ජනපති සොයුරා යටතේ ටෙලිකොම් හූරංකෑම යමරෙට – සමන් ජයකොඩි

ශ‍්‍රී ලංකා ටෙලිකොම් යනු ලංකාවේ ප‍්‍රධාන විදුලි සංදේශ සැපයුම්කරුවා ය. වර්තමානය වන විට ටෙලිකොම් සම්පූර්ණ වශයෙන් රාජ්‍ය ආයතනයක් නොවේ. රජය ටෙලිකොම්හි පාලන බලය පවත්වාගෙන යාමට අවශ්‍ය සියයට 51ක කොටස් අයිතිය තමන් සතු කරගන්නේ ලංකා බැංකුවට හිමි ටෙලිකොම් කොටස් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයකට හිමි කොටස් ද එකතු කර ගනිමිනි. ටෙලිකොම්හි බලය හිමි දෙවන පාර්ශ්වය වන මැලේසියානු (GTH ග්ලෝබල් ටෙලිකොමියුනිකේෂන් හෝල්ඩිංග්ස්) සමාගමට ආයතනයේ සියයට 44.98ක හිමිකාරිත්වයක් පවතී.

කලක පටන් ටෙලිකොම් යනු සේවක වරප‍්‍රසාද පිළිබ‍ද ඉහළින්ම කතා වුණු ආයතනයකි. ටෙලිකොම් හි රැුකියාවකට ඉහළ ඉල්ලූමක් සමාජයේ පැවතිණි. නමුත් වර්තමානය වන විට නම් ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් වත්මන් සභාපතිවරයා හමුවේ ආයතනය ගමන් කරමින් සිටින්නේ ඉදිරියට නොව ආපස්සට බවට වූ චෝදනා රාශියකි. වත්මන් සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයාගේ බාල සොයුරෙකි.
වාර්තාවන්හි ස‍‍දහන් අන්දමට 2014 වන විට ටෙලිකොම් ආයතකනයේ ලාබය වශයෙන් සදහන් වූයේ රුපියල් බිලියන තුනකි. නමුත් වත්මන් පාලනාධිකාරිය යටතේ පසුගිට වසර වන විට එම ලාබය රුපියල් බිලියන 1.8 දක්වා පහත වැටී ඇත. ඒ අතරම, දේශීය රාජ්‍ය බැංකු දෙකක ටෙලිකොම් නම ඉදිරියේ රැුපියල් බිලියන 40කට අධික ණය කන්දක් ද ගොඩ ගැසී ඇත. සේවකයන් 5000කට වැඩි පිරිසක් සේවය කරන ටෙලිකොම් වැනි විශාල වශයෙන් මුදල් හුවමාරුවන, විශාල ආයෝජන ඇති ආයතනයක බිලියන 1.8ක ලාබයක් යනු සොච්චමකි.

ටෙලිකොම් වාර්ෂික ව්‍යාපාර සැලැස්ම සෑදීමට කියා කොළඹ සිට නුවරඑළියේ පිහිටි හෝටලයකට ටෙලිකොම් ඉහළ කළමනාකාරීත්වයේ තුන්සීයක් දෙනා පිටත්ව යන්නේ මේ පසුබිමේ ය. තුන්සිය දෙනාටම කොළඹ සිට නුවරඑළිය දක්වා ප‍්‍රවාහන පහසුකම් ය. රාත‍්‍රී දෙකක නවාතැන් ය. මෙපමණ කලක් මෙම හමුව පවත්වා ඇත්තේ කොළඹට ආසන්නයේ ය. මේ නුවරඑළියට යන පළමු අවස්ථාවයි. නුවරඑළි ගොස් නවතින්නේ හරි අපූරු තැනක ය. එනම් සභාපතිවරයාගේ මෙන්ම ජනාධිපතිවරයාගේ ද සොහොයුරකුට අයත් හෝටලයක ය. එනම් නුවරඑළියේ අරලිය හෝටලයේ ය. මේ හමුවට ටෙලිකොම් ආයතනය වියදම් කරන කෝටි ගණනක මුදල ද සිය වැඩිමල් සොයුරාට යන පරිදි සැලසුම් කිරීමට සභාපතිවරයා සුක්ෂ්ම වී ඇත.

ආයතනයේ තනතුරු බෙදීම ආරම්භ වන්නේ නුවරඑළි සැප ගමනෙන් පසුව ය. තනතුරු බෙදීම වේගවත් වන්නට තවත් හේතුවක් හදිසියේ මතු විය. ඒ ඔක්තෝබර් 26 වැනි දා සිදුවූ හදිසි ආණ්ඩු මාරුවයි. කල දුටු කල වළ ඉස ගැනීම ඇරඹිණි. ආයතනයේ මෙතෙක් 16ක්ව තිබූ සාමාන්‍යාධිකාරී ධූර සංඛ්‍යාව 60 කට අධික සංඛ්‍යාවක් දක්වා කිසිදු හේතුවකින් තොරව හදිසියේ ම වැඩි විය. ඒ සෑම ධූරයකටම මාසික වාහන දීමනාව පමණක් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් අලූතින් ලබා දිය යුතු අතර එය ඔවුන් විශ‍්‍රාම යනතුරුම ලබා දිය යුතුය. ඊට අමතරව ඔවුනට වෙනම කාර්ය මණ්ඩලයක්, කාර්යාල කාමරයක් යනාදී වූ අමතර වියදම් රුසකි.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධූර අලූතින් 16 ක් එකතු කළේ ය. තවත් 16 කට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ලෙස උසස් වීම් ලබා දුන්නේ ය. නමුත් ඇත්ත වශයෙන්ම ඇබෑර්තු ඇති වී තිබුනේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධූර 3 ක් සඳහා පමණි. මේ හේතුව මත දැන් ටෙලිකොම් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් පමණක් 130 කට වැඩි පිරිසක් සිටිති. මේ සෑම නි. සාමාන්‍යාධිකාරීවරයෙකුටම මාසිකව රුපියල් එක් ලක්ෂ විසි දහස ගණනේ වාහන දීමනාවක් පමණක් විශ‍්‍රාම යනතුරුම ලබා දිය යුතුය.
මෙම උසස්වීම් ලබා දීමේ දී සභාපතිවරයාට හිතැත්තන්ට ප‍්‍රමුඛස්ථානය ලැබේ. සාමාන්‍යාධිකාරී තනතුරට ඉහළින් ම සුදුසුකම් සපුරා තිබූ අත්දැකීම්වලින් ඉහළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරැුන් කිහිප දෙනෙකුද මෙලෙස උසස්වීම අහිමිව ඇත. නුවරඑළි සැප ගමන වර්ජනය කිරීම ද උසස්වීම් අහිමි වීමට එක් හේතුවකි.

තත්ත්වය තවත් අර්බුදකාරී තත්ත්වයකට පත් වීම ආරම්භ වන්නේ දින 52 කින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවසන් වීමෙන් හරීන් ප‍්‍රනාන්දු මහතා නැවතත් ඔහු කලින් දැරූ ටෙලිකොම් භාර ඇමැති ධුරයට පත් වීමත් සමග ය. පසුගිය දෙසැම්බර් 21 වන දා හරීන් අමාත්‍යවරයා තම අමාත්‍යංශයට ටෙලිකොම් ඉහළ කළමනාකාරීත්වය කැ‍දවීය. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන විසින් ටෙලිකොම් ආයතනය තුළ සිදුකරන ලද අනීතික, අවිචාරවත් සහ ටෙලිකොම් පත්වීම් සියල්ල අවලංගු කර ඔක්තෝම්බර් 26 දා පෙර තිබු තත්වයට ආයතනය ගෙන එන්නැයි නියෝග කර ඇත. ඔහු පවසා ඇත්තේ ඉන් පසුව ආයතනය තුළ ඇති ඇබෑර්තු සදහා විධිමත් සම්මුඛ පරීක්ෂණ පවත්වා නියමිත පටිපාටියට උසස් වීම් ලබා දිය හැකි බවයි.
එම ප‍්‍රකාශයෙන් පසුව සිදු වූයේ හරීන් ඇමැතිවරයාගෙන් ටෙලිකොම් ආයතනය ඉවත් කිරීම ය. ටෙලිකොම් විෂය හරීන් ප‍්‍රනාන්දුගේ අමාත්‍යාංශයට ගැසට් නොකර තබා ගෙන තමන්ට අවශ්‍ය ආකාරයට ටෙලිකොම් විනාශ කරන මාවතේ එලෙසම ගමන් කිරීමට මේ සභාපති ක‍්‍රියා කරමින් සිටී. එනම් අද වන විට ටෙලිකොම් ආයතනය භාර ඇමැතිවරයෙක් නැත.

සේවක වාර්ෂික වැටුප් වැඩිවීම පවා කප්පාදු කර, ටෙලිකොම් සමාගම රුපියල් බිලියන ගණනින් බැංකු වලට ණය වෙමින් වාර්ෂික ලාභය අඩුවී තිබියදී තව තවත් ඉහළ නිලධාරීන් පත් කරමින් ඔවුන්ට විශාල වශයෙන් වරදාන වරප‍්‍රසාද ලබා දෙමින් බහුතර සේවකයන්ගේ වරප‍්‍රසාද කප්පාදු කරමින් ගෙන යන පාලනයට විරුද්ධව ප‍්‍රධාන වෘත්තිය සමිති 8 ක් ඒකාබද්ධවිසුරකිමු ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ’ නමින් සන්ධාන ගතව පසුගිය දා සංඛේත වැඩ වර්ජනයක් පවා දියත් කර තිබුණේ මේ තත්ත්වය නිසා ය.

ටෙලිකොම් වනාහී ජාතික සම්පතකි. වත්මන් සභාපතිවරයා සභාපතිධුරයට පැමිණි දා සිට මොහු ටෙලිකොම් දියුණු කරනවා වෙනුවට කර ඇත්තේ යළි ගොඩ ගත නොහැකි ලෙස ණය කන්දක සිර කිරීම ය. ටෙලිකොම් ආයතනයත් මේ ගමන් කරමින් සිටින්නේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මෙන් අගක් නොපෙනන අගාධයක් වෙත බව නම් පැහැදිලි ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *