කොලය වසා ගැසූ මංගල උත්සවය -යසවර්ධන ගලප්පත්ති

කොලය වසා ගසනවා යන්න නිතර භාවිත කරන්නේ කාඩ් කුට්ටම ආශ්‍රයෙන් කෙරෙන සූදු ක්‍රීඩාවේදී හෙවත් බූරු ගැහිල්ලේදී නැතිනම් ඕම් තුන්සිය හතර වැනි කාඩ් ක්‍රීඩා වලදීය. කොලය වසා ගසන තවත් කණ්ඩායමක් වන්නේ දේශපාලනඥයන් . කොලය වසා ගැසීම සහ දේශපාලනය අතර සම්බන්ධතාවය මතකයට ආවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලත් මෙරට ජනමාධ්‍යත් හැසිරුණු ආකාරය දුටුවිටයි.
රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය කොටස් දෙකකින් යුක්තයි. එක කොටසක් තිරය පිටුපස අනෙක් කොටස තිරය ඉදිරියෙන්. තිරයට ඉදිරියෙන් කොටසේ මේවනවිට රටේ සියල්ලන්ම පාහේ දන්නවා . ගමක ආකෘතියේ විවාහ දර්ශන තලය නැත්නම් සෙට් එක, පන්සලට කෝවිලට මනාල යුවල යාම දේශීය කැම බීම වලින් යුතු වූවායි කියන මංගල භෝජනය . කිරල, තැබිලි ආදියෙන් අමුත්තන්ට සංග්‍රහ කිරීම ආදිය අයත් වන්නේ තිරය ඉදිරියේ මහජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණු කොටසයි. එම කොටසින් නියෝජනය වූයේ මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල ජනතාව ඉදිරියේ රගදක්වමින් සිටින දේශ හිතෛෂී ,සිංහල බෞද්ධ භූමිකාවටයි.
තිරය පිටුපස කොටස ජනතාවට එලිදැක්වූයේ නැහැ. එසේ එලිදරව් නොකල ප්‍රධාන කාරණයක් වන්නේ රෝහණ පුත්‍ර ආදී නොයෙක් දේශමාමක නම්බු නාම ලබා සිටින්නාවූද සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනීසිටින්නා වූද. මල් වට්ටියත් රැගෙන නිතර පන්සලේ රැදෙන වචන සීයක් කතාකරනවිට අසූ වතාවක් “අපේ හාමුදුරුවනේ” කියා කියන මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතනුවන්ගේ විවාහය ලියාපදිංචි කෙරුණේ කතෝලික දේවස්ථානයකදී යන්නයි.
රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහය සිදුකෙරුනේ දේවස්ථානයකදීය යන්න සමාජ ගතවීම සැලසුම් සහගතවම වලක්වාලු බව පෙනෙන්නට තිබෙනවා. එසේ කියන්නට හේතුව එම විවාහ මංගල්‍යය මුල සිට අගට නොව මැද සිට අගට වාර්තා වීම නිසයි. මෙරට ජනමාධ්‍ය ද එය එසේ වෙන්නට ඉඩහරින්නට කටයුතු කල බව පෙනෙනවා. එසේ නැතහොත් ඔවුන්ගේ රාජපක්ෂ හිතවාදය නිසා හෝ රාජපක්ෂ භීතිය නිසා රාජපක්ෂ පවුලේ විවාහ උත්සවයේ ජනතාවට දැනගැනීමට සුදුසු යැයි රාජපක්ෂ වරුන් සිතන කොටස පමණක් ජනගත කරන්නට ජනමාධ්‍ය වගබලා ගත්තා.
පසුගිය සතියේ දවසක එක්සත් වාමාංශික පෙරමුණ. , අලුත් ව්‍යවස්ථාව ගැන සහ රටේ පවතින තත්ත්වය ගැන අදහස් දැක්වීමට පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේදී හැසිරුණු ආකාරයට රෝහිත රාජපක්ෂ විවාහයේදී සිරස මාධ්‍ය ජාලය පවා කටයුතු කලේ නැහැ. එක්සත් වාමාංශික පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවේදී සිරස මාධ්‍ය හැසිරුණු තුප්පහි ආකාරය කිසිලෙසකින්වත් අනුමත කල නොහැකියි. ඉහත කරුණ මතක් කලේ මාධ්‍ය වල දෙබිඩි පිලිවෙත පෙන්වා දීමට පමණි.
යම් ආකාරයකින් මහින්ද රාජපක්ෂට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධානයක නායකයෙකුගේ දරුවෙකුගේ විවාහයක කොටසක් ජනතාවගෙන් වසං කරන්නට උත්සහ කලේ නම් මෙරට ජනමාධ්‍ය නිදහස් බව ජනතාවට අගවන්නටත් කටයුතු කරනවාට සැකයක් නැහැ.
තමාගේ බාල පුතාගේ විවාහය දෙව් මැදුරකදී සිදුකල බව ජනතාවගෙන් වසං කිරීමට මහින්ද රාජපක්ෂ මහතාඇතුලු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වගබලාගත්තේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් ජනතාව ඉදිරියේ රගදක්වමින් සිටින බොරු සිංහල බෞද්ධ භූමිකාවට එමගින් පහරවදින බව ඔවුන් දන්න නිසයි.

කැමති කෙනෙකුට කැමති ආගමක් ඇදහීමට ඇති අයිතිය සියල්ලන් එක සමානව පිළිගත් යුතුයි. එය මානව හිමිකමක්. කෙනෙක් විවාහ වන්නේ පල්ලියේ ද රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ද යන්නත් ප්‍රශ්නයක් නෙමෙයි. කැමති කෙනෙකුට කැමති තැනක දී කැමති කෙනෙක් සමග විවාහ වන්නට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. රෝහිතටත් යෝෂිතටත් එම අයිතිය පොදුයි. ප්‍රශ්නය වන්නේ ඇත්ත සමාජයෙන් ජනතාවගෙන් වෙන් කර බොරුවක් මවා පා ජනතාවගෙන් බලය ලබාගන්නට රාජපක්ෂවරු ගන්නා උත්සාහයයි.

පුත්‍රයාගේ විවාහය දේව මැදුරක දී සිදු කිරීමෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තම බිරිඳ හෝ තම පුතා හෝ තමන් මහ ඉහළින්  සලකනවාය කියන බුද්ධාගමට බඳවා ගන්නට නොහැකි වී ඇති බවයි. ලෝකෙට පරකාසේ ගෙදරටට මරගාතේ කියා ගම්වල කියන්නේ මෙයටයි.

රෝහිත රාජපක්ෂ මහතාගේ මනමාලියට දෙමළ පසුබිම්ක් ඇති බවකුත් තැනින් තැන කියවෙනවා. ඒ බවහෙළිදරව් කිරීම්කුත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල පැත්තෙන් සිදුවී නැහැ. වෙනත් රටක වෙනත් විපක්ෂ නායකනායකවරයෙක් නම් තමන්ගේ පුතා සුළුජාතික දැරියක සමග විවාහ වුණා ය යන්න සලකන්නේ ගෞරවයක් වශයෙනි. ඒ විතරක් නෙමෙයි තමන්ගේ නිවෙස තුළ පවතින ආගමික  සහජීවනය එවැනි  රටවල නායකයන්ට  ආඩම්බරයට හේතුවක්.  සමහර විට වෙනත් නායකයෙක් නම් තම පුතුගේ විවාහය දේවස්ථානයේ  සිදුකළ බව ප්‍රදර්ශනය කර ඒ හරහා ආගමික සහජීවනය පිළිබඳ හැඟීමක් ජනතාව අතර ගොඩනගන්නට උත්සාහ ගන්නවා. ආගමික සහජීවනයට ඉහළින්ම ලබා දෙන තල්ලුවක් වශයෙන් එය යොදා ගන්නවා.

කියුබානුවන් අතර මත්ස්‍ය පරිභෝජනය ප්‍රචලිත කරන්නට පිදෙල් කැස්ත්‍රෝ ඉදිරිපත් වූ ආකාරයය උදාහරණ වශයෙන් දක්වන්න  පුළුවනි. රූපවාහිනී කැමරා ඉදිරියේ වාඩිවී මසෙකු අනුභව කළ පිදෙල් කැස්ත්‍රෝ ජනතාවට කීවේ “දැන් ඔබලාගේ වාරය “කියලයි.

ජාතික ප්‍රශ්නය හේතුවෙන් අවුරුදු තිහක් මරාගත් ආගම්වාදය කර පින්නා ගත්  රටක විපක්ෂ නායකවරයාගේ පුතා දේවස්ථානයකදී සුළු ජාතික පවුල් පසුබිමක් ඇති තරුණියක (ඒ බව සත්‍යය නම්) විවාහ කරගත්තේය. ජාතික සංහිඳියාව සඳහා පෙළඹුමක් ලෙස කොතරම් අපූරුවට යොදා යොදා ගන්නට තිබුණා ද?

මහින්ද රාජපක්ෂ එවැන්නක් නොකකරන්නේ ඔහුට අවශ්‍ය ජාතික සමගිය ආගමික සහයෝගිතාව නොවන නිසායි. ඔහුගේ  මූලධර්මය වන්නේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සා බලය ලබා ගැනීමයි. රටේ ජනතාවගෙන් විමසිය යුතුව ඇත්තේ එකක් කියා එකක් කරන මෙවැනි බලලෝභී බොරුකාරයින්ට රැවටීමට ඔබ තාමත් සූදානම්ද කියා පමණයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *