රටේ ධනය වනසන ආයතන – රෝහණ සන්දීප රණසිංහ

රටේ ධනය විනාශ කරන ආයතන ගැන විශ්‍රාම ගියාම කියනවා යැයි ජනාධිපතිවරයා පැවසූ බව 2019 පෙබරවාරි 4 පුවත්පතක පළ වී තිබුණි. රටේ ධනය විනාශ කරන ආයතන ගැන දැන් එනම් තමා ධුරයේ රැඳී සිටින කාලය තුළ දී හෙළි නොකිරීමට හේතුව වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ එසේ හෙළිදරව් කළ හොත් ඔහුට විරුද්ධව එකී ආයතන හෝ එකී ආයතන වල නිලධාරීන් හෝ සේවක මණ්ඩලය ස්ට්‍රයික් කිරීම ය. ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශයේ යටි අරුත වන්නේ රටේ ධනය විනාශ කරන ආයතන පවතී. එකී ආයතන පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් ය. එහෙත් එකී ආයතන වලට විරුද්ධව කටයුතු කිරීමට තබා ඒ ආයතන ගැන කතා කරන්නට පවා ජනාධිපතිවරයා බියෙන් පසු වේ යන්නයි.

2015 ජන ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව පැවති මහමැතිවරණයේ දී සාකච්ඡාවට ගැනුණු ප්‍රබල මාතෘකාවක් වූයේ නාස්තිය සහ දූෂණය එනම් පසුගිය ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේදීත් රටේ ජනතාව ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඡන්දය දුන්නේ රටේ නාස්තිය සහ දූෂණය නැති කරනවායැයි ඔවුන් දුන් පොරොන්දුව අනුවය. රටේ ධනය විනාශ කරන ආයතන යනු නාස්තියට සහ දූෂණයට ඉඩ දෙන ආයතනයි. එසේනම් ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් වගකීම වන්නේ එසේ රටේ ධනය විනාශ කරන ආයතන තිබේ නම් ඒවා හෙළිදරව් කිරීම පමණක් නොව ඒවාට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගැනීමයි.

නමුත් ජනාධිපතිවරයා කියන්නේ රටේ ධනය වී විනාශ කරන අය ආයතන ගැන විශ්‍රාම ගියාම කියනවා කියාය. රටේ ධනය විනාශ කරන ආයතන තිබේ නම් ඒවා පිළිබඳ අවබෝධයකුත් ඇත්නම් විධායක බලය යම් තරමකට හෝ භුක්ති විදින දූෂණය නාස්තිය පිටු දකින්නට පොරොන්දු දී බලයට පැමිණි ජනාධිපතිවරයා බලයේ සිටියදී ඒ ආයතන සම්බන්ධයෙන් කටයුතු නොකර විශ්‍රාම ගිය පසුව හෙළිදරව් කිරීමෙන් රටට සිදුවන යහපත කුමක්ද? එසේ හෙළිදරව් කරනවාට වඩා හෙළිදරව් නොකර සිටියාටද ප්‍රශ්නයක් නැත. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියා කියන්නා සේ බලය ඇති කාලයේ ක්‍රියාමාර්ග නොගෙන විශ්‍රාම ගිය පසු හෙළිදරව් කිරීමෙන් ඇතිවන සුගතියක් නැත. ජනාධිපතිවරයාට විශ්‍රාම ගිය පසුව කරන්නට කිසිවක් නොමැති බැවින් කාලය ගෙවා ගැනීම්ට විනෝදාංශයක් වශයෙන් පොතක් ලියන්නට සිතා ඉන්නවා දැයි කියන්නට නොහැකිය. මැකියාවෙලි කියා ඇත්තේ බලය ඇති විට ක්‍රියාත්මක නොකරන බලයෙන් තේරුමක් නැතැයි කියාය. කරතොත් හරියට කරපන් බැරිනම් පලයන් අහකට කියා සිංහලෙන් කියන්නේ ද එයට ම ය.

ජනාධිපති වරයාගේ පිළිවෙත බව පෙනෙන්නේ සියළු දේටම අනුන්ට ඇඟිල්ල දිගු කරමින් යාමය. එක් අතකින් එය තමන් කිසිවක් නොකර අනුන්ට වැරදි කියමින් කල් මැරීමකි . පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිවරයා කීවේ දූෂණයට නාස්තියට විරුද්ධව කඩුව ගන්නා බවයි. වැරදි කරන අයට මඩු වලිගයෙන් තලන්නට ද ඔහු කතා කළේ ය. පලාත් පාලන මැතිවරණය අවසන් වී වසරක් පමණ ගත වී ඇතත් දූෂණය විරුද්ධව ඔහු ගත් කඩුවෙන් කැපුනු කෙනෙක් ගැන දැනගන්නට නැත.

පළාත් පාලන මැතිවරණයේදී දූෂණය නාස්තිය ගැනත් දූෂිතයන්ට, නාස්ති කාරයන්ට දඬුවම් දීම ගැනත් මහ හඬින් මැතිවරණ වේදිකාවල කතා කළ ජනාධිපතිවරයා ඉන් ටික කලකට පසුව 2018 ඔක්තෝම්බර් මාසේ ව්‍යවස්ථාපිත කුමන්ත්‍රණය හරහා කළේ 2015 දී දූෂිතයන් යැයි ඔහුම හැඳින්වූ පිරිසට අගමැතිකම් පමණක් නොව මැති ඇමතිකම් ද ලබා දීමයි.

රටේ ධනය විනාශ කරන ආයතන ගැන විශ්‍රාම ගිය පසු හෙළිදරව් කරන බව කියූ කතාවේ දී ජනාධිපතිවරයා නැවතත් පවසා තිබුණේ 80 දශකයේ අග භාගයේ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ පළාත් සභා ක්‍රමය බලය බෙදීම තුල පවතින බලතල ආයතනික ව්‍යුහය, සිටින රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව ආදිය ගැනත් පළාත්සභා කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි පසු විපරමක් තමා දන්නා තරමින් කිසිම ආණ්ඩුවක් සිදු කර නැති බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ (තමාට අයිති නැති වුවත්) පළාත්සභා ආරම්භයේ සිට කටයුතු සම්බන්ධව අධ්‍යයනයක් කරන්නට කැබිනට් මණ්ඩලයට තමා යෝජනා කළ බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබුනි. පළාත්සභා කොතෙක් දුරට සාර්ථකද අසාර්ථකද අඩුපාඩු දුර්වලතා මොනවාද ශක්තිමත් කළ යුත්තේ මොනවාද පනතේ සංශෝධන මොනවාද තව දෙන්න පුලුවන් සම්පත් සහ බලය මොනවාද යන්න සම්බන්ධ වාර්තාවක් ගන්න තමා කල මුත් මෙතෙක් කිසිම ආණ්ඩුවක් එය නොකළ බව ද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ තමා ඇමතිවරයෙකු ලෙස එම යෝජනාවම කළ බවත් ජනාධිපතිවරයා කියා තිබුණි. එහිදී හිටපු අග අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කළ නමුත් එම කමිටුව එක දිනකවත් රැස් නො වූ බව වූ බවද තමා දන්නා බවත් ජනාධිපතිවරයා කියා තිබුනේ. ජනාධිපති වූ පසුව තමන්ට අයිති විශේෂයක් නොවුවද පළාත් සභාවල පසු කාල සීමාවල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ කමිටුවක් පත් කර වාර්තාවක් අරගෙන පළාත් සභා ශක්තිමත් කරන්නට වැඩපිළිවෙළක් ඇති කරන්නට 2015 දී තමා කී නමුත් තමා හිතන්නේ එයත් ක්‍රියාත්මක වුණේ නෑ කියා යැයි ජනාධිපතිවරයා කියා තිබුණි.

පළාත් සභාවන්හි සාර්ථක අසාර්ථකභාවය ඵලදායිතාවය සොයා බැලීම් ආදී වශයෙන් ජනාධිපතිවරයා කළේ යැයි කියන යෝජනාව ඉතා හොඳ සහ කාලීන අවශ්‍යතාවක් බව පිළිගත් යුතුයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ හෝ මහින්ද රාජපක්ෂ පාලන සමයේ හෝ ඇමතිවරයෙකු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සිරිසේන මහතාට දොසක් කිව නොහැකිය. ඔහුට සමාව දිය යුතුය.

2015න් පසුව තමා පවතින ආණ්ඩුවටද එම යෝජනාව කළ බව ජනාධිපතිවරයා කියා තිබේ. නමුත් එම යෝජනාව ක්‍රියාත්මක වී නැත. එම යෝජනාව ක්‍රියාත්මක නොවීමේ වගකීමෙන් මිදීමට මෛත්‍රීපාල මහතා වචනයක් යොදාගනී. එනම් මේක මට අයිති විෂය ක්ෂේත්‍රයක් නොවේ යන්නයි. ගැටලුව වන්නේ තමන්ට අයිති විෂයක් නොවූවද පළාත් සභාවල ඵලදායකත්වය පිළිබඳ සොයා බලන්නට අවංක අවශ්‍යතාවක් ජනාධිපතිවරයාට තිබුණේ නම් ඒ සඳහා ක්‍රියාත්මක වන්නට ඔහුට හැකියාවක් බලයක් නොතිබුණේ ද යන්නයි. මුලින්ම පසුගිය ඔක්තෝබරයේ ඇමති මණ්ඩලය එක්සත් ජාතික පක්ෂය අතට මාරු වන තෙක්ම යහපාලන ආණ්ඩුවෙත් නීති විරෝධී ආණ්ඩුවේ පළාත් පාලන අමාත්‍යාංශය පැවරී තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. එසේ නම් පක්ෂයේ නායකයා වශයෙන් තම අමාත්‍යවරයා ඒ සඳහා මෙහෙයවන්නට ඔහුට හැකියාව තිබුණි.

අනෙක් කරුණ වන්නේ ජනාධිපතිවරයා යනු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ය. ප්‍රධානියා වශයෙන් ඔහුට තමාගේ අවශ්‍යතාව ඉටු කරගනු පිණිස අමාත්‍ය හෝ අමාත්‍යවරයා මෙහෙය වන්නට හැකියාව තිබුණි. යහපාලන ඇමතිවරුන් ගනු ලැබූ තීරණ වෙනස් කරන්නට ජනාධිපතිවරයා එකල කටයුතු කළ බව ද රහසක් නොවේ.වෙනස් කිරීමේ හැකියාව ඇත්නම් ක්‍රියාත්මක කරවීමේ හැකියාව ද ඔහු සතු විය යුතුය.

ඒ සියල්ල අමතක කළත් ජනාධිපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය නම් පළාත් සභාවල සාර්ථක අසාර්ථකභාවය විය යුතු වෙනස්කම් ලැබිය යුතු බලතල ආදිය සොයා බලා වාර්තා කරන්නට අලුතින් කොමිසමක් පත් කරන්නට ද ඉඩ හා බලය තිබුනි . තවමත් තිබේ. බැඳුම්කර කොමිසම ශ්‍රීලන්කන් එයාර් කොමිසම ආදිය මෛත්‍රී ජනාධිපතිවරයා විසින් පත් කරන්නට යෙදුනේ එම ආයතන තමන්ගේ අමාත්‍යංශයක් යටතේ තිබූ නිසා නොවේ.

තමාගේ ධුර කාලයෙන් වසර හතරක් ගෙවී යන මොහොතේ ජනාධිපතිවරයාට මා මේ දේ මෙසේ කළා යැයි කිවහැකි කිසිවක් ඇත්තේ නැත. අනුන්ගේ වැරදි කියමින් අනුන්ට ඇඟිල්ල දිගු කරමින් ඉන්නටත් එකම මොරගහකන්ද කොටස් වශයෙන් නැවත නැවතත් විවෘත කරන්නටත් ඔහුට සිදුව ඇත්තේ එහෙයිනි.

රුසියානු විප්ලවයෙන් පසුව රුසියාව ගොඩනැගීමට ලෙනින් සැකසුවේ පස් අවුරුදු සැලසුමකි. ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහවැලි ව්‍යාපාරයට දුන් කාලය අවුරුදු පහකි. වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහෙන් තව ඉතිරිව ඇත්තේ සොච්චම්කි. වී. අයි ලෙනින් වසර පහකින් රුසියාව වෙනස් කළේය. ජේ. ආර් ජයවර්ධන වසර පහකින් මහවැලිය කඩිනම් කළේය.

මෛත්‍රීපාල සිරිසේන වසර හතරක් තිස්සේ කළේ කන් කෙඳිරි ගෑමය . ඒ අනුව බලන කල රටේ ධනය විනාශ කරන ආයතන ගැන ලබන වසරේ රටට දැනගත හැකි වනු ඇත. හේතුව මෛත්‍රිපාල මහතා ඊළඟ ජනාධිපතිවරණයෙන් විශ්‍රාම ගැන්වීමට රටේ ජනතාව වග බලා ගනු ඇතැයි විශ්වාස කළ හැකි බැවිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *