පාසැල් ළමුන් ගේ මානව අයිතීන් උල්ලංගනය කරමින් එස්.එම්.එස්. ජාවාරමක් හා රියලිටි තරඟයක් – බිනර දන්තුරේබණ්ඩාර

රූපවාහිනී නමැති ශ්‍රව්‍ය දෘෂ්‍ය මෙවලම ලංකාව ආක්‍රමණය කර අප රට ජන මනස අරක ගෙන හානි පමුණුවන්නට වූයේ සේනා දළඹුවාටත් වඩා වැඩි වේගයකිනි. දශක තුනක් සපිරෙන විට, ආරම්භයේ දී එකක් දෙකක් තිබුණ නාලිකා කේෂ නාලිකා තරමට වැඩි වෙන්නට විය. නාලිකා වැඩි වෙත්ම නරඹන්නන් සංඛ්‍යාව එක් එක් නාලිකා අතර බෙදීයාම නිරන්තරයෙන්ම සිදු වීම නිසා තම ග්‍රාහකයන් සංඛ්‍යාව රඳවා තබාගැනීමට නාලිකා ප්‍රධානීන්ට විවිධ ආකර්ෂණීය වැඩසටහන් ඉදිරිපත් කිරීමට නිරන්තරයෙන්ම සිදුවිය.

මුලින් සුපිරි ගීතරු වලින් පටන් ගත් ගීත ගායනා තරඟ උත්කර්ෂවයට නැංවීමත් සමඟම එය එතනින් එහාට විහිදුණු තවත් කේවල අංගයන් කෙරේ විහිද යන්නට විය. එම වැඩ සටහන් හඳුන්වන්නේ රියැලිටි වැඩ සටහන් නමිනි. මේවා එක් එක් නාලිකාවල සුවීය නිර්මාණාත්මක වැඩසටහන් බව පෙනුනත් ඒවා උප්පත්තිය බටහිර රටවල්ය. ඒවා ඊළඟට ආසියාව දක්වා ගලා එයි. ඒ නිර්මාණ කොල්ලයක් නොවන නිර්මාණ අනුකරණයක් වශයෙනි. පළමුවෙන්ම ඉන්දියාව විසින් ග්‍රහණය කරගන්නා මෙම වැඩසටහන් ඉන්පසුව අසල්වැසි ලංකාවට කාන්දුවෙයි.

මැජික්, ගායනා, නර්තන, විවිධ දක්ෂතා උරගා බලන කේවල තරඟ වලින් පසුව සමූහ තරඟ කෙරෙහිද මේ සුපිරි තරඟ ව්‍යාප්ත විය. අපිට මතුපිටට නොපෙනුනත් මේ යට ඇත්තේ මහා පරිමාණ ඇසට නොපෙනෙන, අතට හසුනොවන කළු ජාවරමකි. ඒ ඒ තරඟයන්හි තරඟ විනිශ්චය කරුවන්ගේ විනිශ්චයන්ට අමතරව විවිධ දුරකථන ජාල අයිති සමාගම් විසින්, තරඟ වලට අනුග්‍රහය දක්වන මුවාවෙන් පැමිණ තරඟ ජයග්‍රහණය කිරීමට නම් එස්.එම්. එස්. වලින්ද තරඟ කරුවන් ඉදිරියට පැමිණිය යුතුය යන තරඟ කොන්දේසියක් තරඟ වලට ඇතුළත් කර තිබේ.

මේ මහා පරිමාණ කොල්ලයට අලුතෙන්ම ග්‍රහහණය කරගෙන සිටිනු ලබන්නේ රජයේත් අනුදැනුම ඇතිව අහිංසක පාසැල් දරු දැරියන්ය. ඒ අන්තර් පාඨශාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායම් අතර තරඟයයි. මොවුන් මේ සඳහා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක් වන අධ්‍යාපන අමාග්‍යාංශය ද සහභාගිකරගෙන ඇති බව පැවසෙයි. එහෙත් පාසල් ළමුන් යොදවාගෙන කරන මෙම කටයුත්තේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරින් මෙම වැඩසටහන් මාලාව ගැන අවධානයෙන් පසුවන්නේ දැයි සැක සහිතය.

මෙය‍ට මුල් වටයේ දී පාසල් විශාල සංඛ්‍යාවක් සහභාගි වූ අතර දෙවන වටය සඳහා පාසල් හතලිස් අටක් තෝරාගෙන තිබේ. වැඩසටහන වාණිජකරණය වන්නේ එතනදීය. හතලිස් අටෙන් ඊළඟ වටයට තෝරා ගන්නේ පාසල් විස්සක තූර්යවාදක කණ්ඩායම්ය. එය තෝරාගනු ලබන්නේ විනිශ්චය මණ්ඩලයක තීරණයකින් පමණක් නොවේ. ඔවුන් අතින් විනිශ්චය වන්නේ 75%ක ප්‍රතිශතයකි. ඉතිරි 25% සඳහා එස්.එම්.එස්. විශාල ප්‍රමාණයක් එවිය යුතුය. එම කඩඉමෙන් ඉදිරියට එන්නේ එස්.එම්.එස්. සංඛ්‍යාව වැඩි වූ තරමටය.

සාමාන්‍ය එස්.එම්.එස්. එකකට වැය වන්නේ ශත 34 ක් පමණ මුදලකි. එහෙත් මෙම තරඟය සඳහා එස්.එම්.එස්. යැවීමේ දී එක එස්.එම්.එස්. එකකට රු.3.44 ක මුදලක් දුරකථන සමාගම මගින් අයකරගනු ලබයි. මෙහි දී පාසල් සිසු දැරියන් විසින් තම පාසැල ඉහළට ඔසවා තැබීම සඳහා වැඩිපුර එස්.එම්.එස්. ප්‍රමාණයක් යැවීමට උත්සුක වේ. මේ සඳහා ළමුන්ට පාසැල් වැඩකටයුතු ද අමතක කර වෙහෙස වීමට සිදු වී තිබේ.

ඔවුන් ඒ සඳහා තම නිවසින් දිවා ආහාරය සඳහා ලැබෙන මුදල් ද, දෙමව්පියන්ට අසල්වාසීන්ට කරදර කර ඔවුන්ගෙන් ලබා ගන්නා මුදල් ද, විවිධ ආයතනවලට ගොස් මේ සඳහා අධාර මුදල් ලබා ගනිමින් ද, බුක් මාර්ක් හා පින්තූර කාඩ් වලින් ලබාගන්නා මුදල් ද, බස්වලට නැග මගීන්ගෙන් මුදල් එකතුකර ගැනීම ඇතුළු විවිධ ක්‍රම මගින් ද මුදල් උපයාගනිති. එසේ උපයාගන්නා මුදල් මෙම එස්.එම්.එස්. සූදුවට යෙදවීම මේ දිනවල මෙම තරඟයට ඉදිරිපත් වී ඇති පාසැල් වල දක්නට ලැබෙන විශේෂ සිද්ධියකි.

එහෙත් කොතරම් මුදලක් උපයා එස්.එම්.එස්. මගින් අදාල අනුග්‍රාහක සමාගම්වලට පූජා කළ ද මෙම තරඟයට සහභාගිවන ළමුන්ට අවම පහසුකම්වත් සලසා නොතිබීම කණගාටුවට කරුණකි. ඒ ගැන සොයාබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයවත්, සංවිධායකයින්වත් කටයුතු නොකිරීම ගැන දෙමාපියන් කනස්ල්ලට පත්ව තිබේ.

පාසැලක අමතර ක්‍රියාකාරකම් වලට සහභාගිවන සිසු සිසුවියන් හවස හයෙන් පසුව රඳවා තබාගැනීමට නොහැකි වුවත් මේ තරඟය සඳහා උදෑසනින්ම සූදානම් ව පැමිණෙන ඇතැම් පාසැල්වල ළමුන්හට ඔවුන්ගේ අංගය ඉදිරිපත් කිරීමට සිදුවන්නේ පසුදින අලුයමය. එනම් පැය 24ක පමණ කාලයකට පසුවය. එතෙක් එම ළමුන්හට පැය විසිහතරකට ආසන්න කාලයක් ඒකාකාරීව නිදිවර්ජිතව තූර්ය වාදක නිලඇඳුමෙන් සැරසී සිටීමට සිදුවේ. මෙය මොන තරම් අමානුෂික ක්‍රියාවක් ද. සංවිධායකයින් ගෙන් මේ පිළිබඳව විමසූවිට ඔවුන් පවසන්නේ ඔවුන්ගේ වියදම් කපා හැරීම සඳහා එකම දිනක කණ්ඩායම් රැසක් යොදවා ගැනීමට සිදුව ඇති බවයි. ඔවුන්ගේ වියදම් පිළිබඳව මිස ළමුන්ගේ මානව අවශ්‍යතාවයන් ගැන නොසිතන තරඟයකින් අති ඵලය කුමක් ද?

පැය විසිහතරක් නිදි වරාගෙන සිටින ළමුන් තරඟකාරීව තූර්ය වාදනයක් ඉදිරිපත් කරන්නේ කෙසේද? තූර්යවාදනයක් ඉදිරිපත් කරනවා තියා එම ඇඳුම ඇඳගෙන සිටින ශිෂ්‍යාවන්ට තමුන්ගේ ශාරීරික අවශ්‍යතාවයන් ඉටු කරගත හැකිදැයි සංවිධායකයින්ට නොතේරීම පුදුමයක්ය. ඇතැම් අවස්ථාවලදී විනිශ්චය මණ්ඩලය මෙන්ම නිවේදකයින් පවා සිටින්නේ නිදිමරගාතේය. නැත්නම් අඩ නින්දේ හෝ නින්දේය. සංවිධායකයින්ට තරඟ විනිශ්චය අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලය නින්දෙන් අහැරවීමට පවා සිදු වූ අවස්ථා බොහෝය.

මෙහි විනිශ්චය මණ්ඩලය පිළිබඳ සැහීමකට පත්වීමට හැකියාවක් නැති බව දෙමාපියන්ගේ අදහසයි. මෙම විනිශ්චයන් ගැන ගැටළුවක් ඇති වූ විට ඒ පිළිබඳ දැනුම්දීමට තීරකවරයෙක් පවා නැත. බොහොමයක්  දිනවල මේ පිළිබඳව අදහස් දැක්වීමට පැමිණෙන කලා ශිල්පීන් ශිල්පිනියන් සංගීතය පිළිබඳ කිසිම දැනුමක් නැති ප්‍රසංග වේදිකාවල අවරගණයේ ගීත කියන ශිල්පීන් හා ශිපිනියන් වීම කණගාටු දායකය. විනිශ්චය මණ්ඩලයේ ඇතැම් විනිශ්චය කරුවන් කාරියන් පක්ෂපාතීව කටයුතු කරන බව පැහැදිලිව පෙනෙන කරුණක් වී තිබේ.

මෙම වැඩසටහනින් ඔවුන්ට ලැබෙන ජනප්‍රියත්වය හා ප්‍රතිලාභ කෙසේ ද යත් මෙහි අනුග්‍රාහක සමාගම් මෙම තර්‍ඟයේ දෙවන අදියර ආරම්භ කිරීමට දැන්ම තියා පිඹුරුපත් සකසන බවට රාවයක් තිබේ.

කරුණු මෙසේ තිබියදී, මෙම වැඩසටහන විකාශය වන්නේ මුදල් පසුපස හඹායන පුද්ගලික නාලිකාවක නොව සමාජ සුබසිද්ධිය මුල්කරගත් රජයේ නාලිවකාවක වීමද පුදුම සහගතය. මෙහි අධීක්ෂණය වශයෙන් සඳහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වීම ඊටත් වඩා පුදුම කරුණකි. මෙහි සංවිධානය කටයුතු මෙහෙයවනු ලබන්නේ අගනුවර ප්‍රධාන පාසැලක ආදිශිෂ්‍ය සංගමයක් මගිනි. මෙයට අමතරව බහුජාතික සමාගම් රැසක් මෙම වැඩසටහනේ අනුග්‍රාහකයන් වශයෙන් සිටිති. ඔවුන්ට කෙසේ හෝ තම වෙළඳ භාණ්ඩ විකුණාගැනීම මිස දරුවන්ගේ සැප පහසුකම හා මානව අයිතීන් ගැන කිසිදු උවමනාවක් නැත. ලෝක ළමා දිනය යෙදෙන දිනට ‘හොඳම දේ දරුවන්ට’ කියා දරුවන් ගැන කතාකරන්නේ ද මොවුන්ම වීම ය පුදුමය.

බිනර දන්තුරේබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *