ව්‍යවස්ථා සභාවට ගල්මුල් ගැසීම – සම්පත් අමරසිංහ

ව්‍යවස්ථා සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය  බවට ඉල්ලීමක් කර ඇතැයි  සඳහන් වේ. ජනාධිපතිවරයාත්, ඒකාබද්ධ විපක්ෂයත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාත්  මේ දිනවල කරන ප්‍රකාශ අනුව පෙනී යන්නේ, ඔවුන් ව්‍යවස්ථා සභාව සම්බන්ධව දරුණු කෝපයකින් පසුවන බවය.

ව්‍යවස්ථා සභාව වැනි යාන්ත්‍රණයක අවශ්‍යතාවය මතු වන්නේ 2015 ජනවාරි විජයග්‍රහණයෙන් පසුව නොවන බව රටට අමතකව  වී ඇති බව මේ දිනවල කෙරෙන සංවාද අනුව පෙනේ.  විධායකයේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වයෙන් රට මුදා ගැනීම පිළිබඳ අවශ්‍යතාව  පිළිබඳ සංවාදය මතු වූයේ චන්ද්‍රිකා පාලන යුගයේදී ය.  එහිදී ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ කතිකාවතත්   ව්‍යවස්ථා සභාව පිළිබඳ සංවාදයත්  ඔස්සේ  17 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවට නැංවීන. දහහත්වන සංශෝධනය මගින් ගොඩනැඟුණු ව්‍යවස්ථා සභාව අද පවතින ව්‍යවස්ථා සභාවත් වඩා  ශක්තිමත් එකකි. එසේ වන්නට හේතුව එය සමන්විත වූ නියෝජිතයන් දහදෙනා පත් වූයේ අගමැති, විපක්ෂ නායක, කතානායක, නියෝජිතයන් තිදෙනකු සහ ඔවුන්ගේ අනුමැතියෙන් සිවිල් සමාජ නියෝජිතයන්  07 වශයෙන් වන බැවිනි. එනම් 17  ව්‍යවස්ථා සංශෝධනයේ  ව්‍යවස්ථා සභාව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහිවූ ව්‍යවස්ථා සභාවේ පරස්පරය වන බවයි.

කොතරම් යහපත් වුවත්  දාහත්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා වූ ව්‍යවස්ථා සභාව උපන් ගෙයිම මිය යන තත්ත්වයට පත් වූයේ එම ව්‍යවස්ථා සභාවෙන් මැතිවරණ කොමිසමට යෝජනා කල සභාපතිවරයාගේ නම ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. එසේ මැතිවරණ කොමිසම ක්‍රියාත්මක නොවීම ඔස්සේම අල්ලස්, පොලිස් ආදී අනෙකුත් කොමිෂන් සභා පත්වීම්ද ඈලියාවට ගිය අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසුව එම තත්ත්වය උපයෝගී කර ගනිමින් සිය කැමැත්ත අනුව කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කරන්නට කටයුතු කළා පමණක් නොව 18 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා එම හැසිරීම ව්‍යවස්ථානුකූල භාවයට පත්කර ගන්නට යෙදුණි.

දහනවවැනි ව්‍යවස්ථා  සංශෝධනය හරහා යලිත්  කොමිෂන් සභා ශක්තිමත් කෙරුණු අතර ව්‍යවස්ථා සභාව ද (දාහත් වැනි සංශෝධනයේ තරමට ශක්තිමත් වන නොවුවත්) පත් කරන්නට යෙදුණි . දහනවවැනි සංශෝධනය අනුව මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිසම්, විගණන සේවා කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණ කොමිසම, සහ ජාතික ප්‍රසම්පාදන කොමිසමට නියෝජිතයන් පත් කළ යුතු වන්නේ ව්‍යවස්ථා සභාවේ වැඩි ඡන්දයෙනි.

එසේම අධිකරණ සේවා කොමිෂන්  සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, නීතිපතිවරයා පත් කිරීම කළ යුතු වන්නේද ව්‍යවස්ථා සභාවේ වැඩි ඡන්දයෙනි. විගණකාධිපතිවරයාට ද එසේ ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පත්කළ යුතු තනතුරකි.

කවුරුන් කෙසේ කීවද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා සක්‍රිය වීමත්, එවාහි නිලධාරීන් ජනාධිපතිවරයාගේ රුචිකත්වය අනුව නොව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය කිරීම තුළ,  එකී  ආයතන වලට ස්වාධීනව කටයුතු කළ හැකි වටපිටාවක් ඇති වී තිබේ. පොලිසියටත් පොලිසියේ ඉහළ නිලධාරීන්ටත් දේශපාලන අතපෙවීම්වලින් තොරව ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබී ඇත්තේ පොලිස් කොමිසම හේතුවෙනි. පොලිස් නිලධාරීන්ට නීති විරෝධීව කටයුතු කිරීමට ඇති ඉඩ ඇහිරීම ද පොලිස් කොමිසම හේතුවෙන් සිදුවිය .මැතිවරණ කොමිසම ස්වාධීන වීමේ වාසිය මෙරට ජනතාවට පසුගිය මැතිවරණවලදී ඇස්පනාපිටම දැකගැනීමට අවස්ථාව සැලසුණි .

ඒකාබද්ධ විපක්ෂයේත්  ජනාධිපතිවරයාගේත්  දෝෂදර්ශනයට අද ලක් ව පවතින ව්‍යවස්ථා සභාවේ උප්පත්ති කතාව සිහිපත් කර ගැනීම්ද  මෙම කාරණාවේදී වැදගත්ය. ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා මෙරටට හඳුන්වා දුන්  දහනවවැනි සංශෝධනය  පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ ඡන්ද 212 කිනි. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන්  212 ක් ම 19 වැනි සංශෝධනයට අත ඔසවා තිබේ. අද ව්‍යවස්ථා සභාව විවේචනය කරන විජේදාස රාජපක්ෂ පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියන්  වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, ආදීහුද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කළ පිරිසට ඇතුළත් වූහ. එදා නිමල් සිරිපාල ද සිල්වා මහතා උදම් ඇනුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහයෝගය නොවන්නට දහනමවැනි සංශෝධනය අනුමත නො වනු ඇති වනු ඇති බවත්, එසේ අනුමත වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය ආශිර්වාදයක් වූ බව ද ඔහු සඳහන් කළේ ය.

අද ව්‍යවස්ථාදායක සභාවට ප්‍රහාර එල්ල කරන ලද විජේදාස රාජපක්ෂ මහතා යනු පවතින ව්‍යවස්ථා සභාවේ ආරම්භක සාමාජිකයෙකි. ඒ මහතා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා වශයෙනි. 2015-09-09 සිට 2017 දෙසැම්බර් 28 දක්වා වසර 2කට මඳක් වැඩි කාලයක් විජේදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වය දැරිය. ඒ  පමණක් නොවෙයි එකී කාලය තුළ ව්‍යවස්ථා සභාව ගත් කිසිදු  තීරණයකට විජේදාස රාජපක්ෂ මහතා විරෝධය පළ කර ඇත්තේද නැත.

ව්‍යවස්ථා සභාව පිළිබඳ වත්මන්  ගැටුමට මූලික හේතුව වන්නේ අභියාචනාධිකරණයේ සභාපති ධුරයට දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම  ව්‍යවස්ථා සභාව අනුමත නො කිරීමත් සමගය. එම  අනුමත නොකිරීම අනුමත නොකරමින් ජනාධිපතිවරයා දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම නැවත නැවතත් ව්‍යවස්ථා සභාවට යොමු කරනු ලැබූ බවද කියවේ. එපමණක් නොව අවසානයේ ඇයම  අභියාචනාධිකරණයේ සභාපති ධූරයේ වැඩ බලන්නට  මේ  වන විට ජනාධිපතිවරයා පත් කර තිබේ  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි.   පසුගිය නීති විරෝධී ඔක්තෝම්බර් 26  විප්ලවයෙන් පසුව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ජනාධිපතිවරයා විනෝදාංශයක් කරගෙන ඇති බවත් දැන් දැන් පෙනෙන්නට තිබේ.

ව්‍යවස්ථා සභාවේ කටයුතු කෙරෙන  ආකාරයත් එසේ කටයුතු කිරීමට තීරණය කිරීමට ව්‍යවස්ථා සභාවට සිදුවූ  හේතුවත් පිළිබඳ  කතානායකවරයා ජනාධිපතිවරයාට දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබූ බව මේ වන විට රහසක් නොවේ. එහෙත්ජනාධිපතිවරයාත්  ඒකාබද්ධ විපක්ෂයත්  විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වරයාත් එම පැහැදිලි කිරීම් පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. ඉහත හැසිරීම් හරහා එකී පිරිස උත්සාහ කරන්නේ මහින්ද  රාජපක්ෂ යුගයේ මෙන් ජනාධිපති බලතල හරහා රටේ සියලු රාජ්‍ය යාන්ත්‍රණයේ හසුරවන වටපිටාවක් බිහි කර ගැනීමට ද යන සැකය මෙහිදී මතුවේ .

ස්වාධීන පිරිසකගෙන් සමන්විත කමිටුවක්ව්‍ වන ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු තැනත්තෙකු වෙනුවට අන් අයකු පත් නොකර එම තැනැත්තා  හෝ තැනැත්තියගේ  නම ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටින්නේ නම් එතන ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය යනු එක් පුද්ගලයෙකුගේ මතය ක්‍රියාත්මක වීම නොවේ. ජනාධිපතිවරයාගේ අභිමතය ක්‍රියාත්මක වන්නට නම් ව්‍යවස්ථා සභාවක් අවශ්‍ය නැත. ව්‍යවස්ථා සභාව ගොඩනැගෙන්නට තනි පුද්ගලයකුගේ මතය ක්‍රියාත්මක වීමෙන් සිදුවූ විනාශයෙන් රට බේරා ගැනීමටය .

මහින්ද රාජපක්ෂ යුගයේ සිිදුවූයේද එයමය. මානව හිමිකම් කොමිසමට  තමන්ගේ අය පත්කර ගනිමින් මානව හිමිකම් කඩවීම යටගැසිමේ  ප්‍රතිඵලය වූයේ මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධව ජාත්‍යන්තර මැදිහත්වීම්ක් අවශ්‍ය යන මතයකට ලෝකය යොමු වීමයි . GSP+ වැනි දේ අහිමි ව යාමටත් ජාත්‍යන්තර ආධාර නොලැබී යාමත් රාජපක්ෂ ආන්ඩුවේ මානව හිමිකම් පැටිකිරිය බලපෑ අන්දම සිහිපත් කරගැනීම ව්‍යවස්ථා සභාවට ගල් ගසන්නනගේ  ශරීර සෞඛ්‍යයට කෙසේවෙතත්  රටේ අනාගතය ට යහපත්ය.

මෙරට මානව හිමිකම් ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තරයම වන විට සතුටුදායක තත්ත්වයකට පත්ව සිටි අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජාත්‍යන්තරයේ තත්ත්වයද එයමය. මානව හිමිකම් ආරක්ෂා වීම අධිකරණය ස්වාධීන වීම අවශ්‍ය වන්නේ පිටරැටියන්ට නොව ජනතා සුබ සිද්ධිය පිණිස ය. අසීරුවෙන්දිනාගත් නිදහස කණපිට හරවා නැවත රාජපක්ෂ යුගයකට  යන්නට කවුරුන් හෝ පිඹුරු පත් සකසන්නේ නම් මුල් පියවරේදී ම ඊට එරෙහිව නැගී සිටීම ජනතාවගේ අයිතියක් මෙන්ම යුතුකමක් ද වෙයි. ඒ බව අමතක කරන්න ජනතාව සූදානම් නම් සිය නිදහස නැතිකර ගැනීමට  ද ඔවුන් සූදානම් විය යුතුය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *