|

රේගු වර්ජනයේ ලාබාලාබ ගිණුම – ඇලෙක්සැන්ඩර් විජේගුණවර්ධන

රේගු වර්ජනය පැවති කාලයේ සිදුවූ පාඩුව බිලියන 5කට අධික යැයි පැවසින. එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසා තිබුණේ කියන තරම් අලාභයක් ඉහත වර්ජනය පැවති දිනවල සිදු නොවූ බවයි. ඒ මහතා පවසනන පරිදි ජනවාරි 31 දා බිලියන දෙකයි 2.8 පාඩුවක් වෙතැයි අනුමාන කළත් සිදුව තිබුණේ බිලියන 1.35 ක පාඩුවකි. කියන තරම් යකා කලු නැතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවද, රේගු වර්ජනය නිසා රටට පාඩුවක් සිදුවූ බව පිළිගන්නට සිදු වේ. වර්ජනය හමුවේ හිටපු රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය මාස 3ක කාලයකට හෝ නැවත සේවයේ පිහිටුවන්නට ආණ්ඩුවට සිදුව තිබේ.

රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය නැවත සේවයේ පිහිටුවීමෙන් පසුව මාධ්‍ය හමුවේ දී, මුදල් හා ජන ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා තිබුණේ රේගුව මෙහෙය වන්නේ රටේ එක්තරා ව්‍යාපාරික මාෆියාවක් බවයි. ව්‍යාපාරික මාෆියාවක් රේගුව ආශ්‍රිතව පවතින බවත්, එයට දේශපාලන සම්බන්ධතා ඇති බවත් රහසක් නොවෙයි. මංගල සමරවීර අමාත්‍යවරයාද ඉහත මාධ්‍ය හමුවේ දී කියා තිබුනේ ගම්මිරිස් පුවක් වංචාවට ආණ්ඩුවේ පිරිසක් ද සම්බන්ධ බවයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ කුරුණෑගල ප්‍රදේශයේ ඇමති ඇමතිවරයකුට කීවේ කරුන්කා ඇමති කියාය. මත්පැන් නිෂ්පාදනයටද නමක් තබා සිටි ඔහුට කරුන්කා ඇමති යන විරුදාවලිය ලැබීමට හේතුව ඔහු වෙනත් රටවලින් කරුන්කා ආනයනය කර ශ්‍රී ලාංකික කරුන්කා බව අඟවා ඉන්දු ලංකා නිදහස් වෙළද ගිවිසුම් උපයෝගී ගනිමින් ඉන්දියාවට අපනයනය කිරීමයි.

2015 ජනාධිපති මැතිවරණය, මහමැතිවරණයේදීත් රේගු වංචා ප්‍රබල සටන් පාඨයක් වූ බව ජනතාවට අමතක නැත. එතනෝල් ජාවාරම එහිදී මුල් තැනක් ගත්තේය. ඇතැම් තැනක කීවේ රේගු ආදායම නිසි පාරට ගැනීමෙන් පමණක් රටේ ජීවන බර අඩු කළ හැකි වනු ඇති බවයි. නමුත් සිදුව ඇත්තේ කුමක්ද? අලුත්ම තොරතුරු අනුව නම් සිදුවී ඇත්තේ ජාවාරම් නැවතීම නොවේ. රේගු ජාවාරම්කාරයන්ගේ අත් මාරු වීම පමණි.

කරුන්කා පිටරටින් ගෙන්වා ලංකාවේ බව අඟවා පිටරට පැටවීම තවමත් නතර වී නැත. මේ වන විට එසේ කරුන්කා රට පටවන කණ්ඩායම් හතරක් ඇතැයි කියවේ. එක් අයෙක් රජයට හිතවත් මුස්ලිම් දේශපාලකයකුගේ ඥාතියෙක් වූ බව ද කියැවේ.

ඉතිරි පාර්ශව තුනෙන් එකක් වන්නේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමති ඇමැතිවරයකුගේ සම්බන්ධිකරන ලේකම්වරයෙකු බව ද අනෙක් පාර්ශ්ව දෙක ද ඇමතිවරුන්ගේ ඥාතීන් බව කියවේ. ආණ්ඩුවට තිබුණේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන්නට පෙර තමන්ගේ ඇහේ ඇතැයි පැවසෙන පොල් පරාලය ඉවත් කර ගන්නටය. එසේ නොකර චාල්ස්ගේ ඇසේ ඇතැයි කියන පොල් කෙන්ද ඉවත් කරන්නට යාමෙන් සිදු වූයේ, ජාවාරම්කාරයන් බේරා ගැනීම සඳහා චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කරන්නට උත්සාහය කළේ ය යන මතය සමාජය තුළ මුල් බැස ගැනීම ය.

පසුගිය කාලයේ ගම්මිරිස් ගොවියෝ තම අස්සනු වලට නිසි මිලක් නැතැයි පාරවල් හරස් කරමින් උද්ඝෝෂණ කළහ. ඔවුන් එහිදී කීවේ පිටරටින් ගෙන්වන ගම්මිරිස් නිසා තමන්ගේ නිෂ්පාදන වලට නිසි වටිනා වටිනාකමක් නොලැබෙන බවයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පරාජයටද ගම්මිරිස් ගොවියන්ගේ ප්‍රශ්නය බලපැවැත්වූ බව බොරුවක් නොවේ.

ඉන්දුනීසියාවෙන් සහ වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන් වා මෙරට නිෂ්පාදිත ගම්මිරිස් ලෙස පෙන්වා ඉන්දියාවට අපනයනය කිරීමේ ජාවාරමක් තවමත් සිදුවේ. මෙකී ජාවාරමද කෙරෙන්නේ ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ බදු සහන පදනම් කරගෙන බව කියැවිණි. ඒ අනුව ඉන්දු ලංකා ගිවිසුමෙන් මෙරට ගම්මිරිස් ගොවියාට ලැබිය යුතු ප්‍රතිලාභ වැටෙන්නේ ජාවාරම්කාරයන්ගේ සාක්කුවට ය. එකී ජාවාරමට නැගෙනහිර පළාතේ එජාප ප්‍රබලයන්යකුගේ නමක් ගෑවී ඇති බවද කියයි. මංගල සමරවීර ඇමතිවරයා කියන්නේද පුවක් සහ ගම්මිරිස් ජාවාරමට ආණ්ඩුවේ පිරිසක් ද සම්බන්ධ බවයි. එසේ සම්බන්ධ නම් ඔවුන්ට විරුද්ධව ගනු ලබන පියවර කුමක්ද? මෙතෙක් කිසිවක් සිදුවී නොමැත.

කුඹුරේ ගොයම මුවන් කන විට ගෙදර තිබෙන මුවහමට තලන්නා සේ, ආණ්ඩුවේ අය වැරදි කරන විට චාල්ස් මහත්මිය ඉවත් කිරීම කැකිල්ලේ නඩු තීන්දුවක් නොවේද.

අනෙක් කාරණය වන්නේ විදෙස් රටවලින් ගෙන්වනු ලබන බාල ගම්මිරිස් ශ්‍රී ලාංකික නාමය යටතේ අපනයනය කිරීම හේතුවෙන් මෙරට ගම්මිරිස් වලට ඇති කීර්තිනාමය පළුදු වී මෙරට ගම්මිරිස් වලට ඇති විදෙස් වෙළෙඳපොළ ඉල්ලුම අහිමිවීමයි. ගම්මිරිස්වල කීර්තිනාමය කැලැල් වීමයි. මෙය සමාන කළ හැක්කේ රත්තරන් බිජු දමන කිකිළිය මරා දැමීම්ටය.

කෙන්යාවෙන් ගෙන්වනු ලබන තේ මෙරට නිෂ්පාදිත තේ සමඟ කවලම් කර විකිණීමේ ජාවාරමක් ද පවතින බව කියැවේ. මුල දී මෙරට තේ වලට 1% 2 % බැගින් මිශ්‍ර කර විකිණීම කළ මෙම ජාවාරම මේ වන විට ශ්‍රී ලාංකික තේ වලට කෙන්යානු තේ 30% 40% අනුපාතයට කවලම් කිරීම දක්වා වර්ධනය වී ඇති බව කියැවෙයි.

ග්ලයිෆොසේට් ප්‍රශ්නය මෙරට තේ වලට පසුගිය කාලයේ කළ බවක් බලපෑම අමතක වී නැත. ග්ලයිෆොසේට් තහනමද සැලකිය හැක්කේ ආණ්ඩුව උඩ බිම නොබලා ගත් බාල ජනප්‍රිය තීරණයක් වශයෙනි. සියල්ල අනුව කිව හැක්කේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරනවාට වඩා රේගු ජාවාරම් මැඩ්මේ අවංක උවමනාවක් ඇත්නම් ආණ්ඩුව ගතයුතු පියවර තවත් බොහෝ තිබෙන බවයි.

ඉන්දියාවෙන් බිඩි කොල හොරාට ගෙන්වීමේ ජාවාරමක් පිළිබඳ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති විය. එකි ජාවාරම පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔහු සංහිදියා ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් විය. මේ වනවිටත් රාජ්‍ය අමාත්‍යධූරයක් උසුලමින් සිටිය ද තමන්ගේ ව්‍යාපාරයටද බලපාන ජාවාරමක් වන හොර බිඩි කොළ ගෙන්වීමට විරුද්ධ සටනේ දී ඔහු පරාජිතයෙකි. ජාවාරම්කාරයින් ගේ ශක්තිය පෙන්වන්නට ඊටත් වඩා උදාහරණ අවශ්‍ය වන්නේ ද?

වෙනත් රටවලින් ගෙන්වනු ලබන රටකජු මෙරට රටකජු ලෙස පෙන්වා අපනයනය කරනවා පමණක් නොව පිටරට වලින් ගෙන්වූ බාල කජු මෙරට වෙළඳපල ආක්‍රමණය කර ඇති බව කියති. ශුද්ධ නොකළ පොල් තෙල් ගෙන්වන මුවාවෙන් ෆාම්පාම් තෙල් ගෙන්වා මෙරට වෙළඳ පොළට එකතු කර ඇති බව ද පැවැසේ. ඉහත කරුණු පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීමක් ආණ්ඩුවට තිබේ. ආණ්ඩුවට වයස අවුරුදු 4 ආසන්න වෙද්දී කිසිවක් සිදුනොවීමේ අලාභය ආණ්ඩුවට බලපෑවාට කම් නැත. මන්ද එහිදී සිදුවන්නේ ආණ්ඩුව තමන්ගේ වල තමන්ම කපාගැනීම වන නිසාය . නමුත් මෙවැනි ජාවාරම් වලින් රටට අහිමි වන දේවල් පිළිබඳ වග කියන්නේ කවුද?

එකලස් කිරීමේ මුවාවෙන් නිසි තීරු බදු නොගෙවා සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ ජාවාරමක්ද රේගු වර්ජනය අතරතුර නැවත කරලියට පැමිණියේය .එකී ජාවාරමට සම්බන්ධ තැනැත්තා රේගුවට සෘජුවම බලපෑම් කරන්නට තරම් ශක්තිවන්තයෙක් වූ බවද කියති.එකී තැනැත්තා සමග මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකුගේ සබඳතා ගැනද කියවේ. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලයේ පටන්ම ඉහත අමාත්‍යංශ ඉහළ නිලධාරියා අදාළ වාහන ජාවාරමට අනුබල සපයන ආකාරයෙන් කටයුතු කළ බවද කියති .එසේ නම් පැරණි තැටියම අලූත් ආණ්ඩුව යටතේත් වාදනය වෙමින් තිබේ. ජාවාරම්කාරයන්ට අතහිත දෙන්න යහපාලනයෙන් ගාවා ගැනීමේ ප්‍රතිඵල ද රේගු වර්ජනයත් සමග හෙළිදරව් වී තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීම්ට බලපෑ එක් හේතුවක් වශයෙන් සඳහන් කෙරුණේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නට ඇගේ පාලන කාලය තුල නොහැකි වීමයි .දේශපාලන අර්බුද සහ ආනයන මන්දෝත්සාහි කිරීම සඳහා ආණ්ඩුව ගත් පියවර රේගු ආදායම් කෙරෙහි බලපානු ලැබූ බව රේගු වෘත්තිය සමිතිවල තර්කයයි . එයද යම් පමණකට හෝ පිළිගත යුතු වේ. කෙසේ වෙතත් රේගු වර්ජනය හරහා සමාජගත වූ කරුණු අනුව පෙනෙන්නේ රේගුවේ මෙන්ම ආණ්ඩුවේ ද වැරදි රැසක් ඇති බවයි. ඒ අනුව රේගු වර්ජනයට බලපෑ හේතුව වූ චාල්ස් මහත්මිය ඉවත් කිරීම් යනු ආණ්ඩුව තමන්ගේ වැරදි නිවැරදි කර නොගෙන රේගුවේ වැරදි නිවැරදි කරන්නට යාමෙන් ඇඟට දමා ගත් කුණු ගොඩකි.

ඇමතිවරුන් පාක්ෂිකයින් නිල්ධාරීන් සතුටු කිරීමෙන් තමන්ගේ පැවැත්ම සහතික කරගත හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය බරපතළ වරදකි. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා සතුටු කිරීමෙන් ඊළග මැතිවරණය දිනන්න සිතන්නේ නම් එය ද වරදවා ගැනීම්කි.

ඊළඟ ඡන්දය පරාජය නොවී ඉන්නට නම් ආණ්ඩුව කළ යුත්තේ ඉතිරි ටික කාලයේදීයවත් 2015 ජනවාරියේ ජනතාවට දුන් යහපාලන පොරොන්දු ඉටු කිරීමට වහ වහා කටයුතු කිරීමයි .එකී යහපාලන පොරොන්දු ඉටු කරන්නට යාමේදී ආණ්ඩුව පිට වැටුනොත් ආණ්ඩුව වැටෙනු ඇත්තේ ජනතා ඔඩොක්කුවටය . ඇමති මඩුල්ල නිල්ධාරීන් පක්ෂයක් සතුටු කරන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊළඟ ඡන්දයෙන් ආණ්ඩුව වැටෙන්නේ පරාජයේ කුණුකුඩයට ය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *