|

රන්ජන්ගේ කටට බ්රේක් හයිකරන යෝජනාවක් අගමැතිට

සතිය ආරම්භයේදී අගමැතිවරයා කොලොන්නාව සේදවත්ත පුරාණ විහාරයේ බෝධි  ප්‍රාකාරය මත ඉදිකළ රන්වැට සසුනට පූජා කිරීමේ පුණ්යෝත්සවයට එක්විය. විජයවර්ධන-වික්‍රමසිංහ පරම්පරාවේ විහාරයක් ලෙස එම රන්වැට සිය පෞද්ගලික ධනයෙන් පූජා කිරීමටද අගමැති රනිල් ඇතුලු එම පවුල් ක්‍රියා කළහ.

“අද ඇතැම් පිරිස් බුදු දහමත් එයාලට ඕන විදියට දේශපාලන වාසි තකා නරක විදියට පරිහරණය කරනවා. මමනම් පන්සල් යන්නෙ ආගමික කටයුතු වලට විතරයි. ඒත් සමහරු පන්සල් වල කරන්නෙ “මයික් දේශපාලනයටයි” සිංහල බෞද්ධයන් කවුද කියල තමන්ම ලියාපදිංචි කරගන්නා තත්වයක් ඇතිවීම බුදුදහමට කරන ද්‍රෝහිකමක්.” අගමැතිවරයා කීවේය.

බ්‍රහස්පතින්දා අගමැති රනිල් අරලියගහ මැදුරට පැමිණියේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තවත් විධිමත් කිරීම සඳහා වූ විශේෂ උත්සවයකට එක්වීමටය. අධ්‍යාපනයේ නූතන විප්ලවය එනම් සෑම දරුවෙකුටම වසර 13ක අධ්‍යාපනයක් සහතික කිරීම එහි අරමුණ විය. එය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම ලෙසද නම්කොට තිබිණ. එම උත්සවයට යාමට පෙර අගමැතිවරයා අරලියගහ මැදුරට තමා හමුවීමට පැමිණ සිටි මැති ඇමතිවරු හා නිළධාරීන් සමගද කතාබහකට එක්විය.

“පලාත් සභා ඕන කියලා පොහොට්ටුව දගලන දැගලිල්ලට දැන් ජනාධිපතිත් එකතුවෙලා වගෙයි පේන්නෙ. ඒත් පලාත්සභා ඡන්ද කලින් ආවොත් පොහොට්ටුව ශ්‍රීලනිපය හලලා තනියම තරග කරන්න තීන්දු කිරීමේ අවධානමක් තියෙන නිසා ශ්‍රීලනිප පාර්ලිමේන්තු, පළාත් සභා, පලාත් පාලන ආයතනවල සියලු මන්ත්‍රීවරු ජනපතිට බලකරාලු පලාත්සභා ඡන්ද කලින් තියන්න එපා කියලා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුලපිරීය.

“පලාත් පාලන වගේම පලාත්සභා ඡන්දත් කල්ගියේ ශ්‍රීලනිපයේ වුවමනාවටයි. පළාත්සභා ඡන්ද කලින් ආවොත් ශ්‍රීලනිපයේ අද ඉන්න පළාත්සභා මන්ත්‍රීවරු 90% ක් විතර පොහොට්ටුවට යාවි. ශ්‍රීලනිපයට අපේක්ෂකයො හොයාගන්නත් දැල් දාන්න වේවි” අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදය.

“කැබිනට් එකේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නව කියල රන්ජන් ඇමතිතුමා කියන මේ කතාව මොකක්ද?” චමින්ද විජේසිරි විමසුවේ අගමැතිගෙනි.

“මම දන්නෑ. කියපු එක්කෙනාගෙන්ම අහගන්න” යයි කී අගමැතිවරයා ඉවත බලාගත්තේය.

“මෙතන නොපෙනෙන කතාවක් තියනවා. මධූෂ් ඇල්ලුවාම දකුණෙ දේශපාලන පිය පුතු දෙපලක් දිහාට ඇඟිල්ල දික්වෙන්න ගත්තා. ඒ දේශපාලකයන්ගෙ බලපෑම මත එක්තරා පත්තරේක ප්‍රධානියෙක් රංජන්ගෙ මත්ද්‍රව්‍ය කතාව උඩට අරන් අර දේශපාලන පියපුතුන්ගෙ මධූෂ්ට අදාල චෝදනා යටපත් කරන ක්‍රියාන්විතයක් යන බවට තොරතුරු තියනවා. බොහෝ පත්තර හා ජනමාධ්‍ය වලට බලපෑම් කරලා රංජන්ගෙ සිද්ධිය ඉස්මතු කරන්නත් මේ කට්ටිය ක්‍රියාත්මක වෙලාලු” එජාප නීති නිළධාරීයෙක් විස්තර කළේය.

“ඇමති කෙනෙක් කටට එන පලියට විකාර කියවන්න නරකයි. ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගෙ නම් ලයිස්තුවක් රංජන් මට කියලා නෑ. කතානායට හෝ සීඅයිඩී එකට කියලත් නෑ. මේ ගැන කතාකරපු එජාප කණ්ඩායම් රැස්වීමට එයා ආවෙත් නෑ. විපක්ෂයත් මට පැමිණිලි කලා කරුණාකරල මේ බොරු චෝදනාවෙන් පාර්ලිමේන්තුවේ 225 බේරල දෙන්න කියලා. රංජන්ගෙ කටට අලුත් බ්‍රේක් පෑඩ් හයි කරන්න කියලත් එයාල මට කිව්වා.” අගමැතිවරයා කීවේ සිය ආවේගය යටපත් කරමින් මද සිනහවක්ද පාමිනි.

“ආ.. චමින්ද, ඔයා මොකද පොලීසියට ගහන්නෙ? එහෙම අයිතියක් ඔයාට නෑ.” අගමැතිවරයා කීවේ චමින්ද විජේසිරිටය.

“නෑ සර්. මමවත් මාත් එක්ක හිටපු කිසි කෙනෙක් කාටවත් ගැහුවෙ නෑ. යහපාලනය පොලීසියට බලපෑම් කරන්නෙ නැති එකේ නීතිය හා සාමය දැන් ජනාධිපතිතුමා අරන් නිසා මහින්දගෙ නඩය පොලීසියට බලපෑම් කරලා මාර ගේම් එකක් ගහනවා. ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕනෑ. පොලිස් කියල ගහපු නැති වාහනයක ආපු සිවිල් කට්ටියක් මම ගියපු වාහනේට වෙට්ටු දාලා රෝන් සයිඩ් එකෙන් හප්පගෙන යන්න හැදුවා. අපි ඒක ප්‍රශ්න කරා. පොලීසියෙන් කියල කිව්වාම මම අයිඩෙන්ටි කාඩ්වත් ඉල්ලුවෙ නෑ. ඒත් ජනාධිපතිතුමාගෙ පොලීසියේ සමහරු දැන් ජනමාධ්‍යත් එක්ක එකතුවෙලා මේ වගේ සිද්ධි නිර්මාණය කරලා ආණ්ඩුවට ගහන තත්වයක් තියෙන්නේ” චමින්ද විජේසිරි අගමැතිවරයා ඇතුළු පිරිසට පැහැදිලි කළේය.

“මේ ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ, බැංකුත් කඩාවැටිල කියල ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ කියන එක ඉතා පුදුමයි. සත්‍ය තත්වය ඒක නෙවෙයි කියල ආණ්ඩුව උත්තර් දුන්නා මදියි.” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“රටේ නායකයා විපක්ෂ නායකයාවත් නොකියන කතා කීම ගැන මිනිස්සුත් පුදුම වෙනවා. ජනාධිපතිතුමාගෙ ඒ නිවැරදි නොවූ ප්‍රකාශයට පොල්ගෙඩි අකුරෙන් ප්‍රසිද්ධිය දීපු ජනමාධ්‍ය ඒකට උත්තර දීපු සුජීව සේනසිංහගේ පැහැදිලි කිරීම කුඩා ප්‍රවෘත්තියක් විදියට හංගලයි ගැහුවෙ.” දයා ගමගේ කීවේය.

“දැන් මේ කිරි පිටි ගැන තියන ප්‍රශ්නයට දොස්තර සංගමයත් බැහැලා. ඔක්තෝබර් 26 පත්වූ හොර ආණ්ඩුව අද තිබුණා නම් එයාල මෙහෙම කතා කරාවිද. ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලෙ කිරිපිටි වල ඔය ප්‍රශ්නෙ තිබුණෙ නැද්ද දන්නෑ. ලංකාවෙ දියර කිරි හදන්නෙ 10% යි. අනිත් ඒවා නවසීලන්තයෙන් ගෙන්නන්නෙ. ලෝකෙ වෙන කිසිම රටකට ඒ කිරිපිටි ගැන ඇති නොවෙච්ච ප්‍රශ්නයක් ලංකාවෙ විපක්ෂයේ දේශපාලකයන්ට ඇතිවීම පුදුමයි. අපේ එක්කෙනෙකුත් රැල්ලට ගිහින් ඒකට උඩගෙඩි දීමෙන් ප්‍රශ්නය තවත් ඔද්දල් වුණා.” වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.

“දැන් ජනාධිපතිතුමා යටතේ පොලීසිය තියෙද්දි රත්ගම දෙන්නෙක් අතුරුදහන් වීම ගැන වහාම කරුණු හොයන්න ඕනෑ. මොකද මේ ආණ්ඩුව යටතේ අතුරුදහන් වූ පළවෙනි දෙන්න ඔවුනුයි. මේකට ආණ්ඩුවේ හෝ ඉස්සර වගේ සුදු වෑන් වල කිසිම සම්බන්ධයක් නෑ කියලා ජනතාව දන්නවා” ගයන්ත කරුණාතිලක කීවේය.

“ව්‍යවස්ථාදායක සභාවට විරුද්ධව ජනාධිපතිතුමා කරපු කතාව රාජපක්ෂ නඩය ඇදන් යනවා. දැන් ජනාධිපතිතුමාට කොටි වල්ගෙ අල්ල ගත්ත වගේ වැඩක් වෙලා තියෙන්නෙ. එතුමාගෙ එකඟත්වයෙන් 19 වැනි සංශෝධනය යටතේ ඇතිකරපු ස්වාධීන කොමිෂන් වලට දිගටම පහර නොදුන්නොත් රාජපක්ෂලා තරහ වෙනවා. පහර දුන්නොත් 2015 වෙනස සඳහා හිටපු සිවිල් සංවිධාන ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මේ රටේ බහුතර ජනතාව ජනාධිපතිතුමා එක්ක තරහ වෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ලගෙ විග්‍රහය එය විය.

“ජනාධිපතිතුමා එක්ක ඇමතිවරුන්ට රාජතාන්ත්‍රික ගනුදෙනුවක් තියනවා. ඒත් ඒ සීමාව ඉක්මවලා අපේ සමහරු එතුමා එක්ක රහස් ඩීල් දාන්න යන එක ආණ්ඩුවට ඉතා අවාසියි. මේ ගැන පක්ෂය ඇතුලේ යම් තීන්දුවක් ගන්න වෙනවා.” කිරිඇල්ල යලිත් කීවේය.

“අපේ කීපදෙනෙකුගෙ එහෙම සබඳතා තිබෙනවා කියල මටත් තොරතුරු තියනවා. ඒත් ඒවා පෞද්ගලික ගනුදෙනු මිසක් දේශපාලන ගනුදෙනු වුණොත් ඒක ලොකු අවුලක් වේවි. මොකද ජනාධිපතිතුමා අපි පත් කරාට එයා දැන් වෙනත් පක්ෂයක නායකයෙක් හා වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක ඉන්න බව පේන කෙනෙක්. ඒ නිසා පක්ෂයට හානි වෙන විදියටයි එජාප පාක්ෂිකයාගෙ හිත් වල සැක ඇතිවෙන විදියටයි වැඩ කරන්න ගියොත් අන්තිමට ඒ ඇමතිවරුම අමාරුවේ වැටේවි. මොකද මේක මැතිවරණ වර්ෂයක්” අගමැතිවරයා කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *