අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය කුමටද? – ආචාර්ය ටෙරන්ස් පුරසිංහ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනා මාලාවක් ආණ්ඩු පක්ෂය මගින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙන අතර ඒ‍ වෙනුවෙන් බොහෝ දෙනා නොයෙක් අදහස් ප්‍රකාශ කරමින් සිටිති. මෙවන් වකවානුවක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යවී තිබේද යන්න අවධානයට ලක්කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ආණ්ඩුකරන ක්‍රියාවලිය පවත්වාගෙන යාමටය. ආණ්ඩුකරන ක්‍රියාවලිය යනු ඕනෑම රාජ්‍යයක ප්‍රධාන ක්‍රියාවලිය වූ ජනජීවිතය, සංවර්ධනය, සුබසාධනය, ආරක්ෂාව, විදේශ කටයුතු ආදී බොහෝදේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීමය. ආණ්ඩුවේ පැවැත්ම හා ඉදිරි ගමන තීරණය කරන මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය.

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් මේ වනවිට ක්‍රියාත්මක වී තිබේ. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනම මෙරටේ ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී කරුණු දෙකක් ප්‍රධානකොට ගෙන එනම්, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂාවන පරිදි ද, ආණ්ඩුවේ ස්ථාවරය ආරක්ෂාවන පරිදි ද මූලික අවධානය යොමුකර තිබුණි. ශ්‍රී ලංකාවේ ගෙවීගිය වසර 70ක කාලය තුළ සෝල්බරි ව්‍යවස්ථාව හැරුණුවිට 1972 පිහිටුවාගත් ව්‍යවස්ථාව හා 1978 ඇතිකරගත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වුණි. 1972 සම්මතකරගත් ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වසර පහක තරම් ඉතා කෙටි කාලයකට සීමා වූ අතර 1978 පිහිටුවාගත් ව්‍යවස්ථාව මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පවතී. 1978 ඇතිකරගත් ව්‍යවස්ථාවේ මූලික ගැටලුව වන‍්නේ ප්‍රංශ විධායක ක්‍රමයට අනුව මිශ්‍ර විධායක ක්‍රමයක් මේ රටේ නිර්මාණය කිරීමයි. අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති ධුරය පමණි. බ්‍රිතාන්‍යයේ විධායකය අගමැති හා කැබිනට් මණ්ඩලය පමණි. ප්‍රංශයේ මේ අවස්ථා දෙකම එකතුකර විධායකය වන්නේ ජනාධිපතිවරයා හා අමාත්‍ය මණ්ඩලයයි. අමාත්‍ය මණ්ඩලයේ එක් සාමාජිකයකු ලෙස අගමැති කටයුතු කරයි. ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 දී සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රංශ ක්‍රමයට නිර්මාණයකොට තිබුණි.

78 දුර්වලතා

1978 දී සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු දුර්වලතාවයක් නම් ජනාධිපති ධුරය දරන පුද්ගලයාගේ දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබෙතැයි උපකල්පනය කිරීමය. අද උදාවී තිබෙන තත්ත්වය ගැන ජේ. ආර්. ජයවර්ධන මහතා උපකල්පනය නොකරන්නට ඇත. මේ වනවිට ජනාධිපතිවරයා එක් පක්ෂයකින්ද, අගමැතිවරයා තවත් පක්ෂයකින්ද තේරීපත්වී ඇත. ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැත. අගමැතිවරයා නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත. මෙලෙස ද්වීබල තත්ත්වයක් නිර්මාණය වෙතැයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරනවිට බලාපොරොත්තු නොවන්නට ඇත. ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයටම පාර්ලිමේන්තුවේ බහුතර ‍බලය ලැබෙතැයි එතුමා උපකල්නය කරන්නට ඇත.

ද්වීබල තත්ත්වය

ඒ නිසාම 1978 ව්‍යවස්ථාව 2001 වන විට අර්බුදකාරී තත්ත්වයකට පත්වුණි. 2001 දී ද පෙර සඳහන් කළ ද්වීබල තත්ත්වය ගොඩනැගුණි. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය පරදා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගන්නා ලදී. එතැන් සිට මේ අර්බුදය උග්‍රවන්නට පටන්ගත් අතර ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර ගැටුම් ඇතිවන්නට විය. දැනට ක්‍රියාත්මක වන අර්බුදය ද එයයි. එවැනි අර්බුද හේතුවෙන් දේශපාලන ස්ථාවරභාවය බිඳ වැටෙන අතර වර්තමානයේ වී තිබෙන්නේ එයමය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය ලැබී ඇත.

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර තිබෙන මේ පරස්පරය නිසා දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වී තිබේ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ගැටලු මේවාය. මෙවැනි ගැටලු විසඳා නොගෙන රට ඉදිරියට ගෙන යා නොහැක. අප අවධානය යොමුකළයුතු කාරණය වී ඇත්තේ එයමය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී පෙර සඳහන් කළ පරිදි ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට, ආණ්ඩුවේ ස්ථාවරය ආරක්ෂා වන ආකාරයට මෙන්ම ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන ආකාරයටත් යෝජනා ගෙන ආ යුතුය. ශ්‍රී ලංකාවේ මෙතෙක් තිබූ ව්‍යවස්ථා තුනෙන්ම ජාතික ප්‍රශ්නයට කිසිදු ස්ථිරසාර විසඳුමක් හෝ පිළියමක් ලැබී තිබුණේ නැත. 1978 ඇතිකරගත් ව්‍යවස්ථාව සංශෝධනයකර 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන ලදී. එම ව්‍යවස්ථාවේදී පළාත් සභා ක්‍රමය මගින් බලය බෙදීමේ ක්‍රමය ලංකාවේ ආරම්භ කෙරිණ. 1980 දශකයේ සිටම දිගින් දිගටම මේ රටේ ජාතික ප්‍රශ්නය උග්‍රවන්නට පටන්ගත් අතර එහි කූටප්‍රාප්තිය වූයේ තිස් අවුරුදු යුද්ධයයි. එනිසා ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ලැබිය යුතුයි.

සිංහල සමාජයට මෙන් මෙරට දෙමළ සමාජයට හා මුස්ලිම් සමාජයට ද කිසියම් දේශපාලන විසඳුමක් ලැබෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අවශ්‍යය. ඒ සඳහා බලය බෙදීමේ විසඳුමකට යා යුතුවේ. පසුගිය දශක ගණනාවක් තිස්සේ ජාතික ප්‍රශ්නය විසැඳීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු වුවත් බලය බෙදීමේ ක්‍රියාමාර්ගයක් සම්පාදනය නොවුණි. රටේ දෙමළ හා මුස්ලිම් ජන කොටස්වල යම් ගැටලුවක් තිබේනම් ඒවාට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා දේශපාලන බලය ප්‍රාදේශීය වශයෙන් බෙදිය යුතුය. මේ සඳහා ජාතික ගැටලුව දෙස පුළුල් දේශපාලන දෘෂ්ඨි කෝණයකින් බැලීම වැදගත්ය.

මේ කරුණ සම්බන්ධව මේ රටේ බරපතළ පිල් බෙදීමක් දිගින් දිගටම ඇති වී තිබෙන අතර රටට නිදහස ලැබුණු යුගයේ සිටම මේ තත්ත්වය හටගෙන තිබුණි. එක් කණ්ඩායමක් ජාතික ප්‍රශ්නයට බලය බෙදාදිය යුතුය යන මතය දරන අතර තවත් කණ්ඩායමක් බලය බෙදීමේ ක්‍රමවේදයක් අවශ්‍ය නොවේය යන මතයේ සිටිති. මේ දෙපාර්ශ්වය අතර මත භේදය නිසා ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොලැබී ඇත.

ෆෙඩරල් ක්‍රමය

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා 1957දී ජාතික ප්‍රශ්නය සඳහා යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීමට බලය බෙදීමේ ක්‍රියාමාර්ගය යෝජනා කළේය. ඒ සඳහා උතුරු – නැඟෙනහිර පළාත්වලට සංදීප ක්‍රමයක් ඇති කිරීම මඟින් ඒ ප්‍රදේශවලට යම්කිසි බලය පැවරීමක් සිදු කිරීමට යෝජනා කළේය. එය ‘ෆෙඩරල්’ ක්‍රමය නමින් ව්‍යවහාර කළ අතර ‘ෆෙඩරල්’ යන වචනය ඇසීමත් සමඟ ඇතැමුන් බිල්ලෙක් මවා ගත්හ. ඇතැමුන් ‘ෆෙඩරල්’ ක්‍රමය රට බෙදීමක් යනුවෙන් භාවිත කළ අතර එය සිංහල ජන සමාජය තුළ ද විසුරුවා හරින ලදී. ඒ මතවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ සමාජය වෙනම රාජ්‍යයක් දිනාගැනීමට සටන් කළහ. ඒ සටන යුදමය වශයෙන් 2009දී වර්ධනය කළත් දේශපාලන අපේක්ෂා යටපත් වූයේ නැත.

දෙමළ සමාජය තුළ 2009 පසුව විශාල වෙනසක් ඇතිවී තිබෙන අතර ඔවුන් දේශපාලන ප්‍රවාහයක් සඳහා යොමුවුණි. සිංහල සමාජය සමඟ යම්කිසි එකඟතාවයක් ඇති කරගෙන ඒ තුළින් උතුරු – නැඟෙනහිර පළාත් සඳහා දේශපාලන විසඳුමක් ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.

මුල් කාලයේදී ඔවුන් ෆෙඩරල් ක්‍රමයට පළාත් සභා බලතල අනුගත වුවද පසු කලෙක දී වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියහ. මේ වනවිට එම ක්‍රම දෙකම අතහැර දමා ඇති දෙමළ ජාතික බලවේග ඒකීය රාමුවක් තුළ යම් බලය බෙදීමේ ක්‍රියාදාමයක් අපේක්ෂා කරති. ඒ වෙනුවෙන් වූ දේශපාලන වෙනසකට දෙමළ සමාජය ගමන් කරන අතර පවතින පළාත් සභා ක්‍රමය බල ගන්වන ලෙස ඔවුන් ඉල්ලති. පොලිස් බලතල හා ඉඩම් බලතල දැනට ක්‍රියාත්මක වන පළාත් සභාවලට හිමිවී තිබෙන අතර 1987 පළාත් සභා පිහිටුවනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඒ බලතල පවරාදී තිබේ. එහෙත් ඒ බලතල මෙතෙක් ප්‍රායෝගිකව පළාත් සභාවලට ලැබී නැත. දෙමළ ජාතික ව්‍යාපාරය ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත්සභා වෙත පවරා තිබෙන පොලිස් හා ඉඩම් බලතල බලගන්වන ලෙසය. ඉන් එහාට ගිය බලයක් ඔවුන් අපේක්ෂා නොකරන බව පෙනේ.

වත්මන් අවශ්‍යතාව

ගෙවී ගිය දශක ගණනාව තුළ ඔවුන්ට අහිමි වූ දෑ බොහෝය. ඔවුන් උත්සාහ කරන්නේ සිංහල සමාජය සමඟ යම් එකඟතාවක් ඇතිකරගෙන සිංහල සමාජයේ ආශිර්වාදය සහිතව යම් තරමක බලය බෙදාගැනීමක් කෙරෙහි ය. සිංහල සමාජය පැත්තෙන් එය වාසිදායකය. ඇතැම් සිංහල සමාජ කොටස් පෙන්වාදෙන්නේ දෙමළ සමාජය ඊළාම්වාදී, ෆෙඩරල්වාදී මාර්ගයක ගමන් ගන්නා බවකි. එහෙත් වර්තමානය වනවිට දෙමළ සමාජය ඒ මාර්ගයෙන් ඉවත්ව එක්සත් රටක් තුළ යම් බලය බෙදා ගැනීමක් සඳහා උත්සාහ දරති. මෙය ඉතා ධනාත්මක තත්ත්වයක් වන අතර එවැනි විසඳුමක් සහිතව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලාංකීය ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයත්, ආණ්ඩුවේ ස්ථාවරභාවයත් ආරක්ෂා වන අයුරින් ජාතික ප්‍රශ්නයට විසඳුම් ලැබෙන ක්‍රමවේදයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සම්පාදනය කිරීම කාලෝචිත ක්‍රියාවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා මාලාවක් මේ වනවිට කරළියට පැමිණ තිබෙන අතර එම යෝජනා මාලාවේ ඉහත සඳහන් කරුණු ඇතුළත්වී තිබීම පැසසුම් ලැබිය යුත්තකි. දකුණේ දේශපාලන සංවිධාන හා උතුර, නැඟෙනහිර දේශපාලන සංවිධාන අතර පොදු එකඟතාවයක් අතිකර ගැනීම වැදගත්ය. මක්නිසාද යත් පොදු එකඟතාවයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොවන අතර ආණ්ඩුක්‍රම විරෝධයක් දිගින් දිගටම පැවතිය හැකි බැවිණි.

1972 ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලකියයුතු අඩුපාඩු ගණනාවක් තිබූ බැවින් 1978දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කෙරිණ. වසර හතළිහක් පමණ පැරණි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද වත්මන් සමාජ රටාව තුළ ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු මතුවෙමින් පවතී. ඒවාහි විපාක අප පසුගිය කාල පරිච්ඡේදය තුළ අත්විඳි අතර පවතින ආකාරයට අනාගතයේදීත් බැරෑරුම් ගැටලු මතුවීමට ඉඩ තිබේ. මේ ආකාරයට රටේ ජාතික සමගියටත්, ආණ්ඩුවේ ස්ථාවර භාවයටත්, ප්‍රශ්න මතුවිය හැකි අතර එය රටේ ජන ජීවිතයට හා සංවර්ධනයට ද විශේෂයෙන් රටේ ආර්ථික වර්ධනයට ද බෙහෙවින් බලපානු ඇත.

ජනතා සුබසිද්ධියත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, ජාතික ආරක්ෂාවත්, ආර්ථික දියුණුව හා රටේ සංවර්ධන ක්‍රියාවලියත් නඟාසිටුවීමටත් ජනතා පරමාධිපත්‍යයට සාධාරණය ඉටුකරමින් ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගීමටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම යුගයේ අවශ්‍යතාවය වී තිබේ.

සටහන – නිශාන් මෙන්ඩිස් dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *