අනාගත අභියෝග ජයග්‍රහණය කර ගත හැක්කේද, එක දම්වැලක පුරුක් මෙන්, එක්ව ක්‍රියාකිරීමෙන් – අමාත්‍ය වජිර අබේවර්ධන

අභිමානවත් පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපි යටත් විජිත පාලනයෙන් නිදස්වීමේ 71 වැනි වසර උත්කර්ෂවත් ලෙස සමරන්නෙමු.

1948 දී අප රටට නිදහස ලබාගැනීම සඳහා යොදාගත් ප්‍රබලම අවිය වූයේ අප රටෙහි ජීවත් වූ සියලුම ජාතීන් අතර පැවැති එකමුතුකමයි. නිදහස ලබාගත් පසු අප හමුවේ පැවැති ප්‍රධානතම  අභියෝගය වූයේ ඒ සමගිය ආරක්ෂා කර ගනිමින් අනාගතය කරා පිය නැගීමයි.

වරින් වර විවිධ ආකාරයේ ගැටලු ඇතිවුව ද ශ්‍රී ලාංකිකයන් ලෙස අන්‍යෝන්‍ය විශ්වාසයෙන් සහ අවබෝධයෙන් සමගිය ආරක්ෂා කරගනිමින් සංවර්ධනය කරා පියවර තැබීමේ මහඟු අවස්ථාවකට යළි අපි එළැඹ සිටින්නෙමු. කවර ආකාරයේ දේශපාලන මතවාදයන් දැරුව ද ඒ සියල්ල පසෙකලා රටේ නිදහසත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් ආරක්ෂා කර ගනිමින් එකම ජාතියක් ලෙස නැගී සිට රට දියුණුව කරා ගමන් කරවීමට අප අදිටන් කරගත යුතුය.

ජාතික දිනය වඩාත් පරිපූර්ණ වන්නේ සමාජ, දේශපාලනික, ආර්ථික නිදහස මෙන්ම මානව ගරුත්වය, අධ්‍යාත්මික නිදහස ද උදා වීමෙනි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අප රජය වඩාත් ස්ථාවර නිදහස් සමාජයක් ගොඩනැංවීමට තවදුරටත් කැපවී කටයුතු කරමින් සිටියි.

”ජාතික දිනය” වඩාත් අර්ථවත් කරගනිමින්, තිරසර නිදහසක් බවට පත්කර ගැනීම අප සැමගේ අපේක්ෂාව සහ ප්‍රාර්ථනය විය යුතුය. එදා මෙදාතුර අප රටක් ලෙස සියලු ජයග්‍රහණ ලබා ගත්තේ එක්ව සිටියදී මිස බෙදා වෙන්ව සිටියදී නොවේ. එම නිසා අනාගත අභියෝග ජයග්‍රහණය කර ගත හැක්කේද, එක දම්වැලක පුරුක් මෙන්, එක්ව  ක්‍රියාකිරීමෙන් බව අප අවබෝධ කරගත යුතුයි.

අද දවසේ අප භුක්ති විඳින නිදහස අනාගතයේදී අපේ දරුවන්ට ආරක්ෂා කර දීම අපගේ වගකීමයි. ඒ සඳහා සැබෑ පුරවැසියන් සේ කටයුතු කිරීමට ජාතික නිදහස සමරන මේ මොහොතේ නැවත නැවතත් අදිටන් කරගනිමු.

වජිර අබේවර්ධන

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *