විධායක ජනාධිපති ක්‍රමය රටට ඉතාමත්ම නරකයි කියල ඔප්පු කළේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

මේ දිනවල සමාජ ආර්ථික ව්‍යාකූල තත්ත්වයක් පෙනෙන්න තියෙනවා. එය නුදුරු දිනයක ඉබේම සමනය වෙයිද? එහෙමත් නැත්නම් එය සමනය වීමට යම් නිශ්චිත තීරණාත්මක දේශපාලන ක්‍රියාකාරිත්වයක් අවශ්‍යද?

මේ දිනවල සමාජ ආර්ථික ව්‍යාකූලත්වයක් පැහැදිලිවම පෙනෙන්න තියෙනව. එය ලේසියෙන් සමනය වෙයි කියලා හිතන්න බෑ. ඒ තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන්. ණය බර වැඩිවෙලා තියෙනව. ණය ගෙවාගන්න බැරිවෙලා තියෙනව. රටේ ආදායම පහළ යනවා. විදේශ සංචිත නැතිව යනව.

මේ තත්ත්වය නැති කරගන්න නම්, මගෙ පුද්ගලික අදහස මේකට හේතුව හොයාගෙන මේක නැති කරගන්න ඕන. රනිල් වික්‍රමසිංහගෙ ජාතික ආණ්ඩුවටවත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයටත් කරන්න බැරි තත්ත්වයක් තමයි දැන් අතිවෙලා තියෙන්නෙ. අපි එකඟවුණත් නැතත් මේ රටේ ඉන්න වාමාංශික ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදි බලවේග ඔක්කොම එකතුවෙලා තුන්වෙනි බලවේගයක් ගොඩනගා ගැනීම ඇර වෙන අන්කිසි විසඳුමක් නෑ කියලයි මම හිතන්නෙ.

ලෝ‍කයේ තියෙන ආර්ථික මොඩල කිහිපයෙන් මේ ආණ්ඩුව කෙරුවෙ නව ලිබරල්වාදී සමාජ වෙළඳ පොළ ආර්ථික මොඩලයයි. ඒක මේ අයට කරගන්න බැරුව ගියා, ඒකට අවශ්‍ය මූලික සාධක මේ අය අනුගමනය කෙරුවෙ නැති නිසා.

ඒහා බැඳුණු තවත් සාධක තියෙනව. එක අතකින් වංචා, අනික් අතින් නීතියේ පාලනය නැතිකම, අඩුම තරමින් ව්‍යවස්ථානූකූලව පාලනයක් ගෙන ගියේ නෑ. ව්‍යවස්ථාවත් ජනාධිපතිවරයා විසින්ම කඩල දැම්මා. මේ අයුරින් හැම අංශයකින්ම ව්‍යකූලත්වය වැඩි වෙලා, රට ගොඩගන්න බැරි තරමට සමාජ ආර්ථික පරිහානි තත්ත්වයකට පත්වෙලා තියෙනව කියල දැන්නම් පැහැදිලිව පේනව.

ඔබ නිතරම තුන්වෙනි බලවේගයක් ගැන කතාකරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම දෙකඩ වෙලා තියෙනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන්. නමුත් එය තුන්වන බලවේගයක් වශයෙන් ගණන් ගැනීමට පුළුවන් කමක් නැහැ.

මගේ නිරීක්ෂණයට අනුව නම් තුන්වෙනි බලවේගයක් හොයමින් ඉන්න විශාල පිරිසක් ඉන්නව. ඉදිරි මැතිවරණකට ඡන්දය පාවිච්චි කරන්න ලක්ෂ 18ක් පමණ තරුණ තරුණියො සුදුසුකම් ලබනව.

මොන මැතිවරණය ඉස්සරවෙයි කියලා අනුමාන කරන්න පුළුවන්ද?

මැතිවරණ තුනක් එන්න නියමිතයි. පළාත් සභා මැතිවරණය, ජනාධිපති මැතිවරණය හා මහ මැතිවරණය. මේ මොන මැතිවරණය ආවත් මේ තරුණ ඡන්ද නව ඡන්ද ආකර්ෂණය කරගන්න බැහැ මේ එකකටවත්. දැනට තියෙන ප්‍රධාන පක්ෂවලට එයට හැකියාවක් නෑ.

ඒ වගේම ඔවුන් හොයනවා බුද්ධිමත්, නීතියේ පාලනය ගරුකරන, පාරදෘශ්‍යභාවයෙන් කටයුතු කරන කවුරුන් හෝ පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වෙයි කියල,  ඒ බලාපොරොත්තුව ඔවුන්ට තියෙනව. ඒක තමයි අපෙත් බලාපොරොත්තුව.

ඔබතුමා කියන ඔය බලවේගය ගොඩනගන්න ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ ගන්නව. හෙට (19) වෙනිදත් මේ පිළිබඳ විද්වත් හමුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පවත්වනව. ඒ වුණත් ජවිපෙ ට තවමත් බැරි වෙලා තියෙනව නේද රටේ තුන්වෙනි බලවේගය ගොඩනගන්න.

මෙතන දි කාරණා දෙකක් තියෙනව. ජවිපෙ ට තවම අතීතයෙන් මිදෙන්න පුළුවන්කමක් ඇති වෙලා නෑ. ජවිපෙ අතීත ක්‍රියාකාරකම් නිසා තමයි ඔවුන්ට දැනට තියෙන ජනප්‍රිය තාවවත් තියෙන්නෙ. අනික් පැත්තෙන් ජවිපෙ අතීත ක්‍රියාකාරකම් නිසා තමයි ජවිපෙට ජනතාව බයත්. ඔය දෙකම ජවිපෙට බලපානව.

ජවිපෙ අතීතයේ වැරදි ස්වයං විවේචනයකින් නිවැරැදි කරගන්න හදනපාටක් පෙනෙන්න නෑ. අනික් පැත්තෙන් ජවිපෙ උගතුන් සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන් එකතුකරගෙන ඉස්සරහට යන්න හදන බවත් පේන්න තියෙනව.

ඒ වගේම එයාලා බලයට ආවොත් මොකක්ද කරන වැඩපිළිවෙල කියල ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් පෙනෙන්න නෑ.

ඉහත තත්ත්වයන් එසේ තිබිය දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය උත්සාහයක් ගන්න බව පෙනෙනවා නේද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය තමන් අතට ගෙන බණ්ඩාරනායක ප්‍රතිපත්ති තුළින් ඉදිරියට යන්න.

ඒවන් තත්ත්වයක් ඇති කරගැනීමට උත්සාහයක් දැරුවා වුවත් එය සාර්ථක බවක් පෙනෙන්න නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඇතුළු කවුරුත් බලයට එනවිට පොරොන්දු වුණේ ජේ.ආර්. නිර්මාණය කරපු විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්න. ඒත් කවුරුවත් ඒක කෙරුවෙ නෑ. විධායක ජනාධිපති ක්‍රමය රටට ඉතාමත්ම නරකයි කියල ඔප්පු කරපු කෙනා තමයි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන. ඒ වගේම බලයට එන්න හදන කාටත් මේකට විකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් වෙලා නෑ.

මනෝජ් රූපසිංහ.  

     

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *