පොලිස් කුලප්පුව – සුමේධ භානු රත්නායක

“මට වෙඩි තියෙන්නේ නැද්ද ” වැනි නමක් ඇති වේදිකා නාට්‍යයක් මීට කලකට ඉහත වේදිකා ගත කෙරිණි . එක්තරා මිතුරෙකු අතපසු වීමකින් එම නම මතකතබාගෙන තිබුණේ “මූට වෙඩි තියන්නේ නැද්ද ” යනුවෙනි . මිතුරා පටලවාගත් නම එනම්, මූට වෙඩිතියන්නේ නැද්ද යන්න මගේ සිහියට නැගුණේ පිවිතුරු බව නමට පමණක් ඇති පිවිතුරු හෙලඋරුමය නැමැති නමක් කරතබාගෙන යන උදය ගම්මන්පිල පසුගියදා මාධ්‍ය හමුවක් ඉදිරියේ කියා තිබුණු කතාවක් නිසාය . එසේම එම කතාව පදනම් විරහිත ගල් පැලෙන මුසාවක්ද වන නිසාය .
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විද්වත් කමිටු වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ඉදිරිපත් කර තිබේ. එසේ ඉදිරිපත් කිරීමේ අරමුණ එම වාර්තාව පදනම් කරගෙන අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමයි.

විද්වත් කමිටු වාර්තාව යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල හෝ නොවේ එහි අඩංගු වන්නේ අලුතින් ලියවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකදී මේ මේ කරුණු අඩංගු වියයුතු බවට විවිධ තැනැත්තන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු යෝජනා මාලාවකි.
එම යෝජනා මාලාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට පත් වීමට තව කඩඉම් කිහිපයක් පසු කලයුතුය. ඒ බව නීතීගයකු වන උදය ගම්මන්පිල මහතා නොදන්නවා නොවේ. එහෙත් ඉදිරිපත් කර ඇත්තේ යෝජනා මාලාවක් මිස ව්‍යවස්ථා කෙටුම්පතක් නොවන බව අගමැතිවරයා ප්‍රකාශ කරන බව ජනමාධ්‍ය වේදියෙකු ඇසූවිට ගම්මන්පිල මහතා පිලිතුරු දෙන්නේ මෙසේය .
” විද්වත් කමිටු වාර්තාවක් කියලනේ කියන්නේ . මේකේ කොතැනකවත් ඒ ගැන නමක් සදහන් වෙන්නේ නැහැ. මේ වාර්තාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සියල්ල තියෙනවා.”ආදී වශයෙනි

විද්වත් කමිටු වාර්තාවක් බව එහි සදහන්ව නැතැයි තර්ක කරන් උදය ගම්මන්පිල මහතාගෙන් ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ” යනුවෙන් හෝ ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත” යනුවෙන් එහි සදහන්ව තිබේදැයි අසන්නට අදාළ මාධ්‍යවේදීයා ප්‍රශ්න අසන්නේ නැති ව්‍යවස්ථාවක් ගැන බියක් මවන්නට ගම්මන්පිල මහතාට උපකාර කිරීමට මිස ජනතාවට ඇත්ත පැහැදිලි කරදීමට නොවන බැවිනි. එකී භීතිකාව වැපිරීම සදහා විද්වත් කමිටු වාර්තාවේ පොලීසිය සම්බන්ධව ඇති සදහනක්ද උදය ගම්මන්පිල මහතා විසින් උපයෝගී කරගෙන තිබුණි. ඒ මෙසේය .

” විද්වත් කමිටුවකින් හදපු බව කියමින් අගමැතිතුමා 11වෙනිදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරපු වාර්තාවේම තමයි ඒක තියෙන්නේ . එහි 185 පිටුවේ ” ශ්‍රී ලංකා පොලීසිය ශ්‍රී ලංකා ජාතික පොලීසියෙන් සහ ශ්‍රී ලංකා පළාත් බද පොලීසියෙන් සමන්විත වන්නේය . ” කියලා සදහන් වෙනවා. ජාතික පොලීසිය පලාත්බද පොලීසි 9ක් වශයෙන් තමයි. පොලීසිය කොටස් 10කට කැඩෙන්නේ යනුවෙනි .

මෙකී කරුණු මතුකර දැක්වීමෙන් ගම්මන්පිල මහතා උත්සාහ කරන්නේ උතුරු නැගෙනහිරට පොලිස් බලතල දීමට අලුත් ව්‍යවස්ථාවෙන් යෝජනා කර තිබේය වැනි අදහසක් ජනගත කරන්නයට බව පෙනේ . ඇත්ත වශයෙන්ම විද්වත් කමිටු වාර්තාවේ එවැනි සදහනක් ඇති නමුත් එය යෝජනාවක් පමණි. තාමත් ඒ යෝජනාව නීතියක් වන බවක් හෝ ඉන් අදහස් වන්නේ නැත. පාර්ලිමේන්තුවෙන් කැබිනට් මණ්ඩලයේත් ඉන් පසුව ජනමත විචාරණයකින්ද සම්මත වුවහොත් පමණි. එය නීතියක් බවට පත්වනු ඇත්තේය .

කෙසේවෙතත් පොලීසිය පලාත්බද පොලීසිවලින් සමන්විත වන්නේය යන අදහස නීතියක් බවට පත්වුවායැයි අපි මදකට උපකල්පනය කරමු. පලාත්බද පොලීසි යනු එවිට පලාත් 9 සදහා වන පොලීසි 9 කි. ඒ අනුව ,එසේ වුවහොත් පලාත්බද පොලීසි හෝ පලාත්බද පොලිස් කොමිෂන් යනු උතුරු පලාතේ සහ නැගෙනහිර පලාතේ පමණක් ක්‍රියාත්මක වන්නක් නොවේ. බස්නාහිරටද ,දකුණටද,සබරගමුවටද, ඌවටද , උතුරු මැදටද ,වයඹටද මධ්‍යම ආදී වශයෙන් අනෙකුත් පලාත්වලදීද පොලිස් කොමිසම් ක්‍රියාත්මක වනු ඇත. රටපුරා ක්‍රියාත්මක වන යමක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ක්‍රියාත්මක වීමේදී අමුත්තක් සිදුවන්නේ නැත. යම් අයුරකින් හෝ කිසිවකු ප්‍රශ්න කලයුතු වන්නේ අනෙකුත් පලාත් වලට නැතිව උතුරට නැගෙනහිරට පමණක් මෙම පොලිස් කොමිසම් දෙකක් ඇතිකල යුතු බවට යෝජනාවක් විද්වත් කමිටු වාර්තාවට ඇතුළත්ව තිබුණේ නම් නොවේද ?

මෙහෙදී සිහිපත් කලයුතු වන්නේ පලාත් සභා ක්‍රමය මුල්වරට හදුන්වා දුන් කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් ඇති කල භීශණකාරි වටපිටාවකි. ඔවුන් ඒ දිනවල තර්ක කලේද පලාත් සභා හේතුවෙන් රට කොටස්වලට කැඩීයනවාය කියමිනි.
පලාත්සභා හේතුවෙන් රට කොටස් වලට කැඩෙන බවකී සියලු කණ්ඩායම් සහ පක්ෂවලට මේවනවිට පලාත් සභා ක්‍රමය යථාර්ථයක් බව පිලිගන්නට සිදුවී තිබේ. එසේ කියන්නේ ඔවුන් සියලුදෙනාම අදවනවිට පලාත් සභා මැතිවරණ වලට ඉදිරිපත් වන එම ක්‍රමය නියෝජනය කරන එම ක්‍රමය අනුමත කරන ඊට අනුගතවූ පිරිසක් බවට පත්ව ඇති බැවිනි . පලාත් සභා වලට විරුද්ධව මවාපෑ බොරු භීතිකාව නොවන්නට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු සියලු කරුණු සහ බලතල මේ වනවිට ක්‍රියාකාරී මට්ටමට පත්වී ජතික ගැටලුව සම්බන්ධයෙන් එමගින් යම් විසදුමක් ලැබෙන තත්ත්වයක්ද ඇතිවන්නට තිබුණි. කෙසේවෙතත් මතක් කලයුතු වැදගත්ම කරුණ වන්නේ පලාත් සභා ක්‍රියාත්මක වී දශක ගනනක් ගෙවීගියද පලාත් සභා නිසා රට බෙදීයාමක් මෙතෙක් සිදුවී නැති බවයි. ඒ වෙනුවට සිදුවී එතෙක් එක් ඒකකයක්ව පැවති උතුරු නැගෙනහිර පලාත් දෙකක් වශයෙන් වෙන් කිරීමයි.

උදය ගම්මන්පිල මහතා පලාත් බද පොලිස් කොමිසම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව පදනම් කරගෙන මවන්නට උත්සාහ කරන භීතිය මුසාවක් බව වටහා ගැනීමට නම් විද්වත් කමිටු වාර්තාවේ ඒ ගැන සදහන්වී ඇති ආකාරය වටහා ගැනීම වැදගත් වේ. ඒ මෙසේය .
” ශ්‍රී ලංකා පොලීසිය ජාතික පොලීසියෙන් සහ ලංකා පලාත්බද පොලීසියෙන් සමන්විත වියයුත්තේය. පලාත්බද පොලිස් සේවා සදහාවූ සියලු ගිනි අවි, වෙඩි ද්‍රව්‍ය ,පුපුරණ ද්‍රව්‍ය ,යුද්ධායුද සහ වෙනත් උපකරණ වල ස්වභාවය වර්ගය සහ ප්‍රමාණය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අදාළ පලාත්බද පොලිස් සේවාවන්හි අවශ්‍යතාවන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ පලාත්බද පොලිස් කොමිෂන් සභා විමසීමෙන් පසුව නිශ්චය කරනු ලැබියයුතු අතර සියලු පලාත් බද පොලිස් සේවා සදහා ඒකාකාර ප්‍රමිති සහ ප්‍රතිපත්ති අදාළ විය යුත්තේය . එකී ගිනි අවි, වෙඩි ද්‍රව්‍ය ,පුපුරණ ද්‍රව්‍ය ,යුද්ධායුද සහ වෙනත් උපකරණ සම්පාදනය සහ නිකුත් කිරීම මධ්‍යම ආණ්ඩුවේ වගකීම විය යුත්තේය . පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානියා විය යුතුය. සෑම පලාතක් සදහාම සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වන්නාවූ පලාත් බද පොලිස් කොමිෂන් සභාවක් තිබිය යුතුය.

ඉන් පැහැදිලි වන්නේ විද්වත් කමිටු යෝජනාවෙන් යෝජනා කරන්නේ පොලිස්පතිවරයා යටතේ පොලිස් බලතල විමධ්‍යගත කිරීමක් ගැන වන බව නොවේද ? නැවතත් කිවයුත්තේ මෙයද යෝජනාවක් මිස තීන්දුවක් හෝ නීතියක් නොවන බවය. එම යෝජනාව අනුමත කිරීම වෙනස් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය පවතින්නේ පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය සහ ජනතාව සතුවය. යමෙකුට අවශ්‍ය නම් එයට විරුද්ධව අධිකරණයේ පිහිට පතන්නට වුව බාධාවක් නැත. මක්නිසාදයත් ඉහත යෝජනාව නීතියක් බවට පත්වන්නට නම් එය කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් විය යුතුය. ඉන්පසුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලයක් විසින් අනුමත කළ යුතුය. එසේ අනුමත කලද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක අනුමැතියද ලැබිය යුතුය. එයින් පසුව ජනමත විචාරණයකට ලක්කොට සියයට පනහකට වැඩි ජනමතයක් ලබාගත යුතුය.

සියල්ල එසේ තිබියදී බොරු භීතියක් ජනතාව අතර ඇති කරමින් ගම්මන්පිල මහතා ඇතුලු පිරිස උත්සහ දරන්නේ වංචාවෙන් ජනමතය පික් පොකට් ගසන්නටය . ඒ බව දකිනවිට මිතුරා වරදවා කී නාට්‍යයේ නම බුද්ධිමත් ජනතාවට මතක්වීමේ වරදක් ඇතැයි මා සිතන්නේ නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *