ව්‍යවස්ථා සභා විවාදය කතාවට පමණයි – සිරිසේන රාජපක්ෂ

ව්‍යවස්ථා සභාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය කෙලවර වුයේ කතා සාප්පුවක් වශයෙන් පමණි . විවාදය අවස්ථාවේ කතා කල කථිකයන් අතරින් වඩාත්වැදගත් අදහස් දැක්වූ දෙදෙනෙකුගේ අදහස් පුවත්පත්වල පලවී තිබුණි. එක් අයෙක් ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාය . ඔහුගේ අදහස් වෙන්වතිබුනේ ව්‍යවස්ථා සභාවේ කටයුතු නිර්දය විවේචනයට සහ සභාව තුල තමන්ගේ ගොඩ වැඩි කරගැනීමට හෙවත් හිටපු විපක්ෂ නායක සම්බන්දන් මහතාගේ නියෝජිතයන් වෙනුවට වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජකත්වය ඉහල නංවාගැනීමට බව පෙනේ . විවාදයේදී අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා තිබුනේ සම්බන්ධන් මහතා සහ අග්‍රාමාත්‍ය වරයා විසින් පත්කර සිටින නියෝජිතයන් පස්දෙනා ඉවත්වී අග්‍රාමාත්‍යවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා විසින් නැවත පස්දෙනෙකු පත්කර ගැනීමට ඉඩ සැලසිය යුතු බවයි .

වත්මන් විපක්ෂ නායකවරයා වන්නේ මහින්ද මහතාය යන තර්කය මත ඉහත ඉල්ලිම සාධාරණ බව පෙනේ . එසේ වුවද ,සම්බන්ධන් මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අතර මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන අරමුණු වෙනුවෙන් පමනක් පෙනී සිටින තත්ත්වයක් තුල ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වය මහින්ද රාජපක්ෂ මහතාට හැසිරවිය හැකි වැඩි බලයකින් සමන්විත වුවහොත් එතුල අද පවතින ස්වාධීනත්වය හෝ ඉතුරුවේද යන ගැටලුව මතුවේ .
ව්‍යවස්ථා සභාව විවේචනය කිරීම සදහා ගම්මන්පිල මහතා කරුණු දෙකක් පෙන්වා දී තිබුණි . එකක් වන්නේ නීතිපති ධුරය සදහා ජයන්ත ජයසුරිය මහතා ව්‍යවස්ථා සභාව විසින් පත් කිරීමයි . ගම්මන්පිල මහතාගේ තර්කය වන්නේ ‌‌ජ්‍යෙෂ්ඨත්වයෙන්   වැඩි සුහද ගම්ලත් මහතා අත්හැර ජයන්ත ජයසුරිය මහතා පත්කිරීම වරදක් බවයි .ව්‍යවස්ථා සභාවේ තර්කය වන්නේ තමන් තීරණ ගනු ලබන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සලකා බලා පමණක් නොවන බවයි .එම මතයේද තර්කයක් තිබේ. ජෙය්ෂ්ඨත්වය මතම තනතුරකට පත් කරන්නට නම් ව්‍යවස්ථා සභාවක් හෝ එවැනි වෙනත් යාන්ත්‍රණයක් හෝ අවශ්‍ය වන්නේ නැත .

ජයන්ත ජයසුරිය මහතා පත්කිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා ඇතුළු විවේචකයන් ව්‍යවස්ථා සභාවටම ඇගිල්ල දිගු කරන නමුත් එහිදී ඔවුන් හෙළි නොකරන කරුනක්ද තිබේ . එකී කරුණ මෙසේය . නීතිපති ධුරය සදහා සලක බැලීමට ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා නම් තුනක් ඒවා තිබුණි . එම නම් වන්නේ සුහද ගම්ලත් , කපිල වෛද්‍ය රත්න සහ ජයන්ත ජයසුරියයි . නම් තුන අතරින් ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාව විමසුවිට ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට එවනු ලබා ඇත්තේ ජයන්ත ජයසුරිය මහතාගේ නම පමණි .ව්‍යවස්ථා සභාව කර ඇත්තේ එසේ එවනලද ජයන්ත ජයසුරිය මහතාගේ නම් අනුමත කිරීමයි .

ඉහත කරුණු සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා විවේචනය නොකරන්නේ මේ වන විට ජනාධිපතිවරයා නියෝජනය කරමින් සිටින්නේ ගම්මන්පිල මහතාට හිතවත්පිල නිසා වන්නට පුළුවන. ඔක්තෝම්බර් වෙනසට පෙර මේ විවාදය සිදු වුයේ නම් ගම්මන්පිල මහතා අතින් ජනාධිපතිවරයා විවේචනය ජයගත හැකි හැකිව තිබුණු ආකාරය සිතා ගැනීමට අපහසු නැත.

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේදී අගවිනිසුරුවරයාගේ මතය විමසුම අවශ්‍ය වේ . එසේ වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුවය . දීපාලි විජේසුන්දර මහත්මියගේ පත්වීම වැලැකිමට හේතුව අගවිනිසුරු වරයාගේ විරෝදය නම් ඊට ව්‍යවස්ථා සභාවට දොස්නැගීම සාධාරණ වන්නේ නැත .
බරපතලම ගැටලුව වන්නේ සිය විරෝධයට අගවිනිසුරු වරයාගේ ආගම සම්බන්ධ ප්‍රශ්නයක්ද ගාවා ගැනීමට තරම් ගම්මන්පිල මහතා ප්‍රාථමික වී තිබීමයි .

එය වනාහි පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවී අගවිනිසුරුවරයටත් ඔහුගේ ආගමික පසුබිමටත් මැඩ ගැසිමක්වශයෙන් සැලකිය හැකිය . විජේසුන්දර මහත්මියගේ පත්වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගේ පදනම තර්කනුකුලව විවේචනය කිරීම එකකි .ඒඔස්සේ ආගම්වාදය වැපිරීමට උත්සහ කිරීම මිලේච්චත්වය ප්‍රදර්ශනය කිරීමකි.
සරත් එන් ද සිල්වා වැනි අගවිනිසුරු වරුන්ගේත් කියන අයුරින් වැඩ කරන්නම් කියමින් අගවිනිසුරු ධුරයේ රැදී ඉන්නට අවසර ඉල්ලු බව කියන්නන්ගේත් හැසිරීම් දන්නා ලක්වැසි ජනතාවට ශ්‍රී පවන් , ප්‍රියන්ත ඩෙප් යනු ජාතික ආගමික පසුබිම කුමක් වුවත් මෙරට අධිකරණයේ කොන්ද කෙලින්කරවූ අගවිනිසුරුවරුන් බව හිස්මුදුනින් පිළිගත හැකිය . ඔක්තෝබරයෙන් ඇරබි විනාශයකින් කෙලවර වන්නට තිබුණු මෙරට වත්මන් ඉතිහාසයේ ඒ ගමන නැවතුනේ අධිකරණය ස්වාධීනව කටයුතු කිරීම හේතුවෙනි . ධුර කාලය ඉලාස්ටික් කරගැනීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය ව්‍යර්ථ වුයේද අධිකරණයේ ස්වාධීනත්වය නිසාය .

එවැනි තත්වයක විජේසුන්දර මහත්මිය සම්බන්ධයෙන් අගවිනිසුරු අනුමැතිය නොලැබීම සම්බන්ධයෙන් දේශපාලනයෙන් හා පටු මතවාද වලින් තොරව විමසා බැලීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන කාගේත් වගකීම වේ . ගම්මන්පිල මහතා අතින් බිදවටෙන්නේ එකී වගකීමයි .

ව්‍යවස්ථා සභාව සම්බන්ධව ගැටළු පවතී .පළමු ගැටලුව වන්නේ එහි සාමාජික සංයුතිය සම්බන්ධයෙනි . ඒ පිළිබද මනා විග්‍රහයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ඉදිරිපත් කර තිබුණි . ජයම්පති වික්‍රමරත්න මහතා විවාදයේදී පවසා තිබුනේ ව්‍යවස්ථා සභාව වෙනස් වියයුතුව ඇත්තේ දේශපාලනඥයන් එයින් ඉවත් කරන ආකාරයට බවයි . 2015 දී එනම් ,19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී හෙවත් ව්‍යවස්ථා සභාව පිහිටු වීමේදී යෝජනා වුයේ එහි සාමාජිකයන් සියල්ලම සිවිල් පුරවැසියන් වියයුතුය යන්න වුවත් එය ප්‍රතිෂේප වූ බව වික්‍රමරත්න මහතා කියතිබුනි . එය එසේ වුයේ විපක්ෂයේ ක්‍රියාමාර්ග නිසාය .

ව්‍යවස්ථා සභාවේ නියෝජකත්වය සිවිල් 7 ට දේශපාලන 3 ක් වන්නටවත් ඉඩනුදුන් පිරිසක් එහි ස්වාධිනත්වය පිළිබද පාර්ලිමේන්තු විවාද ඉල්ලීමත් විහිළුවකි . 2015 සැප්තැම්බර් මස පත්කෙරුණු ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනාගෙන් 4 දෙනෙකු අග්‍රාමාත්‍ය වරයා ඇතුළු කැබිනට් ඇමතිවරු වුහ . ඉහත තත්වය යටතේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය පිළිබද ගැටලුකාරී තත්වය ඇතිවීම හෝ එවැනි තත්වයන් ඇතැයි පෙනීයාම සාධාරණය . එහෙත් එම තත්වය මගහැර යාහැක්කේ ජයම්පති වික්‍රමරත්න පවසන පරිදි සිවිල් වැසියන්ට එහි ඉඩ විවරකර දීමෙන් මිස ගම්මන්පිල මහතා යෝජනා කරන ආකාරයට දේශපාලන බලය තහවුරු කිරීම හරහා නොවේ .

කොමිෂන් සභා සදහා පත්කරනු ලැබූ තැනතන්ගේ කාර්යක්ෂමතාව වයස, චරිතය ආදී කරුණු සම්බන්ධයෙන් පොදු ජනතාවට ගැටළු මතුවූ අවස්ථාවන්ද තිබුණි .

නෙලුම් ගමගේ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය වශයෙන් සිටියදී සිටි එක සාමාජිකයෙකු අල්ලස් නඩුවක වීත්ති කරුවෙකු බවට චෝදනා එල්ලවීම එක් නිදසුනකි .වරක් මානව හිමිකම් කොමිසමට පත්කළ නීතීඥවරයෙකු සම්බන්දයෙන්ද ගැටළු සහගත තත්වයක් මතුවී තිබුණි .

පොලිස්පති ධුරයට පුජිත් ජයසුන්දර මහතා පත්කිරීම සහ ඒ මහතා පත්කළ ආකාරය පිළිබදවද ගැටළු තිබේ . පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් පවතින විවේචන වලට ව්‍යවස්ථා සභාව පාර්ශවයෙන් ඉදිරිපත් කරන පැහැදිලි කිරීම් වන්නේ පොලිස්පති ධුරය නම් තුනක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වූ බව සහ ඡන්ද විමසීමේදී ජයසුන්දර මහතාට පක්ෂව ඡන්ද 05 ක් සහ වික්‍රමසිංහ මහතාට ඡන්ද 1 ක් ලැබුණු බැවින් ජයසුන්දර මහතා පත්කරන්නට යෙදුනු බවයි . විවේචනය වන්නේ ව්‍යවස්ථා සභාවෙහි සිවිල් නියෝජිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකු නොමැතිව සහ විවෘත ඡන්දයකින් නොව රහස් ඡන්දයකින් පොලිස්පතිවරයා පත්කරගන්නට යෙදුනු බවයි .

ඇත්ත වශයෙන්ම එය බරපතල තත්වයකි . පුදුමයට කරුණක් වන්නේ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු පොලිස්පතිවරයා පත්කිරීම වැනි බරපතල වගකීමක් පැහැර හැරියේ කෙසේද යන්නයි .එහිදී ඔවුන්ගේ යෝග්‍යතාව පිළිබද ප්‍රශ්නයක් මතුවේ .අනෙක් අතින් සිවිල් සාමාජිකයන් තිදෙනෙකු පමණක් ඇති තැනක දෙදෙනෙකු නොමැතිව තීරණයකට එළබි දේශපාලන නියෝජිතයන්ගේ වගකීමේ ස්වභාවය පිලිබදද ගැටළුවක් මතුවේ .පොලිස්පති වරයාගේ පසුකාලින හැසිරීම එනම් ,පුද්ගලයකු අත්තඩන්ගුවට ගැනීමක් සම්බන්ධව වේදිකාවකදී කල දුරකතන සංවාදය ,භාවිත නොකළ සෝපාන ක්‍රියාකරුට දුන්නේය කියන දඩුවම මහනුවර පෙරහැරේ කල නැටුම් ආදිය විසින් ඔහුගේ එම තනතුරට සුදුසුකම් පිළිබද ගැටලුව සමාජ කතාබහට ලක්වී තිබේ . අනෙක මේවනතෙක් ජයසුන්දර මහතාගේ පොලිස්පති ධුරය වෙනස් කරන්නට නොහැකි වී තිබීමයි .

ව්‍යවස්ථා සභාවේ තීරණ උසාවිය හමුවේ අභියෝග කරන්නට 19 වැනි සංශෝධනය අනුව හැකියාවක් නැත . බැලූ බැල්මටඑයද බරපතල අඩුවකි .රටේ උසස් නිලතල වලට පත්කිරීම් කරනු ලබන ආයතනය වශයෙන් ව්‍යවස්ථා සභාවෙන් යම් අඩුවක් වැරද්දක් අසාධාරණයක් වුවහොත් එය නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් තිබිය යුතුවේ . එසේ නොවීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ය .

අනෙක් කරුණ වන්නේ ව්‍යවස්ථා සභාව මගින් පත්කෙරෙන කොමිෂන් සභා ආදියෙහි ක්‍රියාකාරිත්වය නියාමනය කෙරෙන යාන්ත්‍රණයක් ගොඩනැගී නොතිබීමයි . මෙය වික්ටර් අයිවන්ද මහතාද නිතර මතුකරන ප්‍රශ්නයකි.

ව්‍යවස්ථා සභාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී සිදුවිය යුතුව තිබුනේ , එකී කරුණු පිළිබද විවාද කර ව්‍යවස්ථා සභාවේ අඩුපාඩු සම්පුර්ණ කරගන්නා වැඩපිළිවෙලක් ගැන සාකච්චා කොට ඒ සදහා යාන්ත්‍රණයක් සකසා ගැනීමයි . එහෙත් මොන මොනවා හෝ කියමින් කාලය ගතකලා මිස එවැනි සාධනීය ඉලක්කයකට විවාදය යොමු වූ බවක් පෙනෙන්නට නැත .

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *