ඕනෑම මැතිවරණයක් ලේසියෙන් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානයට හැකියාවක් තියෙනව – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වැඩි කැමැත්ත දක්වනව වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව මහ මැතිවරණයකට හෝ පළාත්සභා මැතිවරණයකට මුහුණ දෙන්න වැඩි මනාපයක් දක්වන්නේ ඇයි?

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව තමයි පොහොට්ටුව ‍එහෙම හිතන්නෙ. ඒකම දකිනව ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ කණ්ඩායමත්. දෙගොල්ලම එකතු වුණොත් ඒ අයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්වෙයි කියල ඒ ගොල්ල හිතනව. අලුත් ඡන්ද දාහතර ලක්ෂයක් ලියාපදිංචිවෙලා තියෙනව. ඒ ගැන ඒ ගොල්ල හිතන්නෙ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එකතු වුණත් මේ රටේ තියනව ලොකු ප්‍රශ්නයක්.

උතුරේ සහ වතුකරේ ඇතුළු අනෙකුත් ද්‍රවිඩ ජනතාවට ප්‍රශ්නයක් තියෙනව. ඒ ජනතාවට තියන ප්‍රශ්න දිහා මානුෂික ඇහැකින් බලන්නෙ එක්සත් ජාතික පක්ෂය කියල ඒ අයට විශ්වාසයක් තියනව. එතකොට ඒ සියලු ඡන්ද මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයට ලැබෙනව. එක්සත් ජාතික පක්ෂය තනිවම නෙවෙයි මැතිවරණයකට මුහුණ දෙන්නෙ. දේශපාලන පක්ෂ රාශියක් එක්සත් ජාතික පක්ෂය වටා එකතුවෙනව. සිවිල් සංවිධානත් රාශියක් එකතුවී එජාපය දිනවන්න සක්‍රියව කටයුතු කරනව. මේකෙ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්තය ගන්නෙ. කවුරු හීන දැක්කත් ඊළඟ ඕනෑම මැතිවරණයක් ලේසියෙන් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානයට හැකියාවක් තියෙනව.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ වලින් තේරෙන්නේ, ඔවුන් ඉල්ලන්නෙ ජනාධිපතිවරණයක් කියල නේද?

එහෙම කියන්නෙ ජනාධිපතිවරණයක් ආවොත් මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් තියෙනව. එතකොට මේ දේශපාලන කුලල්කාගැනීම නැතිව යනව. ආණ්ඩු පක්ෂයත් ජනාධිපතිවරයාත් එක පක්ෂයක වෙනව. එතකොට ඒකෙන් රටට යහපතක් වෙනව.

ඇත්තෙන්ම මේ ජනධිපතිවරයා ඉවත් විය යුතුයි. මෙතුමා කටයුතු කරන්නේ ද්වේශසහගතවයි. මෙකෙන් වෙන්නේ රට අගාදයකට යාමයි. ජනාධිපතිවරණයකින් ජනතාව තීරණය කරයි මේ රටට සුදුසු ජනාධිපතිවරයා කවුද කියල.

බලය ගන්නකම් නේද කවුරුත් ජනතාව ගැන කතා කරන්නෙ? බලය ගත්තට පස්සෙ ජනතාව ගැන රට ගැන හිතන්නෙ නෑ නේද?

මේ රට එකදිගට දියුණු කරන්න කවදාවත් ලැබුණෙ නෑ. පක්ෂ අතර අභ්‍යන්තර කැරලි හෝ බාහිර කැරළි කෝලාහල ඇතිවෙලා ආණ්ඩු කඩා වැටුණා. නැත්නම් අරගල මැඩීමට කාලය ධනය වියදම් කරන්න සිදුවුණා. ඉස්සරහට එහෙම වෙන්නෙ නෑ. ඉදිරි මැතිවරණවලින් පසුව රනිල් වික්‍රමසිංහ දිගු කාලයක් රට පාලනය කරනව. 2030 විතර වෙනකල්. එතුමාගේ හොඳ වැඩපිළිවෙලවල් තියෙනව රට දියුණු කරන්න.  එතුමාට හොඳ දැක්මක් තියෙනව.

පසුගිය අවුරුදු හතරක කාලයක් රට පාළනය කළේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකින්. එහෙම වැඩ පිළිවෙලවල් තියනව නම් පසුගිය කාලේ ක්‍රියාත්මක කරන්න එතුමාට පුලුවන් කම තිබුණා නේද?

ඒක මෙහෙමයි. පසුගිය කාලේ තිබුණේ සංහිඳියා ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව හරියට කෙරුවොත් අනික් නායකයන්ගෙ ජනප්‍රියතාවය අඩුවෙයි කියල ඒ ප්‍රගතිශීලි වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන්න දුන්නෙ නෑ. කකුලෙන් ඇද්දා. උදාහරණයක් වශයෙන් ප්‍රධාන පන්සල් වලට ලැබෙන ආධාර සංස්කෘතික අරමුදලට පවරාගෙන නොදියුණු පන්සල් දියුණු කරන්න වැඩ පිලිවෙලක් ගෙනාවා. රටේ පනස් අටදාහක් පමණ එදා වේල කන්න නැති හාමුදුරුවරු ඉන්න පන්සල් තියෙනව. ඒවට අරමුදල් ලබාගැනීමටයි දියුණු පන්සල්වල ආධාර මුදල් ලබා ගන්න හැදුවේ. මේක ජනාධිපතිතුමා දැක්කෙ වැරදි විදිහට. ඒක පවා නැවැත්තුවා. ඒක එකක්. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච අයට සහන දෙන්න ලෑස්ති වෙනකොට ඒක නැවැත්තුවා. උපාධිධාරී රැකියා විරහිත විසිදාහකට පමණ රැකියා ලබාදීමට කටයුතු කරද්දි ඒක අත්හිටෙව්වා. ජනාධිපතිතුමා ඒ වගේ සාධනීය වැඩ කරගෙන යන්න ආණ්ඩුවට ඉඩ දුන්නෙ නැහැ. රටට හිතකර පනත් ගේන හැමවෙලා‍වකම ජනාධිපතිතුමා මොකක් හරි ආනාකුලක් දාලා ඒක වලක්වනවා. නැත්නම් නීතිමය ප්‍රශ්නයක් ගෙනත් හරි ඒක වළක්වනව. අගමැතිතුමා බුද්ධිමත් පුද්ගලයෙක් නිසා ඒ වගේ අවසථාවල ගැටුම් ඇති කරගන්න ගියේ නෑ. නමුත් ඔය ගැටුම ඇතුළෙ තිබුණා. කැබිනට් එකට යම්කිසි යෝජනාවක් කරපු ගමන් අනවශ්‍ය විදිහට ප්‍රතික්ෂේප කරනව. එහෙම කරද්දි මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ.

පොදු අපේක්ෂකයෙක් තෝරගෙන ජනාධිපතිවරණය දිනල, සම්මුතිවාදී නැත්නම් ඒකාබද්ධ රජයක් පිහිටුවල ඉදිරියට යනකොට මේ වැනි ගැටුම් ඇතිවෙයි කියල කලින් හිතුවෙ නැද්ද?

එහෙම හිතුවෙ නැහැ. මට මතකයි මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවො සමඟ සාකච්ඡාවටයක් අවසන් වෙලා අපි කිව්වා,  යහපාළනයක් ගේන්න නායකයෙකු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තුමා අපි පත්කර ගත්තා ලොකු විශ්වාසයක් උඩ. මේ විශ්වාසය තහවුරු කෙරුවෙ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. එතුමිය කිව්වා මෙයා විශ්වාසයි. අපි මෙයාව ජනාධිපතිකරල යහපාලන රජයක් ගෙනියමු කියල. අන්න එතනදියි මූලික දේ වුණේ. අපි එතනදි සැක කරන්න ගියෙ නෑ. ඒත් මම ඒ අවස්ථාවෙදි කිව්වා, ‘අපි මෙතුමාගෙන් ලියවිල්ලකට අත්සන් ගම්මු අපිත් එක්ක සාමුහිකව කටයුතු කරනව කියල.’ එතකොට වැලිඅමුණ මහත්තයා කියනව, ‘එහෙම ලියවිල්ලක් ගැනීමේ නීතිමය තත්ත්වයක් නෑ. එකෙන් වෙන්නෙ එතුමව බාල්දු කිරීම. ඒක අනවශ්‍ය යෝජනාවක්’ කියල ඔහු ඒක පතික්ෂේප කළා. මම කිව්වා, ‘මම ඔබතුමා කියන එක පිළිගන්නවා. එහෙම ලියවිල්ලක නීතිමය තත්ත්වයක් නෑ කියල. කවදහරි මෙයා වෙනස් වුණොත් අපිට මාධ්‍යවලට පෙන්නන්න පුළුවන් මෙයා මෙහෙම ලියවිල්ලකටත් අත්සන් කරල තියෙනව කියල’ මම කිව්ව. අද ඒ දේ සිද්ධ වෙලා තියෙනව. එතුමා විශ්වාසය කඩල තියෙනව. එහෙම ලියවිල්ලක් තිබුණා නම් අපිට ඒක මාධ්‍යට, ජනතාවට ඉදිරිපත් කරන්න තිබුණා.

දාහතර ලක්ෂයක් ඡන්ද වැඩිවෙලා තියෙනව. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ අනියමෙන් වුවත් ජනාධිපතිවරයගෙ ජයග්‍රහණය සඳහා වැඩ කටයුතු කෙරුවා. අද ජවිපෙ එදා හිටිය තැන නෑ. අද ජවිපෙ වෙනම ඉස්සරහට යනව. සමහර විට ජවිපෙ ප්‍රමුඛ බලවේගයකින් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනව. එතකොට රටේ ඡන්ද කොහොම පෙළගැසෙයිද?

ජනතා විමුක්ති පෙරමුණට රටේ තියෙන්නෙ සීමිත ඡන්ද පදනමක්. ස්වල්ප වශයෙන් එකේ වැඩි වීමක් සිදුවුණොත් මිසක් විශාල වැඩිවීමක් වෙන්නෙ නැහැ. නමුත් එකක් තියෙනව. හොඳ අපේක්ෂකයෙක් හා හොඳ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් වූ විට මම හිතනවා ඒ දාහතර ලක්ෂයෙන් ඡන්ද විශාල ප්‍රමාණයක්, සියයට හැත්තෑවක් පමණ එක්සත් ජාතික පක්ෂයට ගන්න පුළුවන්. ඒක නිසා එජාපයේ ජය ස්ථිරයි. පාවෙන ඡන්ද මැතිවරණයකදි තීරණාත්මක සාධකයක් වෙනව. ඉදිරි මැතිවරණයකදී පාවෙන ඡන්ද ආකර්ශනය දිනා ගන්න කවුරු සමත් වෙයිද?

කියවනවට වැඩිය වැඩ කරන එකයි කෙරෙන්න ඕනෙ. පසුගිය රජය විසින් ගත්ත ණය කන්දරාවක් මේ රජය විසින් ගෙවන්න ආරම්භකරල තියෙනව. ඒ වගේම රට ඉස්සරයට ගෙනියන වැඩපිළිවෙලවල් රාශීයක් තියෙනව. ඒ නිසා මධ්‍යස්ථ ඡන්ද පාවෙන ඡන්ද දිනා ගන්න රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමත් වෙයි.

ඔච්චර සුදුසුකම් තියෙනව නම්, ඔතරම් විශ්වාසයක් තියෙනව නම් පොදු අපේක්ෂකයෙක් පසු පස නොයා ගියවරත් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන්න තිබුණා නේද?

ගියවර මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. ගියවර ජනාධිපතිවරණය එන කොට රට තිබුණෙ ගිනිගොඩක. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා, ජනතාව ආර්ථික වශයෙන් පිරිහීමකට පත්වෙලා තිබු‍ණා. මිනිස්සු දැඩි භීෂණයකින් වෙලාගෙන තිබුණා. දැඩි මර්ධනයක් තිබුණා. මාධ්‍ය මර්ධනයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් අර්බුද තිබුණා. ඒක නිසා කාටත් පිළිගත හැකි පොදු අපේක්ෂකයෙක් තෝරාගැනීමේ අවශ්‍යවය තිබුණා. අපි ඒ වෙනකොට පක්ෂ දහතුනක් එජාපය වටා හිටියා අපි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයාගෙන් ඉල්ලුවා ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එපා, ජාතික කර්තව්‍යක් වශයෙන් පොදු අපේක්ෂකයෙක් ගේනවා. තමුන්නාසෙත් එයාට සහයෝගය දෙන්න කියල. ඒ දේශපාලන පක්ෂවල හා සිවිල් සංවිධාන වල ඉල්ලීම එතුමා පිලිගත්තා. ඒ වගේම කැපවීමෙන් වැඩ කෙරුවා. එහෙම තමයි පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ජනාධිපතිවරයා වීමට අවස්ථාව සැලසුනේ.

කලිනුත් එතුමා මැතිවරණ කීපයකදීම සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නෑ නේද?

එක වතාවක් බොරු ගිවිසුමක් කරළියට ගෙනල්ලා ජනමතය වෙනතකට හැරෙව්වා. අනික් වතාවෙදි කොටින් මුදල් හා පොරොන්දු දීලා උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කිරීමට කටයුතු කෙරුවා. නැත්නම් එතුමා ජයග්‍රහණය කරනව. ඒ අයුරින් එතුමාගෙ අවස්ථාවන් දෙකක් ගිලිහීගියා. මේ වතාවෙදි එතුමාට හරියට තරඟකරන්න අවස්ථාවක් දුන්නොත්, ඒකාන්ත වශයෙන්ම ජයග්‍රහණය කරනව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව ඇතුළු සන්ධානයෙන් කවුරුන් ජනාධිපති අපේක්ෂකයා වෙයි කියල ඔබ හිතනවද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනව, එතුමත් එනව කියල. ඍජුව කියන්නෙ නැති වුණත් ඉඟිවලින් තමයි එතුමා කියන්නෙ. චමලුත් කියනවා මමත් සූදානම් කියල. බැසිලුත් කියනව එතුමත් ලෑස්තියි කියල. වෙල්ගම ඇතුළු කණ්ඩායමක් කියනව මහින්ද ඇර වෙනත් කෙනෙකුට සහයෝගය දෙන්නෙ නෑ කියල. එතන ගැටුමක් තියෙනව. කෙසේ වෙතත් අන්තිමට මෛත්‍රිපාල සිරිසේන මහත්තයා තමයි ජනාධිපති අපේක්ෂකයා වෙන්නෙ. ඒකට හේතු දෙකක් තියනව. එකක් මහින්ද මහත්තයට ඉල්ලන්න බෑ. මහින්ද මහත්තයා කැමති නෑ එයාගෙ පවුලෙ වෙනකෙනෙකුට අපේක්ෂකත්වය දෙන්න. ඒකට හේතුව නාමල්ට අනාගතයේ දී අවස්ථාවක් අහිමිවෙයි කියන බය. ඒක නිසා මට අනිවාර්යෙන්ම කියන්න පුළුවන් අපේක්ෂකත්වය ලැබෙන්නෙ මෛත්‍රිපාල සිරිසේනට. දිනන අපේක්ෂකයෙක් ඔවුන් දා‍න්නෙ නෑ. ඔවුන්ගේ දුර්වලම අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා තමයි ඔවුන් ඉදිරිපත් කරන්නෙ.

ඔබේ නිගමනය රනිල් වික්‍රමසිංහ එජාප පෙරමුණේ අපේක්ෂකයා වී ජයග්‍රහණය කරනව කියන එකන එකද?

ඔව්. මම ජනතාවට කියන්නේ පටු විදිහට හිතන්න එපා. මම මේ කියන්නේ අවුරුදු ගණනාවක අත්දැකීම් තුළින්. එතුමට හොඳ බුද්ධියක් තියනව. ලෝක දේශපාලනය ගැන පුළුල් දැනීමක් තියෙනව. ධර්මය ගැන හොඳ වැටහීමක් තියෙනව. අපේ රට දියුණු කරන්නෙ කොහොමද කියල හොඳ දැක්මක් තියෙනව. තවම රනිල්ට ඒ අවස්ථාව දීලා නෑ. අපි එයාටත් අවස්ථාවක් දිලා බලන්න ඕනැ. ඒක නිසා අපි පොදු ජනතාවගෙන් ඉල්ලන්නෙ ඉදිරි ජනාධිපතිවරණයේ දී මේ රට දියුණු රටක් ඇති කරන්න, ජාතින් අතර සංහිඳියාවෙන් යුත් රටක් ඇති කරන්න ඕන නම්, නව තාක්ෂණයෙන් ලෝකෙ ජයගන්නට ඕන නම්, අනාගත පරපුරට හොඳ රටක් නිර්මාණය කරල දෙන්න උවමනා නම්, ඒ ගැන හිතන්න පුළුවන් නායකයෙක් තමයි අපිට පහල වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ නායකයා. ඒ නිසා රටේ බහුතර ජනතාවගේ සහයෝගය එතුමාට ලැබෙයි කියල මට සහතිකයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *