පැකේජය ගැන මතක්කිරිමක් – සුමේධ භානු රත්නායක

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත්කළ නිවේදනයක් 2019 ජනවාරි 24 වනදා පුවත්පත් වල පලවී තිබුණි. ඒ නිවේදනය අනුව මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අතර හුවමාරු කරන්නට උත්සහ කරන මතය වන්නේ නව ව්‍යවස්ථාවක් හරහා ආණ්ඩුව ෆෙඩරල් ක්‍රමයක් රට තුල ස්ථාපිත කිරීමට උත්සහ කරන බවය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ මොහොතේ දියත් කරමින් සිටින ඊනියා දේශප්‍රේමී ෆෙඩරල් නොහොත් රට බෙදීමේ කතාව මෙරටට අලුත් දෙයක් නොවේ.
නිදසුන් වශයෙන් 1957 දී එවක අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක එස්.ජේ.වී සෙල්වනායගම් මහතා සමග ඇතිකර ගත් ගිවිසුම එක්සත් ජාතික පක්ෂය එල්ල කල ජාතිවාදී විරෝධතාව හේතුවෙන් එය හකුලා ගැනීමට බණ්ඩාරනායක මහතාට සිදුවිය. ඒ අනුව මෙරට ප්‍රථම වතාවට ජාතික ප්‍රශ්නය සම්බන්ධව දෙමළ ජනතාව සමග ගිවිසුමකට ඒමත් ඒ හරහා ජාතික ගැටලුවට විසදුමක් සෙවීමටත් උත්සහ ගත් නායකයා බණ්ඩාරනායක මහතා වන අතර ඊට මුල්වූ පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අනියම් නායකත්වයෙන් යුතු ජි.එල් පිරිස් මහතා නායකයා වශයෙන් පෙනී සිටින පොදුජන පෙරමුණට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග ඇත්තේ ලේ නැකමකි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් උත්සහ කරමින් සිටින්නේ බලය ලබාගැනීම සදහා තුට්ටු දෙකේ ජාතිවාදී සංකල්පයක් ජනගත කිරීම බව ජනතාව නොගැනීම ඛේදවාචකයකි.
දෙමළ ජනතාවටත් සිංහල ජනතාවටත් පිළිගත ගැකි සාධාරණ මධ්‍යස්ත එකඟතාවයකින් තොරව මෙරට ජාතික ප්‍රශ්නය කවදාවත් විසදිය නොහැකි බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අවංකව පිළිගත යුතුව ඇත . එහෙත් මේ දෙපිරිසටම ඉතිහාසය පුරා කර ඇත්තේ ප්‍රශ්නය විසඳීමට එක් පක්ෂයක් උත්සාහ ගන්නා විට අනෙක් පක්ෂය දකුණේ ජාති ජාතිවාදය ඇවිලීමට කටයුතු කිරීමයි.

නිදසුනක් වශයෙන් 1957දී චෙල්වනායගම් මහතා සමග ගිවිිසුම්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1960 දී ඩඩ්ලි – චෙල්වනායගමට ගිවිසුම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම්යි. එනම් බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට හොඳය එක්සත් ජාතික පක්ෂයට නරකය. ඩඩ්ලි- චෙල්වනායගම් ගිවිසුම එක්සත් ජාතික පක්ෂයට හොඳය නිදහස් පක්ෂයට නරකය.

මෙරට බලය බෙදීමේ මුල්ම සංකල්පය වන රට සභා ක්‍රමය යෝජනා කෙරුණේ බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමනි. අද බලය බෙදීම හේතුවෙන් රට දෙකඩ වේ යැයි කියන මහින්ද රාජපක්ෂ මහතා ගේ පිය පාර්ශ්වය එකල රට සභා ක්‍රමය සමග අනුගත වූ බව ඔහු නොදන්නවා විය හැකිය. ලොකු තාත්තා හෝ බාප්පා හෝ එකග වූ පලියට පුතුන් යමකට එකඟ විය යුතු යැයි අප නොකියන නමුත් බලයට පත්වීම සඳහා ජනතාව අතර බොරු භිතිකා මැවීම තුප්පහි කමකි.

තවත් ආකාරයකින් ගත්කල 1994දී පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව එල්ටීටීඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුම්ක් අත්සන් කරනු ලැබීය. ඒ අනුව මෙරට ප්‍රථම වතාවට කොටි පාලන ප්‍රදේශ පිළිගත් ආණ්ඩුව වන්නේ පොදු ජන පෙරමුණ ආණ්ඩුවයි. අද ෆෙඩරල් ක්‍රමයක් ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මහතා 1994 එල්ටීටීඊ සංවිධානය සමග සාම ගිවිසුම් අත්සන් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ සාමාජිකයෙකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව එක්දහස් 1995 දී ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත්පත් කරනු ලැබිය. එය හැඳින්වූයේ පැකේජය යනුවෙනි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් සාධනීය පියවරක් වශයෙන් සැළකිය හැකි පැකේජය ක්‍රියාත්මක භාවයට පත් නොවුණේ එක්සත්ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ආදීන්ගේ විරෝධය හේතුවෙනි. කෙසේ වුව පැකේජය යෝජනාවලියේ පිය පාර්ශවය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක නොහොත් වත්මන් පොදුජන පෙරමුණේ සභාපති ජි.එල් පිරිස් මහතාය

ඔහු එම යෝජනාවලිය කෙටුම්පත් කෙරේ දෙමළ එක්සත් පෙරමුණේ මන්ත්‍රී ආචාර්ය තිලක් තීරුසෙල්වම් මහතා සමඟයි. අද ෆෙඩරල් බිල්ලෙක් ගැන කතා කරන ජී එල් පීරිස් මහතා 1995 දී කෙටුම්පත් කළ පැකේජය පදනම් කර කරගෙන තවත් යෝජනාවලියක් පොදුජන එක්සත් පෙරමුණ එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් 1998 දී ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්න ට යෙදුනි. ඒ පමණක් නොවේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව විසින් ම පත් කරන්නට යෙදුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට පදනම වූයේ ද එල් පීරිස් මහතා සහ ආචාර්ය තිරිචේල්වම්ම හතා 1996 දී ඉදිරිපත් කළ යෝජනාවලියයි.

සිහිපත් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ජි.එල් පීරිස් මහතා එවක කෙටුම්පත් කළ පැකේජයේ දී ඒකීය රාජ්‍යය යන වචනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නට යෝජනා කෙරුණු බවයි.පැකේජයේ දී ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන්නේ ඒකීය රාජ්‍යයක් වශයෙන් නොව කලාප සංගමයක් වශයෙනි. ඒ බව මේ වන විට ජී එල් පීරිස් මහතාට අමතක වී ද යන්න විමසා බැලිය යුතුය.

එකල ඒකීය රාජ්‍යය වෙනුවට කලාප සංගමයක් යෝජනා කළ පැකේජයට සහාය දුන් පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ, ජි. එල් පීරිස් ඇතුළු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරන බොහෝ පිරිසක් නියෝජිතයෝ වුහ. දෙදහ වසරේ ඉදිරිපත් කරන්නට යෙදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත උතුරු නැගෙනහිර පළාත් වසර දහයක් ඒකාබද්ධව තැබීමට යෝජනා කර තිබුණි. මෙකල ෆෙඩරල් ගැන කතා කරන මහින්ද ඇතුළු කිසිවකු එදා ඊට විරුද්ධ නො වූහ.

මෙකී කරුණු උපුටා දක්වන්නේ ඒවායේ ගුණ අගුණ කීමට නොවෙයි. කවර ආකාරයකින් හෝ ජන වාර්ගික ප්‍රශ්නය විසඳන්නට ඒ ඒ කාලවලදී පැවති ආණ්ඩු ගත් උත්සාහයට විරුද්ධ වීමේ ප්‍රතිඵලය ජනවාර්ගික අවුල් නියපොත්තෙන් කැඩීමට තිබුණු දෙය පොරොවෙන් කැපිය යුතු තත්ත්වයට මුහුකුරා ගිය බව මතක් කරනු සඳහාය. අනෙක ඒ ඒ කාලවල මෙරට දේශපාලනඥයන්ගෙන් දෙබිඩි පිළිවෙත නිසා රට විනාශ මුඛයට ඇද වැටුණු ආකාරය මතක් කරදීම සඳහාය. අනෙක ඔවුන් මේ වනවිටත් රඟ දක්වමින් සිටින්නේ එම දෙබිඩි පිළිවෙතම බව පෙන්වා දීම සඳහා ය. ඔවුන්ගේ එම දෙබිඩි පිළිවෙත රටට ආදරේ නිසා නොව බලලෝභය නිසා බව අවබෝධ කරදීම සඳහාය .

සුනාමියෙන් පසුව තුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා එල්ටීටීඊ සංවිධානය විසින් වැඩ්පිළිවෙළක් ඉදිරිපත් කරන ලදී. එය හැඳින්වූයේ සුනාමි සහන මණ්ඩලය වශයෙනි. ජනතා විමුක්ති පෙරමුණ විශේෂ විරෝධතාවයක් එල්ල කළ සුනාමි සහන මණ්ඩලය පිළිබඳව එකල කියවුනේ එය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආණ්ඩුවේ පාලනය පැවති ප්‍රදේශ පවා කොටි සංවිධානය යටතට පත්කෙරෙන වැඩපිළිවෙළක් වශයෙනි. එය වෙනම රාජ්‍යය වැඩපිළිවෙළක් බවටද චෝදනා නැගුණි.

කෙසේ වුවද චන්ද්‍රිකා ආණ්ඩුව විසින් අත්සන් තබන ලද එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. මහින්ද රාජපක්ෂ මහතා යනු එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ අගමැතිවරයා බවද විශේෂයෙන් මතක් කළ යුතුයි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට විරෝධය පානා මහින්ද රාජපක්ෂ ,ජී එල් පීරිස් වැන්නන්ගේ අතීත ක්‍රියා කලාපය එසේය.

මෙතැනදී ද මේ පිරිස් ජනතාවගෙන් වසන් කරන බරපතළ සත්‍යයක් තිබේ. එනම් තවමත් කිසිවෙකු විසින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ සඳහා කෙටුම්පතක් හෝ ඉදිරිපත් කරන නොමැති බවයි. ඇත්තේ යෝජනාවලිය පමණි. එම යෝජනාවලිය පිළිගැනීම් ප්‍රතික්ෂේප කිරීම් සංශෝධනය කොට පිළිගැනීම් යන කවර දෙයක් හෝ අවම ඉඩ තිබේ. මහින්ද, ජි.එල්, ගම්මන්පිල වැන්නන් කතාකරමින් කරමින් සිටින්නේ අද හෙට ව්‍යවස්ථාවක් සම්මත වීම්ට නියමත බවට ජනතාවතුල ගීතිකාවක් නිර්මාණය කිරීමයි.

දැනට ඉදිරිපත් වී ඇති යෝජනාවවලිය ද පොහොට්ටු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව තොරව ඉදිරිපත් වූවක් නොවන බව ජනතාව නොදනිති. හේතුව පොහොට්ටුව කතා කරමින් සිටින්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති ගානට වන බැවිනි
ඒ පිළිබද සත්‍යද පැහැදිලි කර ගනිමු.

පවතින ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත සඳහා 2016 මෙහෙයුම් කමිටුවක් පත් කෙරුණු අතර එම මෙහෙයුම් කමිටුවට ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ ඇමතිවරුන්ගෙන් සමන්විත විය. නිදසුනක් වශයෙන් කියන්නේ ෆෙඩරල් ගැන කියමින් අද මත මතභේදයට ලක්ව තිබෙන කේන්ද්‍රයේ පරිවාර් සබඳතා අනු කමිටුවේ සාමාජිකයින් වූයේ, සභාපති සිද්ධාර්ථන්, ඩිලාන් පෙරේරා, එම්.එච්.එම් හරිස් , ඩලස් අලහප්පෙරුම, බිමල් රත්නායක, විදුර වික්‍රමනායක, එම්.තිලකරජා, සනත් නිශාන්ත, එස්.එම්.මරික්කාර්, රෝහිනී කුමාරිසහ විජයපාල හෙට්ටිආරච්චි ය.

ඉහත නම් අනුව පැහැදිලි වන්නේ ‍ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය 1972, 1978 ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙල මෙන් බලයේ සිටින දේශපාලන පක්ෂයේ අවශ්‍යතාව අනුව සිදුවූවක් නොව, මහා විනිවිදභාවයකින් යුතුව කෙරෙනු කටයුත්තක් බවයි.

දැන් සිදුව ඇත්තේ සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම්යි. සාමාජිකයින් වූයේ, මහාචාර්ය සූරි රත්නපාල, මහාචාර්ය ඔස්ටින් පුල්ලේ, මහාචාර්ය නවරත්න බණ්ඩාර,එන්ම.සෙල්වකුමාරන්හා,මහාචාර්යහර්මන් ගුණරත්න, මහාචාර්ය කපිල පෙරේරා, සුරේන් ප්‍රනාන්දු. තිරන් අන්කෙවෙල්, අශෝක ගුණවර්ධන, චමින්ද්‍රි සපරමාදු ය.

මෙකී විද්වත් කමිටුව ද ආණ්ඩුව විසින් කරනු ලැබූවක් නොවේ ඔවුන් කරන්නේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් මෙකි නියෝජිතයන් නම්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ වලිනි.දැන් සිදුව ඇත්තේ එම විද්වත් කමිටුව ඉදිරිපත් කල යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරි ඉදිරිපත් කිරීම්යි. ඒ ඔස්සේ ව ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට හිමිවේ.

ජනතාව බිය වැද්දීම වෙනුවට, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඇත්තෙන්ම රටට ආදරෙයි නම් දැන් කළ යුතු වන්නේ, ‍ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සාර්ථක කර කර ගැනීමට සහාය ලබාදීමය. එහෙත් ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *