පාර්ලිමේන්තුව ඇතුළෙ ව්‍යවස්ථාව පරාජය කරන්න බැරි කොටසක් එළියට බැහැලා රට ගිනි තියල මේක නතර කරන්න හදනවා – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළ හා ව්‍යවස්ථා මණ්ඩලය හරහා සාකච්ඡාවක් ගෙන යෑම සදහා කටයුතු යොදලා තියෙනව. ඒකෙදි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්වීමටත් එකඟත්වය පළකරල තියෙනව, මහින්ද රාජපක්ෂ ඇතුළු ඔය කියන කණ්ඩායම. ඒ විතරක් නෙවෙයි ඊට පසුකාලීනව ගෙනගිය කමිටු තුළ ඒ අය වැඩකරල තියෙනව. දැන් ව්‍යවස්ථාව හදාගැනීම සදහා සාකච්ඡාව අවසානයට එනකොට තමයි ඒ ගොල්ලන්ට ඔය කියන වලිප්පුව හැදිල තියෙන්නෙ. එතකොට ඒ සාකච්ඡාව කඩාකප්පල් කරල මේක එළියෙ කරන රණ්ඩුවක් බවට පත් කර ගැනීමට උත්සාහ කරනව. ඒ ගොල්ල පරාජය බාර අරගෙන ඉවරයි. ඒ ගොල්ල දන්නව ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළ ගෙන යන මේ සාකච්ඡාව ගෙනිච්චොත්, ඒකට සහභාගි වුණොත් අවසානයේ දී ඒකාධිපති ව්‍යවස්ථාව ඉවත් කරන්න, ඒක වෙනස් කරන්න, බලය බෙදීම වඩා ශක්තිමත් කරල, ජාතීන් අතර සමගිය ඇති කරල, මානව අයිතිවාසිකම් පිළිබඳව වඩාත් ශක්තිමත් ලියවිල්ලක් මේකට ඇතුල් කරල රැකියා කිරීමේ අයිතිය, ජීවත්වීමේ අයිතිය අර දකුණු අප්‍රිකාවෙ ව්‍යවස්ථාව වගේ හදාගන්න තියෙන ඉඩ කඩ වැඩියි. මේක පරාජය කරන්න බෑ. ඒ හයිය නෑ. ඒ නිසා පරාජය කිරීම සඳහා තෝරගෙන තියනවා පාරට බැහැල පාරේ ගිනි අවුලවලා, ගිනි තියලා විනාශකාරී විදිහට කලබලයක් ඇති කරල මේක නතර කරන්න.

අපි හැමෝම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඉන්න සංවිධාන. යුතුකමක් හැටියට, මෙන්න මේ ව්‍යවස්ථානුකූලව ගෙනියන්න තියෙන මේ ශක්තිමත් ක්‍රියාමාර්ගය තෝරා බේරා ගැනීම කඩාකප්පල් කරලා, මොළයක් තියෙන මිනිස්සු කරන්නෙ නැති විදිහට ගිනි තියලා මිනී මරාගෙන විසඳගන්න යන එක, නතරකරන්න අපිට වැඩ කොටසක් කරන්න වෙනව.

අපි දන්නවා මේකෙදි මහින්ද රාජපක්ෂගෙ කණ්ඩායම සමඟ විවිධ කොටස් සම්බන්ධ වෙලා තියෙනව. හමුදාවෙ කොටස්, එහෙම නැත්නම්, ආගමික ක්‍රියාකාරිකයින් කියන නොයෙකුත් අය ඉන්නව.

අපිට පේනව දෙමළ අය අවි ආයුධ එකතු කරනව කියල පුවත්පත් මගින්. අරහෙ එකතු කරනව, මෙහෙ එකතු කරනව කියනව. මේවා ප්‍රචාරය කරන්න බාර ගත්ත මාධ්‍ය ඉන්නව. ඒ මාධ්‍ය සාධාරණ මාධ්‍ය නෙමෙයි. ඔවුන් රට ගිනිතියල හරි සාක්කු පුරව ගන්න පුලුවන් කියල හිතන මාධ්‍යය. තමන්ගෙ තත්ත්වය උසස් කරගන්න පුලුවන් කියල හිතන මාධ්‍යය. එහෙම මධ්‍ය ඉන්නව. මුස්ලිම් අය බෞද්ධ පිළිම කඩන්න හොර රහසේ සංවිධානයක් හදනව කියල කියනව. මේ ගැන ආරක්ෂක අංශ වලින් හොයා බලන්නත් ඉස්සරවෙලා ඒක පත්තරවල දාලා. අපිට කියනව අක්කර අසූ දෙකක මුස්ලිම් මහා සංහාර වැඩපිළිවෙලක් තියෙනව කියල. අවුකන බුදු පිළිමෙ පාත්කරන්න ඉන්නෙ කියල. පත්තරවල දානවා. ඒක හිනායන තත්ත්වයක්. කොහොමද මේවා පත්තරවල වැටෙන්නෙ. අපේ රටේ සැබෑ නිදහස වෙනුවෙන් වැඩ කරපු ලසන්ත වික්‍රමතුංග මැතිතුමා එහෙම නැත්නම්, එක්නැලිගොඩ අතුරුදන් වුණා. ඒවා ගැන ලතවෙන ඒවා ගැන කෑගහන ප්‍රවෘත්ති මාධ්‍යවල ඉතාම අඩුයි. මහා අපරාධ වෙලා තියෙනව. ඒවා එළියට දාලා කෑගහනවද?. ජාතිවාදය අවුසන්න විවිධාකාර පින්තූර මවාගෙන ඒක ලොකුවට ගෙනියන්න තමයි උත්සාහ කරන්නෙ. මේවට ආරක්ෂක අංශත් සම්බන්ධයි. ආරක්ෂක අමාත්‍යංශයත් තියෙන්නෙ රටේ නායකයා ය‍ටතෙනෙ. ඒ නිසා මේ විදිහෙ භයානක තත්ත්වයක් රටේ තියෙනව. අපි සෑම කෙනෙක්ගේම අධිෂ්ඨානය විය යුතුයි, රටේ ව්‍යවස්ථාවක් හදන්න. ඒ අවශ්‍යතාවය තියෙනව. අපි මේවා අද ඊයෙක නෙමෙයි. ඔය ඒකාධිපති ව්‍යවස්ථාව එනකොට කළු කොඩි දාලා අපි හිරේ හිටියෙ.

1978 පෙබරවාරි වෙනකොට බෝගම්බර හිර ගෙදර තමයි මම හි‍ටියෙ. මේක මහ විපත්තියක් කියල. ඒකට විරුද්ධව කළු කොඩි දාලා. මේකෙන් කෙරෙන විනාශයට ඉඩ ති‍යන්න එපා කියල. ඒ නිසා අපිට කැක්කුමක් තියෙනව, මේ ප්‍රශ්නය අදත් මේ විදිහට එනකොට ඒක නවත්වාලීම සඳහා අපි ආයාචනා කරනව හැම කෙනෙක්ම එක්කාසු වෙන ලෙස. විශේෂයෙන්ම මාධ්‍යයට ලොකු කාර්යභාරයක් තියෙනව. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අභාග්‍ය තත්ත්වයක් ඇත්නම්, ඒක හරිගස්සා ගැනීමට මාධ්‍යයට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. එය කිරීම සඳහා අධාර උපකාර ඉල්ලනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *