යහපාලනය ගැන දැඩි කෝපයෙනි. – රෝහණ සන්දීප රණසිංහ

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙහි මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරින් 190 ක් පමණ සිටින බව 2019 ජනවාරි 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාව අනුව හෙළිවී ඇති බව 2019 ජනවාරි 25 දින පුවත්පත් කිහිපයකම ස‍දහන්වී තිබුණි. එම තොරතුරට කෝප් කමිටුව පදනම් කරගෙන තිබුණේ වෙනත් මූලාශ්‍ර නොව විගණන වාර්තාවන්ය. විගණන වාර්තා යනු කිසිවෙක්‍රට ප්‍රතික්ෂේප කළ හැකි මූලාශ්‍රයක් නොවන බැවින් ඉහත තත්ත්වය පැහැදිලි සත්‍යයක් වශයෙන් පිළිගැනීමට සිදුවේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පමණක් නොව වෙනත් ආයතනයන වුව නිලධාරින්ට හෝ වෙනත් සේවකයෙකුට හෝ ඉහල වැටුපක් ගෙවන්නේය යන්න පුදුමයට කරුණක් නොවන්නේ යැයි කිසිවෙකුට මෙහිදී තර්කයක් නගන්නට හැකියාව තිබේ .
ගැටලුව වන්නේ එතරම් ඉහල වැටුපක් ලබමින් අදාල තැනැත්තන් අදාල ආයතනයට කරනු ලබන සේවය කවර ආකාරද යන්නයි . කෝප් වාර්තාව ඉදිරිපත් කරමින් එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කර ඇත්තේ , ශ්‍රී ලන්කන් ගුවන් සමගම පසුගිය මස නවයක කාලය තුල රුපියල් මිලියන 40000 (හතලිස්දහසක් ) පාඩු ලබාගෙන ඇති බවයි . ඉහතකී සමගම 2014 වසරේ රුපියල් මිලියන තිස්දෙදහස් තුන්සිය පනස්හතක් (32357) ක් ද 2015 වසරේ මිලියන දහසය දහසක් (16000) ද ,2016 වසරේ මිලියන දොළොස් දහසක් (12000) ද පාඩු ලබා ඇති බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වාදී තිබුණි .
ඉහත සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන කරුණ වන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමගම 2014 ,2015,2016 වසරවලදී වසරපුරා ලබන ලද පාඩුවට වැඩ වැඩි පාඩුවක් පසුගිය මස 09 ක කාලයතුල ලබා ඇති බවයි. එය මිලියන 40,000 කි .2014 වසරේ එම සමගම ලැබූ පාඩුව වන රුපියල් මිලියන 32,357, සහ 2015 වසරේ ලැබූ පාඩුව රුපියල් මිලියන 16,000 සමග 2016 වසරේ ලැබූ පාඩුව රුපියල් මිලියන 12,000 එක්ව ගත්කල එකී වසර තුනෙහි ශ්‍රී ලන්කන් ගුවන් සමගම ලබා ඇති සමස්ත පාඩුව මිලියන 60,357 කි . පසුගිය මාස 09 ක කාලයතුල ශ්‍රී ලන්කන් ගුවන් සමගම ලබන ලද පාඩුව රුපියල් මිලියන 40,000 ක් වන විට 2014, 2015, 2016 වසර තුන තුලම එම සමගම ලැබූ පාඩුව පසුගිය මාස නවයක කාලයකට වඩා වැඩි වන්නේ රුපියල් මිලියන 20,357 කින් පමණි .
ඉහත සංඛ්‍යා ලේඛන අනුව විග්‍රහ කර බලනවිට පෙනී යන තවත් කරුණක් තිබේ .එනම් 2014 වසර සිට 2016 වසර දක්වා කාලයතුල ශ්‍රීලන්කන් සමාගම ලබමින් සිටි පාඩුව වර්ෂයෙන් වර්ෂයට අඩුකර ගනිමින් සිටි බවයි . එනම් 2014 වසරේ එම සමාගම ලැබූ පාඩුව මිලියන 32,357 ක් ව තිබු අතර 2015 වසරේ එම සමාගම ලබා ඇති පාඩුව රුපියල් මිලියන 16,000 කි. එනම් 32,357 – 16,000 =16,357 ක් බැවින් 2014 වසරට සාපේක්ෂව සමාගමේ පාඩුව රුපියල් මිලියන 16,357 කින් අඩුවී ඇති බවයි .
ඉන්පසු වසරේ එනම් , 2015 වසරෙහි සමාගම ලැබූ පාඩුව මිලියන 16,000 ට සාපේක්ෂව 2016 වසරෙහි සමගම ලබා ඇති පාඩුව මිලියන 12,000 කි ඒ අනුව 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ සමාගමේ පාඩුව මිලියන 4,000 කින් පහල බැස තිබේ .
අනෙක් අතින් ගත්කල පසුගිය මස නවයක කාලය තුල එම සමාගම ලබා ඇති පාඩුව රුපියල් මිලියන 40,000 ක් නම් 2014 – 2016 කාලයතුල එම සමගම ලැබූ වැඩිම පාඩුව වන්නේ එයයි .
යම් ආයතනයක් පාඩු ලබන්නේය යනු පැහැදිලි ලෙසම එම සමාගමේ කළමනාකාරිත්වය පිළිබද ප්‍රශ්නයකි .එනම් එය අදාල ආයතනයේ කළමනාකාර මණ්ඩලවල දුර්වලතාව පෙන්වන ප්‍රබල සාක්ෂියකි .
වෙනත් රටක නම් එවැනි කළමනාකරණ මණ්ඩල ස්වේච්චාවෙන් ඉවත් වනු ලැබේ . නැතහොත් ඔවුන් අදාල තනතුරු වලින් ඉවත් කරනු ලැබේ .
බරපතලම කරණය වන්නේ එසේ දිගින් දිගටම පාඩු ලබන සහ මාස නවයක කාලයක් තුල ඉතිහාසයේ වැඩිම පාඩුව ලබන ආයතනයකින් 190 දෙනෙකුට වැඩි පිරිසක් එක් අයෙකු මිලියනයකට වැඩ පඩි ලබමින් සිටීමයි . එනම් රුපියල මිලියන 40000 ක් වන ඉහත සමාගමේ පාඩුව දෙලක්ෂය බැගින් වැටුප් ලබන 190 ක් දෙනා මාසිකව රුපියල් 190000000 කින් දායක වී ඇති බවයි . ඔවුන්ගේ එම දායකත්වය මාස 9 ක කාලයට සලකා බැලු කල 190000000 *9 කි . එනම් 1170000000 කි . පාඩු ලබන ආයතනයකින් එතරම් විශාල වැටුපක් ලබන 190 ක් දෙනා සැලකිය හැක්කේ මියයන එළදෙනෙකුගෙන් කිරි නොව රුදිරය උරාබොන පරපුටුවන් පිරිසක් ලෙසිනි .
රාජපක්ෂ පාලන සමයේදී ද ශ්‍රීලන්කන් ගුවන් සමගම සම්බන්ධයෙන් විවිද ආකාර චෝදනා තිබු බව රහසක් නොවේ . විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා ගේ මස්සිනා එනම් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ පරිපාලන දුර්වලතා සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රවේශපත් සහ වෙනත් සමාගම් වලින් ලබාගත් ටිකට් පත් වලින් ලොවපුර කල සංචාර , හිතවතියන්ට සැලකීම ආදිය පිළිබද ශ්‍රීලන්කන් සමගම පිළිබද සොයාබැලීමට පත්කල වැලිඅමුණ කමිටුවේ වාර්තාවේ දක්වා ඇත .
යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමෙන් ජනතාව අපේක්ෂා කලේ එම තත්ත්වය වෙනස් කරන්නටය . එනම් ශ්‍රීලන්කන් වැනි සුදු අලින්ගෙන් ජනතාවගේ උරමත පැටවී තිබු බදු බරින් යම් සහනයක් ලබා ගන්නටය .
අඩුම වශයෙන් දිගින් දිගටම පාඩු ලැබූ ශ්‍රීලන්කන් වැනි සමාගම් ලැබ ලබන තත්වයට පත්කරන්නට නොහැකි නම් පාඩු නොලබන තත්ත්වයට හෝ පත් කරන්නට යහපාලන ආණ්ඩුව කටයුතු කරනු ඇතියි ජනතාව අපේක්ෂා කළහ .නමුත් කෝප් කමිටුවේ වාර්තාව අනුව දැන් පෙනෙන්නේ ජනතාවගේ එකී බලාපොරොත්තුව සුන්වී නොව සුනුවිසුනුවී ගොස් ඇතිබවයි. වඩාත් බරපතල කරුණ වන්නේ යහපාලන ආණ්ඩුවට වසර තුනක් ගතව ඇතිවිට පවා එම තත්වය නිවැරදි වී නොතිබීමයි . අනෙක යහපාලන ආණ්ඩුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමට යහපත් කළමනාකරුවන් එනම් සුදුස්සන් කළමනාකරුවන් වශයෙන් පත් නොකර ඇති බවයි .
යහපාලන ආණ්ඩුවේ වැරදි තීරණ හේතුවෙන් ඇදවැටෙන හෝ ඇදවැටෙමින් තිබෙන එකම ආයතනයද ශ්‍රී ලන්කන් නොවේ. ඇතැම් ආයතනයක පාලකයන් කටයුතු කරන්නේ තමන්ට ලැබුණු තනතුර යනු බඩවඩාගැනීමට ලැබුණු අවස්ථාවක් වශයෙනි . පොදුජන පෙරමුණු ආණ්ඩුව පැවති කාලයේ අහිමිව තිබුණු අවස්ථාව එක්සත් ජාතික පක්ශය යටතේ ලැබී ඇතැයි සිතා ඔව්හු කටයුතු කරති.
එක්සත් ජාතික පක්ෂයෙන් එහි අමාත්‍ය මණ්ඩලයත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් තේරුම් ගතයුත්තේ ජනතාව ඔවුනට බලය ලබා දුන්නේ මහින්ද නැවැත්වූ තැනින් පටන්ගෙන ඉතුරු ටික කෑමට නොවන බවයි.
අනෙක 2015 මැතිවරණ ජයග්‍රහණය යනු එක්සත් ජාතික පක්ෂයේ ජයක් නොවේ. රටේ යහපත අපේක්ෂාවෙන් සිටි මධ්‍යස්ථ බහුතරයත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට ඡන්දය නොදුන්නේ නම් ඒ රට නිවැරැදි අතට යොමු කරවනු ඇතැයි යන විශ්වාසයෙනි . දැන් සිදුවෙමින් හා එලිදරව්වෙමින් පවතින කරුණු අනුව පෙනී යන්නේ එකී විශ්වාසය ඉටුනොවී ඇති බවයි.
පසුගියදා සභානායක වරයා විසින් ජාතික ආණ්ඩුවක් සදහා යෝජනාවක් ද කතානායක වරයාට ඉදිරිපත් කල බව පැවසේ. එකී යෝජනාව ද රටට වැඩ කිරීමට නොව තමන්ගේ මන්ත්‍රී වරුන් වැඩි පිරිසක් ඇමතිවරු කරගන්නට ගෙන ආ එකක් බව ඉතා පැහැදිලිය.
පසුගිය පලාත් පාලන මැතිවරණයේදී බොහෝ අය පොදුජන පෙරමුණට ඡන්දය නොදී සිටියේ හෝ ඡන්දය දීමෙන් වැලකී නොසිට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය පාවිච්චි කලේ නැවත රාජපක්ෂ වාදයක් රටේ ඇතිවනු ඇත යන බියෙනි. ශ්‍රී ලන්කන් වැනි කරුණු අනුව දැන් ඔප්පු වන්නේ නිශාන්ත වික්‍රමසිංහත් යහපාලනයේ ශ්‍රී ලන්කන් පාලකයනුත් අතර අබමල් රේණුවක තරමටවත් වෙනසක් නොමැති බව නොවේ. යහපාලනයෙන් පත්කල ශ්‍රී ලන්කන් පරිපාලනය නිශාන්ත වික්‍රමසිංහලාට වඩා දහස් ගුණයකින් නරක බවයි.
එහෙයින් ඊලඟ ඡන්දය එක්සත් ජාතික පක්ෂයට දෙනු වෙනුවට පොහොට්ටුවට දුන්නද කාටවත් නොදී සිටියද ගැටලුවක් නැත. දෙපිරිස අතර වෙනසක් නැති බැවිනි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *