ව්‍යවස්ථා බිල්ලෙක් මවා පෑම ජාතිවාදීන්ට ඔක්සිජන් දීමක් – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි ‍වෛද්‍ය නලින්ද ජයතිස්ස

කෝප් කමිටුවේ හිටපු සාමාජිකයෙකු ලෙස කෝප් කමිටු යම් කාර්යයක් කළා යැයි ඔබ සිතනවාද?

කෝප් කමිටුවේ සභාපතිවරයා වූයේත් වර්තමානයේ සභාපතිවරයා වන්නේත් සුනිල් හඳුන්නෙත්ති මහතායි. ජනතා විමුක්ති පෙරමුණ සැම විමට දූෂණයට වැටබඳින පක්ෂයක්. කෝප් කමිටුවට බලය ඇත්තේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ හෙළිදරව් වන තොරතුරු පාර්ලිමේන්තුවට දැන්වීමට පමණයි. එතැනින් එහාට ක්‍රියාකිරීමේ බලය ඇත්තේ අදාළ විෂය බාර ඇමැතිවරයාට හා අමාත්‍යාංශයේ ලේකම්වරයාට. අමාත්‍යාංශ ලේකම්වරයා දූෂණ වංචා සම්බන්ධව යම් පියවරක් නොගතහොත් ඔහු ගෙන්වා ඒ ගැන විමසීමට බලයක් කෝප් කමිටුවට තිබෙනවා.

ඒ කියන්නේ කෝප් කමිටුවේ මේ සොයා බැලීම් විමර්ශන අවසානයේ පලක් නොවන බවක්ද?

කෝප් කමිටුවට තිබෙන බලය මදි නිසා තමයි මේ ආකාරයෙන් ක්‍රියාකාරීත්වය මදි බවක් පේන්නෙ. නමුත් අපට බැලූ බැල්මටම පේනවා සිදු වී තිබෙන දූෂණයන් ගැන. මේ නිසා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් කර කෝප් කමිටුවේ බලය වැඩි කරන ලෙස අප කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම කෝප් කමිටුවේ පරීක්ෂණ පිළිබඳ පාර්ලිමේන්තුවේ මෙන්ම මාධ්‍යට සජීව විකාශයන් ලබාගැනීමට හැකියාව ලබා දෙන ලෙසත් අප ඉල්ලා සිටිනවා. එයින් චූදිතයන්ට යම් හෝ බලපෑමක් වේවි.

ජනතා විමුක්ති පෙරමුණ දූෂණ විරෝධී පක්ෂයක් ලෙසයි ජනතාව හඳුන්වන්නේ. පක්ෂය මේ කාර්ය සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නේ නැති ද?

අපි පක්ෂයක් විදිහට විගණාකාධිපතිවරයා විසින් විමසන කරුණු පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නවා. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කරනවා‍. ඒ වගේම මේ ක්‍රියාවන්ට විරෝධය පාමින් ඉදිරියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කරනවා.

පළාත් සභා මැතිවරණය ගැන දැන් කතා නැහැ ව‍ගේ?

මේ රජය බලයට පත් වුණේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකින බව පවසමින්. එසේ බලයට පත් වූ රජයකට කිසිදු ආකාරයක හැකියාවක් නැහැ මැතිවරණ කල් දාන්න. මේ වන විට පළාත් සභා 6ක නිල කාලය අවසන් වෙලා තියෙන්නෙ. තවත් දෙකක් අප්‍රේල් නිල කාලය අවසන් වෙනවා. ජූනි මාසෙ වන විට සියලු පළාත් සභාවල නිල කාලය අවසන් වෙනවා. නමුත් මේ රජය මැතිවරණයට කිසිම සූදානමක් නැහැ. රජය විතරක් නොවේ මේ මැතිවණය කල් යෑමට යහපාලන ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුත් මහින්ද රාජපක්ෂ වටා හිටපු කණ්ඩායමත් වගකිව යුතු වෙනවා. ඒ අය‍ සේරම එකතුවෙලානෙ සීමානිර්ණය පනත පැරැද්දුවෙ. දැන් සමහර අය කෑගහනවා මැතිවරණය ඉල්ලමින්.

නමුත් මැතිවරණය පවත්වන්න මැතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩුවක් තිබෙනවා නේද?

සීමානිර්ණයේ යම් යම් අඩුපාඩු තියෙනවා. නමුත් මැතිවරණ කල්දාන්න තරම් ඒක හේතුවක් නෙමෙයි. ඒ අඩුපාඩු හදාගෙන කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකියි. නමුත් මැතිවරණය නොවපත්වන්න ආණ්ඩුව විවිධ හේතූ ගෙන හැර දක්වමින් කල් ගත කරනවා.

සේනා දළඹුවාගේ ප්‍රශ්නයත් දැන් දේශපාලනීකණය වෙලා නේද?

ඕක තමයි අපේ රටේ පටු දේශපාලනයේ තරම. අපේ රටේ ජාතික තලයෙන් ප්‍රශ්න විසඳනවා වෙනුවට ඒ ප්‍රශ්න දේශපාලනීකරණය කරගැනීමයි වන්නේ. ජනතාව ආණ්ඩුවක් පත් කරන්නේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්නයි. ඒ ව‍ගේම ජනතා බදු මුදලින් යැපෙන රථවාහන ඇතුළු විවිධ වරප්‍රසාද හිමි නිලධාරීන්ගේත් ලොකු වගකීමක් තියෙනවා මේ වගේ අවස්ථාවලදී තම සේවය උපරිමව ලබා දෙන්න. නමුත් අපේ රටේ වන්නේ පක්ෂ පාට අරගෙන ජනතා ප්‍රශ්නත් දේශපාලන වාසියට හරවා ගන්නයි. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේ කාලාන්තරයක් තිස්සේ එහි කුණු ගොඩ ගැසූ නිසයි. නමුත් කන්ද කඩා වැටුණු පසු එහි කුණු ගොඩ ගහපු අය අනෙක් අයට චෝදනා කරනවා. මේක තමයි පටු දේශපාලනය වන්නේ.

නව ව්‍යවස්ථාවක් ගැන මේ දිනවල දේශපාලන කරළියේ මෙන්ම සමාජයේ විවිධ පුද්ගලයන් අතරේත් කතා බහට ලක් වෙනවා. ඔබ පක්ෂය දකින මෙහි සැබෑ තත්ත්වය කුමක්ද?

පාර්ලිමේන්තුවට හොරෙන් ව්‍යවස්ථාවක් හදන්නත් බැහැ. ජනතාවට හොරෙන් ව්‍යවස්ථාවක් සම්මත කරන්නත් බැහැ. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස අද ඔය කෑගහන්නේ අඩුම ගානේ ව්‍යවස්ථාවක් හදන්න කෙටුම්පත් කිරීමේ ක්‍රමවේදයක් හෝ ආරම්භ කර නොමැති අවස්ථාවකයි.

මහජන අදහස් විමසීමේ හා විශේෂඥ වාර්තා පමණයි මේ වන විට ලබා දී ඇත්තේ එමෙන්ම පක්ෂ විසින් ඉදිරිපත් කරපු යෝජනාවන් තිබෙනවා. කෙටුම්පත හදන්න ව්‍යවස්ථාදායක මණ්ඩලය තවම කිසිදු තීන්දුවක් තීරණයක් අරගෙන නැහැ. මේ ව්‍යවස්ථා කතාව සම්පූර්ණයෙන්ම ජනතාව මුළා කිරිමක්. එක කට්ටියක් තමන්ගේ වාසියට ව්‍යවස්ථාව රට දෙක‍ඩ වෙන බව පෙන්වමින් ජනතාව රවට්ටනවා. එසේම අනෙක් කණ්ඩායම එය මුල් බැස ගන්නට ඉඩ දී අනෙක් අයගේ ඡන්ද බලාගෙන ඉන්නවා. දැන් ආණ්ඩුව කළ යුත්තේ 2015 ජනවරමට ගරු කරමින් අඩුම වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමයි. මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට තරම් සුදුසු පාර්ලිමේන්තුවක් රටේ නැහැ. එම නිසා ව්‍යවස්ථා බිල්ලෙක් මවා පෑම ජාතිවාදීන්ට ඔක්සිජන් සැපයීමක් පමණයි.‍

උතුරේ තැන් තැන්වලින් මතු වන කොටි සෙවණැලි යම් අර්බුදයක ඇරැඹුමක් බව එක් එක පාර්ශ්ව කරුණු‍ ගෙනහැර දක්වනවා.

අපට නම් පේන විදිහට තව අවුරුදු 30කට 40කට ‍ත්‍රස්ත සංවිධානයක කිසිදු නැඟීටීමක් නැහැ. බෙදුම්වාදී අරගලය පරාද කළත් ජනතාවගේ අවශ්‍යතා තවමත් සපුරා නැහැ. මේ නිසා ඒ ජනතාවට සාධාරණයක් ඉටු වී නැහැ. නමුත්‍ බෙලි ගෙඩිය තල් අත්තට වැටුණු විට දිව්ව හාවා වගේ අපි ප්‍රශ්න දිහා බැලීම සුදුසු නැහැ. යම් අවිආයුධ හෝ පුපුරන ද්‍රව්‍ය හමුවුවහොත් ආරක්ෂක අංශ දැනුවත් කිරීමත් ආරක්ෂක අංශ විසින් අවශ්‍ය ආරක්ෂාව ලබා දීමත් තමයි මෙහිදී වැදගත් වන්නේ.‍

විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා තිබුණා එතුමා තමයි පක්ෂයට වැඩියෙන්ම ආදරය කරපු කෙනා කියලා.

විමල් වීරවංශගේ කෙරුවාවන් සම්බන්ධව මේ වන වට ජනතාව ඕනවටත් වඩා කරුණු දන්නවා. හොර උප්පැන්න හදලා, හොර හැඳුනුම්පත් හදලා කරපු සේවල් ජනතාව දන්නවා. ඒ ඔස්සේ හොර ගමන් බලපත්‍ර හදලා අද ඒවට අධිකරණයටත් යන්න වුණා. ඇමැතිවරයයෙකු විදිහට තමන්ගේ ඥාතීන්ට ලක්ෂ 150ක් පමණ වටිනා නිවාස ලක්ෂ 5කට 10කට ලබා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන හා ඉන්ධන තම හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. අනුන්ගේ බුද්ධිමය දේපළ කොල්ලකාලා අධිකරණයෙන් වරදකරු වෙලා. ඒ වගේ කෙනෙක් අපේ පක්ෂයේ හිටියයි කියන්නත් ලැජ්ජයි. එයා ජනතා විමුක්ති පෙරමුණට නෙමෙයි කිසිදු පක්ෂයකට ඇල්මක් දක්වනවා යැයි කියන්නට බැහැ. තමන්ගේ වැරැදි වහගන්න රට බෙදීමක් ගැනකිය කිය ඇවිදිනවා.

සංවාදය – තාරක වික්‍රමසේකර

සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *