|

වැරැද්ද හා දඬුවම – නිශාන්ත කමලදාස

හැම තැනකින්ම අසන්නට ලැබෙන්නේ වැරදිකරුවන්ට දඬුවම් කිරීමට අපට ඇති නොතිත් ආසාව හරහා මතුවන ඝෝෂාව ය. එල්ලුම් ගසට කඹයක් පිටරටින් ආනයනය කර රජය එක් පැත්තකින් සූදානම් වන විට ගුරුවරු අනෙත් පැත්තෙන් දඬුවම් කිරීමට අයිතිය ඉල්ලා මහ පාරට බැස සිටිති.

මානව හිමිකම් කතා ඉදිරිපත් කරමින් මේ සූදානම් වෙන කාර්යය කඩාකප්පල් කරන්නට එපා යැයි එක් පසෙකින් ආයාචනයක් එන විට අනෙක් පැත්තෙන් සිසුන්ගේ මානව හිමිකම් කඩ කිරිම හේතුවෙන් අධිකරණය මඟින් ගුරුවරයකුට දඬුවම් නියම කිරීම බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන්නේ ය.

මේ අප මුදා හරින්නේ සමාජය වැරදිවලින් බරිත වීමෙන් කලකිරීමට පත් අපගේ අසරණකමේ දුක්ගැනවිල්ල ය. සමාජය වරදින් මුදා ගැනීමට ඇති පහසුම ක්‍රමය වැරදි කළ අයට දඬුවම් දීම විය හැකි ය. එහෙත් එය වඩාත් ම සාර්ථක ක්‍රමය ද යන්න ගැටලුවකි.

දඬුවම් දීමේ අරමුණු ගණනාවකි. පළමුවැන්න අනාගතයේ මෙවැනි වැරදි කිරීමට හිත හිතා ඉන්නා අයට පාඩමක් වනු පිණිස ය. දෙවැන්න වැරදි කළ පුද්ගලයාට නැවත ඒ වැරැද්ද නොකිරීමට පෙලඹවීම පිණිස ය. තෙවැනිව වින්දිතයාට යුක්තිය ඉෂ්ඨ කිරීමට ය. සිව්වෙනුව වින්දිතයාගේ පාර්ශ්වයෙන් පළිගැනීමට පෙලඹීම නිසා සිදු විය හැකි පසු-ව්‍යාසනයන්ගෙන් වගඋත්තරකරුගේ පාර්ශ්වය ද වින්දිතයාගේ පාර්ශ්වය ද ගලවා ගැනීම ය. පස්වෙනුවට මෙවැනි වැරදිකරුවන්ගෙන් සමාජය තවදුරටත් හිංසනයට පත් වීම අවම කර වීම ය. දඬුවම් දීම හරහා මේ අරමුණු කවර ආකාරයට ඉටුවේදැයි අපි සොයා බලමු.

මත්කුඩු ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම පවරන බව ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය විසින් ද එය අනුමත කරනු ලැබුවේ වුව ද මත් කුඬු ඊට පසුත් අසුවුණි. ඒ සඳහා සාක්කි අවශ්‍ය නම් පසුගිය සමයේ පුවත්පත් හා මාධ්‍යවල සැරිසැරීම ප්‍රමාණවත් ය.

ඒ නිශ්චිත සාක්කිවලින් අප එළඹිය යුතු නිගමනය කුමක් ද? මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා යැයි කළ ප්‍රකාශය මත්ද්‍රව්‍ය පාලනයට කිසිදු බලපෑමක් කර නැති බව ය. එක හේතුවක් විය හැක්කේ කිව්වාට කරන එකක් නැතැයි සිතීම විය හැකි ය. එහෙත් එය ම ද?

කිසිම බලපෑමක් නිසා වෙනස් නොකරන්නේ යැයි ද, ජී එස් පී සහනය නැතිව ගිය ද අකුලා ගන්නේ නැතැයි ද, කියා සිටීම හේතුවෙන් වෙනදා මෙන් නොව මෙවර නම් එය කරන්නට ම ඉඩ ඇතැයි සිතෙන වාතාවරණයක දී ද එය තවමත් සිදුවන්නේ ය.

අභිප්‍රේරණය සම්බන්ධ අතිශයින් ප්‍රාථමික, එහෙත් ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවත එන නියාමයක් වෙයි. ඒ යහපත් චර්යාවට යහපත් ප්‍රතිඵලත්, අයහපත් චර්යාවට අයහපත් ප්‍රතිවිපාකත්, ලැබෙන ලෙස වග බලා ගන්නේ නම් මිනිසුන් අයහපත් ක්‍රියාවලින් ඈත් කර යහපත් දෙයෙහි නිරත කළ හැකි බව ය. බැලූ බැල්මට මෙහි විවාද කළ යුතු යමක් නැත.

මෙහි ම දිගුවක් ලෙස අපට තව නියාමයක් හමුවේ. ඵල විපාක වැඩි වූ විට, එනම් තෑග්ග විශාල වූ විට හා දණ්ඩනය තිරශ්චීන වූ පමණට, මිනිසුන් මේ නියාමය ඔස්සේ මෙල්ල කිරීම වඩාත් පහසු වන බව ය.

මරණ දණ්ඩනය පනවන්නේ ද, මේ වඩාත් ප්‍රසාරණය කරන ලද, දෙවැනි නියාමය ප්‍රයෝජන ගනිමිනි. අප කලින් දැක්වූ ප්‍රවෘත්තිවලින් පමණක් නොව ලෝකයේ අනෙත් රටවල අත්දැකීම්වලින් ද පෙනෙන්නේ මේ නියාමය ද සරල වැඩි බව ය. දණ්ඩනය වැඩි කළ පමණින් සියල්ල හරි නොයන බව ය. ලොව වඩාත් ම අපරාධ සිදුවන රටවල් දහයෙන් හයකම මරණ දඬුවම ක්‍රියාත්මක වේ. අපේ නියාමය හරි නම් එය එසේ විය නොහැකි ය.

අපට නිවැරදි යැයි දැනෙන මේ නියාමයේ ඇති වැරැද්දක් ඇති දැයි අප විසින් විමසිය යුතු ය.

මේ නියාමය තුළ ඇති පළමු වැරැද්ද නම් කෙනකුට දඬුවමක් වන දෙය තව කෙනකුට වරප්‍රසාදයක් විය හැකි වීම ය (වරප්‍රසාදයක් දඬුවමක් ද විය හැකි ය). ආඥාදායක පාලකයකුගෙන් ලැබෙන සිර දඬුවමක් දේශපාලකයකුට පදක්කම් ලෙස පැලඳිය හැකි වීම මේ සඳහා දිය හැකි එක් උදාහරණයකි. තෑග්ගක් ලෙස ලබන සීනි කෑමක් කෙනකුගේ දිය වැඩියාව උත්සන්න කළ හැකි වීම නිසා සැබෑ ලෙස දඬුවමක් වීම තව එකකි. උසස් විමක් සමග ලැබෙන ස්ථාන මාරුවක් කෙනකුට ජිවිතයේ වටිනා දෙයින් තමන් දුරස්ථ කරන උරචක්‍රමාලයක් විය හැකි වීම තව එකකි. දැනටත් ජිවත් වන්නේ ගිනි ගෙන දැවෙන මානසික වටපිටාවක නම් මරණය පවා කෙනකු සහනයක් ලෙස දැකිය හැකි විම තව උදාහරණයකි.

නියාමයේ ඇති දෙවැනි වැරැද්ද නම් දඬුවම, දඬුවමක් ලෙස ම සැලකුවේ වූව ද, ඊට තමන් අසුවීමේ ඉඩකඩ අඩු නම්, එසේ අසු වූ විටක පවා ගැලවීමේ ඉඩකඩ වැඩි නම්, දඬුවමේ ප්‍රමාණය වැඩි කිරීමෙන් වැඩක් නැති වීම ය.

පොලීසිය විසින් සක්‍රීය මෙහෙයුම් දියත් කර වෙනදාට වඩා මිනිසුන් අසුවෙමින් තිබිය දී ද තවමත් කුඩු විකිණෙන්නේ ය. එසේ නම් අසු විමේ ඉඩ වැඩි තත්වයක් යටතේවත් එය පාලනය විය යුතු ය. එහෙත් දිනපතා අසුවන මත්ද්‍රව්‍යවලින් පෙනෙන්නේ ඒ අදහස ද නිවැරදි නොවන බව ය.

නියාමයේ ඇති තෙවැනි වැරැද්ද නම් තමන් කරන ක්‍රියාව මග හැරීමෙන් තමන්ට අයත් වන පාඬුව ඉහළ නම් දඬුවම ගැන මිනිසුන් නොසලකා හැරීම ය. ඒ ලාභය වෙනුවෙන් අවදානමක් ගැනීමට ඉදිරිපත් විම ය. මත්ද්‍රව්‍ය නීති විරෝධී කර ඇති තත්වය තුළ එයින් ලද හැකි ලාභය අති විශාල ය. නීති තද කිරීම නිසා ද දඬුවම ඉහළ යෑම නිසා ද ඒ සඳහා ඉදිරිපත් වන මිනිසුන් අඬු වූ කල ද එයින් ලද හැකි ලාභය තවත් විශාල වන්නේ ය.

ඒ නිසා දඬුවම කෙනකු යමකින් ඉවත් කිරීමට දායක වන ප්‍රමාණය අපට පහත සමීකරණය ඇසුරෙන් දැක්විය හැකි ය.

දඬුවමේ බලපෑම = දඬුවම දඬුවමක් ලෙස සැලකීමේ ප්‍රමාණය දඬුවමක් ලැබීමේ ඉඩකඩ / තමන් ලබන පාඬුව

මේ නිසා යම් බලපෑමක් දඬුවමක් විසින් ඇති කළ යුතු නම් අප මේ සමිකරණය අනුව ක්‍රියාත්මක වීමට වග බලා ගත යුතු ය. දැන් අපි මුලින් ගත් උදාහරණය ම ගෙන මේ සමීකරණය විමසමු.

මත්කුඬු ජවාරමට සම්බන්ධ කර ගන්නා බොහෝ දෙනකු ආර්ථික වශයෙන් අමාරුවකට වැටුණු අය ය. එවැනි අය ගැන විශේෂයෙන් සොයා බලා ඔවුන් බඳවා ගැනීම කෙරේ මාෆියාව වැඩි උනන්දුවක් දක්වයි. ඒ වැඩි දෙනකු සාමාන්‍ය ආදායම් මාර්ගයකින් පමණක් ජිවිතය ගොඩ දා ගත නොහැකි අය ය. ඒ තරමට ණය බරිත වී සිටින අය ය. එවැනි කෙනකු දැනටමත් ජීවිතයෙන් ගොඩ ඒමට මගක් නැතිව සිය දිවි නසා ගැනීම ගැන සිතන අයකු නම් මරණ දඬුවම හෝ මරණය කොහොමටත් තිගැස්මක් ඇති කරන්නේ නැත.

ඊට අමතරව ඇතැම් අය කුමක් හෝ හේතුවක් නිසා මේ මත් උගුලට හසු වී තිබේ. ඔවුන් මේ මාෆියාවෙන් මිදුනොත් ඔවුන් පසු පස මින් ඉදිරියට හඹා එන්නේ පොලීසිය පමණක් නොවේ. මත් ද්‍රව්‍ය විකුණන ජාලයේ මැරයින් ද ඒ හඹා යෑමට එක් වේ. ඒ ඔවුන් ද්‍රෝහී වනු ඇතැයි යන බිය නිසා ය. මේ හේතු නිසා උසාවියෙන් ලබන මරණ දඬුවමේ අමතර විශේෂයක් ඔවුන්ට දැනෙන්නේ නැත.

ඊළගට අපි දඬුවම් ලැබීමේ ඉඩකඩ විමසමු. ඒ සඳහා පළමුව අසු වන්නට ඕනෑ ය. අසු වූ විටක බේරගන්නට මුදල් වියදම් කරන්නට කැමති හාම්පුතුන් ඉන්නවා නම් එතැන බේරිමේ ඉඩක් තිබේ. දෙවනුව උසාවියකින් වැරදි කරුවන් කිරීමට වුවමනා ය. දක්ෂ නීතිඥයකුගේ සේවය හාම්පුතා විසින් ලබා දෙන්නේ නම් එතැනින් ද බේරිමේ ඉඩක් තිබේ. අපරාධ නඩු කොහොමටත් කල් යන්නේ ය. නඩුවක් විසඳෙන සාමාන්‍ය කාලය වසර 17 කි. ඉතින් ඒ අතර තව බොහෝ දේ සිදු විය හැකි ය. මත්කුඩු පවුඩර් විය හැකි ය. සාක්කි බොරු විය හැකි ය. මුදල් ද මැර බලය ද යොදා ගත් විට සාක්කි අතුරුදහන් වන්නට ද ඉඩ ඇත. ඒ සියල්ලෙන් පෙනෙන්නේ හාල් මැස්සන් මිසක තෝරු මෝරු නම් අල්ලා ගත්තත් නිදහස් වන්නට ඉඩ ඇති බව ය.

දැන් අපි අවසන් සාධකය දෙස බලමු. දඬුවමින් බේරීම සඳහා මේ මත් ද්‍රව්‍ය රැකට් එකෙන් ඉවත් වන්නේ නම් පාඩුව ඉහළ ය. වෙන කුමක් කළත් මේ ලැබූ ආදායම පහසුවෙන් ලබා ගත නොහැකි ය. තමන් දැනටමත් මත් ද්‍රව්‍ය සමග සම්බන්ධ කර ඒ ගොඩට සමාජය විසින් තල්ලු කර දමා තිබෙන තත්ත්වයක් යටතේ එයින් ගැලවීමට වඩා එහිම නිමග්න වීම ප්‍රායෝගික ය.

දැන් මේ සියල්ල සමිකරණයට දමා විමසන්න. ඔබට පෙනෙනු ඇත්තේ දඬුවමේ බලපෑම අවම බව ය. කළ යුත්තේ මේ මිනිසුන් පුනරුත්ථාපනය කිරීම ය. ඔවුන්ට අධ්‍යාපනයක් දීම ය. රැකියා හා ව්‍යාපාරික අවස්ථා ලබා දිම ය. ඔවුන්ට ජීවිතය විඳිය හැකි නව මාවත් අඳුන්වා දීම ය. මත් ද්‍රව්‍යවලට යොදා ඇති තහංචි අවම කිරීම ය. එහි මිල පහත හෙලීම ය. එහි අවදානම ඉවත් කිරීම ය.

“මේ නම් හදන්නේ මේ රට කුඩෙන් නාවන්නට ය. මේ නම් කුඩුකාරයින්ගේ කොන්ත්‍රාත් එකක් ය“. දැන් මෙවැනි චෝදනා රාශියකින් මේ ලියුම්කරු සංග්‍රහ ලැබීමට නියමිත ය. එසේ නොකරන තරමක සංයමයකින් යුතු මිනිසුන් ඊට වෙනස් මගක් ගනු ඇත.

ඔවුන් කියනු ඇත්තේ ප්‍රශ්නය මෙසේ බරපතළ වීමට හේතුව කුඩා ළමුන් කල මේ අයට නිසි දඬුවම් නොලැබීම විය හැකි බව ය. මෙසේ බිය නැතිව මෙවන් කාර්යයක යෙදීමට හේතුව එසේ දඬුවම් නොලැබීම විය හැකි බව ය. වටයක් ගසා ඔවුන් පැමිණ ඇත්තේ මුල් තැනට ය. එහෙත් කුඩා වෙනසක් ඇතිව ය. ඒ කුඩා කල දඬුවම් කර හදා ගත යුතු ය යන වෙනස්කම ඇතිව ය.

මේ එන්නේ දඬුවම් දීම කරන්නට තිබුණේ පාසලේ දී බව කියන්නට ය. ඒ කතාව ප්‍රසාරණය කළොත් මෙසේ ය. මේ පැත්තක යන මානව හිමිකම් නයෙක් ඔඩොක්කුවට දාගෙන ගුරුවරුන්ට දඬුවම් ලැබීමට සලස්වා දැන් කනවා කියා සමාජය කෑ ගසන්නේ ය. ඉදිරියේ දී තමන් කොහොමටත් දඬුවම් නොපමුණුවන බවට ගුරුවරු ද ශපථ කරන්නෝ ය. අඩු වශයෙන් පාසල් යන සන්දියේවත් විනය ඇති කළ යුතු ය. ඒ සඳහා දඬුවම් පැමිණිය යුතු ය. මේ මානව හිමිකම් කතාවෙන් අහෝසි වී තිබෙන්නේ ඒ ඉඩකඩ ය. මේ චෝදනාව බරපතළ ය. ඒ නිසා සංයමයෙන් විමසිය යුතු ය.

කුඩා කල දඬුවම් දීම පරෙස්සමෙන් කළ යුතු කාර්යයකි. එසේ දඬුවම් ලබන ඇතැමුන්, විශේෂයෙන් දඬුවම අසාධාරණ පදනමක් මත සිදු වූයේ නම්, සමාජය කෙරේ වෛරයක් ගොඩ නගා ගත හැකි ය. ඒ නිසා දඬුවමක් දෙනවා නම් එය දෙන්නම් වාලේ නොදිය යුතු ය. ඒ සඳහා පස් මහ බැලුම් බැලිය යුතු ය. එසේ නැතිව දඬුවම් දීම නිසා වෙන්නේ සුගතියකට වඩා අගතියකි.

පළමුව, බැලිය යුත්තේ දඬුවමට මග පෑදූ වැරැද්ද හිතාමතා කළ වැරැද්දක් ද අත් වැරැද්දකින් සිදු වූ වැරැද්දක් දැයි නිශ්චිතව හඳුනා ගැනීම ය. අත්වැරදිවලට දඬුවම් දිය නොහැකි ය. ඒ සම්බන්ධයෙන් වගකීම කෙලින් ම පුද්ගලයාට පැවරිය නොහැකි බැවිනි.

දෙවනුව, බැලිය යුත්තේ ඒ වැරැද්ද චුදිත පුද්ගලයා විසින් ම කළේ ද යන්න ය. ඇතැම් විට චෝදනා ලබන්නේ අහල පහළ හිටි අය ය. කළ තැනැත්තා ඉක්මණින් මාරු වී ගොස් තිබිය හැකි නිසා ය.

තෙවනුව, වැරැද්ද කුමක් දැයි නිශ්චය ලෙස හඳුනාගැනීම සඳහා ද චුදිතයා විසින් ම ඒ වැරැද්ද කළ බවට තහවුරු කර ගැනීම සඳහා ද එය කළ සන්දර්භය කුමක් දැයි නිශ්චය කරනු සඳහා ද සාක්කි විමසමින් සොයා බැලීමක් කළ යුතු ය. පෙර ඊට සමාන වැරදි කර ඇති දැයි විමසිය යුතු ය. වැරැද්දක් කිරීමට හේතූ වූ යම් බාහිර සාධක තිබේ නම් ඒවා අඳුනා ගත යුතු ය. ඒ දඬුවම හිමිවන විට එය ඉතාම යුක්ති සහගත ක්‍රියාවලියකින් පසුව කළේ යැයි එය ලබන්නාට ඒත්තු යනු ද පිණිස ය.

සිව් වෙනුව, නියම කරන දඬුවම, කළ වැරැද්දට සමානුපාතික විය යුතු ය. කුඩා වැරැද්දකට ලොකු දඬුවමක් ලබා දිය නොහැකි ය. ඊට අමතරව දඬුවම නියම කළ යුත්තේ අධිකරණයක කරන්නාක් මෙන් වැරැද්ද කළ සන්දර්භය ද සැලකිල්ලට ගැනීමෙන් පසු ය.

පස්වෙනුව, දඬුවම් කළ යුත්තේ ඒ පුද්ගලයා නිවැරදි මගට ගනු පිණිස පතල කරුණාවෙන් යුක්තව ය. දඬුවම ලබා දීමෙන් පසු කළ යුතුව තිබෙන, නැවත සෙසු අය සමග එකට සිට ගත හැකි තත්ත්වයකට පත් කිරීමේ වැඩ පිළිවෙලක් ඇති ව ය. වැරැද්ද නැවත නොකිරීම සඳහා කළ යුතු වෙනත් කාර්යයන් තිබේ දැයි දැන හැඳින ගැනීමෙන් පසුව ය. ඒවා ඉටු කිරීමට වැඩ පිළිවෙළක් යෙදීමෙන් පසු ය.

අප සාමාන්‍යයෙන් කැමති ළමයි පාසලින් දඬුවම් නොලැබූ නිසා අභිචාරයට පුරුදු වුණා කියා හිතන්නට ය. එහෙත් නිසි පසුවිපරමක් කෙරෙන්නේ නම් පෙනෙනු ඇත්තේ අසාධාරණ දඬුවම් නිසා ඇතැමුන් අභිචාරයට යොමු වූ බව ය. සමාජයට වෛර කරන්නට පෙලඹුණු බව ය. ඒ නිසා ම ළමයින්ට දඬුවම් දීම සම්බන්ධයෙන් වඩා ප්‍රවේසම් සහගත වීමට අපට සිදු වන්නේ ය.

වැරැද්දට දඬුවම් දිය යුතු ය. එහෙත් ඒ දඬුවම් හිංසාකාරී නොවන බවට ද වග බලා ගත යුතු ය. අදහස පළි ගැනීම නොවිය යුතු ය. කෝන්තරයක් පිරිමහ ගැනීමක් නොවිය යුතු ය.

වඩාත් වැදගත් වන්නේ තමන් කළ වැරැද්ද ගැන සිත් යොමු කිරීමට දරුවා පෙලඹවීම ය. ඒ සඳහා ඔහුට / ඇයට වඩාත් කාරුණිකව කරුණු පැහැදිලි කර දීම ය. ඔහු ලවා හැකි නම් පාපෝච්චාරණයක් කර වීම ය. සමාව ඉල්ලීමට ඇය පෙලඹවීම ය.

ඇතැම් දරුවන් මානසික පීඩාවලින් ද මානසික රෝගවලින් පීඩා විඳින්නන් විය හැකි ය. ඔවුන් පාලනය අමාරු ය. විශේෂයෙන් නිසි පුහුණුවක් නැතිව අමාරු ය. ගණනින් හතළිහක් ඉක්මවන පන්තියක ගුරුවරයකුගෙන් මෙවැනි දරුවන් ද බලා ගෙන සංයමයකින් යුතුව උගන්වනු ඇතැයි අපේක්ෂා කිරීම ද අසාධාරණ ය. එසේ වුව ද උත්තරය ලවක් දෙවක් නැතිව නෙළීමට අවසර ලබා ගැනීම නොවේ. එයින් සිදු විය හැකි එක ම දෙය සෑම සිසු දරුවකු තුළ ම ආතතිය ඇති වීම ය. රෝගීන් තව තවත් රෝගී වීම ය. අවශ්‍ය වන්නේ සෑම පාසලකටම අධ්‍යාපන මනෝවිද්‍යාව දන්නා එක් ගුරුවරයකුගේ හෝ සේවය ලබා ගැනීම ය. පොලීසිය සමග නොව රෝහල සමග පාසලේ සබඳතා වැඩි දියුණු කිරීමට වග බලා ගැනීම ය.

විශේෂයෙන් ම දරුවන් සම්බන්ධයෙන් අප කලින් සඳහන් කළ පස් මහ බැලුම් බැලීමට ගුරුවර ගුරුවරියන් වග බලා ගත යුතු ය. එවැනි වගකීමක් දැරිය නොහැකි අය ගුරු රස්සාවට ආයුබෝවන් කිව යුතු ය.

දරුවන්ට ලැබෙන්නේ හිංසාව හා පීඩාව නම් උන් ලොකු මහත් වූ විට සෙස්සන්ට සංග්‍රහ කරනු ඇත්තේ ද ඒවායින් ය. තමන්ට ලැබුණු දෙයක් මිසක වෙනත් දෙයක් දීමට, තමන්ම වෙහෙසක් දරා එවැන්නන් හදා ගත්තොත් මිස වෙනත් දෙයක් කළ නොහැකි බැවිනි. ඊළඟ පරපුරටවත් විමුක්තිය උදා කරනු පිණිස වත්මන් පරපුර ඒ වෙහෙස දැරිය යුතු ය. අප යුද්ධයක් කොට එහි ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ව ඇති ජාතියකි. ඉතිරි සියල්ල ම ඒ නිසා විසඳන්නට හදන්නේ ඒ ගණන්කාරකමිනි. අපට ආදරය අරහං ය. ඒ වෙනුවට අප කරන්නේ වෛරයට ආදරය කිරීම ය. දරුවන් යහමගට ගැනීම සඳහා සෙනෙහස පාවිච්චි කිරීමක් ගැන අප දන්නේ ම නැති ගාන ය. මේ තත්ත්වයේ වෙනසක් නොවුනහොත් රටට අබ සරණ ය.

දඬුවම් දීම අතිශය සරල සිල්ලර කාරණයකට එහා ගිය එකක් බව දැන එය භාවිතා කළ යුතු ය. එය දරුවන් සම්බන්ධයෙන් පමණක් නොව අපරාධවලට යොමු වූ අය සම්බන්ධයෙන් එක සේ සත්‍ය ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *