ප්‍රවීන ඡායාරූප ශිල්පි බර්ටි ගුණසේකරගේ අවසන් කටයුතු අද (8)

ප්‍රවීන ඡායාරූප ශිල්පියකු වූ ද ඡායාරූප ශිල්පීන් රැසක් බිහිකළ ඡායාරූප ශිල්පයේ ගුරුහරුකම් නොමසුරුව බෙදා දුන් ජෙෂ්ඨයකු වූ බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් දැනුම් දෙමු.

 

7 බ්‍රහස්පතින් දා සිදු කෙරෙන ඡායාරූප ගැනීමකට අවශ්‍ය පසුතල හා විදුලි ආලෝක ධාරා සූදානම් කළ ඔහු සුපුරුදු පරිදි මධ්‍යම රාත්‍රියේ නිදාගැනීමට ගොස් තිබේ. වෙනදා උදෑසනම අවදිව වැඩ කටයුතුවළ යෙදෙන ඔහු තවමත් අවදි වූයේ නැත්තේ ඇයි දැයි ඔහුගේ දියණිය හා පුතා විමසද්දී ඔහු පවසා ඇත්තේ හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙන බවයි. පසුව නිවැසියන් විසින් ඔහුව රෝහලට කැටුව ගොස් ඇති අතර ඔහු රෝහල් දී වෛද්‍ය වරයා හමුවටත් රෝහල් වාටුවටත් සාමාන්‍ය පරිදි ඇවිදගෙන ගොස් තිබේ. රෝහලේ දී ඔහුට හුස්ම ගැනීමේ අපහසුව තදින් දැනී ඇති අතර ඔක්සිජන් දී ඇත. ඉන් ටික වෙලාවකට පසුව ඔහු අවසන් හුස්ම හෙළා ඇත. ඒ ඊයේ (7) උදේ 6 – 7 අතර කාලයේ දී ය.

 

1940 දී කළුතර දී උපත ලබා ඇති බර්ටි ගුණසේකර සහෝදරියන් පස්දෙනෙකු හා සහෝදරයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක පළවෙනියාය. 1977 දී ඔවුන් ගේ පියා මෙලොව හැරගොස් ඇති අතර එතැන් පටන් පවුලේ ආර්ථිකය මෙන්ම නිවසේ සෙසු වැඩ කටයුතු වලට ද උර දී ඇත්තේ බර්ටි විසිනි. ඔහුගේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම ජීවතුන් අතර සිටිය දී ඔහු සමුගෙන ගොස්ය.

 

මියයන විට 79 වන වියෙහි පසු වූ ඔහු දියණියකගේ හා පුතෙකුගේ ආදරණීය පියෙක් විය. ඔහුගේ බිරිඳ මීට වසර 7කට පෙර දිවියෙන් සමුගත්තාය.

 

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ බර්ටි පාසැල් වියේ සිටම කලා කටයුතු වලට ලැදි අයෙක් විය. චිත්‍රකලාවට විශේෂ දක්ෂකමක් දැක් වූ ඔහු අතින් විද්‍යාලයේ නිල ලාංඡනය ද නිර්මාණය විය. උසස් පෙළ සමත්ව පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු හදාරා ඇත්තේ ඉතිහාසය විෂය ධාරාවයි. පේරාදෙනිය විශ්ව විද්‍යලයේ අධ්‍යාපනය හදාරද්දීත් කලා කටයුතුවලට සම්බන්ධ වී සිටි ඔහු ගේ දක්ෂකම් කැපී පෙනුණි. ගෞරව උපාධියක් හිමිකරගත් ඔහු ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ සහය සැලසුම් ශිල්පියෙකු වශයෙන් කටයුතු කර ඇත. ඉන්පසු ප්‍රධාන සැලසුම් ශිල්පියෙකු දක්වා උසස් වීමක් ලද ඔහු නොයෙක් අත්හදා බැලීම් කර ඇත.

 

එක එක පළාත් වල කෘෂිකාර්මික කටයුතු වලට සුදුසු මොන වර්ගයේ (හැඩයේ) උදලු දැයි ඔහු පරීක්ෂණ පවත්වා විවිධ හැඩ වලින් යුතු උදලු තල හඳුන්වා දී ඇත. ඒ දිනවල මිතුරන් ඔහුව හඳුන්වා දී ඇත්තේ ‘උදලු බර්ටි’ යන නමිනි. මවුන්ට් හවුස් සිලෝන් ලිමිටඩ් හි පෑලෑනින් ඇසිස්ටන් කෙනෙක් වශයෙන් ද සේවය කර ඇත. ඔහු භූමි අලංකරණය, ලාංඡන නිර්මාණය යන කටයුතු කෙරෙහි ද දක්ෂතා දක්වා ඇත. ඔහු කලාවට ඇති ලැදිකම නිසාම පූර්ණ කාලීනව කලා කටයුතු කිරීමට රැකියාවෙන් ඉවත් වී ඇත.

 

හන්තානේ කතාව සිනමාපටයේ තිරනාටක රචන‍යෙන් ද සහය වී ඇති බර්ටි හන්තානේ කතාවට නවක නළු නිළියන් තේරීමේ සම්මුඛ පරීක්ෂණයේ පරීක්ෂක මණ්ඩලයට ද සහභාගි වී ඇත. විජය කුමාරතුංග හා අමරසිරි කලංසූරිය යන දෙදෙනාම සිනමාවට එක්වෙන්නේ හන්තානේ කතාවෙනි. එතැන් පටන් විජය ඝාතනය වෙන තුරුම විජය බර්ටි සමීප මිතුරන් වූහ. කලං ද බර්ටිගේ සමීපතම මිතුරකු විය.

 

සිනමා පුවත් පත් කවර සඳහා විජයගේ රුව වැඩිපුරම හසුකර ගත් ඡායාරූප ශිල්පියා වන්නේ ද බර්ටි ගුණසේකරය. විජයට අමතරව ජනප්‍රිය නළු නිළියන් සෑම දෙනෙකුගේම පාහේ බර්ටි ගත් ඡායාරූප වලින් පුවත් පත් මුල් පිටු සරසා ඇත.

 

ඡායාරූප ශිල්ප ක්ෂේත්‍රය, දැන්වීම් කේෂත්‍රයේ මෙන්ම මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ද අමරණීය සටහන් තැබූ බර්ටි ගුණසේකරයන් ගේ භූමිකාව සිනමා කේෂත්‍රයට ද සම්බන්ධය. හන්තානේ කතාව චිත්‍රපටයට තිර රචනයෙන් සම්බන්ධ වූ ඔහු පී.කේ.ඩී. සෙනෙවිරත්නගේ ‘ප්‍රියංකා’ සිනමාපටයේ සහය අධ්‍යක්ෂක විය. මෙරිල් ඇල්බට් නිෂ්පාදනය කළ ‘දාහකින් එකෙක්’ චිත්‍රපටය බර්ටි ගුණසේකර විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතව සිටි අතර ඇති වූ මත බේදයක් නිසා ඉන් ඔහු ඉවත් වී තිබේ. පසුව එය නිෂ්පාදකයා විසින්ම අධ්‍යක්ෂණය කර තිබේ.

 

ලංකාවේ මුද්‍රණය වූ ජත්‍යන්තර මට්ටමේ විලාසිතා සගරාවක් වූ ‘ෂෙනෙල්’ සගරාවේ මෙන්ම සරසි සිනමා පුවත්පතේ ද ප්‍රධාන ඡායාරූප ශිල්පියා වූයේ බර්ටි ගුණසේකරයන් ය. ඒ පුවත් පත් තිලංක සුමතිපාල අධිපතිවය දරණ සුමති ප්‍රකාශන ආයතනයෙන් නිකුත් වූ ඒවාය.

 

පසු කළෙක ඡායාරූප ශිල්පයට වඩා මුද්‍රණ කලාවට නැඹුරු වූ බර්ටි ඩිජිටල් මුද්‍රණ ව්‍යාපාරයක් හා දැන්වීම් ආයතනයක් පවත්වාගෙන ගියේය. දෛවෝපාගතව ඔහු සිය ව්‍යාපාර පසුගිය කාලයේ වෙනත් අයට (සේවකයන්ට හා හවුල් කරුවන්ට) පවරා ඔහු යළි ඡායාරූප ශිල්පය පූර්ණ කාලීනව කිරීමට තීරණය කර තිබේ. බර්ටි ගුණසේකර ජාතික ඡයාරූප කලා සංගමයේ (ILSP) හිටපු සභාපති වරයකු මෙන්ම කලා භූෂණ සම්මාන ලාභියකු ද වෙයි. පසුකාලයේ දී ග්‍රන්ථ කතුවරයෙක් වශයෙන් ද පොත් කීපයක්ම ලියා ප්‍රකාශ කළේය. ඔහු පසුගිය කාලයේ විවිධ වර්ගයේ ඕකිඩ් වර්ග වගා කරමින් එහි මල් වැවී තිබෙන අයුරු දැක සතුටින් සිට ඇත.

 

ඔහුගේ දේහය මේ වන විට පාමංකඩ සරණංකර පාරේ, සරණංකර පාත් හි අංක 59/3බී ස්ථානයේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (08) වන දා ප.ව. 2.30ට නිවසේ දී ආගමික වතාවත් කර අදාහන කටයුතු ඇන්ඩ්‍රසන් පාර, නෑදිමාල, නිසල උයනේ දී (කොහුවල නිසල අරණ නොව) සවස සිදු කෙරේ.

කලාකරුවාණෙනි, ඇදුරාණෙනි, මිතුරාණෙනි ඔබ වැනි ගුණයහපත් මිනිසුන් යළි අපිට ජීවිතයේ දී හමුනොවන බව නම් සහතිකය. වචනයෙන් කිව නොහැකි ගුණසමුදායක මතකයන් පමණක් ඉතිරිකර ඔබ නිකම ගොසින්ය. ඔබට නිවන් සුව!

 

මනෝජ් රූපසිංහ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *