ෆෙඩරල්වාදයේ සත්‍ය කතාව – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහචාර්ය උපුල් අබේරත්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරන විටම කරළියට පැමිණෙන වචනය වන්නේ ෆෙඩරල් යන්නයි. රටේ ඒකීය භාවය වනසන රට තුළ වෙනම රාජ්‍යයන් බිහි කිරීමට මාර්ගය සැලසෙන ෆෙඩරල් එපා යැයි නැගෙන හඬ හමුවේ අදවන විට ෆෙඩරල් යන වචනය කියන්නට පවා දකුණේ පමණක් නොව උතුරේ දේශපාලනඥයින්ද බියක් දක්වති. ඇත්තෙන්ම ෆෙඩරල් යනු රට කැබළිවලට බෙදී ගොස් වෙනම පාලන ප්‍රදේශ බිහිිවන ක්‍රමයක්ද නැතහොත් ජාති හෝ ආගම් වශයෙන් බෙදී වෙන්ව යාහැකි සමාජයක් ඒකරාශී කිරීමට හැකි ක්‍රමයක්ද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත් වන්නේ එහෙයිනි. අද ෆෙඩරල් පිළිබඳ කතා කරමින් එයට එරෙහි වන බොහෝ පිරිසක් ෆෙඩරල් යනු කුමක්දැයි හරිහැටි නොදැන එයට විරුද්ධ වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ෆෙඩරල් බිල්ලා සෑම විටම ඉස්මතු කරනු ලබන්නේ විපක්ෂය විසින් බව ද නිදහසින් පසු ගෙවුණු දශක හතක දේශපාලන ඉතිහාසය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව පෙනීයන කරුණකි.

බලය බෙදා හැරීම ඔස්සේ සියලු ජ‍ාතීන් එකතු කරන්නට බලයේ සිටි පක්ෂය උත්සාහ කළ සෑම අවස්ථාවකම විපක්ෂය ඊට එරෙහි වූ අයුරු ඉතිහාසය පුරා දක්නට ලැබෙන්නකි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම තුළින් බලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ගිය අවස්ථාවේ ඊට එරෙහිව පෙළපාලි යමින් විරුද්ධ වූයේ විපක්ෂයේ සිටි ජේ. ආර් ජයවර්ධනය මහතාය.

පසුව ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව කොමියුනිස්ට් හා සම සමාජ පක්ෂ පෙළපාලි ගියේ ඩඩ්ලිගේ බඩේ මසළ වඩේ කියමිනි. මුලින් බණ්ඩාරනායක මහතා බලය බෙදීමට ගත් උත්සාහයට එරෙහිවූ ජේ. ආර් ජයවර්ධන මහතා තමන් බලයට පැමිණි පසු දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ බලය බෙදා හරිමින් පළාත් සභා පිහිටුවීය. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනයක ජනපතිනිය නව ව්‍යවස්ථාවක් ගෙන එමින් පුළුල් බලය බෙදීමක් පිළිබද කතා කරන විට ව්‍යවස්ථා කෙටුම්පත් පාර්ලිමේන්තුව තුළ ගිනිබත් කළේ එක්සත් ජාතික පක්ෂයයි.

ජනපති ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් වීමෙන් අනතුරුව ඔහු දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස් තර්ටීන් ප්ලස් දෙන්නට සූදානම් වූයේය. එසේ කටයුතු කළ මහින්ද මහතා අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්නටත් පෙර බලය බෙදීමට එරෙහිව සිංහල බෞද්ධ ජනතාව උසි ගන්වමින් සිටී. ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ හැසිරීම කෙබඳුද යන්න තේරුම් ගැනීමට මෙම සිදුවීම් පෙළ හොඳටම ප්‍රමාණවත් ය.

සත්‍යය හා අසත්‍යය

මෙතෙක් කල් පැවැති ඒකීය යන වචනය වෙනුවට ෆෙඩරල් යනුවෙන් ඇතුළත් කර වත්මන් ආණ්ඩුව ගෙන එන්නට උත්සාහ කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව උපන් ගෙයිම මරා නොදැමුව හොත් මෙරට ලේ විලක් වනු ඇති බවට විපක්ෂය කරනු ලබන අනතුරු ඇඟවීම සත්‍යය ද නැතහොත් අසත්‍යය ද යන්න විමසා බැලීමට ප්‍රථම අප කළ යුතුව තිබෙන්නේ ෆෙඩරල් යනු කුමක්ද එවැනි පාලනයක් ඇති වෙනත් රටවල් මොනවාද එම රටවල් දියුණුව කරා ගමන් කර තිබේද නැතහොත් පරිහානිය කරා ගමන් කර තිබේද යන කරුණු අධ්‍යන්‍යය කර කිරීමය. එය රට බෙදන ක්‍රියාවලියක්ද නැතහොත් බෙදී වෙන්ව යෑමේ අවධානමක් ඇති රටක් එකතු කිරීමේ ක්‍රියාවලියක්ද යන්න පිළිබද ප්‍රමාණික අවබෝධයක් ලබාගත හැකි වන්නේ ද ඉන් පසුය.

ෆෙඩරල් යනු එකතු කිරීම,ගැට ගැසීම,මූට්ටු කිරීම,සන්ධි කිරීම යන අදහස දෙන්නාවූ ආණ්ඩුකරනයකි. එසේ වුවත් ලංකාව එය හඳුනා ගෙන තිබෙන්නේ බෙදී වෙන්ව යාමේ ක්‍රියාවලියක් ලෙසිනි. බහුතරයක් වන ජන කණ්ඩායමේ ආධිපත්‍යය පවත්වා ගෙන යෑම සඳහා සන්ධීය වාදය බෙදී වෙන්ව යාමේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දෙනු ලැබීම පිළිබඳ බොහෝ අත්දැකීම් ශ්‍රී ලාංකික ජන සමාජයට තිබේ. ජනවාර්ගික ගැටුම් යනු දේශපාලන ව්‍යවසායකයින්ට ඉතා ප්‍රයෝජනවත් ආයුධයකි. සියයට හැත්තෑවක් වන සිංහල බෞද්ධ ඡන්දවලින් අති බහුතරය තමන්ගේ දේශපාලන ව්‍යාපාරය වෙත දිනා ගැනීමේ අරමුණින් ෆෙඩරල් හෙවත් සන්ධීය වාදය බෙදී වෙන්ව යාමේ ව්‍යාපාරයකට සමාන කර අර්ථ ගැන්වීම සිදු කෙරෙන්නේ මෙම පසුබිම තුළය.

න්‍යායාත්මකව ගත්විට සන්ධීය රාජ්‍යයක් යනු වෙන්ව සිටි කණ්ඩායම් එකට ඒකරාශි කිරීමේ වැඩපිළිවෙළකි. එසේ නොමැති නම් බෙදී වෙන්ව යෑමට නියමිතව තිබෙන සමාජයක් නැවත ඒකරාශී කරන්නාවූ ක්‍රියාමාර්ගයකි. වෙන් වෙන්ව ස්වාධීන රාජ්‍ය ලෙස පැවැති ජනපද සමූහය පොදු අරමුණක් ඔස්සේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස ඒකාරාශී වීමෙන් ඇමරිකා එක්සත් ජනපදය බිහි විය.

එය ඇමරිකානු සන්ධීයවාදයයි. බෙදී වෙන්ව යාමට නියමිතව තිබූ සමාජය ඒකරාශි කරමින් එකට ගැට ගසා ගැනීම ඉන්දීය සන්ධීය ක්‍රමයේ ද ප්‍රමුඛ ලක්ෂණයකි. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ ආචාර්ය අම්බෙට්කාර්,ශ්‍රී නේරු ,රාජේන්ද්‍ර සිං ඇතුළු පිරිස ඉන්දීය ජනතාවගේ විවිධත්වය නිවැරදිව හඳුනා ගනිමින් පොදු ඉන්දීය ජාතිකත්වයක් ගොඩනැගීම සඳහා ෆෙඩරල්වාදය භාවිත කරනු ලැබූහ. මෙරට වර්ගවාදී දේශපාලනඥයින් පෙන්වා දෙන ආකාරයේ භායානක තත්ත්වයක් ෆෙඩරල් ක්‍රමය තුළ නොතිබෙන බව මෙම උදාහරණවලින් පැහැදිලි වනු ඇත.

ජනතාවගේ පොදු අභිලාෂයන් මෙන්ම සෙසු අවශ්‍යතාද ආමන්ත්‍රණය කිරීම සන්ධීය ආණ්ඩුකරණයක් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයකි. යාපනයේ ජීවත්වන පුද්ගලයාටත් හම්බන්තොට ජීවත්වන පුද්ගලයාටත් අනුරාධපුරයේ ජීවත්වන පුද්ගලයාටත් කොළඹ ජීවත්වන පුද්ගලයාට මෙන්ම පොදු අභිලාෂයන් තිබේ. මධ්‍යම ආණ්ඩුව මෙම පොදු අභිලාෂයන් ඉටු කිරීම පිණිස කටයුතු කරත්දී සෙසු අභිලාෂයන් ප්‍රාන්ත ආණ්ඩු මඟින් ඉටුකර දීම ෆෙඩරල් ක්‍රමයක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.

මහවැලි ගංඟාව මධ්‍යම පළාතින් ආරම්භවී නැගෙනහිර පළාතින් මුහුදට වැටෙත්දී තවත් පළාත් කිහිපයක් පසුකර යයි. එහි ප්‍රයෝජන සෑම පළාතක් විසින්ම ලබන බැවින් එය මධ්‍යම ආණ්ඩුව යටතේ පවතී. මහමාර්ග,ගුවන් තොටුපොළ,වරාය,ජාතික උරුමයන් වැනි විෂයන් මුළු මනින්ම පවතින්නේ මධ්‍යම රජය යටතේය. ඒ ආකාරයෙන්ම ප්‍රාන්තවලටද යම් යම් කාරනා සම්බන්ධයෙන් බලතල පැවරේ. මෙරට තේ නිෂ්පාදනය බහුලව සිදු කෙරෙන්නේ නුවරඑළිය,මහනුවර,ගාල්ල,කළුතර ආදි ප්‍රදේශවලය. මේවා අපනයනයෙන් ලැබෙන මුදලින් වැඩි ප්‍රතිලාභ හිමිවන්නේ කොළඹ දිස්ත්‍රික්කයටය.

ජල විදුලි බලාගාර සියල්ලම තිබෙන්නේ මධ්‍යම පළාතේය. ඒවායින් ජනනය කරන විදුලිය වැඩිපර පරිභෝජනය කරනු ලබන්නේද බස්නාහිර පළාතය. එක් ප්‍රදේශයක සම්පත්වල වැඩි ප්‍රතිලාභ වෙනත් ප්‍රදේශයක් ලබා ගැනීම වැනි හේතූන් නිසා පළාත් මට්ටමින් සංවර්ධනයෙහි විෂමතා දක්නට ලැබේ. මෙය පිටු දැකීම සඳහා බලය පළාත් මට්ටමට බෙදා හැරිය යුතුය. තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා අතුරින් ප්‍රමුඛතාව දිය යුතු ඒවා හඳුනා ගෙන ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමේ වැඩි හැකියාවක් තිබෙන්නේ ප්‍රාන්ත දේශපාලන අධිකාරියටය. එසේ නොකරන්නේ නම් ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ජනතාවට පැහැදිලිවම තිබේ. අද සිදුවන්නේ පළාත් සභාව මධ්‍යම රජයට ඇඟිල්ල දිගු කරන අතර මධ්‍යම රජය පළාත් සභාවට ඇඟිල්ල දිගු කිරීමය.

දුගී බවේ සංකේතය

දුගී භාවය ඉහළම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පිහිටා තිබෙන්නේ ෆෙඩරල් ක්‍රමයට එරෙහිව ඒකීය භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන හම්බන්තොට හා ඊට යාබද මොණරාගල දිස්ත්‍රික්කවල දුගීකම නමැති ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අනිවාර්යයෙන් බලය බෙදා හැරිය යුතුය. සන්ධීය වාදය යනු සමාජ සාධාරණයත්වය හා යුක්තිය ඇති කිරීම සඳහා වන මෙවලමක් ලෙසද හැඳින්විය හැකිය. ජනවාර්ගික ප්‍රශ්නය කළමණාකරණය කිරීම සඳහා වන මෙවලමක්ය යන කාරනය ඉදිරියට පැමිණ තිබුණත් මේ තුළ විෂම සංවර්ධනය නිසා ඇතිව තිබෙන ගැටලු ආමන්ත්‍රණය කිරීමක්ද සිදු කෙරේ.

අප සමාජයේ පවත්නා දේශපාලන සාක්ෂරතාවයේ අඩුකම ෆෙඩරල් යන්න නිවැරදි ලෙස අර්ථ කතනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඍජුව බලපා තිබේ. ශ්‍රී ලංකාවට ෆෙඩරල් එපා කියන බහුතරයක් සන්ධීයවාදය යනු කුමක් දැයි හරිහැටි නොදැන කතා කරන ස්වරූපයක් පැහැදිලිව පෙනෙන්නට ඇත. පළාත් බද ප්‍රශ්නවලට පළාත් බදව විසඳුම් සොයා ගැනීමේ ක්‍රියාවලියට අප කැමති වුව අකමැති වුව දැනටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ එම ආකෘතියේ ආණ්ඩුක්‍රමයකි. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් යම් ප්‍රමාණයකට බලය බෙදා හැරීමත් සමඟ ඉන්දියාවේ ක්‍රියාත්මක සන්ධීය ක්‍රමයේ ලක්ෂණ වැඩියෙන් අන්තර්ගතවූ ක්‍රමයක් මෙරට බිහිවිය. මෙය ඇත්තනේම අර්ධ සන්ධීය ලක්ෂණ ප්‍රකට කරන්නාවූ රාජ්‍යය ක්‍රමයකි.

ඒ අනුව හදිසි අවශ්‍යතාවකදී ඒකීය ආණ්ඩු ක්‍රමයක් මෙන් ක්‍රියාත්මක වීමට මධ්‍යම ආණ්ඩුවට හැකියාව තිබෙන අතර සියලු කටයුතු මෙහෙයවීම මධ්‍යම ආණ්ඩුව මූලික කරගෙන සිදු වේ. පළාත් සභාවන්හි ආර්බුදයක් පවතින අවස්ථාවක මධ්‍යම රජයට සියලු පළාත් සභා බලතල අභිබවා ක්‍රියාත්මක වීමේ අවකාශ පවතින්නේය. සාමන්‍යය තත්ත්වයකදී ඒවා ෆෙඩරල් ආණ්ඩුකරණයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

බලය බෙදීම හා ඒකීය රාජ්‍යය

ඇත්තෙන්ම මෙරට තුළ බලතල බෙදා හැරීමක් සිදුකර තිබේ. එම බෙදා හැරීමේ පවතින අර්බුද හේතුවෙන් පළාත් සභාවන්හි අසාර්ථකත්වයක් පෙනෙන්නට ඇත. පළාත් සභාවලට කිසිඳු කාරණයක් සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කරන්නට නොහැකි ලෙස ජාතික ප්‍රතිපත්ති නමැති මෙවලම ඔස්සේ පළාත් සභාවල බලය මධ්‍යම ආණ්ඩුව ග්‍රහණයට ගෙන ඇත. මෙය එක්තරා අන්දමකින් දකුණු අතින් දුන් බලය වම් අතින් ගැනීමක් ලෙස හැඳින්වීමට පුළුවන.

ඉන්දියාවේ මෙවැනි තත්ත්වයක් නොමැත. පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබාදුන් නඩු තීන්දුවට අනුව විනිසුරුවරු තිදෙනෙකු ප්‍රකාශ කළේ පළාත් සභා ක්‍රමය ඇති කිරීම මඟින් මෙරට ඒකීය රාජ්‍ය ආකෘතියට හානිවී තිබෙන බවයි. සිව් දෙනකු පැවසුවේ බලය බෙදා හැරීමක් සිදු වුවත් එමඟින් ඒකීය රාජ්‍යයට කිසිඳු හානියක් නොවන බවයි. මේ ආකාර හතරට තුනක් ලෙස බෙදුණු තීන්දුවක් ලෙසින් අවසානයේ එය ක්‍රියාවට නැගුණේ විධායක ජනපති ධූරය මඟින් මෙරට ඒකීයත්වය ආරක්ෂා වන බව සැලකිල්ලට ගනිමිනි.

ඒකීය ආණ්ඩුක්‍රමයක තිබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ මධ්‍යම ආණ්ඩුව පනවන නීතිවලට අනිකුත් සියලුම නීති අභිබවා ක්‍රියාත්මක වීමේ හැකියාව තිබීමය. එහිදී උත්තරීතර වන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයයි. මෙරට ක්‍රියාත්මක වන්නේ ඒකීයද නොවන සන්ධීයද නොවන ක්‍රමයක් බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එහි සභාපති විනිසුරු තුමා ප්‍රකාශ කළේය. ෆෙඩරල් සම්පූර්ණයෙන් බැහැර කර ඒකීය රාජ්‍යය පිළබඳ අප කතා කරන්නේ නම් එය කළ යුත්තේ මේ කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කරමිනි.

අද ෆෙඩරල් පිළිබඳ මහ සංඝරත්නය ඇතුළු පූජක පක්ෂයත් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද කරනු ලබන වැරදි අර්ථකථන නිසා එය සම්පූර්ණයෙන්ම බැහැර කරන්නේද යන්න පුරවැසි සමාජයක් ලෙස අප තීණ්දු කළ යුතුය. සන්ධීය ක්‍රමය පිළිබඳව සමාජය තුළ පවත්නා අඩු දැනුම උපයෝගි කර ගනිමින් එය බිල්ලකු ලෙස මවා පෙන්වන්නට අවකාශයක් නිර්මාණයවී තිබේ.

මෙරට ජන කණ්ඩායමක් සන්ධීය ආණ්ඩු ක්‍රමයක් මුල් වරට ඉල්ලා සිටියේ 1930 වසරේ දීය. එනම් මෙරට ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම පිණිස පත්කළ ඩොනමෝර් කොමිසම ඉදිරියට ගොස් උඩරට නායකයින් සන්ධීය පාලනයක් ඉල්ලා සිටියහ. පහත රට සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව උඩරට සම්පත් සූරාකන බවත් එය වලක්වා ගැනීම සඳහා එවැනි පාලනයක් අවශ්‍යය බවත් උඩරට සිංහලයෝ ඉල්ලා සිටිත්දී දෙමළ ප්‍රජාව එවැන්නක් පිළිබඳ සිතාවත් තිබුණේ නැත. වත්මන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ සිංහල ජනතාව බහුතරයක් සිටින පළාත්වල ප්‍රධාන ඇමැතිවරු සියලු දෙනා පළාත් සභාවලට දැනට පවතින බලතලවලට වඩා වැඩි බලතල ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

දෙමළ ජාතික සංධානය ෆෙඩරල් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ, දකුණේ දේශපාලන හැසිරීම දෙස බලා මිස ඇත්තටම එය ඔවුන්ට අනවශ්‍යය නිසා නොවේ. යථාර්ථවාදී ලෙස බලය බෙදා හැරීමට නම් ඒකීය රාජ්‍යය නම්වූ සංකල්පය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුය. එය ඉතා අසීරු මෙන්ම මතබේදයට තුඩු දෙන්නාවූ බැරෑරුම් ක්‍රියාවක් බව දන්නා දෙමළ ජාතික සන්ධානය ගැටලුවක් නොමැතිව සියල්ලන් එකට ජීවත් වීමට හැකි ලෙස බලය බෙදා ගැනීමක් කළ හැකි විකල්පයක් තිබේද යන්න සොයා බැලීම දක්වන ලද සාධනීය ප්‍රයත්නයක් ලෙස ඔවුන් ෆෙඩරල් අත්හැරීම පෙන්වා දිය හැකිය.

එමීර් රාජ්‍ය ආදර්ශය

කොන් ෆෙඩරේෂන් (confederration)යනු සහ සන්ධීය ආණ්ඩුකරණයයි. ඊට හොඳම උදාහරණය වත්මන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. වෙනම රාජ්‍යයන් ලෙස එමීර්වරු හය දෙනකු යටතේ පාලන ඒකක හයක් පවතින අතර ඒවා විදේශ සබඳතා පවත්වනු ලබන්නේද ස්වාධීනවය. නීතිවලට වඩා සම්මුති ඇතිකර ගනිමින් පොදු කාරණාවලදී එකට කටයුතු කරන එමීර් වරු තමන්ගේ රාජ්‍යය තුළ වෙනම පාලනයක් ගෙන යති. ෆෙඩරල් ආකාරයට ආරම්භවී පසුව මධ්‍යම ආණ්ඩුව බලවත්වූ රටවල් මෙන්ම මුලින් ඒකීය රාජ්‍යයක් ලෙස පැවතී පසුව මධ්‍යම ආණ්ඩුවේ බලය දුර්වල වීම නිසා සමාජ අවශ්‍යතා අනුව සන්ධීය රාජ්‍යයන් ලෙස වෙනස්වූ රටවල්ද ලොව තිබේ. ඒකීය රාජ්‍යයකට හොඳම උදාහරණයවූ එංගලන්තය අද ඒකීයද නොවන ෆෙඩරල්ද නොවන පාලනයක් වෙත තල්ලුවී ඇත.

වේල්සය,ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය වෙනම පාර්ලිමේනතු පවත්වා ගෙන යනු ලබන අතර මධ්‍යම ආණ්ඩුව ලෙස සැලකෙන එංගලන්තයේ පාර්ලිමේන්තුව සැලකිය යුතු මට්ටමකට දුර්වලව තිබේ. මේ නිසා අද පරමාදර්ශී ඒකීය රාජ්‍යයක් ලෙස එංගලන්තය හඳුනාවා දීමේ හැකියාවක් නැත. කලකට ඉහත අතිශයින් මධ්‍යගත ඒකීය රාජ්‍යයක්වූ ප්‍රංශයද අද ක්‍රියාත්මක වන්නේ තල හතරක ආණ්ඩු ක්‍රමයක් යටතේය. සන්ධීය රාජ්‍යයක් සඳහා පරමාදර්ශයක් ලෙස සැලකූ ඇමරිකා එක්සත් ජනපදය තුළ අද පළාත්බද හැඟීමට වඩා ඇමරිකානුවා යන හැඟීම ඉස්මතුවී තිබේ.

ඉන්දියාවේ තත්ත්වයද මෙයමය. කර්නාටක,කේරළ,තමිල්නාඩු අනන්‍යතා අභිබවා අද ඉන්දියානු යන හැඟීම ඔවුන් අතර ඉස්මතුව ඇත. අප අදත් කටයුතු කරන්නේ සිංහල,දෙමළ,මුස්ලිම් යන ජාතිකත්ව පදනම් කරගෙන මිස ශ්‍රී ලාංකික යන හැඟීම උද්දීපනය වන ආකාරයට ස නොවේ. එම හැඟීම ඉස්මතු කරලීම ය. හැක්කේ වර්වාදී අදහස්වලින් ජාතීන් අතර බෙදීම් ඇති කිරීමෙන් නොවන බව පාලකයින් මෙන්ම පාලනයට ඒමට බලා සිටින අයද තේරුම් ගත යුතුය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යා අංශයේ මහචාර්ය උපුල් අබේරත්න

(අසේල කුරුළුවංශ – දිනමිණ )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *