|

මාධ්‍ය කුමන්ත්‍රණ හෙළිවෙන හැටි රනිල් කියයි

පසුගිය සතිය පුරා අගමැතිවරයා පසුගිය වසර 3 තුල ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කොට ජනතා අයිතියට පත්කිරීමේ කටයුතු රැසක නිරත විය. ඉන් පළමුවැන්න වූයේ රු.ලක්ෂ 2800ක් වැයකරමින් බණ්ඩාරගම ඉදිකළ පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමය. දෙවැන්න වූයේ මාලිගාවත්ත ලක්හිරු සෙවන නිවාස සංකීර්ණයේ නිවාස 384ක ව්‍යාපෘතිය විවෘත කිරීමය. ඒ සඳහා රු.ලක්ෂ 15,300ක් වැයකොට තිබිණ. අනතුරුව අංගසම්පූර්ණ ජාතික පාසැල් රට පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලේ මූලික අදියර ලෙස කුරුණෑගලදී විවෘත වූ රු.ලක්ෂ 10,000ක් වැය කළ විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට පැවරීමය.

දකුණේ පමණක් නොව උතුරේද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීම සඳහා අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම උතුරු පලාත බලා පිටත්විය. කෝපායි වලිකාමම් හි නව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ල මෙන්ම යාපනය ශික්ෂන රෝහලේ නව හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම, කිලිනොච්චි රෝහල සඳහා වෛද්‍ය උපකරණ ලබාදීම හා හදිසි අනතුරු ඒකකය සඳහා මුල්ගල් තැබීම, නැවත පදිංචි කිරීමේ නිවාස සංකීර්ණය සඳහා මෛලඩි හා මන්නාරම පුල්ලිමුනෛ ඒ අතර මූලිකත්වයක් ගත්හ. එම යාපනය සංචාරයට පිටත්වීමට පෙර අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සුපුරුදු ලෙස මැතිඇමතිවරු රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යකරුවන් සමග කතාබහකද නිරතවිය.

“මහනුවර අධිවේගයේ මීරිගම ඉදලා කුරුණෑගල දක්වා කොටසේ වැඩ නිමවෙන විදිය පෙන්නන්න නිකායෙ හතරේම ප්‍රධාන හිමිවරු වැඩම කරවා නිරීක්ෂණ චාරිකාවක් සිදුකරපු එක කිරිඇල්ල ඇමතිතුමා කරපු වැදගත් වැඩක්” නවීන් දිසානායක කතාවට මුලපිරීය.

“මේ ආණ්ඩුව යටතේ ඉදිකරපු ලොකුම ව්‍යාපෘතිය ඔය අධිවේගයයි. අපට අන්තිමට පෙන්නන්න තියෙන්නෙත් ඒක විතරයි” වෛද්‍ය කාවින්ද ජයවර්ධන කී දේ සියලුදෙනා අනුමත කළහ.

“මම මල් පූජ කරන්න දළදා මාලිගාවට ගියාම මහනාහිමිවරු ඇහුවා කෝ මහත්තයෝ නුවර අධිවේගය කියලා. තවත් සමහරු කෝචොක් කරන්නත් පාර ගැන ඇහුවා. මේ අවුරුද්ද අන්තිමට විවෘත කරන පාර බලන්න යමු කියල මම මහනාහිමිවරුන්ට යෝජනා කළා. පහුගිය සඳුදා නුවර හාමුදුරුවරු සියයක් විතර වැඩම කරවලා පාර පෙන්නුවා. නිකාය හතරෙම අනුනාහිමිවරු පාර බලලා හරි සතුටු වුණා. මහනාහිමිවරුන්ට විස්තර වාර්තා කරනවා කියලත් කිව්වා. පාරෙ මේ කොටස තව මාස කීපෙකින් විවෘත වුණාම පස්‍යාලෙ ඉදලා මීරිගමට ගිහින් ඊටපස්සෙ කුරුණෑගල හරගා මහනුවරට යන්න හොද පාරක් ලැබෙනවා. නුවර මිනිස්සුන්ට පැය එකහමාරකට වඩා ඉතිරි වේවි. කඩවත ඉදලා මීරිගම දක්වා කොටසත් ලබන අවුරුද්දේ විවෘත කරන්න පුළුවන්. මේක මගේ හීනයක්. ඕනම ආණ්ඩුවක් කන්ද උඩරට ජනතාවට ලබාදීපු ලොකුම තෑග්ග මේ අධිවේගයයි” ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශකළේ ඉතා හැගුම්බරවය.

“හමුදාව යුද අපරාධ හා ස්ත්‍රී දූෂණ කළ බවත් හා ඔවුන්ට විරුද්ධව පියවර ගතයුතු බවත් මහින්ද මහත්තයා දෙමළ මාධ්‍යවේදීන්ට කිව්වා. අනික අතුරුදහන් වූවන් ගැන හොයන සත්‍ය හා සංහිඳියා කොමිසමට අදාල කැබිනට් පත්‍රිකාව හා තවත් පත්‍රිකා 12 ක් අගහරුවාදා කැබිනට් එකේදී කල් තියල තියනවා. ඒ කොමිසමට අදාල පත්‍රිකාව විතරක් කල්දැම්මා කියලා ප්‍රවෘත්තියක් ප්‍රචාරය වීම පුදුමයක්” නලීන් බණ්ඩාර කීවේය.

“මේ සමහර ප්‍රවෘත්ති පිටවෙන හැටි ගැන දැන් අපිට හිතාගන්න පුලුවන්. මේක ඉතා නරක වැඩක්. සත්‍ය හා සංහිදියා කොමිසමෙන් කරන්නෙ ඇත්ත හොයාගැනීම මිසක් කාටවත් දඩුවම් නියම කරන එක නෙවෙයි. සමහර පත්තර වල මම ඉදිරිපත් කරපු ඒ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂ්ප කළා කියලා ජනාධිපතිතුමාගෙ පින්තූරයක් එක්ක දැමීමෙන්ම මාධ්‍ය කුමන්ත්‍රණය එලිවෙනවා” අගමැතිවරයා කීවේ මදක් ආවේගයෙනි.

“පාර්ලිමේන්තුවෙදී ජනාධිපතිතුමා ගිය සතියෙ ව්‍යවස්ථාදායක සභාව ගැන කරපු කතාවට කතානායකතුමා සැර උත්තරයක් දීපු එකට කවුරුත් ප්‍රශංසා කරනවා. ජනාධිපතිගෙ කතාවෙ විකෘති කිරීම් හා අසත්‍ය චෝදනා රැසක් තිබුණු බව කතානායකතුමා සාක්කි සහිතව පෙන්වාදීමත් වැදගත්” දයා ගමගේ කීවේය.

“ජනාධිපතිතුමාගෙ කතාවෙන් මානව හිමිකම් කොමිසම ගැනත් කියවුණා. කතානයකතුමා විතරක් නෙවෙයි මානව හිමිකම් කොමිසමත් එතුමාට ප්‍රතිචාර දක්වලා නොමඟ යැවීම් නොසුදුසු බවත් ඒ හරහා කොමිසමේ ස්වාධීන කටයුතු අධෛර්‍ය කරවන බවත් ප්‍රකාශ කරල තිබුණා.” නවීන් දිසානායකද ඊට යමක් එක් කළේය.

“යූඇන්පී ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු ජනාධිපතිතුමා එක්ක රහස් ඩීල් දැමීම ආණ්ඩුවේ ගමනට විශාල බාධාවක් කියලා කිරිඇල්ල ඇමතිතුමා ඉතා වැදගත් කාරණයක් ගිය ඉරිදා පත්තරේකට කියල තිබුණා. ඔය ඩීල්කාරයො ඒ ලිපිය කියවලවත් හැදෙනවනම් ලොකු දෙයක්” රංජන් රාමනායක සුපුරුදු පරිදි ගිනියම් ප්‍රකාශයක් එලිදැක්වීය.

“වතුකම්කරුවන්ගේ ප්‍රශ්නය තාම ඇදෙනවා.” හේෂා විතානගේ මෙන්ම රංජිත් අලුවිහාරේද ඇමති නවීන් දිසානායක දෙස බලා මතුකළේ එකම පැනයකි.

“වතු කම්කරුවන්ගේ අතට රුපියල් 1000ක් දෙන එක මගේත් ස්ථාවරයයි. ඒත් ඊපීෆ් ඊටීඑෆ් කැපෙන විදියට ඒක ඕනෑ කියල වෘත්තීය සමිති ඉල්ලීම් කළා. ඒ නිසා මේ ප්‍රශ්නය ටිකක් ඔද්දල් වුණා වගෙයි. නමුත් මම අගමැතිතුමා එක්ක කතා කරලා ඊලඟ අයවැයෙන් ආණ්ඩුව ගානෙ දිනකට රුපියල් පනහක් ඔවුන්ට ලබාදෙන්න එකඟ කරගත්තා. තේ ශක්ති අරමුදලේ සල්ලිත් ඒකට දානවා. ආණ්ඩුව ඒවා ඒ අරමුදලට යලිත් ලබාදෙන්නත් පොරොන්දු වුණා.” නවීන් දිසානායකය පැහැදිලි කළේය.

“අපේ ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ කෙනෙක් මිසක් පිටස්තර පක්ෂයක කෙනෙක් නොවන බව බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේම කියල අභියෝග කළේ ජනාධිපති මෛත්‍රීට අපේක්ෂකත්වය දෙන්නේ නෑ කියල වෙන්න ඕන. එතකොට ජනාධිපතිතුමාට දැන් තමන්ගෙ ශ්‍රීලනිප පාක්ෂිකයන් අනාථ නොකර තනියම හරි ජනපතිවරණයට එන්න වෙනවා. එතුමා පොහොට්ටුවට අගමැති කමයි ආණ්ඩුවයි දෙකම හොරෙන් අරන් දීලත් ඔන්න අන්තිමට වෙච්ච වැඩේ.” කාවින්ද ජයවර්ධන කීවේ කාගේත් සිනාමැදය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *