රාජපක්ෂ රෙජිමය බිල්ලෙක් මවල නැවත බලයට පත්වෙන්න උත්සාහ කරමින් ඉන්නව.- සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

 

නව ව්‍යවස්ථාවක් පිළිබඳ තවම තියෙන්නෙ විද්වත් කමිටුවක යෝජනා පමණයි. ඊළඟට කෙටුම්පතක් හදන්න වෙනව. ඊළඟට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකකින් ජයග්‍රහණය කරන්න වෙනව. ජයග්‍රහණය කෙරුවොත් හැමෝම එකතුවෙලා ජනමත විචාරණකයට මිනිස්සු අතරට යන්න වෙනව. එතනදි තමයි මිනිස්සුන්ට කියන්න වෙන්නෙ හොඳද නරකද? මේක එපාද? ඕනද? කියල. එතකල් මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. පාර්ලිමේන්තුවට අවස්ථාව  තියෙනව. හත්තැහය දෙනෙකුගෙ ඡන්දයෙන් මේක පරාජයට පත් කරන්න පුලුවන්. එහෙම තියෙද්දි හාමුදුරුවරු අවුස්ස අවුස්ස මොකක් ද මේ නටන නාඩගම? මහින්ද රාජපක්ෂ රෙජිමය ප්‍රමුඛ කණ්ඩායම බිල්ලෙක් මවල ජාතිවාදය අවුස්සලා අන්ත ආගමික අන්තවාදය අවුස්සලා නැවත බලයට පත්වෙන්න උත්සාහ කරමින් ඉන්නව. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ඉහත ප්‍රකාශය කළේ අද (24) පැවති මාධ්‍ය හමුවකදීය.

තව දුරටත් කතා කළ සමන් රත්නප්‍රිය මහතා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවලියක් පහුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ යෝජනාවලිය ඉදිරිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට පත්කළ එක් කමිටුවක් විසින්. ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවක් සැකසීම සඳහා පත්කළ විද්වත් කමිටු රැසක් තියනව. දහදෙනෙක්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ යෝජනා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එතකොට දැන් පේන්න තියෙනවා මේ කමිටු යෝජනා අල්ලගෙන විශාල මට්ටමේ ප්‍රචාරයක්, මඩ ගැහිල්ලක් රටපුරා දියත්වෙනව. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊයේ ඔහුගෙ අදහස ඉදිරිපත් කරල තියෙනව ව්‍යවස්ථා යෝජනා පිළිබඳව. ඊළඟට අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රිවරු විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ගම්මන්පිල ආදී මන්ත්‍රිවරු විශාල විදිහට ජනමතය අවුස්සන්න හදනවා මේ යෝජනාවලට විරුද්ධව. ඔරුමිත්ත නාඩු කියල කියනව, රට බෙදනවා කියල කියනව, පෙඩරල් දෙනවා කියල කියනව, මේක තමයි පහුගිය දේශපාලන බල පෙරළිය ආපස්සට හරවන්න දීල තියෙන පොරොන්දුව කියල කියනව. විවිධ කාරණා කියමින් සිංහල බෞද්ධ ජනයා අවුස්සන්න කටයුතු කරන්න ස්වභාවයක් පෙන්න තියනව. ඒකෙ කූඨප්‍රාප්තිය තමයි මහින්ද මහත්මයගෙ ඊයේ මාධ්‍ය නිවේදනය. ඒ මාධ්‍ය නිවේදනයක් සැලකිල්ලට ගත යුතු එකක්. ඒක බරපතල මාධ්‍ය නිවේදනයක් කියලයි අපි විශ්වාස කරන්නෙ.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න කෙහොමද කටයුතු කළේ. මෙහම එකක් ඕනද? නැද්ද? අපේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෙ. ඒක පැහැදිලියි. ඒක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පිළිඅරගෙන තියෙනව. මහින්ද රාජපක්ෂ මහත්තය හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිඅරගෙන තියෙනව, මහින්ද රාජපක්ෂ මහත්ය ජනාධිපති වෙලා ඉන්දැද්දි. මෛත්‍රිපාල සිරිසේන මහත්තය පිළිඅරගෙන තියෙනව. ටී. එන්. ඒ. එක ඒක ඉල්ලනවා මේ යොජනා යම් ප්‍රමාණයකට ඒ ගොල්ල පිළිගන්නව. ජනතා විමුක්ති රෙමුණත් ඉල්ලනවා. වර්තමාන ව්‍යවස්ථාව වෙනුවෙන් ඒ ගොල්ල පෙනී සිටිනව. මුස්ලිම් කොන්ග්‍රසය මේ යෝජනා පිළිබඳව ස්තූතිය පළකරල තිබුණ රාවුෆ් හකීම් ඇමතිවරය. රිසාද් බද්ද්‍යුදීන්ගෙන් ප්‍රශ්නයක් නැහැ එයත් සහයෝගය දක්වනව. ඩග්ලස් දේවානන්ද මහත්තයා මේ කමිටුවක නිලධාරියෙක්, නියෝජිතයෙක්. මනෝගනේෂන් ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු කණ්ඩායම්,  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේක්ෂාවෙන් සිටිනව සහ සිටිය.

නමුත් කෙටුම්පතක්වත් නැතිව යෝජනාවලියක් ඉදිරිපත් වුණාම, විද්වත් කමිටු පමණක් ඉදිරිපත් වුණාම, එකට මඩ ගහලා, තමන්ගේ දේපාලන උවමනාවන්, අභිප්‍රායන් ඉදිරිපත් කරගන්න හදන තත්ත්වයක් මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂෙයන් පේන්න තියෙන්නෙ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ඕනැ. 1978 ජේ.ආර්. ජයවර්ධන මහත්තය මූලික වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවයින් පස්සේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සන්ශෝධනය වෙලා තියෙනව. 19 ය ගේන්න මූලික වුණේ අපි. පූජ්‍ය මාදුලාවේ සෝභිත හාමුදුරුවන්ගෙ සභාපතිත්වයෙන් යුක්ත සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යපාරය හා අනෙකුත් දේශපාල පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති ඇතුළු පිරිස. 19 වතාවක් සංසෝධනය වුණා. ඒ සේරම එකතු කරල තව අලුත් ඒවා දාලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනැ.

අපේ රට දශක තුනක් යුද්ද කළා. ඕන තරම් ලේ හැලුවා. 1971 ලේ හැලුවා. 88/89 ලේ හැලුවා. එවැනි ලේ ගංගාවල් නැවත නොගලන්න නම්, ජාතික සංහිඳියාව, සමනාත්මතාවය, නීතියේ ආධිපත්‍ය, යහපාලනය පදනම් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෙ. ඒක ඉතාම පැහැදිලියි. නීතියේ ආධිපත්‍ය, සමානාත්මතාවය  නැතිව තමයි 1971, 88/89 දහස් ගණන් මැරුණෙ. හැට දාහයි කියනව. ලක්ෂයයි කියනව. සැලකිය යුතු ප්‍රමාණයක් මරු වැළඳගත්තා. ජාතීන් විදිහට එකට ශ්‍රී ලංකිකයන් විදිහට හිතන්න බැරි හින්දා ජාතික සංහිඳියාව නැති හින්දා තමයි දශක තිහක් මේ රටේ යුද්ධ කරගත්තා. ඒ නිසා ඒ තත්ත්වය නැවත ඇති නොවෙන්න ඕන. එහෙම නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෙ. ඒක ගැන විවාදයක් නැහැ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා පත්කෙරුවා සර්වපාක්ෂික කමිටුවක් ඒකේ සභාපතිවුණේ ආචාර්ය තිස්ස විතාරණ. එතකොට මහින්දගෙ රජයේ ඇමතිවරයෙක්. ඒකට කියන්නෙ ඒ.සී.ආර්.සී. කමිටුව කියල. ඒ.සී.ආර්.සී. කමිටු වාර්තාවෙන් පැහැදිලිව සඳහන් වෙලා තියෙනව බලය බෙදන්න ඕන. ජාතික සංහිඳියාව මත පදනම් වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනැ. පළාත්වලට වෙනම බල ලැයිස්තුවක් දෙන්න ඕනැ. මධ්‍යම රජයෙන් එහෙම ජාතික ලැයිස්තුවක් දෙන්න ඕනැ. ජාතික ලැයිස්තුවෙ මෙන්න මේවා කියල එක, දෙක, තුන, හතර කියල නම් කරලත් තියෙනව. පළාත් ලැයිස්තුවෙත් එක දෙක තුන හතර කියල නම් කරලත් තියෙනව. එතකොට එහෙම තියෙද්දි තමයි ඊයෙ කියන්නෙ මේක රට විනාශ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියල. මාධ්‍ය නිවේදනය එහෙමයි තිබුණෙ. රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජයට පත්කළ යුතුයි. එහි දෙපොළකම සංඝයා වහන්සේලාගෙන් විශේෂ ඉල්ලීමක් කරනව, මේ ගැන දැනුවත් වෙන්න. මේ ගැන මැදිහත් වෙන්න කියල. පටන් ගන්නකොටත් හාමුදුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනව. අවසාන කරනකොටත් හාමුදුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනව. ඉතා පැහැදිලියි ස්වාමින්වහන්සේලා ඉස්සරහට දාගෙන 2020 දේශපාලන සිහිනය සැබෑ කරගන්න හදනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකේ ආයුධයක් කරගන්න හදනව. කණගාටුදායකයි මේ දේශපාලනඥයන් ගැන අපිට.

තමන් පත්කළ සර්වපාක්ෂික කමිටුවෙම තියෙනව ජාතික ලැයිස්තුවක් ඕනැ. පළාත් ලැයිස්තුවක් ඕනැ කියල. පළාත්වලට බලය දෙන්න ඕනැ කියල, හින්දු පුවත්පත හා කරපු සාකච්ඡාවෙදි කිව්වා 13 ට එහා ගියපු විසඳුමක් දෙන්න ඕන කියල. 13 කියන්නේ අර්ධ පෙඩරල්. අපි ඔය නොකිව්වට. 13 වන සංශෝධණයෙ අර්ධ පෙඩරල් මට්ටමක් තියෙන්නෙ. පළාත් පොලීසි දෙන්න ඕන. ඉඩම් බලතල දෙන්න ඕන. ඒක ප්‍රායෝගික ක්‍රියාත්මක නොවන එක වෙනම කාරණයක්. නමුත් එහෙම එකක් රට ඇතුළෙ තියෙනව. ඊට එහා දෙන්න ඕන කියන්නෙ මොනවද?  මහින්ද රාජපක්ෂ, එයාගෙන්ම අහන්න ඕන. එහෙම කිව්ව එක්කෙනා තමයි මාධ්‍ය නිවේදනයක් නිකුත්කරල හාමුදුරුවරුන්ට කියන්නෙ, මේ ගැන ඇස් ඇරගෙන ඉන්න කියල. හාමුදුරුවන්ගෙ පොඩි කලබලයක් තියෙනව. අපි දැක්ක මහනුවරට ගිහිල්ලා තිබුණා. ඒ කලබලේ වැඩි කරන්න තමයි මේ කියන්නෙ. ඒ ගොල්ල එහෙම කලබල වුණාම උතුරෙ අයටත් අදහසක් එයි. ඊළඟට මුස්ලිම් අයටත් කලබලවෙන්න අදහසක් එයි. එතකොට මේ රට පරණ තත්ත්වයට පත්වෙයි. ඒක ඇතුළෙ අපිට බලයට එන්න පුලුවන් කියන එක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයගෙ අදහස. කැතයි, ඒ තත්ත්වය. දෙපාරක් ජනාධිපති වුණ කෙනෙක්නෙ. කොහොම වුණත් ඒක තමයි ඇත්ත අදහස. ගම්මන්පිල කියන්නෙත් ඒකයි. ඔරුමිත්ත නාඩු කියල වචනයක් අල්ලගෙන විවිධ මඩ ප්‍රචාර කරනව.

විද්වත් කමිටුව තමයි යෝජනා ඉදිරිපත් කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න පාර්ලිමේන්තුවම කමිටුවක් බවට පත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවක්. 225ම කමිටුවෙ ඉන්නව. කවුරුත් මේකෙන් හැලුවෙ නැහැ. අපි ඡන්දෙ දීලා යවපු මිනිස්සුනෙ. එතකොට ඒ ව්‍යවස්ථා සම්පාදක කමිටුවෙන් තව කමිටු හයක් පත් කළා. ඒ කමිටු හයට විෂයන් හයක් පැවරුවා. විෂයයන් හය පවරලා කිව්වා ඔයගොල්ලො මේ සම්බන්ධව යෝජනා දෙන්න කියල. යෝජනාවල් දුන්නා. යෝජනාවල් දුන්නයින් පස්සෙ ඒ ගැන සාකච්ඡා කරමින් සිටියා. ඒකෙත් තව සමහර කාරණා ගැන අදහස් මතු නොවුන නිසා විද්වත් කමිටුවක් පත් කළා. ඒ විද්වත් කමිටුව දහ දෙනෙක්ගෙන් යුක්තයි. ඒ අය තමයි යෝජනාවල් දුන්නෙ.

දැන් කමිටු හයක වාර්තා තියනව. විද්වත් කමිටු යෝජනා තියෙනව. මේක සාකච්ඡා කරන්න ඕනැ පාර්ලිමේන්තුව ඇතුළෙ. ව්‍යවස්ථා කිමිටුව කියන්නෙ 225ම නේ. ඒ කරුණු සාකච්ඡා කරල ඉන්න වෙලාවෙ තමයි මේ හාමුදුරුවරුන්ට කියන්නෙ නැගිටින්න කියල. ඇවිස්සෙන්න කියල. හාමුදුරුවරු කමිටුවකට දාලා නෑ. දාලා ඉන්නෙ, මන්ත්‍රිවරු නාමල් රාජපක්ෂත් කමිටුවෙ එක්කෙනෙක්. මහින්ද රාජපක්ෂ නැතිවුණාට එයාගෙ ගෝලයො ටික ඉන්නව. ජෝන් සෙනෙවිරත්න. බන්දුල ගුණවර්ධන.

එහෙම කමිටු වාර්තා තියෙනව. පාර්ලිමේන්තුවේ ඒක සාකච්ඡා කරල ඕන නැති ඒවා කපලා, ඕන ඒවා දාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන්න පුලුවන් අවසාන කෙටුම්පතේ. කැබිනට් එකේ සම්මත වෙන්න ඕන. නැවත පාර්ලිමේන්තුවට එන්න ඕනෙ. හැමෝම එකඟ වෙච්ච වාර්තාවක් තමයි පාර්ලිමේන්තුවට එන්නෙ කෙටුම්පතක් විදිහට. එතකොට පාර්ලිමේන්තුවෙ සම්මත කරන්න තියෙනව තුනෙන් දෙකෙන්. තුනෙන් දෙකක් ඕනෙ. එකසිය පණහක් ඕනෙ. හොඳනැත්තම් පරාජය කරන්න පුලුවන්. හැත්තැ හයක් අනික් පැත්තට ගැහුවම පරාජයි. හැත්තැ හයට වැඩිය ඉන්නවනෙ ඒකාබද්ධ විපක්ෂයේ. හාමුදුරුවරු අවුස්ස‍න්නෙ ඇයි? ඊට පස්සෙ පරාජය කෙරුවොත් පරණ විදිහට යන්න පුලුවන්. ජයග්‍රහණය කෙරුවොත් හැමෝම එකතුවෙලා ජනමත විචාරණකයට මිනිස්සු අතරට යනව. එතනදි තමයි මිනිස්සුන්ට කියන්න වෙන්නෙ හොඳද නරකද? මේක එපාද ඕනෙද? කියල. එතකල් මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. පාර්ලිමේන්තුවට අවස්ථාව දීල තියෙද්දි හත්තැහය දෙනෙකුගෙන් මේක පරාජයට පත් කරන්න. හාමුදුරුවරු අවුස්ස අවුස්සගෙන මොකක්ද මේ නටන නාඩගම? මහින්ද රාජපක්ෂ රෙජිමය ප්‍රමුඛ කණ්ඩායම බිල්ලෙක් මවල ජාතිවාදය අවුස්සලා අන්ත ආගමික අන්තවාදය අවුස්සලා නැවත බලයට පත්වෙන්න උත්සාහ කරමින් ඉන්නව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *