අපට පාර වැරදුණ තැන – මහචාර්ය දයා අමරසේකර -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශය

 

රටක හෝ කලාපයක පැවැත්ම ගොඩනැ‍ඟෙන්නේ කිසියම් මතවාදයක් පදනම් කර ගෙනය.එය දේශපාලනික මතවාදයක් මෙන්ම ආගමික මතවාදයක් වීමට පුළුවන. අදාළ දේශපාලනික මතවාදය ලිබරල්වාදී, සමාජවාදී, මාක්ස්වාදී හෝ පැසිස්ට්වාදී විය හැකිය.බෞද්ධ,හින්දු,කතෝලික ‍හෝ ඉස්ලාම් ආගමික පදනමක් මත මෙම මතවාදය ගොඩනැඟිය හැකිය. සමාජය ඉදිරියට ගමන් කරන්නේ මෙම මතවාදී පදනම මතය. සරළ සත්‍යයයක් වන මෙම කරුණ ඉතිහාසයේ පටන් පැවත එන්නකි.බෞද්ධ දර්ශනය පදනම්ව ගොඩනැගී තිබුණු අප අතීත සමාජය තුළ, විශිෂ්ට කලා නිර්මණ, දැවැන්ත වාරි කර්මාන්ත ගොඩනැගිණි. ඒ සඳහා වන ශක්තිය, ධෛර්ය හා නිර්මාණ ශක්තිය බෞද්ධ දර්ශනය ඔස්සේ ගොඩ නැගුණු සමාජ පසුබිම තුළින් මෙරට ජනතාවට උරුම විය. නිසි දේශපාලනික මා ආගමික පදනමක් මත ගොඩ නැගුණු සමාජයක් හෝ රටක් අයාලේ ගමන් කරන්නේ නැත.

නිදහසින් පසු ශ්‍රී ලංකාව ස්ථිරසාර දේශපාලනික හා ආගමික මතවාදයක් මත ගොඩනොනැගීම අද අර්බුද රැසකට හේතුවී තිබේ. සමාජය අයාලේ යන තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්නට ඇත. ස්ථිරසාර දේශපාලනික මතවාදයක් සඳහා නායකත්වය දුන් පිරිස් සිටියද එම මතවාද ක්‍රමානුකූලව සමාජය තුළ ස්ථාපිත කිරීමේ හැකියාවක් ඔවුන්ට නොලැබිණි. ජන ජීවිතය ඍජුව ඒ හා බද්ධ නොවිණි.

කලක් අපි සමාජවාදය ගැන කතා කළෙමු. ඒ සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකාරීව වැඩ කළ පිරිසක්ද වූහ. එම අදහස් නිවැරදි ලෙස ජන ජීවිතයට සම්බන්ධ කර ගනිමින් ඉන් ඔබ්බට ගමන්කිරීම සඳහා මාර්ගයක් සකස් කිරීමට ඔවුන් තුළ අවංක වුවමනාවක් තිබුණේද යන්න ප්‍රශ්නයකි. මේ නිසා ලෝකයේ සමාජවාදය සඳහා වන පරමාදර්ශී රටවල් අසලකට හෝ ළඟා වීමට අපට අවකාශ නොලැබිණි. ධනේෂ්වර ක්‍රමය ගත්තද ලෝකයේ නව ලිබරල්වාදී රටවල පවතින දියුණු සමාජ ක්‍රමයක් සකස් කර ගන්නට අප නොහැකි විය. මූලධර්ම කිසිවක් නොමැතිව වචන පමණක් පදනම් කර ගනිමින් කටයුතු කිරීම මෙම තත්ත්වය කරා රට ගමන් කිරීමට ප්‍රධාන හේතුවයි.

තිරසාර මතයක් නැතිවීම

ස්ථිරසාර මතවාදයක් මත ගොඩ නොනැගුණ සමාජයක් තුළ ඕනෑම අයකුට ඕනෑම මතවාදයක් පහසුවෙන් රෝපණය කළ හැකිය. අද මෙම ව්‍යසනයේ ප්‍රධාන ගොදුරක් බවට බුදු දහම පත්ව තිබේ. එම කාර්යභාරයේ ප්‍රධාන කොටස්කරුවන් බවට භික්ෂූන්වහන්සේලාම පත්ව සිටීම එක් පැත්තකින් අවාසනාවන්ත තත්ත්වයකි. භික්ෂූන් වහන්සේ පක්ෂ දේශපාලනයේ එල්බ බෞද්ධ දර්ශනයේ හරය බිද දමමින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමණුවා ගැනීම පිණිස කටයුතු කරන තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙවැනි තත්ත්වයක් ගොඩනැගීම පිණිස ප්‍රධාන හේතු කාරණාව බවට පත්ව තිබෙන්නේ මතවාදී පදනමක් මත රට තුළ බුද්ධාගම ස්ථාපිත නොවීමයි. මේ නිසා ශාසනය රැක ගැනීමේ මූලික කාර්යභාරය පැවරී තිබෙන මහ සංඝරත්නය නියෝජනය කරන ඇතැම් කොටස් සැබෑ බුදු දහම වෙනුවට ජනප්‍රිය බුදු දහම සමාජගත කරමින් උන්වහන්සේලාගේ පෞද්ගලික අරමුණ සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරමින් සිටිති.

එම කණ්ඩායම එක් පැත්තකින් දේශපාලන අරමුණු සදහාද තවත් පසෙකින් මිථ්‍යාව ප්‍රචලිත කිරීම පිණිසද කටයුතු කරමින් සිටින්නේ, බෞද්ධාගමේ හරයට තදබල හානි පමුණුවමිනි. බුදු දහම පිළිබද ස්ථිර මතවාදයක් නොමැති සමාජයට එම වටිනා දර්ශනය සම්බන්ධව නොයෙක් අර්ථකතන ලබා දෙන පිරිස් සීත ගගුලේ ජලයෙන් බෝධීන් වහන්සේ නෑවීම, දහස්පෙතියා මල් ලක්ෂයක් පූජා කිරීම, ඖෂධ පූජා, දහසක් අටපිරිකර පූජා වැනි නොයෙක් පූජා ක්‍රම සමාජයට හදුන්වා දී තිබේ. මේ තුළ එක් පැත්තකින් ජනතාව හරි බුද්ධාගම හා ජනප්‍රිය බුද්ධාගම අතර අතරමංව සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇත. මේ සියල්ලෙන් සිදුවන්නේ සමාජ අර්බුද මතු වීමයි. ඊට හේතුව සමාජයට මේ සම්බන්ධව පැහැදිලි මතවාදයක් නොමැති වීමයි.

පශ්චාත් කාර්මික සමාජය අධ්‍යයනය කිරීමේදී මෙම කරුණු පැහැදිලිව හඳුනා ගත හැකි බව ඇමරිකානු සමාජ විද්‍යාඥ ඩැනියෙල් බෙල් මහතා ප්‍රකාශ කර තිබේ. පැහැදිලි මතවාදයක් සමග ගොඩනැගුණු රටවල් ඉදිරිය කරා ගමන් කරත්දී අප වැනි මතවාදයක් දක්නට නොලැබෙන රටවල් සම්පූර්ණයෙන්ම පවතින්නේ රැවටීම මුලික කරගෙනය. මතවාදයක් නොමැති තැන රැවටීම සදහා විශාල ඉඩක් පවතින බව බෙල් පෙන්වා දී තිබේ.

මතවාද හිඟ සමාජයක් තුළ ව්‍යාජ ලෝකයක් මවා පෙන්වමින් එම කටයුත්ත අපූරුවට කළ හැකිය. දක්ෂතා වෙනුවට විභාග මූලික කරගත් සමාජයක් බිහි වීමටද මෙම පසුබිම තුළින් ඉඩ ප්‍රස්තාව නිර්මාණය වී ඇත. උසස් පෙළ විභාගයට ලක්ෂ තුනක පමණ පිරිසක් පෙනී සිට සමත් වන ලක්ෂ එකහමාරක් පමණ සිසු පිරිසෙන් විශ්වවිද්‍යාල වරම් හිමි වන්නේ තිස් දහසකටත් අඩු පිරිසකටය. මෙවැනි පසුබිමක් තුළින් සමාජ ප්‍රගතියක් ඇති නොවේ. තරුණ පිරිස්වලට ඉදිරියට පැමිණීම සදහා අවකාශ ඇහිරී තිබීම තුළ වයස හැත්තෑව පවා ඉක්මවූ පිරිසක් සෑම විටම පැ‍රැණි දේ ගැන කියමින් බලය අල්ලා ගැනීමේ සහ පවත්වා ගැනීමේ වුවමනාවෙන් කටයුතු කරති. සමාජයේ ජන කොටස් අතර විවිධ අංශවල පරස්පරතා දැඩිව ඉස්මතු වීමටද මෙම තත්ත්වය ඍජුව බලපා තිබේ.

භෞතික සම්පත් අනුව අද නාගරික හා ග්‍රාමීය විහාරස්ථානවල පැහැදිලි පරස්පරතා දක්නට ලැබේ. නාගරික පන්සල් දිනෙන් දින සුඛෝපභෝගි වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. බුදුන්ගේ යැයි කියාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශන වාණිජ අරමුණින් පවත්වන අවස්ථා කොතෙකුත් දැක ගැනීමට පුළුවන. කඨින පූජාවද වාණිජකරණයට ලක්ව ඇත. රට වටා ඇවිදිමින් සම්මාදම් එකතු කරන තත්ත්වයට මෙම පූජාව ඇතමුන් විසින් පත් කරනු ලැබ ඇත. මෙම බොහෝ පූජා පසුපස තිබෙන්නේ එක්තරා බල කණ්ඩායමක් විසින් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමකි.

ඒ තුළ ගිහියන් මෙන්ම භික්ෂූන් වහන්සේද සිටිති. දේශපාලනඥයන්ගේ ආශිර්වාදයද මේවාට හිමිව තිබේ. අවසානයේ මේවායින් ඵල ලබන්නේ ද ඒවා මෙහෙවන පිරිස පමණි. ඔවුන්ට සාධුකර දෙමින් වැඳ වැටෙන පිරිස බොරු මනෝ රංජිත ව්‍යාජ සංස්කෘතියක සිරගත කර තැබීමට තරම් මෙම පිරිස සූක්ෂ්මය. මේවායින් තමන්ගේ අධ්‍යාත්මික සුවයට කිසිදු සහනයක් නොලැබෙන බව ඊට රැවටෙන ජනතාව නොදන්නා අතරම එම ව්‍යාජයෙන් ඔවුන් මුදවා ගැනීමට කිසිවකුත් උනන්දු නොවීම කනගාටුවට කරුණකි.

ශික්ෂණයක් නැති සමාජය

ආගමෙන් අපේ ජීවිතවලට යම් බලපෑමක් සිදුවිය යුතුය. පසුගිය දශකයක කාලය ගතහොත් මෙරට කිසිදා අසන්නට නොලැබුණු අකාරයේ සියදිවි නසා ගැනීම්, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා හිංසන දක්නට ලැබිණි. බල්ලෙකුගේ ඇඟට පෙට්ට්‍රල් දමා ගිනි තැබීමට තරම් සමාජය කුරිරුවී තිබිණි. මවුපියන් නොසලකා හැරීම අද නිතර අසන්නට ලැබෙන තත්ත්වයකි. මේ සියල්ල සිදුවන්නේ බෞද්ධ යැයි කියන සමාජය තුළය. ආගම තුළින් ශික්ෂණය වූ සමාජයක මෙවැනි දේ සිදුවිය හැකිද? පවුල් සංස්කෘතික ක්‍රියාදාමය ඇනහිට තිබේ. දරුවන් හා මවුපියන් අතර බරපතළ සංස්කෘතික පරතරයක් ගොඩනැගී ඇත. ලිංගිකත්වය ප්‍රමුඛස්ථානයෙහි ලා සලකන සමාජයක් නිර්මාණය වී තිබේ. ජීවිත විනාශය කරා ගමන් කිරීමට උත්තේජන සපයන මාධ්‍යය දිනෙන් දින රට ආක්‍රමණය කරමින් පවතී. මේවායින් විතැන්ව සිටීමට නොහැකි පසුබිමක් තුළ අප සියල්ලෝ එක්තරා අන්දමකට අසරණ වී ඇතැයි සිතීම වරදක් නැත.

අද පැවැත්වෙන ජනප්‍රිය පුද පූජා සමාජයට ප්‍රගතියට හේතු වී තිබෙනවාද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. ඕනෑම ආගමක ප්‍රධාන කොටස් වන්නේ දර්ශනය හා ඒ තුළින් ඉගැන්වෙන චිත්ත දමනය මුල්කර ගත් සදාචාර මාර්ගයයි.

ආගමක පුදපූජා සකස් විය යුත්තේ මෙම කරුණුවල පැවැත්ම හා උන්නතිය සඳහාය. නවීන මාදිලියේ පුදපූජාවලට අද ඇතමුන් යොමුව සිටින්නේ ලෞකික ජීවිතයේ සාර්ථකතවය පිණිසය. බුදු දහමෙන් අධ්‍යාත්මය සුවපත් කරගනු වෙනුවට නොයෙක් ප්‍රාර්ථනා ඉෂ්ඨ ගැනීම සඳහා ජනතාව යදින මට්ටමට පත්කර තිබෙන්නේ භික්ෂූන් වහන්සේලා පිරිසක්මය. මෙම නවීන පුදපූජා මානව විද්‍යාත්මකව හැඳින්විය හැක්කේ ශාන්තිකරම ලෙසනි. ස්වභාවධර්මයේ ව්‍යසනයන් ගෙන් මිදීම පිණිස අතීත මිනිසා නොයෙක් පුද පූජා කළ බව සැබෑය. අද ශිෂ්‍යත්ව විභාග සමත් වීම, නඩුවකින් ජය ලැබීම වැනි කාරණාවලදීද මේවා භාවිතයට ගැනීම සුලභව දැකිය හැකිය. කාන්තාවන් ගැබ් ගැන්වීම් පවා මෙම පුද පූජා මගින් කළ හැකි තරමට සමාජය නොමඟ යැවීම පිණිස ආගම පාවිච්චි කරන පසුබිමික් නිර්මාණය වී තිබේ.

ජනප්‍රිය බුද්ධාගම පතුරුවන පිරිස අද බුදුන්ට එරෙහි බුදු දහමක් ගොඩනඟමින් සිටිති. බුදුන් වදාළ දර්ශනයේ හරය විකෘති කිරීම එක් පැත්තකින් බුදුන්ට එරෙහි වීමකි. කුසල් යනු අලෝභ, අදෝෂ, අමෝහ සිතිවිලි ප්‍රකෘතියක් කර ගැනීමය.

ජනප්‍රිය බුද්ධාගමේ පුදපූජාවලින් මෙය සිදු වන්නේ නැත. ක්‍රෝධය, තෘෂ්ණාව, ආශාව වැඩි දියුණු කරන මේ තත්ත්වය වර්ධනය කිරීම පසුපස සංවිධානාත්මක ආගමික ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ජනකාන්ත යැයි තමන් විසින්ම සමාජ මාධ්‍යයවල හඳුන්වා ගනු ලබන භික්ෂුන්වහන්සේලා මේවා පිටුපස සිට ක්‍රියාකාරී වැඩ කොටසක් සිදු කරති. තෘෂ්ණාභරිත ආශාවන් පිටුපස හබායන, තමන්ට ජිවිත කාලය මුළුල්ලේ කිසි ලෙසකින් හෝ ඉටුකර ගත නොහැකි විශාල ආශා තොගයක් වෙනුවෙන් අධිෂ්ඨාන පූජා තබන්නට ජනතාව යොමුව සිටිති. ව්‍යාජ ලෝකයක් තුළ අතරමං වන පිරිස අවසානයේ ඉච්ඡාභංගත්වයට පත්වෙති. අපරාධකරුවන් බහුල සමාජයක් බිහි වීමට මෙයද හේතුවකි.

වාණිජ අරමුණු පසුපස යාම

බෝධි වන්දනාව කරන්නේ විභාග පාස් වීම හෝ එවැනි වෙනත් අරමුණක් වෙනුවෙනි. මතුපිටින් අධ්‍යාත්මික ලක්ෂණ පෙන්නුම් කළත් මේ බොහෝ ඒවා ඇතුළතින් තිබෙන්නේ පාරිභෝගිකවාදී ලක්ෂණය. පෝයට පන්සල් යෑම, පහන් දැල්වීම, මල් පූජා කිරීම, සංඝයාවහන්සේ විශාල පිරිසකට දානය දීම වැනි දේ පසුපස දක්නට ලැබෙන්නේ සමාජය වාණිජ අරමුණු මුදුන් පමුණුවා ගැනීමකි. අද බුදු දහමේ අරටුව සිහින්ව ගොස් කඳ තෘෂ්ණාව වැඩි දියුණු කරන පුද පූජාවලින් වැසී යමින් ඇත. සෑම ආගමක්ම විශ්වාසය හා භක්තිය මත පදනම්ව ගොඩනැඟී ඇත. නුවණින් සිතා බලා දැකගත යුතු විපස්සනාව මූලික කරගත් බුද්ධාගම ආගමකට වඩා දර්ශනයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් කියන අදහස ඉදිරියට දමමින් ඇතැම් පිරිස් උත්සහ කරන්නේ ආගමික සංහිඳයාව යටපත් කිරීමටය. ජාතිවාදී අරගල පසුපස බුදු පිළිම, පන්සල්, බෝ ගස් සංකේතාත්මකව දක්නට ලැබෙන අවස්ථා වැඩිය. සමාජ ප්‍රගතිය හා භික්ෂූ භූමිකාව ගැන ආකාර්ෂණීය ප්‍රකාශයක් ලෙසින් භික්ෂූන් වහන්සේ යනු ජාතියේ මුර දේවතාවුන් යැයි කීම පෙන්වා දිය හැකිය. ජනප්‍රිය බුද්ධාගම තුළින් ජනතාවට දෙන සටන් පාඨයක් ලෙසින්ද මෙය විග්‍රහ කිරීමට පුළුවන. ජාතිය රැක ගන්න පෙරමුණ ගන්නේ නම් ඒ භික්ෂුවකි යන බීජය සමාජය තුළ වපුරන්නට පිරිසක් උත්සාහ කරන්නේ දේශපාලන අරමුණකිනි. සංකීර්ණ සමාජයක් පවතින මෙවන් කාල වකවානුවක ජාතියකට නායකත්වය දීමට තරම් දැනුම, අත්දැකීම් අපක්ෂපාති බව හා විචක්ෂණය බහුතර භික්ෂූන් වහන්සේලාට තිබේද යන්න ප්‍රශ්නයකි.

පසුගිය සමයේ සමාජ අර්බුද ඇතිවූ අවස්ථාවල උන්වහන්සේලා ක්‍රියාත්මකවූ ආකාරය අනුව අපට මේ පිළිබඳ බරපතළ සැකයක් උපදී. පසුගිය සමාජ හා දේශපාලන සිදුවීම් හේතුවෙන් යම් යම් අර්බුද ඇති වූ බව රටම දන්නා කරුණකි. ජන ජීවිතයට එම සිදුවීම් විශාල ලෙස බලපෑවේය. බලලෝභී දේශපාලන අරමුණු වෙනුවෙන් නිර්මාණය වූ එම අර්බුදය මෙරට ඇතැම් භික්ෂූන් වහන්සේලා වැරදි ලෙස අර්ථකතනය කළ අයුරු රටම දු‍ටුවේය. ඔවුන් අර්බුදය හෝ දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී නොසිට පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කිරීම යහපත් ප්‍රවණතාවක් නොවේ.

සිංහල ජාතිය හා බෞද්ධාගම සංකල්පීය වශයෙන් තම අවශ්‍යතා වෙනුවෙන් මොවුන් මෙහිදී උපයෝගි කර ගන්නේ එහි හරයටද හානි කරමිනි. මෙම පිරිසේ සත්‍ය අරමුණ දේශපාලනිකය. ලෝක තත්ත්වය, දේශපාලනය, නීතිය, ආර්ථික බලවේග ගැන දැනුමක් නොමැති අයකුට හෝ කණ්ඩායමකට ජාතියේ මුර දේවතාවුන් ලෙසින් පෙනී සිටිය හැකිද යන්න අප විමසුම් මනසින් කල්පනා කර බැලිය යුතුය. මේවායින් පැහැදිලි වන්නේ සමාජ අර්බුද පසුපස භික්ෂු ආධිපත්‍ය තිබෙන බව මිස වෙනකක් නොවේ.

ලෝකයට ණයවී සිටි ජර්මනිය හිට්ලර් විසින් මුදා ගනු ලැබුවේ තිරිඟු වගා කර රට ස්වයංපෝෂිත කරමිනි. ජාතිය පදනම් කරගෙන කටයුතු කළ හිට්ලර් අවසානයේ මිලියන හයක පමණ පිරිසක් ඝාතනය කළේය. ගඩාපි තමන්ගේ රටට ජලය දුන් නායකයෙකි. අවසානයේ ඔහුගේම රටේ ජනතාව ඔහුට එරෙහි වූහ. ඒකාධිපතියන් වූ ඔවුන් දෙදෙනාම අවසානයේ මරණයට පත්වූයේ මිලේච්ඡයින් ලෙස හංවඩු ගැසෙමිනි. ජාතික හා ආගමික සංකල්ප තමන්ගේ දේශපාලන වුවමනා වෙනුවෙන් පාවිච්චි කළ පිරිස් අවසානයේ මියගියේ දරුණු ඒකාධිපතියන් බවට පත්වීමෙනි. මෙම යථාර්ථය අපේ නායකයන්ද තේරුම් ගත යුතුව තිබේ. ඔවුන්ටත් වඩා මෙය තේරුම් ගත යුතුව තිබෙන්නේ දේශපාලනඥයින් එම තත්ත්වය කරා ඔසොවාගෙන යන භික්ෂූන් වහන්සේලා විසිනි.

මහචාර්ය දයා අමරසේකර -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශය

සටහන – අසේල කුරුළුවංශ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *