|

සුපර්ස්ටාර් මධූෂ් – සුමේධ භානු රත්නායක

සේනා දළඹුවාට ඇඩ්රස් නැත. දළඹු ප්‍රහාරයෙන් නන්නත්තාර වී ගිය බඩඉරිඟු ගොවීන් ගැන කිසිවෙකුටමතක නැත. සේනා දළබු මර්දනයට රටින් ගෙන් වන්නට ගිය උගුල්වලට සිදුවන්නේ කුමක්දැයි අසන්නට කෙනෙක් හෝ රතන හිමිගේ තරලසාර ආශ්‍රිත දළඹු නාශකය ගැන සොයා බලන්නට හෝ කිසිවෙකු ඇත්තේ නැත.

මේ මොහොතේ සියළු ජනමාධ්‍යවලත් පාර්ලිමේන්තුවෙත් පාරෙත් කඩපිලේත් , බස් රියේත් , දුම්රියේත් , පන්සලේත්, පල්ලියේත් එකම මාතෘකාව මධුෂ් හොඳ වෙලාවට පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය එනම් ලිෆ්ට් එක හිර උනේ නැත්තං පාර්ලිමේන්තුවක් තියෙනවදාද නැද්ද කියාවත් කිසිවෙකුට මතක නැතිව වනවා ඇත.

2019 පෙබරවාරි 10 ඉරිදා පුවත්පත් වලත් ඊට පෙර සතියේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා හෙවත් පෙබරවාරි 7, 8. 9 දිනවලත් ජනමාධ්‍ය වලට අතුරුපසට, හිලට, දිවා කිසට, රාත්‍රී ආහාරයට මාකඳුරේ මධූෂ් නැතිවම බැරි විය. ඇතැම් පුවත් පතක එක්වර ලිපි දෙක තුන වෙන් කර තිබුණේ මාකඳුරේ මධූෂ් ගේ අතීත, වර්තමාන තතු කියන්නට ය මධූෂ් අත්අඩංගුවට ගත් පොලිස් මෙහෙයුමේ වග විස්තර ප්‍රසිද්ධ කරන්නට ය. මධූෂ්ට ඩුබායිහිදී අත්විය හැකි දඬුවම් අනුමාන කරන්නට ය. ඩුබායි නීතිය අර්ථකථනය කරන්නට ය. මේ වනාහි පුවත්පත් හෝ ජනමාධ්‍ය කලාව ද නැතහොත් කතන්දර කීමේ කලාවක් ද යන්න පිළිබඳ ජනතාවටද අවබෝධයක් නැත.

ඔවුන්ද මධූෂ් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් මත් ව සිටින්නේ මදූෂ් විසින් මෙරටට අපනයනය කරනු ලැබූ හෙරොයින් පාවිච්චි කළ ගානටය. ගැටලුව වන්නේ මධූෂ් පිළිබඳ කතා කතන්දර කීමෙන් මෙරට සමස්තයට සිදුවන යහපත කුමක්ද යන්නයි. සමාජයට වැදගත් වනු ඇත්තේ මධූෂ් පිළිබඳ යථාර්ථය අවබෝධ කර කර ගැනීමෙන් සහ එයට යථාර්තවාදීව මුහුණ දිය යුත්තේ කෙසේද යන්න සාකච්ඡා කිරීමෙන් මිස මධූෂ් අත්ඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයට වීර කාව්‍යයක් හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් හෝ බවට පත් කිරීමෙන් නොවේ මධූෂ් යන චරිතය හරහා මේ වන විට විදාරණය වෙමින් පවතින්නේ ශ්‍රී ලාංකීය සමාජය කොයිතරම් දුරට කුණු වී ඕජස් ගලමින් තිබෙනවාද යන්නයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අතර සම්බන්ධයක් පවතින බව මෙරට ජනතාවට රහසක් වූයේ නැත. පාතාලයේ මරාගැනීම් පිටුපස තිබුනේ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ බෙදාගැනීමේ තරගයේ කොටසක් බව ජනතාව දැනසිටියහ. මත් ජාවාරම සහ දේශපාලනය අතර සම්බන්ධයක් ඇති බවද ජනතාව දැන සිටියහ. මීගමුව පැත්තේ දේශපාලනඥයෙකුගේ නිවෙසක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමත් ඊට පසුදිනම රටේ විධායක ජනාධිපතිවරයා අදාළ දේශපාලක තුමාගේ නිවසට ගොස් සැනසිලි බස් කීමත් ඊට එක් නිදසුනකි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තැනැත්තෙකුගෙන් ආධාර උපකාර ලබා ගත් අගමැතිවරයෙකු ගේ පුත් රුවනක් සම්බන්ධ කතාව තවත් එකකි. මාකඳුරේ මධූෂ් ගේ පියාගේ මළගළ ගෙදරට සහභාගිවී මාකඳුරේ මධූෂ් ගේ මළ ගෙදරට යාමට සූදානම් බව කියන දේශපාලනඥයා තවත් නිදර්ශනයකි. කියවෙන කතා වලින් පෙනෙන්නේ මධූෂ්ගේ මල ගෙදර යාම මානුෂික ක්‍රියාවක් බවයි. ඒ මානුෂික මුහුණුවර පෙරදැරිව අදාළ දේශපාලකයා මධූෂ් ගෙදරටත් යාමට සූදානමින් සිටි තවත් පිරිසක් මධුෂ්ගේ මානුෂික කමට සැලකීම්ක් වශයෙන් ඔහු ආරක්ෂා කරන්නට ද දේශපාලන සවි ශක්තිය භාවිත කර ඇති බවට කතා පවතී. ඊළඟට සොයා බැලිය යුත්තේ ඒ තරමට කළගුණ සලකන්නට තරම් දේශපාලකයාලකයන් ගරු කරන මධුෂ්ගේ හෝ ඔහු වැන්නන්ගේ මානුෂික ගුණය කුමක්ද යන්නයි. ඔවුන් ගරු කරන ඒ මානුෂික ගුණය මධූෂ්ගේ පාතාල ශක්තිය වන්නට පුළුවන. එසේත් නැතිනම් මධුෂ්ගේ ධන බලය වන්නට පුළුවන. මැතිවරණ ආදියෙහි දේශපාලකයන්ට මධුෂ්ගේ ශක්ති දෙකෙන් වාසි ලැබේ. වාසි වෙනුවෙන් දේශපාලනඥයා පාතාලයට මත්ද්‍රව්‍ය ව්‍යාපාරයකට කෘතගුණ සලකයි. මධූෂ් වන්නන්ගේ පාතාල ක්‍රියා නිසා රටට ජනතාවට අනාගත පරපුරට සිදුවන විනාශය මේ තැනැත්තන්ට අදාළ නැත. මට හොඳක් වෙනවා නම් රටට හෙන ගැහුවත් මොකද යන අදහසයි දේශපාලකයන්ට ඇත්තේ.

මාකඳුරේ මධූෂ් ගේ දීඩුබායි සාදයේදී කොටු වූ පිරිස අතර පොලිස් නිලධාරීන් ද බන්ධනාගාර නිලධාරීන් ද සිටින බවට කියවේ. සමයං ඝාතනය සිදුවූ ආකාරය අනුව එම ඝාතනයට බන්ධනාගාරය ඇතුළතින් සහයෝගයක් තිබී ඇති බවට ඒ දිනවල සැකයක් තිබුණි. බන්ධනාගාර තුළ මත් ජාවාරම සරුවටම කෙරෙන්නේ නිලධාරී සහ පොලීසිය සම්බන්ධ තත්ත්වය එයමයි. ජාවාරම්කරුවන්ගෙන් පමණක් නොව ගණිකා නිවාස පවත්වන්නන් ගෙන්ද කසිප්පු ගංජා ජාවාරම් කාරයන්ගේ ඳ යැපෙන පොලිස් නිලධාරීහු සිටිති.
මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමත් සමග අලුතින්ම පටිරෝල් වූ අංශය වන්නේ කලාවයි. කලක් කලාකරුවන් දෙදෙනෙකු ද පාටියට සම්බන්ධ ව සිටිය දී අත්අඩංගුවට පත් වූ බැවිනි.

ගායක පියා සාදයට ගොස් ඇත්තේ තනිවම නොවේ නැගීඑන ගායක පුතා ද කැටුව ය. අලුත් පරම්පරාවේ වීරයන් යැයි කියන කලාකරුවන්ගේ හෘදසාක්ෂිය තරම මෙකී සිද්ධියෙන් හොඳින් ප්‍රකාශවේ. දැන් මෙකී කලාකරුවන් නිදොස් කරන්නට උත්සාහ කරන්නන් කියන්නේ ඔවුන් සහ සහභාගි වූයේ ටුවර් එකකට බවයි. ටුවර් එකක් බව සැබෑ නමුත් ටුවර් එක මාකඳුරේ මධූෂ්ගේය.

මාකඳුරේ මධූෂ් යනු පාතාලයකු මිනීමරුවෙකු කප්ප්පම් ගන්නකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව අමල් ,නදීමාල්, රයන් ආදීන් නොදැන සිටියා නොවේ. මාකඳුරේ මධූෂ් යනු මෙරට නීති අංශ වලට අවශ්‍ය අපරාධකාරයකු බවද ඔවුන් නොදැන සිටියා නොවේ. ඔවුන් කලාකරුවන් නොව නීතිගරුක පුද්ගලයන් පවා නොවන බව මෙම හැසිරීම හේතුවෙන් ඔප්පු වී තිබේ. නීතිගරුක පුද්ගලයා හෝ හෘද සාක්ෂියක් ඇති තැනැත්තන් වූයේ නම් ඔවුන් කළ යුතුව තිබුණේ කුඩුකාරයො ගේ වියදමින් සැප ගන්න ඩුබායි යාම නොව මධූෂ් ඉන්නා තැන පිළිබඳ තොරතුරු අදාළ අංශවලට ලබාදීමයි.

මේ වනාහි සියලු ගෞරවාන්විත දියුණු වී වැගිරෙන යුගයක් බව කවුදෝ කියා තිබේ. කලාවත් දේශපාලනයත් ආගමත් සියල්ල දියවී වැගිරෙන විට ජනතාව කරන්නේ ඒවාට විරුද්ධව කැරලි ගැසීම වෙනුවට කතන්දර කියවමින් සිටීම නම් රටේ ජනාධිපති ධුරයටත් මධූෂ් වැන්නෙකු පත්වන දිනය ඈතක නොවනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *