|

මහින්ද පවුලේ මගුල් ගේ ගැන අරලියගහ මැදුරේ කතාබහක්

බ්‍රහස්පතින්දා වෙනදාටත් කලින් අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ රාජකාරි කිහිපයක් ඉටුකිරීමට මෙන්ම දුරගමනක්ද යෑමට තිබූ හෙයිනි. ඒ වන විටත් මැති ඇමතිවරුන් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙක් වෙනදාමෙන්ම එහි පැමිණ තිබිණ.

“අද කතාකරන්න වැඩිවේලාවක් නෑ. හුඟක් ඈත ලොකු මගුල්ගේක යන්න තියනවා” අගමැතිවරයා කීවේ මද සිනහවක් සමඟය.

“ආ… අද මහින්දගෙ බාල පුතාගෙ වෙඩින් එක නේද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.

අගමැතිවරයා සමග මැදමුලනට ගිය හෙලිකොප්ටරයේ මංගල, රංජිත් මද්දුමබණ්ඩාර, සාගල හා කබීර් යන ඇමතිවරුද යාමට නියමිතව තිබිණ.

“මගුල් ගේ පාර්ලිමේන්තුවේ ඔක්කොටම කියල නෑ. වගෙයි පේන්නෙ. TNA එකේ කාටවත් ආරාධනා නැතිලු. ජවිපෙටත් නෑ කියලයි ආරංචි. ඒ වගෙම ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්ඩායමටත් කියල නෑ වගෙයි පේන්නෙ.” චමින්ද විජේසිරි කීවේ තමාට ලැබුණු තොරතුරකට අනුවය.

“ඊයෙ කොළඹ මහ කතෝලික පල්ලියකයි විවාහය සිද්ධවෙලා තියෙන්නෙ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඒක බැලන්ස් කරන්න හින්දු කෝවිලකටයි පන්සලකටයි ගිහින් කියලත් ආරංචියි. දේශප්‍රේමය බදාගෙන ඉන්න එයාලගෙ සහචරයො ටික රවට්ටන්න එහෙම කළාද දන්නෙ නෑ. මේවටත් රැවටෙන අය ඇති” හේෂා විතානගේ කී කතාව කාගේත් අවධානයට ලක්විය.

“ජනාධිපතිතුමා අද සිංගප්පූරු යන නිසා ඊයෙ රෑ මහින්දගෙ කොළඹ ගෙදරට ගිහින් සුභපැතුව කියල ආරංචියි. සමහරවිට ලංකාවෙ හිටියොත් හෝම්කමින් එකට යාවි.” අගමැතිවරයා කීය.

“ජනාධිපතිතුමා හදිසියේම නිල නොවන විදේශ සංචාරයක් ගියේ මගුල්ගෙදර මගහරින්නද දන්නෑ කියලත් කතාවක් යනවා. සියලු රාජපක්ෂලා එක්ක වෙනවෙනම ඩීල් දාන නිසා ඒ තුන් හතරදෙනාම එකම තැනකදී හමුවුණොත් අවුලක් වෙයිද කියලා හිතුවද දන්නෙත් නෑ” එජාප ඉහළ නිළධාරීයෙක් කී විට එහි සිටි සියළුදෙනා කොක්හඩ ලන්නට විය.

“ජනාධිපතිතුමාගෙ සිංගප්පූරු සංචාරය නිල එකක් නෙවෙයි කියල කියනවා. ඒක ඇමති මට්ටමේ රැස්වීමක් කියලත් ආරංචියි. පිලිපීන සංචාරයට රටේ නායකයා හැටියට විපක්ෂයේ මන්ත්‍රීවරු අටදෙනෙක් හා ආණ්ඩුවේ විදේශ ඇමති විතරක් එක්ක ගිය එක රාජතාන්ත්‍රිකදැයි අහන අයත් ඉන්නවා. ඒ අතර 2015 ජනපතිවරණයේදී මෛත්‍රීගෙ බද්දේගම වේදිකාව ගිණිතියපු කෙනා ඉදීමත් පුදුමයි” රංජිත් අලුවිහාරේ මතුකළේ එවැන්නකි.

“TNA එකෙන් අහල කැබිනට් තීන්දු සම්මත කරගන්නවා කියල විපක්ෂය කියන කතාවට අගමැතිතුමාම පැහැදිලි කිරීම ඉතා වටිනවා” නවීන් දිසානායක ප්‍රශ්න කළේ අගමැති රනිල්ගෙනි.

“මේ විපක්ෂය ඉතින් පිදුරු ගස්වලත් එල්ලෙනවනේ. TNA එක ඕනම ආණ්ඩුවක් එක්ක ප්‍රශ්න කතාකරනවා. එයාලගෙ අදහස් සහ ඒ ජනතාව වෙනුවෙන් නොයෙක් ඉල්ලීමුත් කරනවා. උතුරට අදාළ කැබිනට් පත්‍රිකා වලදී ඒ අදහසුත් ප්‍රයෝජනයට ගැනීම වැරදිද?” අගමැතිවරයා නවීන්ට සෘජු පිළිතුරක් දුන්නේය.

“අධ්‍යාපනයට රු. බිලියන අටසිය තිස්පහක් හා සෞඛ්‍යට බිලියන අටසිය අනූවක් ගිය අවුරුදු තුන හමාරට වෙන් කරලා පාසැල් හා රෝහල් ගොඩනැගිලි නවසියයක් හැදීම ගැන අගමැතිතුමා ගාල්ලෙදි විස්තර කරපු හැටි වටිනවා. ඒ වගේම උදාගම් 159ක් හරහා මේ වනවිට ගෙවල් දහස් ගාණකුත් හදල තියනවා. නාගරික නිවාසත් ඉදිවුණා” සජිත් ප්‍රේමදාස කතාකළේ ප්‍රශංසා මුඛයෙනි.

“2015 ඉදලා මේ දක්වා දූෂණ සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන්න යනවලු නේද? ජනාධිපතිටගෙ වටේ හිටපු හා  ඒ පවුලෙ හුඟ දෙනෙකුටත් ඒ කොමිසමෙන් චෝදනා එල්ල වේවි. ඔක්තෝබර් 26 ඉදලා දින 52ක් තුල ගහපු පගා දාපු හොර ටෙන්ඩර් ප්‍රධාන පාසැල් වලට බලෙන් ලමයි පුරවපුවා ඇතුලු ඔක්කොම සෙල්ලම් ගැනත් එතකොට එළිවේවි” එජාප නීති උපදේශකයෙක් කීය.

“අගමැතිතුමා බියගම හාමුදුරු කෙනෙකුගේ ආදාහන උත්සවයකට ගියාම මාධ්‍යවේදීන් මයික් අල්ලලා ව්‍යවස්ථාවයි දේශපාලනයයි ගැන ඇහුවාම නියම උත්තරයක් දීම වටිනවා” නවීන් දිසානායක කතාකළේ ප්‍රශංසා මුඛයෙනි.

“ඔව්. මම එදා පන්සලට ගියේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න. වෙන වෙලාවල් වල මම පන්සලකට යන්නේ බුදුන්ට මල්පහන් පුදන්නයි. සමහරු වගේ පන්සල් ගිහින් පටු දේශපාලනය කතාකරලා එක එක්කෙනාට මඩ ගහලා පවු පුරෝගන්න මම සූදානම් නෑ” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

“මහින්ද මහත්තයගෙ පන්සල් දේශපාලනය දැන් හොදටම විකාර වෙලා තියෙන්නෙ. වයස 74 මහින්ද මහත්තයටයි ඒ වයසට කිට්ටු ශිරන්ති නෝනටයි හිතනවනම් දැන් වුණත් ළමයි හදන්න පුළුවන් කියල බණ දෙසල රටට විහිළු සපයන්නයි මේ රටේ දරුවන් නොමැතිව ලතවෙන ලක්ෂ ගණනක් අඹුසැමියන්ට විශාල අපහාසයක් කරන්නයි හාමුදුරුවරුන්ට අයිතියක් නෑ” රංජිත් අලුවිහාරේ කීවේය.

“රහස් ආරක්ෂක ගිවිසුමක් ඇමරිකාවත් එක්ක ගහලා කියලා දයාසිරි කියන කතාව මොකක්ද?” හේෂා විතානගේ ඇසුවේ අගමැතිගෙනි.

“අපිට බොරු චෝදනා දාල වැඩක් නෑ. ආරක්ෂක ඇමති ජනාධිපතියි. දයාසිරිට එතුමත් එක්ක ඒ ගැන කතාකරන්න කියන්න” යැයි කී අගමැතිවරයා ඉවත බලාගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපතිවරයා විසින් නම්කොට එවා තිබුණේ දීපානි විජේසුන්දර මහත්මියගේ නම වුවත් 70 වෙනි වගන්තියට අනුව පරිපාලන දැනුමක් සහිත කෙනෙක් ඒ සඳහා අත්‍යවශ්‍ය බවට තීන්දුකළ ව්‍යවස්ථා සභාව ඇයගේ නම ප්‍රතික්ෂ්ප කොට තිබිණ. ප්‍රතික්ෂ්ප වූ නමක් එම තනතුරටම වැඩබලන ධූරයක් ලෙස පත්කිරීම ඉන්පසු සිදුව තිබේ. එකී කාලය තුළ ඇය විසින් පත්කළ විනිසුරු මඩුලුවල නීත්‍යානුකූලභාවය හා ලැබුණු තීන්දු වල වගකීම් සහිතබව ගැන ගැටලු මතුවන බව මෙහිදී කාගේත් අවධානයට යොමුවිය.

“ජවිපෙ බිමල් රත්නායක ජනපතිගේ එම පත්කිරීමට එරෙහිව දැඩි මතවාදයක ඉන්නවා. ප්‍රතිකේෂ්ප වූ නමක් යලි එවනවා වෙනුවට ව්‍යවස්ථාදායක සභාවට පිළිගතහැකි අලුත් නමක් එවීම ජනාධිපතිතුමාගෙ වගකීමක් බවයි බිමල්ගෙ මතය වෙන්නෙ” එජාපයේ ඉහල නීති උපදේශකයෙක් කීවේ එවැන්නකි.

“අපි අනිත් පක්ෂ එකතු කරගෙන ආපහු ජාතික ආණ්ඩුවකට යනවද? එජාපෙ පුළුල් පෙරමුණ පිහිටවන්නෙ කවදාද?” ගයන්ත කරුණාතිලක අගමැතිගෙන් විමසුවේ එවැන්නකි.

“ඔව්. ඒ දෙකම ඉක්මනින් කරනවා” අගමැති කීවේ එපමණකි.

“කෝප් සභාපතිකමයි රාජ්‍ය ගිණුම්කාරක සභාවෙ සභාපතිකමයි ගියවර හොදට කරපු ජවිපෙ හදුනෙත්තිටයි ශ්‍රීලනිපයේ අලගියවන්නටයි යලි ලබාදීම කවුරුත් අගය කරනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“එජාපයට ආණ්ඩුව තියෙද්දී අපි හැමදාම වගේ ඔය වැදගත් කමිටු සභාපතිකම් විපක්ෂයට දුන්නා. ඒත් රාජපක්ෂලා ඒ වැදගත් සම්ප්‍රදායත් කඩලා ඒ සභාපතිකම් එයාලම තියාගත්තෙ. ඒවා නරක ආදර්ශයි” එසේ කී අගමැතිවරයා නළල රැලිගන්වා ඉවත බලාගත්තේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *