හැම පක්ෂයක්ම පක්ෂය තුළ ඒකාධිපතිත්වයක් ගොඩනගා ගෙන හෝ පක්ෂ විනය රැකගත යුතුයි – මහාචාර්ය රොලන්ඩ් අබේපාල

අද වෙනකොට රටට නායකත්වය දීමට ජාතික නායකත්වයක් නැති බව පේනවා. 2015 දී ජනාධිපතිවරණයකට පොදු අපේක්ෂකයෙක් සොයන අවස්ථාවේදිත් මෙවැනි අවස්ථාවකට රට මුහුණ දුන්නා. එම අවස්ථාවේ දී ඉදිරියට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ භූමිකාව මේ වන විට ප්‍රශ්නගත තත්ත්වයකයි තියෙන්නෙ. ඇයි ඒ?

රටට ජාතික නායකත්වයක් දෙන්න තියා තම පක්ෂයටවත් හරියට නායකත්වයක් දෙන්න දේශපාලන පක්ෂනායකයන්ට බැරිවෙලා තියෙනව. පසුගිය දින 52 පෙරළියෙදි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියල එකතුවුණ නිල නොවන සන්ධාන මේ වෙන කොට විසිරිලා තියෙනව. එයට ඍජුවම මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂයට යළිත් ආණ්ඩුබලය ලැබීවෙන් පසුව කලින් තිබුණට වැඩිය ප්‍රශ්න මතුවෙලා තියෙනව.

ටී.එන්.ඒ. එකෙත් එහෙම හැල හැප්පීම් තියනව. පොහොට්ටුව තාම හරියට ගොඩනගා ගන්න බැරිවෙලා තියෙනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් වතාවක් දෙදෙරා යන ලකුණු පහළ වී තියෙනව.  ජනතා විමුක්ති පෙරමුණේ තමයි එහෙම තත්ත්වයක් පේන්න නැත්තෙ. ඒත් ජේ.වී.පී. එකෙත් අවුරුදු තුන හතරකට සැරයක් කඩාගෙන යෑම් පෙන්නුම් කරනව. නන්දන ගුණතිලක, සොමවංශ අමරසිංහ, විමල් වීරවංශ  වැනි අය ඉවත් වුණා. විශාල පිරිසක් කඩාගෙන ගිහිල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්තා. දැන් විජේවීරගේ බිරිය, විජේවීර ලියු ග්‍රන්ථ ප්‍රකාශන තහනමක් ඉල්ලලා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව උසාවි ගිහින් තියනව. ඔය විදිහට හැම පක්ෂයකම බිඳ වැටීම් තියනවා. හරි ප්‍රතිපතියක් නායකත්වයක් තියෙනව නම් එහෙම වෙන්න හේතුවක් නැහැ. පක්ෂයකට හරි නායකත්වයක් දෙන්න බැරුව ජාතික නායකත්වයක් ඇතිවීම ගැන හිතන්නෙ කොහොමද?

මෙවැනි තත්ත්යක් ඇති වීමෙන් පසුව රටක ඇති වන වතාවරණය මොන වගේද?

මෙවැනි තත්ත්වයකින් ඇති වෙන්නේ, රටේ ජනතාවට දේශපාලනය කෙරෙහිත්, දේශපාලඥයො කෙරෙහිත් විශ්වාසය නැතිවෙනව. එතකොට මිනිස්සු කියන්න පෙළඹෙනව ‘මොකක්ද මේකේ තේරුම හමුදාවෙන්වත් රට අල්ල ගෙන පාළනය කරනව නම් මීට හොඳයි කියල. ඒ තත්ත්වය ඇති වෙන්නෙ දේශපාලඥයන්ගෙ වරදින්, නායකත්ව පෞරුෂය නැතිකමින්. අවංක ජාතික නායකයන්ට ජනතාව ගරුකරන්න සූදානම්. බලලොභී නායකයන් තමයි ඉන්නෙ අවංක ජනනායකයින් පහළ වෙන බවක් පෙනෙන්න නෑ. මිනිස්සුන්ගෙ හදපත්ලෙන්ම පිළිගන්න සැබෑ ජන නායකයෙක් මොන පක්ෂයකින්වත් බිහිවෙන බවක් පෙනෙන්න නෑ.

එසේ හමුදා ආණ්ඩුවක් හෝ ඒකාධිපති ආණ්ඩුවක් බිහිවුණොත් ජනතාවගෙ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් උල්ලංගන වෙනව නේද?

ඒක ඇත්ත වුණත්, ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් බුක්තිවිඳින්න නොදන්න කමකුත් තියනව. මොකක් හරි සංවර්ධන ව්‍යාපාරයකදි ජනතාව කොචචර අකුල් හෙළනවද? වෙන මොකවත් ඕන නෑ. ගමට පාරක් දාන්න හරි, ගමේ පාර ලොකු කරන්න හදන විටදි හරි වෙන දේවල් බලන්න. කී දෙනෙක් අවහිර කරනවද? මගේ වත්තෙන් කොටසක් කැපෙනව, මගේ ගහක් ගැලවෙනව කියල උසාවි යනව. ඒ පාර කපන එක අවුරුදු ගණන් කල් යනවා. වැඩේ එහෙමම නවතිනවා. ප්‍රතිපාදන භාණ්ඩාගාරයට ආපසු හරවලා යවනවා.  ප්‍රජාතන්ත්‍රවාදය  පැත්තකට දාලා බලහත්කාරයෙන් පාර කැපුවනම් වැඩේ කෙරෙනවා. මේ පුංචි උදාහරණයක් පමණයි.

2019 නව වසර මැතිවරණ වසරක් ලෙස නම් කරල තියනව. එතනදි ඡන්ද දායකයන් මොන අන්දමින් හැසිරෙයි ද කියල අනුමාන කරන්න පුළුවන්ද?

2019 වසරේ මැතිවරණ කිහිපයක්ම පැවත්වීමට නියමිතව තිබුණත් කවුද ඡන්ද ඉල්ලන්නෙ? මිනිස්සුන්ට ඡන්ද එපාවෙලා. කිසිම පක්ෂයක් කෙරේ මිනිස්සුන්ට විශ්වාසයක් නැති තත්ත්වයකට පත්වෙලා. ඒතරමට ජනතාවට දේශපාලනය එපා වෙලා.

ජනතාව දේශපාලනය කෙරෙන් ඈත් වීම හොඳ දෙයක් නෙමේ. යළිත් ජනතාව දේශපාලන ප්‍රවාහයකට ඇතුළත් කරගතයුත්තේ කොහොමද?

ඉස්සල්ලාම ජනතාවට පිළිගත හැකි, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්තිමාලාවකින් යුත් පක්ෂයක් නිර්මාණය වෙන්න ඕනැ. නැත්නම් තියෙන පක්ෂ එවැනි තත්ත්වයක් නිර්මාණය කර ගන්න ඕනැ. එම පක්ෂයට හරි නායකත්වයක් තියෙන්න ඕනැ. පක්ෂය තුළ ඒකාධිපතිත්වයක් ගොඩනගා ගෙන හෝ පක්ෂ විනය රැකගත යුතුයි. එසේ වූ විට ජනතාව ඒ පක්ෂය වටා රොක් වෙන්න පටන් ගනී. අනාගතයේ රටට නායකත්වයක් දෙන්න අවස්ථාව උදාකර ගන්න හැකිවෙයි.  හැබැයි දැනට සාමාන්‍යයෙන් වෙනවා වගේ ජයග්‍රහණයෙන් පස්සෙ තමන්ගේ ප්‍රතිපත්ති අමතක නොකළ යුතුයි. එසේ වූ විට එම පක්ෂය දියවෙන්න පටන් ගන්නවා. ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වෙනව.

දැනට පාලක පක්ෂයවන එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් සිදුවිය යුතුයි යන හඬ කලක සිට මතුව එන්නක්. නව නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒමේ සැලැස්මක් තියනව නේද?‍

එහෙම සැලැස්මක් තිබුණත් ඒක තවම සියයට පණහක්වත් සාර්ථක නැහැ. පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය හදා ගෙන තියෙන්නෙ රනිල්ට ඕන විදිහට. ඒතුළ සජිත්ට ඉදිරියට එන්න පුළුවන්ද කියල සැක සහිතයි. සජිත් ඉස්සරහට ගේනවනම් ගේන්න වෙන්නේ පක්ෂය තුළ ලොකු කැරැල්ලකින් පස්සෙ තමයි. නමුත් මැතිවරණ ඉදිරියේ තියාගෙන එහෙම කරන එක ගොඩක් අවාසිදායකයි.

රනිල් තමන්ට අවශ්‍ය පරිදි පක්ෂය මෙහෙයවන්න ජාලයක් හදාගෙන තියෙන්නෙ. එතන ඇමතිවරු ත් හත්අට දෙනෙක් ඉන්නවා සජිත්ට තද බලවිදිහට විරුද්ධ අය. මෙතන තියෙන්නෙ හැකියාවේ දක්ෂකමේ ප්‍රශ්නයක් නෙමේ. යූ.එන්.පී. එක කියන්නේ රදල පැලැන්තියේ පක්ෂයක්. එහි නායකත්වය සජිත් වගේ කෙනෙකුට ලේසියෙන් විවෘත කරන්නෙ නැහැ. එ.ජා.ප. යේ දේශපාලන මණ්ඩලයේ, කෘත්‍යධිකාරි මණ්ඩලයේ අති බහුතරය බලය තියෙන්නෙ රනිල්ට. එළියෙ බලය වෙන කාටහරි තියනව වගේ පෙනුනත් කුස්සියෙ බලය තියෙන්නෙ රනිල් ට. පක්ෂයේ ඉහළ පෙළේ රැස්වීමකටවත් නොගෙන්වා බැරිතැනක මිසක් සජිත් ගෙන්වා ගන්නේ නැහැ. කුලවතුන් අතර අඩු කුලයේ එකෙකුට වගෙයි සජිත්ට සලකන්නේ. පසුගිය දවස්වල පක්ෂය මුහුණ පෑ බැරෑරුම් අවස්ථාවේ සජිත් ඉස්සරහට ගෙනාවා. නැත්නම් දාන්නෙ කුණු කූඩෙට.

දින 52 අරගලයට පෙර සජිත්ට අගමැති කම දෙන්න ජනාධිපතිතුමා කතා කෙරුවා කියන එකත් සජිත්, විසින් එය ප්‍රතිකේෂේප කෙරුවා කියන එකත් කරළියට ඇවිත් තියනව. එයින් සජිත්ගේ මහත්මා ගුණාංගයක් පෙන්නුම් කෙරුවා වගේ පේනවා නේද?

 

ඔව්. එහෙම ගුණාංගයක් පෙන්නුම් කෙරුව කියල හිතන්න පුළුවන්. කොහොම වුණත් එයා එහෙම කෙරුවනම් අපකීර්තියකට පත්වෙනවා. පක්ෂය අපහසුතත්ත්වයකට පත්වෙච්ච වෙලාවේ ඒ තුළින් ඉස්මතු වුණා කියල. සජිත්ටත් ඕනෙ තරඟයක් දීලා ඉදිරියට එන්නයි.

එ.ජා.ප. ය තුළ පසුපෙළේ බහුතරයක් සජිත් සමග ඉන්නවා. ඉදිරිපෙළ සුළුතරයක් රනිල් සමග හිටියත් ඒ පිරිස සජිත් සමග ඉන්න පිරිසට වඩා බලවත්. පසුපෙළේ දහයක් ඉන්නවට වඩා ඉදිරිපෙළ එක්කෙනෙක් ඉන්න එක ඊට වඩා බලවත්. එක පන්ති අතර තියන අරගලයක්. ඒ නිසා සජිත්ව ඉස්සරහට ගැනීම ලෙහෙසි කාර්යයක් වෙන්නෙ නැහැ.

ජනතාවගේ මතයක් තියනවා ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් වුණොත් පහසු ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියල.

ජනතාවගේ එහෙම බලාපොරොත්තුවක් තියනව.  එත් සජිත් අපේක්ෂකත්වය ලබාගත්තත් සජිත්ට ජයග්‍රහණය කරන්න පක්ෂයෙන් අවංක සහයෝගයක් ලැබෙයි කියල හිතන්න පුළුවන්ද? මැතිණියගේ ප්‍රජාඅයිතිය අහෝසි වුණ වෙලාවේ ජනාධිපතිවරණ සටනට ජේ.ආර්. ගෙ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැම්මෙ හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තය. අපේක්ෂකත්වය දුන්නට අවංක සහයෝගයක් ලබා දුන්නෙ නෑ. අන්තිමේ දී විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර, දේව බණ්ඩාර සේනාරත්න ඇතුළු පිරිසක් තමයි හෙක්ටර් කොබ්බෑ කඩුවගෙ මැතිවරණ සටන රට පුරා අරගෙන ගියේ. නොදී බැරිකමට කොබ්බෑකඩුවට අපේක්ෂකත්වය දුන්නා. කොහොම උනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම කොබ්බෑකඩුවට දිනන්න දුන්නෙ නෑ. ජනාධිපතිවරණය සඳහා වියදම් කරන්න පක්ෂයේ අරමුදල් දුන්නෙත් නැති බව කියනව.

එහෙම කරන්න හේතුව මොකක්ද? හෙක්ටර් කොබ්බෑකඩුවත් ප්‍රභූ පැළැන්තියට අයත්වෙන චරිතයක්.

පක්ෂය අවංකව උදව් කරල හෙක්ටර් කොබ්බෑකඩුව  දිණුව නම්. නිසියාකාරව රට පාළනය කෙරුවනම් හෙක්ටර් කොබ්බෑකඩුවට පක්ෂ නායකත්වය ඉබේම යනව. සම්ප්‍රදායික නායකත්වයට තැනක් නැතිව යනව. එතනින් පසුව පක්ෂයේ බලය යන්නෙ ඔහුගේ පරපුරටයි. නැත්නම් ඔහුගේ අනුගාමිකයන් අතටයි. ඒ නිසයි බලය වෙනත් කෙනෙකු අතට යන්න දෙන්නෙ නැත්තෙ.

රාජපක්ෂ පවුලෙ තත්ත්වයත් ඒකයි. මහින්ද රාජපක්ෂ තම සොහොයුරෙකුටවත් ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න කැමති නැති බවක් තමයි පෙනෙන්නේ. ගෝඨාභයට අපේක්ෂකත්වය දීල  ජයග්‍රහණය කළොත් එතනින් පසුව නාමල්ලගේ දේශපාලන අනාගත න්‍යායපත්‍රය අකුලගන්න වෙනව. එතනින් එහාට ගෝඨාභයගෙ පිරිසකුයි මතු වෙන්නෙ. තමන්ගෙම සොහොයුරාට එහෙම නම්, පන්ති විෂමතාවෙන් යුතු කෙනෙකුට අත්වෙන ඉරණම ගැන කියන්න ඕන නෑ.

එහෙම නොකෙරුවෙ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා විතරක් කියල කියන්න පුළුවන්.  මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් මුලදි කිව්වෙ මේ මාගේ ප්‍රථම හා අවසාන ජනාධිපති ධුර කාලයයි කියලයි. දැන් වෙලා තියෙන්නෙ එතුමට මේක දාලා යන්න බැරි කමක් ඇති වෙලා තියෙනව. කොච්චර මේ තනතුරට ආශා වුණාද කියනවනම් හතුරව මිතුරුකරගත්තා තනතුරු ලෝභය නිසා. ඒ ගිවිසුම අනුව තමයි දින 52 නාඩගම සිද්ද වුණේ.

මහින්ද රාජපක්ෂ මැතිවරණ පරාජයෙන් පසු යළිත් දේශපාලන පොරපිටියට අවතීර්ණ වෙලා යම් කිසි තත්ත්වයක් ගොඩ නගා ගත්තා. ප්‍රජාතන්ත්‍ර විරෝධි ආණ්ඩුවෙ දින 52 අගමැති වීමෙන් ඒ ගොඩනගාගත් තත්ත්වය විනාශ කරගත්තා කියල විශ්ලේෂකයන් කියනව.

සහතික ඇත්ත. රාජපක්ෂට පැහැදිලි ජයග්‍රාහි ඉලක්කයක් තිබුණා. මේ වැඩෙන් ඔහු අන්තිම පහළටම වැටුණා. දැන් එයාට කතා කරන්නත් දෙයක් නැහැ. මාධ්‍ය සාකච්ඡා වලදී එයාගෙ කට හඬ පවා පරාජිත ස්වරයක් තමයි තියෙන්නෙ. මාධ්‍ය හමුවේ එයාට කියන්න දෙයක් නෑ. ඒ බව පැහැදිලිවම පෙනෙන්න තියෙනව. මහින්ද දැන් තිත්ත කසාය බීපු ගොලුවෙක් වගේ හිතේ තියන දෙයක් කියාගන්න බැරුව ඉන්නව වගේ පේනවා.

දින 52 කුමන්ත්‍රණයේ හානිය මහින්ද රාජපක්ෂට පමණක් පුද්ගලිකව බලපාපු දෙයක් නෙමෙයි. පක්ෂයක් වශයෙන් නැගීගෙන ආව පොහොට්ටුවටත් එය අවාසි ලෙස බලපෑවා. එක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අවාසි සහගත ලෙස බලපෑ අතර එයින් වුණේ  අලසව ඉටපු එක්සත් ජාතික පක්ෂය ඉදිරි පිම්මක් පැනීමයි. ගම්බදව වසර ගණනාවක් නිද්‍රාශිලිව හිටපු එක්සත් ජාතික පාක්ෂිකයා විදිගැට කඩලා පිබිදිලා ආවා. ඒක රැකගන්න එක්සත් ජාතික පක්ෂ සමත්වෙයිද කියන එක නම් මම දන්නෙ නැහැ.

මනෝජ් රූපසිංහ

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *