රටක ගමන් මඟ තීරණය කිරී‍ෙම්දී මාධ්‍ය සතු වගකීම – රසික කොටුදුරගේ

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳ විවිධ කතා අසන්නට ලැබේ. ඒ අතර ජඩ මාධ්‍යකරණය පිළිබඳ විවිධ විරෝධාතා එල්ල වෙමින් තිබේ. මේ දෙක අතර බැලූ බැල්මට නොපෑහීමක් පැවතියද පෑහීමක් ද තිබේ. ඒ ජනතාවගේ හිතන අවකාශය නිර්මාණය කරන්නේ මාධ්‍ය නිසාය. වසර තිහක් තිස්සේ ඇදීගිය යුද්ධය අවසන් වූයේ බිහිසුණු යුද්ධයකිනි. ඒ පිළිබඳව දැන් අපට කතා කරන්නට දෙයක් නැත.

එහෙත් යුද්ධයෙන් පසුව නැවත එවැනි තත්ත්වයක් මේ රට තුළ නිර්මාණය නොවන්නට අපට කතා කළ යුතු දෙයක් ඇත. ඉන් පීඩාවට පත් වූ වින්ඳිතයන් පිළිබඳ අපට කතා කරන්න දෙයක් ඇත. ඇත්තෙන්ම එදා මෙරට ජනයා අතර ජාති බේදයේ බීජ වැපිරුවෝ දේශපාලකයෝය. නමුත් එහි වන්දි ගෙවන්නට සිදු වූයේ මේ රටේ අසරණ ජනතාවටය.

එදා සිට අද දක්වා විවිධ වේශයන් ගෙන ජාතිවාදයේ යක්ෂයා අප වෙළාගෙන සිටියි. එය උතුරෙද දකුණේද කියා වෙනසක් නැත. එනිසා මෙරට දේශපාලන කථිකාව නව මුහුණුවරකින් ඇරැඹීමට කාලය පැමිණ තිබේ. ජාතිවාදය ආගම්වාදය දේශපාලන බලය ලබාගැනීමට පහසු මඟක් වුවද එමඟින් රටට ඇති කරන අනාරක්ෂිත භාවය යහපත් දෙයක් නොවේ. එහි පලවිපාක අපි ඕනෑවටත් වඩා හොඳින් අත්විඳ ඇත්තෙමු.

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජය බලයට එන විට ජනතාවට ලබාදුන් පොරොන්දුවක් තිබේ. ඒ ජනතාවට සාමයෙන් සමාදානයෙන් විසිය හැකි රටක් නිර්මාණය කරදෙන බවය. ඒ සඳහා ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීම රජයේ අරමුණ විය. එනිසා ඒකිය රටක් තුළ බලය විමධ්‍යගත කර පාලනය කිරීම සැමගේ අරමුණ වී තිබුණි. ඊට ජනවරමක්ද ලැබිණි. මේ තතු යටතේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදිය යුතු බව මේ ආණ්ඩුව බලයට පත් වූ අවස්ථාවේ සිටම සාකච්ඡාවට බඳුන් විය. එහි ආරම්භක ක්‍රියාමාර්ගයක් ලෙස අත්තනෝමතික පාලකයකු බිහි කළ හැකි විධායකය සතු ඇතැම් බලතල යම් පමණකින් ඉවත් කර ව්‍යවස්ථාදායකයට හා ෙකාමිසන් සභාවලට ලබාදීමට පියවර ගත්තේය.

අත්තනෝමතික විධායකය

එසේ වුවත් පසුගිය කාලයේ සිදු වූ ඇතැම් සිදු වීම් දෙස බලන කළ විධායකය සතු එම අත්තනෝමතික බලතල විශාල වෙනසක් සිදු වී නැති බව අපට වැටහෙයි. 1978 හඳුන්වා දුන් ව්‍යවස්ථාව ජනතාවගේ අනුමැතියෙන් හෝ කැබිනට් බණ්ඩලයේ අධීක්ෂණය යටතේ හෝ සකස් කළ ව්‍යවස්ථාවක් නොවේ. එය මුළුමනින්ම එවකට එ.ජා.ප නායකයා වූ ජේ.ආර් ජයවර්ධන මහතා ඇතුළු සුළු පිරිසකගේ ව්‍යායාමයකි. එමඟින් පිරිනැමුණු බලතල අනුව විධායකයට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු කිරීම හා පිරිමියකු ගැහැනියක කිරීම බව ජේ.ආර් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය. එහි බලය කෙතරම්ද යන්න පෙන්විය හැකි හොඳම නිදර්ශනය එය විය.

මෙම අත්තනෝමතික විධායකය සමඟ ඔහු බලාපොරොත්තු වූයේ වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා යෑමටය. නමුත් එය එසේ නොවිණි. ඒ වෙනුවට අද අපට ඉතිරිව ඇත්තේ, සෙසු ලෝකය සමඟ සසඳන විට වේගයෙන් අඳුරට ගමන් කරමින් තිබෙන රටකි.

මේ රට එවැනි අර්බුදයකට ගමන් කිරීමට අත්තනෝමතික විධායකය මුළුමනින්ම බලපෑවේය. ජාතිවාදය පෝෂණය කළ කළු ජූලියේ සිට 88/89 තරුණ නැඟිටීම හා එය ආයුධ සන්නද්ධව මර්දනය කිරීම ආදී සියල්ල සිදු වූයේ මේ විධායකයේ අනුහසිනි. ඒ බව අද එම ව්‍යවස්ථාව නිර්මාණය කළ එක්ෂත් ජාතික පක්ෂයේ නායකයන් හා පාක්ෂිකයන් පිළිගෙන තිබේ. එනිසා ජනතා හිතවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කාර්යයට අද ඔවුන් වෙතින්ම උනන්දුවක් ඇති වී තිබේ. ඒ සඳහා උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් නායකයන්ගේ මෙන්ම ජනතාවගේද ආශිර්වාදය එයට හිමිව තිබේ. එසේම මෙරට වාමාංශික පක්ෂවල, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ, බුද්ධිමතුන්ගේ හා මධ්‍යස්ථ මතධාරීන්ගේද සාහය එයට හිමිව තිබේ.

එසේ නම් මේ එළඹ ඇත්තේ ස්වර්ණමය මොහොතකි. නමුත් ගැටලුවක් තිබේ. ඒ මෙරට පටු දේශපාලන අරමුණකින් ක්‍රියා කරන පිරිසක් හා ඔවුන්ගේ පටු අරමුණුවලට රැවටුණු ජනතාවක් මේ පිළිබඳ දරන ආකල්පයයි. ඔවුන්ගේ අදහස වන්නේ වත්මන් ව්‍යවස්ථාවෙන් රට දෙකඩ වන බවත් බුද්ධාගමට තිබූ පිළිගැනීම අහෝසි වන බවත් රට නැවතත් බෙදුම්වාදය දෙසට තල්ලු වන බවත්ය. ඇත්තෙන්ම මේ ප්‍රකාශයන් දෙස බලන ජාතිමාමකයකුට ඇති වන්නේ වෛරී සහගත හැඟීමකි. නමුත් කල්පනාකාරීව බලන්නේ නම් ඇත්තෙන්ම රට බෙදුම්වාදය දෙසට හා ජාතිවාදය දෙසට තල්ලු කරමින් සිටින්නේ ඔවුන්මය.

දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ මුස්ලිම් සහ ප්‍රධාන සිංහල බලවේග එක්ව කිසියම් සම්මුතියකට පිවිසෙමින් සිටියදී සිංහලයාගේ ශක්තිය හීන කිරීමට එම ජාතිවාදී කොටස් උත්සාහ ගනිමින් සිටිති. ඒ සිංහල ජනතාව බෙදා වෙන් කිරීමෙනි. අනෙක් අතට ඔවුන් විසින් නඩත්තු කරන ජාතිවාදයට සාපේක්ෂව උතුරේද ජාතිවාදයක් පෝෂණය කරමින් තිබේ. ඉදිරි මැතිවරණයකදී දකුණේ මෙන්ම උතුරේ ජාතිවාදී නායකයන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දවසක කුමකින් කුමක්වේදැයි කාට නම් කිව නොහැකිද? එනිසා අප මේ අවස්ථාවේදී පටු දේශපාලන අරමුණුවලින් බැහැරව ක්‍රියා කළ යුතුය.

ඒ සඳහා මාධ්‍යයේ වගකීම සුළුපටු නොවේ. ජනතාව අතර මෙම සංවාදය විධිමත්ව ගෙන යෑමට පාලම හැදිය යුත්තේ මාධ්‍යය. අප ඕනෑම අයකුට මේ පිළිබඳ විවේචන තිබිය හැකිය. එය කිසිදු ගැටලුවක් නොවේ. එසේ සාධනීය විවේචන තිබීම වඩා යහපත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට ඉවහල් වන ගාමකයකි. නමුත් ඒ පිළිබඳ අන්තවාදීව පටු ආකාරයෙන් බලා තම මාධ්‍ය උපයෝගී කරගෙන වැරදි අදහස් සන්නිවේදනය කිරීමට උත්සාහ ගැනීම කිසිසේත්ම අනුමත නොකළ හැකිය. එනිසා මේ ක්‍රියාවලිය තුළදී මධ්‍යස්ථව කටයුතු කිරීම යහපත් මාධ්‍ය භාවිතයක වගකීම වේ.

සුමන්තිරන් හා මාධ්‍ය

පසුගිය දිනක එක්තරා මාධ්‍ය ආයතනයකට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන නීතීඥ එම්.ඒ සුමන්තිරම් මහතා තමන්ට ලොකු අවබෝධයක් නැති සිංහල භාෂාවෙන් සිංහල සමාජයට උත්තර දීමට පැමිණ සිටියේය. එම මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් තිදෙනකු සමඟ සම්මුඛ වෙමින් සිංහල භාෂාවෙන් සිංහල සමාජයට උතුරේ ජනයාගේ ප්‍රශ්නය හැකි පමණ පැහැදිලි කිරීමට ඒ මහතා විශාල උත්සායක නිරත වනු පෙනිණි. එහිදී එක් ප්‍රශ්නකරුවකු විමසා සිටියේ ඔහු දෙමළ ජාතිකයකු වීම ඔහු අද සිටින තත්ත්වයට (නීතීඥයකු වීමට) පත්වීමට බාධාවක් වූවාද යන්නය.

ඔහු පවසා සිටියේ තමන් ඉංග්‍රීසි දැන සිටීම නිසා එයට බාධාවක් නොවූ බවයි. දැන් තමන් තරමක් දුරට තමන් සිංහල කියවීමට දන්නා නිසා එය බාධාවක් නොවූවද දෙමළ පමණක් දන්නා සමාන්‍ය ජනතාවට එය බාධාවක් වී ඇති බවයි.

එහිදී සරල උදාහරණයක් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ‘පාර වසා ඇත’ කියල සිංහලෙන් බෝර්ඩ් එකක් තියෙනවා. එහි සිංහල හැරුණු විට දෙමළ තබා ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සඳහන් වී නැති නම් සිංහල නොදන්නා දෙමළ මනුෂ්‍යයකු කුමක් කරන්නද කියාය. එසේම 1987 දී හඳුන්වාදුන් 13වන ව්‍යවස්ථාව මඟින් සැමට සමාන අයිතිවාසිකම් ඇති බව පිළිගත්තද; එවැනි සුළු කාරණාවලදී පවා එවැනි තත්ත්වයක් දක්නට නැති බවයි.

ඊළඟට ප්‍රශ්නකරු ඔහුගෙන් අසන බුද්ධිමත් පැනය වන්නේ දකුණේ අධ්‍යාපනය ලබා ඇති දෙමළ මිනිසුන්ට ඉදිරියට යන්න භාෂාව ප්‍රශ්නයක් වී තිබේද? යන්නය. මේ ප්‍රශ්නය විසින් අපට පවසන අනෙක් අන්තය වන්නේ උතුර හා නැඟෙනහිර දෙපළාත්වල දෙමළ වැසියන් දකුණට ගෙනැවිත් පදිංචි කර ඔවුන් මේ සමාජය තුළ සමායානුයෝජනය වීමට ඉඩ සලසන්නේ නම් ප්‍රශ්නයක් ඇති නොවන බව නොවේද? නීතීඥයකු ලෙස පෙරළා ඒ ප්‍රශ්නය ඔහුට ප්‍රශ්නකරුගෙන් ඇසිය නොහැකි වන්නේ ඔහු දෙමළ අයකු වන නිසාය. නැති නම් භාෂාවේ දුරවබෝධය නිසාය.

ඊට ඔහු උත්තර දෙන්නේ “ඔව් ප්‍රශ්නයක් තියෙනවා. … මම නීතිඥයකු ලෙස කටයුතු කරන්න පහළ අධිකරණයට ගියොත් එතැන කටයුතු සිදු වෙන්නේ සිංහල භාෂාවෙන්. සිංහල භාෂාව දන්නෙ නැති නම් පරිවර්ථනයක් ඕන. නීතියේ එහෙම අයිතියක් ලබාදීලා තිබුණට බොහෝ විට එහෙම පරිවර්ථකයෙක් එන්නේ නැහැ. ඒනිසා ඒ නඩුව කල් යනවා. දෙවතාවක් තුන්වතාවක් එහෙම කල්ගියොත් සේවාදායකයා කියනවා දැන් ඇති. ඔබතුමා සිංහල භාෂාව නොදන්න නිසා අපි සිංහල ලෝයර් කෙනෙක් හොයාගන්නම් කියලා. ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන නීති ක්ෂේත්‍රය ඇතුළෙ වුණත් මේ විදියේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මං භාෂා ප්‍රශ්නයක් කියන්නේ භාෂා ප්‍රශ්නයක්ම විතරක් නෙමෙයි ඊට එහාට ගිහින් ඒක නිවැරැදි කරන්න ඕන කියන මතයයි. ඒක ලේසියෙන් නිවැරැදි කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්න ඕන කියන කැක්කුම හැඟීම නැති රටකයි අපි ජීවත් වෙන්නේ.

වෙනත් මතවලට ඉඩ දීම

මේ රටේ ජීවත් වන ජනතාවට තිබෙන ප්‍රශ්න හුඟක් එක හා සමානයි. මම ඒකට එකඟ වෙනවා. පළාතක ඇති වන ප්‍රශ්නයකට ඒ පළාතෙන්ම විසඳුමක් හොයන්නේ නැතිව කොළඹට ඇවිත් මධ්‍යම ආණ්ඩුව මඟින් තමයි ඒ ප්‍රශ්නයට උත්තර හොයන්නේ. එහෙම බැලුවොත් ප්‍රශ්න එක සමානයි. නමුත් ජාතීන් කියලා බැලුවොත්, වෙනස් වෙනස් භාෂා කතා කරන කෝණෙන් බැලුවොත් මේ ප්‍රශ්නය ගොඩක් වෙනස්. එතැනම වෙනස්කම තිබෙනවා.

සංස්කෘතීන් වෙනස්, භාෂාවෙන් අදහස් හුවමාරු කර ගැනීමෙන්නේ අපි අපේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නේ. අපිට තිබෙන ප්‍රශ්න ඒ විදියට හුවමාරු කර ගන්න හරිම අමාරුයි. ඒ නිසා තමයි අපි කියන්නේ තීරණය කොළඹින් ගන්න එපා. ඒ පළාතෙන්ම ඒකට විසඳුමක් ගන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා. ඒක උතුර නැඟෙන හිරට පමණක් නෙමෙයි කොයි පළාතටත් එතැනින් කරගන්න පුළුවන් දේවල් කරගන්න ඉඩදෙන එක සුදුසුයි කියල තමයි අපි කියන්නේ”

එම සාකච්ඡාව පුරාම ඔහු තමාට ආගන්තුක භාෂාවෙන් ඉතා පැහැදිලිව තම අදහස සිංහල සමාජය හමුවේ තැබුවේය. එනමුත් අපි දුටුවේ එම සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදීන් දිගින් දිගටම ඔහුගෙන් ජාතිවාදයට කැස කවන වචනයක් අපේක්ෂාවෙන් නිරර්ථක උත්සාහයක යෙදෙන ආකාරයය. එය සාවධානව බලා සිටියේ නම් නැති නම් මෙය කියවා ඔබ එය නැවත නරඹන්නේ නම් මේ මාධ්‍ය භාවිතය කුමක්ද යන්න වැටහේ.

අප ඔවුන්ගේ හඬට කන් නොදී අපට ඕනෑ න්‍යාය පත්‍රයට අවශ්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ ගන්නේ නම් එය මාධ්‍ය සදාචාරය පමණක් නොව රටට කරන ද්‍රෝහිකමකි. මන්ද, ඉන් ගිනි ගෙන දැවී යන්නේ මේ රටේ අනාගතය යි.

එනිසා අපට විශාල වගකීමක් මේ මොහොතේ පැවරී තිබේ. ඒ හෙට දවසේ මේ රටේ අනාගතය තීරණය කිරීමේ වගකීමයි. එනිසා මේ එළඹ ඇත්තේ ඒ කාර්යයට අප කොතරම් සුදුසු දැයි අප අපෙන්ම විමසා බැලිය යුතු කාලයයි.

රසික කොටුදුරගේ  – සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *