ඩොලරය දැන් රු.180යි – රුපියල ශක්තිමත් – ශ්‍රී ලංකා මහ බැංකුව

අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ශක්තිමත් වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2018 දෙසැම්බර් 31 වැනිදා අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 184.69‍ක් විය. මෙය ඉතිහාසයේ ඩොලරයේ ඉහළම විකුණුම් මිල විය. එය ඊයේ වන විට රුපියල් 180.19 ක් දක්වා රුපියල් 4.50 කින් අඩු වී ඇත.

වසර 2018 අවසන් මාස කිහිපයේ ඩොලරයේ අගය ඉහළ ගිය ද එය මේ වන විට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අවප්‍රමාණයවීමේ වේගය මන්දගාමී බවක් වාර්තා කරන බව මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (01) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.19ක් විය. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වීම විශේෂයෙන් ආනයන වියදම් අඩුවීම, අපනයන ආදායම් ඉහළ යෑමට හේතු වී ඇතැයි මහ බැංකුව පවසයි.

වසර 2018 අගභාගයේ දී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය රටේ අපනයන ආදායම් වැඩිකරලීමට සමත් අයුරින් ද, ආනයන වියදම් අඩුවන ලෙස පැවතුණි. මේ තත්ත්වය මත එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දැඩිව අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට යම් තරමකින් ශක්තිමත් වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වසර 2018 දී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 16.4 කින් අවප්‍රමාණය වූ බව ද මහ බැංකුව කියයි.

(ජයසිරි මුණසිංහ – දිනමිණ )

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *