කීවේය.

මොකටද අධිකරණයට අර නෝනගේ නම් අනුමත නොකල නිසාද?  මුදලාලි ඇසුවේය.

නෝනගේ නම  අනුමත නොකිරීම බාල අපචාරයක් ද?  එයා පොඩි ළමයෙක් ද?  විධායක මහත්තය කියල තියෙන්නේ දහනව වන සංශෝධනය කියන සුජාත දරුවා අපයෝජනය කළා කියන එකයි. මේ කැත වැඩේ කරලා තියෙන්නේ අර දහදෙනා ඇතුලෙන් හතයි එළියෙන් තුනයි ව්‍යවස්ථා සභාව ළමයා කීවේය.

ඒක නෙමෙයි මුදලාලි විධායක මහත්තයට විරුද්ධව නඩු දාන්න බැරිද මදවෙලාවකට පසුව ළමා ඇසුවේය . සාටක රජ්ජුරුවෝ ළඟට එනකම් නඩු දාන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ කියල තමයි කිව්වෙ . දහනවයෙන් පස්සෙ දැන් ඉන්න විධායක මහත්තයට නඩු දාන්න පුළුවන්ද කියලා මම හරියටම දන්නේ  නැහැ. ඉස්කෝලේ මහත්තයාවත්  හිටිය නං අහලා  බලන්න තිබුනා. ළමයට මොකද විධායක මහත්තයට නඩු දාන්න පුළුවන්ද කියලා දැනගන්න ඕනි වුනේ මුදලාලි ඇසුවේය.

බලාන ගියාම දහනව වන සංශෝධනය සුජාත දරුවා අපචාරයට ලක් කිරීමේ  චෝදනාවක්  එයාටත් එල්ල වෙනවා. කොලුවා කීවේය .

කට පරිස්සම් කරගෙන කතා කරනවා ළමයා මටත් එක්ක පොලිසියට යන්න සිද්ධ  කරන්නේ නැතුව කියා එවිට මුදලාලි ළමයාට අවවාද කළේය.

බොරු නෙමෙයි මුදලාලි මම කියන්නේ ඇත්ත හරියටම බැලුවොත් දහනව වැනි සංශෝධනය සුජාත දරුවා මුලින්ම අපචාරයට ලක් වෙලා තියෙන්නේ විධායක මහත්තයාගේ අතින්කොලුවා නැවතත් කීවේය.

ළමයා  කොහොමද එච්චර බරපතළ චෝදනාවක් කරන්නේ මුදලාලි ඇසුවේය .

කියන්න ඕනේ නැහැ උසාවියේ දී ත් ඒක ඔප්පු වෙලා ඉවරයි. කොලුවා කීවේය.

විධායක මහත්තයා කවද්ද ළමා අපචාර කළේ? කට  තිබුණු පලියට කතා කරන්න එපා ළමයා මුදලාලි කීවේය.

එයා  සුජාත දරුවා  අපචාරයට ලක් කළේ පසුගිය ඔක්තෝබර් මාසයේ සාටක  රජ්ජුරුවෝ වැඩේට හවුල් . විමලේලා ,උදයලා අතපය අල්ලන් හිටියා . අර දෙන්නා  එක්වෙලා සුජාත දරුවා  අපචාරයට ලක් කළා. කඩේ ළමයා කීවේය.

මොන විකාර කතාවක් ද ළමයා කියන්නේ මේවා උසාවි යන කතා මුදලාලි කීවේය.

විධායක මහත්තයා ඔක්තෝබර් මාසේ සාටක රජ්ජුරුවන්ට කතා කරලා අගමැති පට්ටම බාර දුන්න ද නැද්ද? ළමයා ඇසුවේය.

දුන්න නේන්නම් මුදලාලි කීවේය.

එදා  කරපු වැඩේ වැරදියි කියලා උසාවිය තීරණය කළා ද? නැද්ද? ළමයා ඇසුවේය.

තීරණය කළා මුදලාලි කීවේය.

සාටක  රජ්ජුරුවන්ට අගමැති පට්ටම දීම වැරදියි කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොයි සංශෝධනයට අනුව ද ළමයා ඇසුවේය.

දහනව වැනි සංශෝධනය අනුව ආණ්ඩුව විසුරුවන්න බැහැ. ඒ නිසා තමයි අගමැති ධූරය රනිල් මහත්තයට නැවත දෙන්න සිද්ධ වුණේ. මුදලාලි කීවේය.

විසුරුවන්න බැරුව තියෙද්දි ආණ්ඩුව විසිරවීම 19 සුජාත දරුවා  අපචාරය කිරීමක් නොවේද?  ඇත්ත ඒකයි මම කියන්නේ . මුලින්ම 19 දරුවා අපචාර කළේ විධායක මහත්තයයි සාඨක රජ්ජුරුවොයි ළමයා කීවේය.

ඔය ලොකු ලොක්කන්ගේ වැඩ අපට ඕනි නැහැ. සීනි කිලෝ එකක් විකුණගෙන ජීවත්වෙන්න බලමු. ඔය කතා කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. මුදලාලි කීවේය.

මුදලාලිට හින්දයි මම කියන්නේ එයා මේ දවස් වලත් 19 දරුවා අපචාර කරනවා ළමයා කීවේය. ඒ කොහොමද මුදලාලි ඇසුවේය. අදාල නැති නීතිය සාමය සාක්කුවේ දාගෙන ඉඳීමත් 19 දරුවා අපචාර කිරීමක් නෙමෙයි ද ? ළමයා ඇසුවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *