මේ අර්බුදයට මුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කිරීමයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ ඉතිහාසය සලකා බලන විට මෙය 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පිහිට වනු ලැබූ ව්‍යවස්ථාපිත සභාවකි. මේ සභාව 1978 ව්‍යවස්ථාවට 2001 වර්ෂයේ සැප්තැම්බර් 24 දින පාර්ලිමේන්තුව විසින් ගෙන එනු ලැබූ යෝජනාවක් අනුව ඒකමතික ව සම්මත කරනු ගනු ලැබූවකි. මුලින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම පිළිබඳ යෝජනාව ගෙන ආවේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය විසිනි. එහෙත් 17 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් ෙම් ව්‍යවස්ථාමය සභාව පිහිටුවීමට කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ ය. ඔවුන් විසින් එවක ජනාධිපති තනතුරේ කටයුතු කළ චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ පරිවාස ආණ්ඩුවක් පිහිටුවීමට 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන ඒම කොන්දේසියක් කර ගත්තේ ය. නමුත් ඊටත් ප්‍රථම ද මේ අදහස නීලම් තිරුචෙල්වම් විසින් ද මතු කර තිබිණි. එසේම 2000 ව්‍යවස්ථා කෙටුම්පතට ද මෙය ඇතුළත් ව තිබුණේ ය. එකල මේ සඳහා තදන් පෙනී සිට ක්‍රියා කළ අයකු වූයේ නීතී විශාරදයකු වන ජී.එල් පීරිස් මහතා ය. කොමිසන් සභා ඇතුළු රජයේ ප්‍රධාන වැදගත් නිලතලවලට පුද්ගලයන් පත් කර ගැනීමේදී ජාතික එකඟතාවක් ඇති කර ගැනීම මෙහි මූලික අපේක්ෂාව විය. එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයා යටතට පවරා තිබූ රාජ්‍ය සේවය, අධිකරණ සේවය සහ පොලිස් සේවයට අදාළ ව ඉහළ නිලතලවලට පුද්ගලයන් පත් කිරීමත්; ඒ සම්බන්ධ බලතල අත්තනෝමතිකව සහ හිතුවක්කාරී ලෙස ක්‍රියාවට නැංවීම යනාදිය වළකාලීම ය.

ව්‍යවස්ථා සභාව පිහිටුවීමේ අරමුණ

1978 වර්ෂයේ හඳුන්වා දුන් දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල සිටම දැකිය හැකි දෙයක් වූයේ බලයට පත් වූ ජනාධිපතිවරුන් විසින් ඉහත දැක්වූ සේවාවන්ට කරනු ලබන පත් කිරීම් සම්බන්ධ ව්‍යවස්ථානුකූල බලතල අයථා ලෙස අවභාවිත කිරීමයි. මේ හේතුවෙන් එ් සේවා ඉතා වේගයෙන් දේශපාලනීකරණය විය. එමඟින් අපේක්ෂා කළ අපක්‍ෂපාතීභාවය සහ ස්වාධීනභාවය දුර්වල වී ගියේය.

මෙහි ප්‍රතිඵලය වූයේ ස්වාධීන රාජ්‍ය සේවා ලෙස පැවතිය යුතු මේ සේවා අනුක්‍රමයෙන් එ් පදනමෙන් ඉවත් වී බලයේ සිටින ආණ්ඩුවේ අතකොළු බවට පත් වී එයිනුත් ඔබ්බට ගොස් ජනාධිපතිවරයාගේ සේවා බවට පත් වීම ය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වන සංශෝධනය ගෙන ඒමේ පදනම වූයේ මෙකී තත්ත්වයෙන් අදාළ සේවා මුදා ගනිමින් ඒවායේ ස්වාධීනත්වය සහ අපක්‍ෂපාතීභාවය ආරක්‍ෂා කොට පවත්වාගෙන යෑම ය.

ඒ අනුව සියලු ම මන්ත්‍රීවරුන්ගේ අනුමැතියෙන් 17වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඒකමතිකව (එදා ජාතික හෙළ උරුමය නියෝජනය කළ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පමණක් සුළු කරුණක් හේතුවෙන් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.) සම්මත විය. අනතුරුව 2001 ඔක්තෝ­්බර් 03 දින කථානායකවරයා පනතට අත්සන් තැබීමෙන් පසුව පනත ව්‍යවස්ථානුකූල නීතියක් බවට පත් වීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වූයේ කථානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකයා, ඊළඟට අගමැති සහ විපක්ෂ නායකයා විසින් නම් කරන 04 දෙනෙක්, ජනාධිපතිවරයා විසින් නම් කරන අයෙක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්‍ෂ එක්ව පත් කරන නියෝජිතයෙක් යනාදී වශයෙනි. මේ සාමාජිකයන් 10 දෙනාගෙන් යුත් සංයුතියේ විශේෂ ලක්‍ෂණය වූයේ නියෝජිතයන් හත් දෙනෙකු ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කිසිදු දේශපාලනයක් නියෝජනය නොකරන සිවිල් පුරවැසියන් වීම ය. ඔවුන් කිසි විටෙකත් තමන් නම් කළ පුද්ගලයා හෝ පක්ෂයේ වුවමනාව වෙනුවෙන් කිසිවිටෙකත් පෙනී සිටියේ නැත. ඔවුන් කටයුතු කළේ අපක්ෂපාතීව ය. එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් අග්‍රවිනිශ්චයකාර ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයකු වන එච්. එල් ද සිල්වා මහතා නම් කෙරිණි. ඔහුට පසුව මහාචාර්ය කොල්වින් ගුණරත්න ද නම් කෙරිණි. නමුත් ඒ අය ජනාධිපතිනියට අවශ්‍ය ආකාරයට කටයුතු කළේ නැත.

ඊට පසුව කුඩා පක්ෂවල නියෝජනය අනුව ජ.වි.පෙ ඔවුන්ගේ නියෝජිතයා ලෙස නම් කළේ පක්ෂයේ හිතවතකු නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති උපදෙශකවරයකු වූ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළ එස්.එස් විජේරත්න මහතා ය. එතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට පත් වී ජේ.වී.පීයට අවශ්‍ය ආකාරයට කටයුතු කළේ නැත. 2001 සිට 18 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු වන තෙක් කිසියම් ආකාරයක අපක්ෂපාතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් මෙරටේ ක්‍රියාත්මක විය. නමුත් 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් වීමෙන් අනතුරුව මේ අණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව අකර්මණ්‍ය කළේය. අනතුරුව 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් එය සම්පුර්ණයෙන් ම අහෝසි කර දැම්මේය. ඉන් අනතුරුව තමන්ට අවශ්‍ය ආකාරයට පත්වීම් සිදු කිරීම ආරම්භ කළේය.

අර්බුදකාරී ව්‍යවස්ථා සභාව නිර්මාණය වීම

2015 ජනාධිපතිවරණයෙදී වත්මන් ජනාධිපතිවරයා ලබාදුන් එක් මැතිවරණ පොරොන්දුවක් වූයේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව යළි පිහිටු වීම ය. ඒ අනුව 17 වන සංශෝධනයේ පැවති ආකාරයට ම එහි සංයුතිය සකස් කර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එය ඇතුළත් කර සම්මත කර ගැනීමට කටයුතු සැලසිනි. ඒ අනුව දේශපාලඥයන් තිදෙනකු විසින් නම් කරන තිදෙනකු සහ දේශපාලඥයන් නොවන පුරවැසියන් හත්දෙනකුගෙන් යුතුව සාමාජිකයන් දසදෙනකුගෙන් සමන්විත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවිය යුතු විය.

නමුත් කමිටු අවස්ථාවේදී මේ දසදෙනාගෙන් හත්දෙනකු ම දේශපාලන නියෝජිතයන් විය යුතු බවත්, තිදෙනකු පමණක් පිටින් නම් කළ යුතු බවත් විපක්ෂයේ යෝජනාව විය. එ් අදහස ගෙන ඒමට මුල් වී ක්‍රියා කළේ වාසුදේව නානායක්කාර හා දිනේෂ් ගුණවර්ධන ය. එවිට වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක් හෝ සරල බහුතරයවත් නොමැති විය. ඒ අනුව ඊට එකඟ වීමට ආණ්ඩුවට සිදු විය. එදා පනත් කෙටුම්පතේ සඳහන් වූ ආකාරයට මෙහි සංයුතිය සකස් වූයේ නම් (සිවිල් පුරවැසියන් හත්දෙනකු තෝරාගත්තේ නම්) කෙතරම් යථාර්ථවත් ද යන්න අද ඇති වී තිබෙන අර්බුදය අපට හෙළි කරයි. එසේ වූයේ නම් දේශපාලඥයන්ට නොව සිවිල් පුරවැසියන්ට වැඩි නියෝජනයක් හිමි වීමෙන් මෙහි ස්වාධීන භාවය හා අපක්ෂපාති භාවය ආරක්ෂා වන්නේ ය.

එහෙත් අද එය වැළකූ අය ම ඊට චෝදනා කිරීම දෛවයේ සරදමකි. නැතිනම් ඔවුන් විසින් ම ඔවුන් ව ම විවේචනය කර ගැනීමකි. එනිසා මීට වගකිව යුතු වන්නේ වෙන කවුරුවත් නොව අද එය අහෝසි කළ යුතු යැයි පවසන පිරිසම ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කරන නියෝජිතයන් දසදෙනාගෙන් හත්දෙනකු ම දේශපාලන නියෝජිතයන් විය යුතු බවත්, තිදෙනකු පමණක් පිටින් නම් කළ යුතු බවත් විපක්ෂය ගෙනා යෝජනාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ විය.

ඔහු එය පිළිගැනීමට අකමැති විය. මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පෙර පැවති ආකාරයට සකස් කළ යුතු බව සෝභිත හිමියන් තරයේ ප්‍රකාශ කර සිටි නිසා ය. මම එවක ජනාධිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උපදේශකවරයා වශයෙන් කටයුතු කළෙමි. පාර්ලිමේන්තුවේ සිට සෝභිත හිමියන්ට ඇමතුමක් ලබාදුන් මම මේ පිළිබඳ ව උන්වහන්සේට පවසා සිටියෙමි. එවිට උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ අප හිතන හොඳ ම දේ වෙන්නේ නැති වුණත්, 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්මත කරගැනීමට අවශ්‍ය නිසා ඊට එකඟ වන ලෙස ය. පසුව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවාගෙන එය සංශෝධනය කිරීම යෝග්‍ය බව උන් වහන්සේගේ අදහස වී තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්ය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යය වන්නේ ස්වාධීන කොමිෂන් සභාවලට නම් නිර්දේශ කිරීමත් රටේ ප්‍රධාන නිලතල ගණනාවක එනම්, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ, නීතිපති, පොලිස්පති, විගණකාධිපති ආදීන්ගේ නම් අනුමත කිරීමත් ය. මේ ආකාරයට පත් කළ යුතු ප්‍රධානීන්ගේ නම් ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපතිවරයා ය. ඇතැම් අවස්ථාවල ජනධිපතිවරයා විසින් එක් නමක් කිසියම් නිලයක් සඳහා යෝජනා කරයි. එවිට එය සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යය වේ. සමහර අවස්ථාවල එක් පුරප්පාඩුවක් සඳහා ජනාධිපතිවරයා විසින් නම් කිහිපයක් යෝජනා කරයි.

එවැනි අවස්ථාවක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒ සඳහා ඒ පිරිසෙන් වඩාත් සුදුසු පුද්ගලයා තෝරා පත් කළ යුතුය. එවැනි අවස්ථාවක තමන් බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයා පත් නොවූවා කියා ව්‍යවස්ථා සභාවට දෝෂාරෝපණය කිරීම සාධාරණ නොවේ. එසේ නම් සිදු කළ යුත්තේ ජනාධිපතිවරයාගේ අභිමතය අනුව එක් අයකු නම් කර එවීම ය.

2017 පෙබරවාරි මාසයේ සුහද ගම්ලත් මහතා සොලිස්ටර් ජනරාල්වරයා වශයෙන් සිටියදී ඔහු සහ තවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරු දෙදෙනකු එනම් ජයන්ත ජයසූරිය සහ කපිල වෛද්‍යරත්න යන තිදෙනාගේ ම නම් නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නම් කර තිබුණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව එහිදී ජනාධිපතිවරයාගෙන් මේ තිදෙනා නම් කරන අනුපිළිවෙළ කුමක්දැයි විමසා සිටියේ.

එහිදී ජනාධිපතිවරයා විසින් අනුපිළිවෙළ ඉදිරිපත් නොකර ජයන්ත ජයසූරිය මහතාගේ නම පමණක් ලබාදුන්නේ ය. ඒ අනුව එය අනුමත විය. විජේදාස රාජපක්ෂ මහතා ඒ රැස්වීම් දෙකේ ම කටයුත කළ අයකු ය. එසේ නම් එහිදී සුහද ගම්ලත් මහතාගේ නම සලකා නොබැලුවේ කවුරු ද? අණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ද? ජනාධිපතිවරයා ද?

2018 ඔක්තෝබර් මාසයේ අග්‍රවිනිශ්චයකාර ධූරය හිස් වූ විට, ඊවා වනසුන්දර මහත්මිය ඒ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු වශයෙන් සිටියේ ය. එහෙත් ජනාධිපතිවරයා එතුමියගේ නම යෝජනා නොකර ඒ වෙනුවට නලින් පෙරේරා මහතාගේ නම් යෝජනා කළේය. ඒ වන විට සුදුසුකම් අනුව ඔහු සිටියේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන් හතර දෙනෙකුට පිටු පසිනි.

එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් නලින් පෙරේරා මහතා නම් කර ඒ පිළිබඳව ජනතාවට පැහැදිලි කිරීමක් ද කළේය. “පහළ ම අධිකරණයකින් පැමිණි අයකුට 1988න් පසුව අග්‍රවිනිශ්චයකාර ධූරයට යන්නට අවස්ථාවක් ලැබී නැති බව පහළ අධිකරණවල නිලධාරීන් තමන්ට දන්වා සිටි බවත් එ් නිසා එය සැලකිල්ලට ගෙන නලින් පෙරේරා පත් කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මේ රටේ කිසිවකුත් ඒ නමට විරුද්ධ වූයේ නැත. ජනාධිපති වරයා විසින් එක් නමක් ලබාදුන්නේය. එය අනුමත විය. එසේ වුවත් ඊවා වනසුන්දරගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කළේ වත් නැත. එසේ නම් ඒ පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට දොස් පැවරිය නොහැකිය.

වත්මන් අර්බුදය

අපට දැනගන්නට ලැබෙන ආකාරයට ජනාධිපතිවරයා අභියාචනාධිකරණ සභාපති ධූරයට යෝජනා කළ අගවිනිසුරුවරයා අනුමත කර නැත. ඔහු ප්‍රකාශ කර සිටියේ තමන්ට එය අනුමත කළ නොහැකි බව ය. ඉන් පෙනී යන්නේ අණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාවලිය පමණක් නොව ජනාධිපතිවරයාට එසේ නම් කර යැවීමට විධිමත් ක්‍රියා පටිපාටියක් නොමැති බව ය. ජනාධිපතිවරයා විනිසුරුවරයකු, පොලිස්පති, නීතිපති වැනි තනතුරුවලට පත් කිරීමේදී අදාළ අංශවලින් විමැසීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය.

එවැනි ක්‍රමවේදයක් සාදා නොගෙන නම් යෝජනා කරන්නේ නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව අග්‍රවිනිශ්චයකාරවරයාගේ අදහස් ලබාගත යුතුය යන්නවත් සැලකිල්ලට ගත යුතුය. එසේම එය අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයකි. තමන් නම් කළ යුතු අය අග්‍රවින්ශ්චයකාරවරයාගෙන් විමසිය යුතු බව දැනගත් වහාම ජනාධිපතිවරයාට තිබුණේ ඒ පිළිබඳව ඔහුගෙන් විමසීම ය. එසේ ජනාධිපතිවරයා විසින් යවන ලද නාම අග්‍රවිනිශ්චයකාරවරයා අනුමත නොකරන්නේ නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව එය අනුමත කරන්නේ කෙසේද?

උදාහරණයකට 2017 නොවැම්බර් මාසයේ අභියාචනාධිකරණයේ කනිෂ්ඨ නීතිඥවරයකු ගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කර තිබුණි. ඒ නම පිළිබඳ ව නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පුදුමයට පත් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එවකට අග්‍රවිනිශ්චයකාරවරයාව සිටි ප්‍රියසාද් ඩෙප් මහතාගෙන් ඒ පිළිබඳව අදහස් විමසා සිටියේය. එතුමා විසින් ඔහු අනුමත නොකරන බව පවසා සිටියේය. එනිසා ඒ නම අනුමත වූයේ නැත. එය පුදුමයට කාරණයක් නොවේ. එසේ නොකර ඒ වරද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මත පැටවා එය අහෝසි කිරීමට බලපෑම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදය වළලා දැමීමකි.

 

silumina –  රසික කොටුදුරගේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *